බාලචන්ද්‍රන් ඥානසේකරෙයර් මහතා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ දේශීය භාෂා සම්බන්ධයෙන් සිදුවූ ප්‍රධාන වර්ධනයන් සඳහා බාලචන්ද්‍රන්  ඥානසේකරෙයර් මහතා විශාල දායකත්වයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ  නියෝජිතායතනයේ (ICTA) උපදේශකයෙකු ලෙස ඔහු 2006 දී දෙමළ යතුරුපුවරුව ප්‍රමිතිගත කිරීමේ කටයුතු ආරම්භ කළේය. දෙමළ යතුරුපුවරුවේ පිරිසැලැස්ම, යතුරුවල අනුක්‍රමය, යුනිකෝඩ් ප්‍රමිතියට අනුකූලව දෙමළ අක්ෂර කේතනය කිරීම සහ දෙමළ සඳහා පරිතුලන අනුක්‍රමයක් ඇතුළත් දෙමළ භාෂාව සඳහා වූ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය කෙටුම්පත් කිරීම සඳහා  ඔහු කටයුතු කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට යෝජනා කරන ලද කෙටුම්පත් ප්‍රමිතියට මේවා ඇතුළත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීලංප්‍ර 1326: 2008 නම් දෙමළ භාෂාව පිළිබඳ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතිය සම්මත විය.

බාලචන්ද්‍රන් මහතා පසුව සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයට අවතීර්ණ විය. ඔහු සහතික ළත් සදාචාරාත්මක අපහාරකවරයෙකු මෙන්ම සහතික ළත් පරිගණක අපහරණ වෝහාරික  පරීක්ෂකයෙක් ද වේ. බාලචන්ද්‍රන් මහතා බැංකු ක්ෂේත්‍රය සඳහාවු පරිගණක ආරක්ෂා සිද්ධි ප්‍රතිචාර කණ්ඩායමේ (CSIRT) පළමු සේවකයා විය. ඔහු මේ වන විට ඩයලොග් ඇක්සියාටා සමාගමේ සයිබර් ආරක්ෂණ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

බාලචන්ද්‍රන් මහතා ඕස්ට්‍රේලියාවේ චාල්ස් ස්ටර්ට් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණවේදී උපාධියක් ලබා ගෙන ඇත.. දෙමළ භාෂාව කෙරෙහි ඇති උනන්දුව නිසා ඔහු ශාස්ත්‍රපති උපාධියට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සහ භාෂාවේ අංග ඇතුළත් ක්ෂේත්‍රයක් තෝරා ගත්තේය. ඔහුගේ උපාධිය සඳහා කරන ලද පර්යේෂණයේ අඩංගු වූයේ දෙමළ භාෂාවෙන් ඇති නම් සිංහල භාෂාවට අක්ෂරාන්තරණය සඳහා වූ යෝජනාවකි.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

බාලචන්ද්‍රන්  ඥානසේකරෙයර් මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව උනන්දු වූයේ කුඩා කාලයේ සිට යි. ඔහුගේ දෙමාපියන් දෙදෙනාම ලේඛකයෝ වූහ. ඔහුගේ පියා 1990 දශකයේ අග භාගයේදී දෙමළ භාෂාවෙන් පොත් ලිවීමට පරිගණකයක් භාවිතා කළේය. ඔහු දෙමළ භාෂාවෙන් යතුරු ලියනය කර පොත් ප්‍රකාශයට පත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පාසල් සිසුවෙකු වූ කාලයේ සිටම, බාලචන්ද්‍රන් (බාලා) මහතා දෙමළ අක්ෂර පරිගණකයකට ඇතුළු කරන ආකාරය සහ දෙමළ අකුරු මුද්‍රණය කරන ආකාරය ගැන උනන්දුවක් දැක්වීය. පොත් ටයිප් කිරීමට හා අක්ෂර සංයෝජනය කිරීමට බාලා තම පියාට සහාය වූයේය. මෙම කාලයේ භාවිතා කරන ලද්දේ පැරණි ෆොන්ටයි. බාලා සහ ඔහුගේ පියා ඔවුන්ගේ පොත් ප්‍රකාශයට පත්කිරීමට භාවිතා කළේ පැරණි ෆොන්ට දෙකක් පමණි. මෙම කටයුතු නිසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෙරෙහි බාලා කුඩා කල සිටම උනන්දු වන්නට විය.

