අන්තර්ජාලය හා සයිබර් සුරක්ෂිතතාව

  • මහාචාර්ය අභය ඉඳුරුව

    මහාචාර්ය අභය ඉඳුරුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1973 වර්ෂයේ, දැන් මොරටුව විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වන එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ශිෂ්‍යයෙක් ව සිටි අවදියේයි. පසුව ඔහු ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.

    මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පියා“ ලෙසයි. ඔහු විසින් හඳුනා ගෙන ඇති, උත්සාහ දරා ඇති හා ක්‍රියාත්මක කර ඇති කටයුතු, ශ්‍රි ලංකාවේ අන්තර්ජාල කේෂ්ත්‍රය තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. අනූවේ දශකයේ දී “ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය“ (LEARN) ස්ථාපිත කිරීම එක් ප්‍රධාන පියවරක් වේ. ලබා ගත හැකි සීමිත සම්පත් යොදා ගනිමින් 1990 දී මහාචාර්ය ඉඳුරුව ලර්න්මේල් (LEARNmail) ස්ථාපිත කළේය. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යයන හා පර්යේෂණ ආයතන සඳහා වූ පළමුවැනි අන්තර්ජාල ඉ-තැපල් පද්ධතිය විය. මෙම ඉ-තැපැල් පද්ධතිය හඳුන්වා දීමේ ඊළඟ පියවර වූයේ ශ්‍රී ලංකාවේ දේශික කේත ඉහළ මට්ටමේ වසම (.LK) ලියාපදිංචි කිරීමයි. මෙහි තාක්ෂණික කටයුතු මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඉටු කළ අතර මහාචාර්ය ඉඳුරුව පරිපාලන කටයුතු කළේය.

    ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භක මහ මණ්ඩල සාමාජිකයෙක් වූ මහාචාර්ය ඉඳුරුව 1998 වන තුරු ම එම මණ්ඩලයේ සේවය කළේය.

    ශ්‍රී ලංකාවට ජාලකරණය හා අන්තර්ජාලය හඳුන්වා දීමෙන් හා ඉන් පසුව ලබා ගත් ජයග්‍රහණ තුළින් අද ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතයට ගන්නා සියලු දෙනාට කර ඇති සේවය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය අභය ඉඳුරුවට අන්තර්ජාල සමාජය විසින් ජීවිත කාල ජයග්‍රහණ සම්මානයක් ප්‍රදානය කරන ලදී. 2014 දී මහාචාර්ය අභය ඉඳුරුව අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරනු ලැබීය.

    වැඩිදුර කියවන්න…
  • මහාචාර්ය ගිහාන් ඩයස්

    කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ගිහාන් ඩයස් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියා (ඩේවිස්) විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙක් වේ. .LK වසම් (.LK Domain Registry) අධිකාරියේ සමාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහු 1990 පමණ සිට ඉහළ මට්ටමේ වසම් (TLD) කළමනාකරණ කටයුතුවල නියැලී සිටි.

    ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) පිහිටුවීමේත්, ක්‍රියාත්මක කිරීමේත් පුරෝගාමියෙක් වන මහාචාර්ය ගිහාන් ඩයස්, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්, ගුරුවරුන් හා වෘත්තිකයන්ගේ ලාභ නො ලබන ස්වේච්ඡා සංවිධානයක් වූ ලංකා අධ්‍යයන ජාලයේ (LAcNet) සමාරම්භක හා පළමුවැනි සභාපතිවරයා ද වේ. අන්තර්ජාල සේවා සපයන්නන් ගණනාවකට ඔවුන්ගේ ජාල පිහිටුවා ගැනීමට ද මහාචාර්ය ඩයස් සහාය වී තිබේ.

    රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීමේ වගකීම පැවරී ඇති රජයේ ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA), මහාචාර්ය ඩයස් ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් විය. ඒ 2003 හා 2004 වර්ෂ වලයි. මේ කාලයේ ඔහු දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීමේ වැඩසටහනට නායකත්වය දුන් අතර යුනිකෝඩ් අනුකූල ෆොන්ට සංවර්ධනය පිළිබඳව ද කටයුතු කළේය. ඔහු සකස් කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සිංහල ප්‍රමිතිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ලදුව ශ්‍රීලංප්‍ර 1134 : 2004 ලෙස පළ කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආංශික කමිටුවේ සභාපතිත්වය දරන්නේ ද මහාචාර්ය ගිහාන් ඩයස්ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කටයුතු කරද්දී මහාචාර්ය ඩයස් ෆොන්ට සංවර්ධකයන් හා අනිකුත් පාර්ශවකරුවන් සඳහා යුනිකෝඩ් ප්‍රමිතිය පිළිබඳ දැනුවත් කිරීමේ හා ධාරිතා ගොඩනැගීමේ පුළුල් වැඩසටහන් ගණනාවක් ම සංවිධානය කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජාත්‍යන්තර වසම් නාම (IDN) කාර්ය සාධන බලකායට නායකත්වය දුන් මහාචාර්ය ඩයස් සාකච්ඡාමය ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවට (සිංහල හා දෙමළ සඳහා) ඉහළ මට්ටමේ වසම් නාම දෙකක් ලබා ගැනීමට සමත් විය. මේවා LKNIC මගින් ක්‍රියාත්මක කරන ලදී. ඔහු අන්තර්ජාල සමාජයේ ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය දියුණු කිරීමේ පුරෝගාමි කටයුතු වෙනුවෙන් 2013 වර්ෂයේ දී මහාචාර්ය ඩයස් අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරන ලදී.

