අධ්‍යාපනය හා පුහුණුව

  • මහාචාර්ය සෑම් කරුණාරත්න

    මින් අඩ සියවසකට පෙර එනම් 1960 දශකයේ ලංකාවේ පරිගණක කටයුතු ආරම්භ වූ යුගය මහාචාර්ය සෑම් කරුණාරත්න සිහිපත් කරයි. 1960 ගණන්වල අග භාගයේ දී රාජ්‍ය අංශයේ සංවිධානයකට පරිගණකයක් ලබා දීමට රජය තීරණය කළ බව ඔහු සිහිපත් කරයි. සිවිල් ඉංජිනේරුවෙකු සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ (SEC) ආරම්භක සභාපති වු ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතා එම සංස්ථාවට පරිගණකයක දැඩි අවශ්‍යතාවක් ඇති බව පෙන්වා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස, පරිගණකයක් මිල දී ගැනීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට රුපියල් මිලියන 2 ක පමණ මුදලක් වෙන් කරන ලදී. එවකට ඇමරිකා එක්සත් ජනපදයේ බර්ක්ලි හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්ය සෑම් කරුණාරත්න 1967 අප්‍රේල් මාසයේ දී ආපසු ලංකාවට පැමිණ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට සම්බන්ධ විය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මුලදී IBM System/360 පරිගණකයක් මිල දී ගැනීමට උත්සාහ කළ නමුත්, මෙම පරිගණකය ඒ වන විට ලංකාව තුළ අලෙවි නො කරන බව ඔවුන්ට පසුව අවබෝධ විය. එබැවින්, ඉන්ජිනේරු සංස්ථාව විසින් ICL 1900 මහා පරිගණකයක් මිලදී ගන්නා ලද අතර එහි විද්‍යාත්මක හා ඉංජිනේරු කටයුතු සිදු කිරීමේ පහසුකම් තිබුණි. මෙය ලංකාවට ගෙන්වන ලද පළමු පරිගණකය විය. පරිගණකය ඇණවුම් කිරීමෙන් පසු එය ලැබුණේ මාස කිහිපයකට පසුවයි. මේ අතර රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව පද්ධති විශ්ලේෂකයින්, ක්‍රමලේඛකයන්, පරිගණක ක්‍රියාකරුවන් සහ දත්ත ඇතුළත් කරන්නන් ආදි පරිගණක කටයුතු සඳහා අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමට කටයුතු කළේය. ආරම්භක පද්ධති විශ්ලේෂකයින් හතර දෙනා වූයේ ආචාර්ය ආර්.බී.ඒකනායක, රන්ජන් පෙරේරා, එස්.ජේ. සිල්වා සහ තවත් අයෙකි.

    වැඩිදුර කියවන්න…
  • ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ

    ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තයේ හා පුද්ගලික අධ්‍යාපනයේ පුරෝගාමියෙක් වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ ඉන්ෆොමැටික්ස් සමාගම් සමූහයේ සමාරම්භක හා සභාපතිවරයා ද වේ.

    ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ එංගලන්තය හා බෙල්ජියම යන රටවලයි. 1983 වර්ෂයේ ආපසු ලංකාවට පැමිණි ඔහු පරිගණක සමාගමක් ලෙස ඉන්ෆොමැටික්ස් ආයතනය ආරම්භ කළේය. ඉන්ෆොමැටික්ස් සමාගම දෘඪාංග, මෘදුකාංග, පුහුණුව හා නඩත්තුව ආදි සියල්ල ලබා දුන් පූර්ණ විසඳුම් සමාගමක් විය.

    ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල රටේ ඇති ඉල්ලුමට සරිලන තරම් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහි නො කරන බැවින් තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟයක් ඇති බව අවබෝධ කර ගත් වික්‍රමසිංහ මහතා මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය සමග එක්ව 1990 සිට ඉන්ෆොමැටික්ස් ආයතනය තුළින් තොරතුරු තාක්ෂණය, තොරතුරු පද්ධති හා පරිගණක විද්‍යාව පිළිබඳ උපාධි ලබා දීමට ක්‍රියා කළේය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමූ පළමු වැනි ආයතනය ඉන්ෆොමැටික්ස් වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තෘතීය අධ්‍යාපනික සුදුසුකම් ලබා දීමේ සංකල්පයේ පුරෝගාමියා ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ ලෙස සැලකිය හැකියි.

    ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනයේ (IIT) උපාධිධාරීන්ට ඔවුන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට දිරි ගන්වන බව ආචාර්ය වික්‍රමසිංහ කියා සිටී. ඔහුගේ අදහස වන්නේ තෘතීයික අධ්‍යාපන ආයතන, අන්තර්ජාතික වශයෙන් අවස්ථා ඇති හා ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන ක්ෂේත්‍රවල ශිෂ්‍යයන් පුහුණු කළ යුතු බවයි. මේ අනුව “ජාත්‍යන්තර නිෂ්පාදන” ලෙස මානව සම්පත් ලෝකයට සැපයීමෙන් විදේශ විනිමය උපයා ගැනීම හා අනිකුත් ආර්ථික ප්‍රතිලාභ තුළින් ශ්‍රී ලංකාවට බොහෝ වාසි ලබා ගත හැකි වේ. ශ්‍රී ලංකාව, සුවිශේෂී අංශ කෙරෙහි අවධානය යොමු කිරීම කාලෝචිත බව ආචාර්ය වික්‍රමසිංහගේ අදහසයි.