පාසැල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු බාලාගේ පියා තොරතුරු තාක්‍ෂණය පිළිබඳ උපාධියක් හැදෑරීම සඳහා ඔහු ඕස්ට්‍රේලියාවේ චාල්ස් ස්ටර්ට් විශ්වවිද්‍යාලයට යවා ඇත. බාලචන්ද්‍රන් මහතාට 2004 දී චාල්ස් ස්ටර්ට් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ  (ගෞරව) උපාධියක් පිරිනමන ලදී.

බාලචන්ද්‍රන් මහතා දෙමළ සාහිත්‍යය කෙරෙහි ද උනන්දුවක් දැක්වූයේය. ඔහු නැවත ශ්‍රී ලංකාවට පැමිණිමෙන් පසුව මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පද්ධති ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කිරීමට පටන් ගත්තේය.

මහාචාර්ය ගිහාන් ඩයස්, මෙම කාලයේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (TechCERT) ආරම්භ කළ අතර, ඔහු ලංකා වසම් ලේඛකාධිකාරිය ප්‍රධාන විධායක නිලධාරියා සහ මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ද විය. මහාචාර්ය ගිහාන් ඩයස් යටතේ බාලා සිය ශාස්ත්‍රපති උපාධිය සඳහා සූදානම් වූයේය. ඔහු සිය උපාධිය සඳහා තෝරාගත් අංශයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සහ භාෂාවේ අංග ඇතුළත් විය. මෙම පර්යේෂණය සමන්විත වූයේ දෙමළ භාෂාවෙන් ලියන ලද නම් සිංහල භාෂාවට අක්ෂරාන්තරණය කිරීමේ යෝජනා ක්‍රමයක් සකස් කිරීමයි. මෙම කාර්යය සඳහා බාලචන්ද්‍රන් මහතාට දෙමළ හා සිංහල භාෂාවල ශබ්ද විද්‍යාව හා ව්‍යාකරණ පිළිබඳව අධ්‍යයනය කිරීමට සිදු විය.

දේශීය භාෂා

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මෙම කාලය තුළ දෙමළ යතුරුපුවරු පිරිසැලසුම ප්‍රමිතිකරණය කිරීමේ කටයුතු ආරම්භ කර තිබුණි. මහාචාර්ය ගිහාන් ඩයස්ගේ නායකත්වයෙන් යුත් සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා මුල් පියවර යටතේ දෙමළ 99 යතුරුපුවරු පිරිසැලසුම ශ්‍රී ලංකාවේ පරිශීලකයින්ට හඳුන්වා දීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ. “ලියන ආකාරයට යතුරු ලියනය කරන්න” ක්‍රමය මත පදනම්වූ යතුරුපුවරු පිරිසැලසුමකට කැමැත්තක් දැක්වූ බොහෝ පරිශීලකයින් විසින් මෙම පිරිසැලසුම ප්‍රතික්ෂේප කරන ලදි. භාෂාව හා තාක්‍ෂණය පිළිබඳව බාලාගේ  උනන්දුව දුටු  මහාචාර්ය ගිහාන් ඩයස් ඔහු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනයට හඳුන්වා දුන්නේය. ශ්‍රීලංප්‍ර 1134: 2004 තොරතුරු හුවමාරුව සඳහා වූ සිංහල අක්ෂර කේතය නම් ප්‍රමිතියේ අනුමත සිංහල යතුරුපුවරු පිරිසැලැස්ම ද ඇතුළත් වේ. මෙය රජයේ ආයතනවල භාවිතා කෙරුණි. මේ අතර ලංකා රාජ්‍ය ජාලය ක්‍රියාත්මක කරමින් සිටි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කණ්ඩායමට සම්මත දෙමළ යතුරුපුවරු සැලැස්ම කුමක්දැයි දැන ගැනීමට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, දෙමළ යතුරුපුවරු සැලැස්ම වැඩිදියුණු කිරීම සහ දෙමළ භාෂාව තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ යොදා ගැනීම පිළිබඳ ප්‍රමිතියකට තුඩු දෙන යෝජනාවක් සකස් කිරීම සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය බාලචන්ද්‍රන් මහතා සමඟ ගිවිසුමකට එළඹුණි.