    වැඩිදුර කියවන්න…
  • ලාල් ඩයස් මහතා

    ලාල් ඩයස් මහතා වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් මෙන් ම බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් ද වෙයි. එක්සත් රාජධානියේ හා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධියක් ද මර්ඩොක් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන තිබේ. ඔහු අවුරුදු 25කට වැඩි කාලයක් බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත.

    ලංකාවට පැමිණ හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රංශ බැංකුවක (Societe Generale) සේවය කළ ලාල් ඩයස් මහතාට පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පිහිටුවීමේ දී ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ ඔහු දැන් එහි ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, සයිබර් ආරක්ෂාව පිළිබඳ ක්ෂේත්‍රයේ නියම වෘත්තිය ආයතනයක් බවට පත් කිරීමට අනිකුත් ජාතික ආයතන හා පිළිගත් ගෝලීය ආයතන සමග සම්බන්ධ කිරීමට ලාල් ඩයස් මහතාගේ පුළුල් ජාත්‍යන්තර සබඳතා යොදා ගත හැකි වී තිබේ.

    වැඩිදුර කියවන්න…
  • මහාචාර්ය රොහාන් සමරජීව

    මහාචාර්ය රොහාන් සමරජිව 1998-99 දී ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. ඔහුගේ පාලන කාලය තුළ නියාමන පරිසරයක් බිහි වූ අතර තරඟකාරී විදුලි සංදේශ අංශයක් සඳහා අඩිතාලම දමන ලදී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සංවර්ධනයට බලපා ඇති විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ සඳහා ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. 2002 – 2004 කාලය තුළ මහාචාර්ය සමරජීව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කණ්ඩායම් නායකයා වූ අතර ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සැලසුම් කිරීමට සහභාගී විය. 2003 සිට 2005 දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ආරම්භක අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු 2018 අප්‍රේල් සිට 2019 දෙසැම්බර් දක්වා එහි සභාපතිවරයා විය.

    වැඩිදුර කියවන්න…
  • සිරි සමරක්කොඩි මහතා

    සිරි සමරක්කොඩි මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ය. පාසලේ ගුවන් විදුලි සමාජයේ ලේකම් වූ  ඔහුට  ඉලෙක්ට්‍රොනිකික විද්‍යාව ගැන මුලින්ම උනන්දුවක්  ඇතිවූයේ මෙහිදීය. ඔහු එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයකින් විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගෙන තිබේ. සමරක්කොඩි  මහතා ශ්‍රී ලංකාවට ජංගම දුරකථන  හඳුන්වාදීමේ පුරෝගාමියෙකි. සෙල්ටෙල් ලංකා සමාගමේ ආරම්භක ප්‍රධාන විධායක නිලධාරියා  වූ ඔහු බලපත්‍ර ලබා දීමේ සාකච්ඡාවලට හා තාක්ෂණික අංශයන්ට සම්බන්ධ විය. ශ්‍රී ලංකාවේ පළමු වාණිජ වෙබ් අඩවිය වන www.lanka.net ආරම්භ කළ ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය.

    වැඩිදුර කියවන්න…
  • ආචාර්ය කාවන් රත්නතුංග

    ආචාර්ය කාවන් රත්නතුංග (ආචාර්ය කාවන්) කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ඔහු 1976 දී භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් (පළමු පන්තියේ ගෞරව උපාධියක්) ලබා ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේදී තාරකා විද්‍යාව හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන් තාරකා විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ගත්තේය. ඉන්පසුව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු නැවතත් ඇමරිකාවට ගියේය. ප්‍රින්ස්ටන්හි උසස් අධ්‍යයන ආයතනයේ දී ඔහුට 1984 දී ප්‍රථම වරට ඉ- තැපැල් ලිපිනයක් ලැබුණි. ප්‍රින්ස්ටන් සිට ආචාර්ය කාවන් කැනඩාවේ ඩොමීනියන් තාරකා භෞතික නිරීක්ෂණාගාරයට ගොස් 1989 දී පමණ ඇමරිකාවේ මේරිලන්ඩ් හි නාසා ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වූයේය.

    වැඩිදුර කියවන්න…