    ලංකාවේ තොරතුරු හා සන්නිවේදන කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් වන ආචාර්ය ගාමිණි වික්‍රමසිංහට ඔහු ඉටු කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) 2014 ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේදි සම්මානයක් පිරිනමන ලදී.

    වැඩිදුර කියවන්න…
  • මහාචාර්ය ලලිත් ගමගේ
    මහාචාර්ය ලලිත් ගමගේ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ඇතුළු වූයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ය. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ බව මහාචාර්ය ලලිත් ගමගේ පවසයි. උපාධිය ලැබීමෙන් පසු ලලිත් ගමගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවට උපදේශකයෙකු ලෙස සම්බන්ධ විය. ලලිත් ගමගේට ලයිස්ටර් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් මෙකට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

    ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු ඔහු නැවත මොරටුව විශ්ව විද්‍යාලයට පැමිණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ප්‍රවර්ධනය කිරීමට ඔහු උනන්දු විය. විශ්ව විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලෙස ගමගේ මහතා පත් කරන ලද අතර එමගින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආයෝජන මණ්ඩලය (BOI) වැනි රජයේ ආයතන සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ සමාගම් සමඟ වැඩ කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි.

    මහාචාර්ය ගමගේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා රජයේ විවිධ තනතුරු දරමින් රටට සේවය කර තිබේ. ඔහු ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයේ (ACCIMT) සභාපති ලෙස සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (SLCERT|CC) අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සේවය කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලය වන “ට්‍රේඩ්නෙට්එස්එල්” (TradeNetSL) පිහිටුවීමට මහාචාර්ය ලලිත් ගමගේ මහතා දායක විය. ඔවුන් දියත් කළ ඊ-වාණිජ්‍ය වේදිකාව වන “සයිබර් ට්‍රේඩර්” හරහා ගනුදෙනු කිරීමට දේශීය සමාගම්වලට අවස්ථාව ලැබුණු අතර එය රටේ පළමු ඉ-වාණිජ්‍ය වේදිකාව වේ.

    අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ආයතනය (USAID) අනුග්‍රාහකත්වය ලබා දුන් තරඟකාරිත්ව ප්‍රාරම්භයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පර්ෂදය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මූලෝපාය සංවර්ධනය කිරීමේ දී මහාචාර්ය ලලිත් ගමගේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර එමගින් ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පිහිටුවීමට මඟ පෑදුණි.

    1999 වර්ෂයේ දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිහිටුවීම ඔහුගේ ප්‍රධාන ජයග්‍රහණයන්ගෙන් එකකි. උසස් තත්ත්වයේ තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන්ගේ හිඟයක් රටේ පවතින බවත්, වර්ධනය වන තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් බිහි කරන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත් මහාචාර්ය ලලිත් ගමගේ මහතා වටහා ගත්තේය. සෑම වසරකම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් 1000 කට අධික සංඛ්‍යාවක් බිහි කරන අරමුණින් ස්ථාපිත කරන ලද මාලබේ මණ්ඩපය පිහිටුවීමට මෙය හේතු විය. මුලින් තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් වැඩසටහන් පමණක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පසුව පරිගණක පද්ධති සහ ජාලකරණය, තොරතුරු පද්ධති, සයිබර් ආරක්ෂණය සහ මෘදුකාංග ඉංජිනේරු ආදි උපාධි පාඨමාලා ආරම්භ කළේය. පසුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විද්‍යාපති උපාධි වැඩසටහන් ද ආරම්භ කළ අතර කර්මාන්තයේ ප්‍රවණතා අනුව ඒවා අඛණ්ඩව වර්ධනය කෙරේ.

    මහාචාර්ය ගමගේ ප්‍රකාශ කරන්නේ උපාධිධාරීන්, විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධිධාරීන් පමණක් නොව ඕනෑම උපාධිධාරියෙකු අවධානය යොමු කළ යුත්තේ හුදෙක් විභාග සමත්වීම ගැනම නොවිය යුතු බවයි. සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට හා ගැටලු වල ස්වභාවය තේරුම් ගෙන විශ්ලේෂණය කිරීමට ලබාගත් දැනුම අදාළ කර ගැනීමට මෙන් ම කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඔවුන්ට හැකි විය යුතුය. මෙම ගුණාංග හොඳ වෘත්තිකයෙකු වීමට හේතු වේ.

    වැඩිදුර කියවන්න…
  • නීල් ගුණදාස මහතා

    නීල් ගුණදාස මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (B.Sc) උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, , කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් (NIE) අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (M.Sc) උපාධියක්ද ලබා ගෙන තිබේ.

    නීල් ගුණදාස මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත කළමනාකරණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (SLEAS-I) වේ. ඔහුගේ එක් ප්‍රධාන වගකීමක් වන්නේ අධ්‍යාපන පද්ධතිය පිළිබඳ දත්ත හා තොරතුරු සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) ක්‍රියාත්මක කිරීමයි. ගුණදාස මහතා 2006 සිට 2016 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර එහිදී මුළු රටටම බලපාන ආකාරයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් ඇති කළ ප්‍රධාන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරුවේය.

    වැඩිදුර කියවන්න…