බාලචන්ද්‍රන් මහතා, ඒ වන විට භාවිතයේ තිබූ දෙමළ යතුරුපුවරු පිරිසැලසුම් පිළිබඳව පුළුල්ව පරීක්ෂා කර, ඔහුගේ නිර්දේශ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමට (LLWG) ඉදිරිපත් කළේය. යෝජිත පිරිසැලසුමේ පදනම් වූයේ “ලියන ආකාරයට යතුරු ලියනය කිරීමේ” ක්‍රමයයි. මේ සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ද පුළුල් අදහසක් විමසීමක් කළේය. පාර්ලිමේන්තුවේ පරිශීලකයින්ට යෝජිත යතුරුපුවරු ධාවකය යොදා ගනිමින්  එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කරන ලදී.  ප්‍රධාන වශයෙන් රෙන්ගනාදන් යතුරුපුවරු පිරිසැලසුම මත පදනම්වූ මෙම යතුරුපුවරු පිරිසැලසුම පරිශීලකයින් විසින් ඒකමතිකව පිළිගනු ලැබීය.

ඉන්පසුව,  දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම (LLWG) සමඟ බාලචන්ද්‍රන් මහතා දෙමළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රමිතියක් සකස් කිරීම සඳහා කටයුතු කළේය. මෙය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ඉදිරිපත් කරන ලද අතර මහජන අදහස් විමසීමෙන් පසුව එය තොරතුරු හුවමාරුව සඳහා වූ දෙමළ අක්ෂර කේතය, ශ්‍රීලංප්‍ර 1326: 2008 ලෙස අනුමත කරන ලදී. මෙම ප්‍රමිතිය පහත සඳහන් කොටස් වලින් සමන්විත විය.

අ) යතුරුලියන අනුක්‍රමය සහිත යතුරුපුවරු පිරිසැලසුම.

ආ) යුනිකෝඩ් ප්‍රමිතිය හා ISO/ICEI10646 සමඟ ආකේතන එකඟත්වය.

ඇ) දෙමළ පරිතුලන අනුක්‍රමය.

දෙමළ භාෂාවෙන් ඇති තොරතුරු ලැයිස්තු තේරීම සඳහා පරිතුලන අනුක්‍රමය අවශ්‍ය විය. මෙම කාලය වන විට රජයේ ආයතනවල ත්‍රිභාෂා දත්ත සමුදායන් සකස් කරන ලද අතර ඒ සඳහා ද දෙමළ පරිතුලන අනුක්‍රමයක් අවශ්‍ය විය. ඔහු බොහෝ දෙමළ ශබ්දකෝෂ පරීක්ෂා කර ඇති බවත්, ඒවායේ තේරීම් අනුපිළිවෙලෙහි සුළු වෙනස්කම් ඇති බවත් බාලචන්ද්‍රන් මහතා පවසයි. ඔහු සඳහන් කළ එක් හිදැසක් නම් මෙම ශබ්ද කෝෂවල දෙමළ අංක සඳහා ස්ථානයක් නොමැති වීමයි. ප්‍රමිතිගත කරන ලද පරිතුලන අනුක්‍රමය පිලිබඳව තිරණය කරන ලද්දේ පුළුල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි..

මෙම ප්‍රධාන කටයුතුවලට අමතරව. බාලචන්ද්‍රන් මහතා දෙමළ ෆොන්ට දියුණු කිරීම සඳහා ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ කටයුතු කළේය. මෙම ආයතනයට අවශ්‍ය වුයේ දෙමළ යුනිකෝඩ් ෆොන්ටයක් නිර්මාණය කිරීමයි. එය රජයේ ආයතනවල භාවිතා කළ හැකි “බරසාර” ෆොන්ටයක්වීම අවශ්‍ය විය.  වියාකරණකාරක සමග සෑම සංක්තයක්ම පිළිගත හැකි තත්වයක විය යුතු අතර ඒවා ප්‍රවේශමෙන් නිර්වචනය කළ යුතු විය. එබැවින් බාලචන්ද්‍රන් මහතා පසුගිය වසර 100 ක දෙමළ ග්‍රන්ථවල එක් එක් දශකය සඳහා වූ පාඨ ගණනාවක් බැගින් එකතු කළේය. සෑම අක්ෂරයක්ම පෙනෙන්නේ කෙසේද යන්න හොඳින් අධ්‍යයනය කර, එක් එක් අක්ෂරයේ හැඩය ඇඳ, ෆොන්ටය නිර්මාණය කරන ලදි. මෙය පසුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ‘ශ්‍රීතමිල්’ ෆොන්ටය ලෙස එළි දක්වන ලදී.

දෙමළ භාග හා සංකේත දැන් එතරම් වැදගත් ලෙස නොසලකනබව බලචන්ද්‍රන් මහතා පවසයි. “හර”, “බැර”,  වැනි වචන නිරූපණය කිරීම සඳහා නිශ්චිත සංකේත ඇති බවත් පසුගිය වසර 300 තුළ එවැනි සංකේත 60 ක් පමණ භාවිතා කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි. යතුරු ලියනය සහ පරිගණක වැනි තාක්ෂණික උපකරණවල මෙම සංකේත ලිවීමේ  ක්‍රම ඇතුළත් කළ නොහැකි විය. ශතවර්ෂ ගණනාවක් තිස්සේ මේවා භාවිතා කර ඇති බැවින් මේවාට නිසි ස්ථානය ලබා දිය යුතු බව බාලචන්ද්‍රන් මහතාගේ අදහස විය. ඔහු වසර 5 ක් පමණ මේ පිළිබඳව ගවේෂණය කර එවැනි භාග හා සංකේත 70 ත් 80 ත් අතර ප්‍රමාණයක් සොයා ගෙන තිබේ. ඔහුගේ අරමුණ වූයේ මේවා යුනිකෝඩ් ප්‍රමිතියට ඇතුළත් කිරීමයි. වෙනත් රටවල අයද මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රටවල් කිහිපයක සාමූහික යෝජනාවක් ලෙස මෙය ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ලදුව,  2019 දී මෙම දෙමළ භාග හා සංකේත යුනිකෝඩ් ප්‍රමිතියට ඇතුළත් කරන ලදී.

දෙමළ ශ්‍රී ලංකා ස්ථානීය තොරතුරු පිළිබඳවද බාලචන්ද්‍රන් මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ කටයුතු කර තිබේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, යුනිකෝඩ් සම්මේලනයට  ඉ-තැපෑලක් යවමින් දෙමළ-ශ්‍රී ලංකාව සඳහා Ta.LK වෙන් කරන ලෙස ඉල්ලීමක් කළ අතර එය පොදු ස්ථාන දත්ත ගබඩාවට (CLDR)  ඇතුළත් කර ගැනීමට හැකි විය. ඉන්පසුව, Ta.LK සම්බන්ධයෙන් අදාළ තොරතුරු පුළුල් ලෙස සාකච්ඡා කර, එකඟ වී පොදු ස්ථාන දත්ත ගබඩාවට (CLDR) උඩුගත කරන ලදී.

ජාත්‍යන්තරීකරණය කළ වසම් නාම (IDN) සම්බන්ධයෙන් කටයුතු කළ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද බාලචන්ද්‍රන් මහතා කටයුතු කළේය මෙම කාර්යය තුළින් .LK ට සමාන දෙමළ භාෂාවෙන් ඉහළ මට්ටමේ වසම් නාමයක් අර්ථ දැක්වා, සාකච්ඡා කර මහජන අදහස් විමසීමේ යාන්ත්‍රණයක් තුළින් අනුමැතිය ලබා ගන්නා ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ දේශීය භාෂා පිළිබඳ මෙම සියලු කටයුතු 2006 සිට 2012 දක්වා කාලය තුළ සිදු කර ඇත. බාලචන්ද්‍රන් මහතා ප්‍රකාශ කරන්නේ මූලික අවශ්‍යතා බොහොමයක් සපුරා ඇති බවත් ප්‍රමිතීන් නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රති ඵලයක් ලෙස  රජයේ සංවිධාන, ශ්‍රී ලංකාවේ ප්‍රජාවන් සහ වෙනත් පරිශීලකයින් විසින් ඒ්වා භාවිතා කරන බවත්ය..

සයිබර් ආරක්ෂාව

දේශීය භාෂා පිළිබඳ කටයුතු වලට අමතරව බලචන්ද්‍රන් මහතා සයිබර් ආරක්‍ෂාව පිළිබඳ අංශයට ද සම්බන්ධ වී ඇත. බාලචන්ද්‍රන් මහතා පැහැදිලි කරන්නේ 2006 දී ඔහු මොරටුවවිශ්ව විද්‍යාලයට බැඳුණු කාලයේ  මහාචාර්ය ගිහාන් ඩයස් පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (TechCERT) ආරම්භ කළ බවයි. 2009 වන විට සයිබර් ආරක්ෂාව ප්‍රධාන අංශයක් බවට පත්වූ අතර සදාචාරාත්මක අපහාරකයෙකු ලෙස සහතිකය ලබා ගැනීමට බාලචන්ද්‍රන් සමත් විය. පසුව 2011 දී ඔහු පරිගණක අපහරණ වෝහාරික විමර්ශකයෙකු  ලෙස සහතික කරන ලදී. ඉන්පසු බාලචන්ද්‍රන් මහතා සයිබර් ආරක්ෂක ක්ෂේත්‍රයට සංක්‍රමණය විය. මෙම කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා බැංකු ක්ෂේත්‍රය සඳහා පරිගණක ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර කණ්ඩායක් පිහිටුවීමට කටයුතු කරමින් සිටියේය. ඒය  මූල්‍ය ආයතන සඳහාම වෙන්වූ ආයතනයක් විය. මේ අනුව 2014 ජුනි 30 වන දින බැංකු පරිගණක ආරක්ෂා සිද්ධි ප්‍රතිචාර කණ්ඩායම (CSIRT) දියත් කරන ලදී. මෙය මූල්‍ය අංශයට විශේෂිත වූ දකුණු ආසියාවේ  පළමුවැනි CSIRT ආයතනයයි  . බාලචන්ද්‍රන් මහතා මෙම බැංකු (CSIRT) ආයතනයේ පළමු සේවකයා ලෙස බඳවා ගන්නා ලදී. මෙය තමාට ලැබුණු හොඳ අවස්ථාවක් බව ඔහු පවසයි.

බාලචන්ද්‍රන් මහතා අවසානයේ ප්‍රකාශ කරන්නේ තමා මෙම කර්තව්‍යයේ කොටසක් වීමට ලැබීම ගැන සතුටු වන බවයි. මේ වන විට ඔහු ඩයලොග් ඇක්සියාටා හි සයිබර් ආරක්ෂණ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. මෙම වැදගත් සන්ධිස්ථාන කරා ළඟා වීමට උදව් කළ සෑම දෙනාටම ඔහු බෙහෙවින් ස්තූතිවන්ත වේ.