බලදායීකිරීමේ පරිසරය

මෙම කොටසේ දී අවධානය යොමු කරන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ දියුණුව හා සංවර්ධනය සඳහා අවශ්‍ය බලදායී පරිසරය නිර්මාණය කිරීමට රජය ගත් උත්සාහයන්ය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපත්තිමය හා නෛතික අවශ්‍යතා එහි ඇතුළත් වේ. ආයතනික සංවර්ධනය සඳහා ගත් පියවර පිළිබඳ ව එහි විස්තර කෙරේ. මෙම කලාපයේ මුල් පරිගණක ප්‍රතිපත්තිවලින් එකක් වූ 1983 ජාතික පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ මහාචාර්ය මොහාන් මුණසිංහ ඉදිරිපත් කරන පූර්ණ විස්තරයක් ද එහි අඩංගු වේ. මෙතරම් හොඳින් නිර්වචනය කළ පරිගණක ප්‍රතිපත්තියක් ඒ කාලයේ වෙන කිසිම රටක නො තිබුණි. තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ පළමුවැනි ඉහළ ම ආයතනය වූ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) පිහිටුවීම ගැන ද එහි සඳහන් වේ.

නීතිය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිලිබඳව ජයන්ත ප්‍රනාන්දු මහතාගේ පැහැදිලි කිරීමක් ද මෙම කොටසේ අඩංගු වේ. ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ නීතිය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ කමිටුව ස්ථාපිත කරන ලද්දේ 1986 දීය. 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත, 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත, 2007 අංක 23 දරණ පරිගණක අපරාධ පනත හා දත්ත ආරක්ෂාව හා පෞද්ගලිකත්වය පිළිබඳ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත ආදිය ගැන ද මෙම කොටසේ විස්තර කෙරේ.


  • මහාචාර්ය මොහාන් මුණසිංහ

    පරිගණක හා තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ප්‍රමුඛ ආයතනය ලෙස 1984 දී ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භක සභාපතිවරයා වුයේ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතායි. පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ (COMPOL, 1982-83) සභාපති ලෙස කටයුතු කරමින් පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව නිර්මාණය කිරීමේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ ඔහු 1984 අංක 10 දරණ පනත කෙටුම්පත් කිරීමට ද සහාය විය. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ බලශක්ති උපදේශක (1982-86), විදුලි සංදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ජනාධිපති කමිටුවේ සාමාජික (1984-85), නවීන තාක්ෂණය සඳහා වූ ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සමාරම්භක පාලක හා ශ්‍රී ලංකා ස්වාභාවික සම්පත්, බලශක්ති හා විද්‍යා අධිකාරියේ (NARESA) ආරම්භක මහා මණ්ඩල සාමාජික ලෙස ඔහු අදාළ ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාකාරි ලෙස කටයුතු කර තිබේ.

    එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය, ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනය හා කැනඩාවේ මැක්ගිල් විශ්ව විද්‍යාලය හා කොන්කෝඩියා විශ්ව විද්‍යාලය ආදියෙන් ඔහු ඉන්ජිනේරු විද්‍යාව, භෞතික විද්‍යාව හා සංවර්ධන ආර්ථික විද්‍යාව ආදිය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් ලබාගෙන තිබේ. ගෞරව ආචාර්ය උපාධි ගණනාවක් ලැබී ඇති මහාචාර්ය මුණසිංහ තිරසාර සංවර්ධනය, දේශගුණ විපර්යාස, බලශක්තිය, ආර්ථික විද්‍යාව, පරිසරය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති ආදිය පිළිබඳ ලෝක විශේෂඥයෙක් ලෙස සැලකේ. පොත් 100ක් හා තාක්ෂණික ලිපිලේඛන 350කට වඩා ලියා ඇති ඔහු පර්යේෂණ සඳහා ජාත්‍යන්තර සම්මාන ගණනාවක් දිනා ගෙන තිබේ. මේ අතර වඩාත් ම වැදගත් වන්නේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ උප සභාපති ලෙස 2007 සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය හවුලේ දිනා ගැනීමයි. අන්තර්ජාතික විද්‍යා ආයතන ගණනාවක අධි සාමාජිකයෙක් වන ඔහු වෘත්තීය ප්‍රකාශන 15ක පමණ සංස්කාරක මණ්ඩලවල සේවය කරයි.

    ඔහු දැනට ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටුවා ඇති සංවර්ධනය සඳහා වු මුණසිංහ ආයතනයේ (MIND) ආරම්භක සභාපතිවරයා වන අතර 2030 තිරසාර ශ්‍රී ලංකාවක් සඳහා වූ මූලෝපායික සැලසුම පිළියෙල කරන ජනාධිපති විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ද වෙයි. රාජ්‍ය සේවයේ ගත කළ පසුගිය අවුරුදු 50 තුල ලබා ඇති වෘත්තීය ජයග්‍රහණ අතර පරිසරයේ ගුණාත්මක භාවය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපතිගේ මණ්ඩලයේ උපදේශකයෙක් ලෙස කටයුතු කිරීම හා ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් /කළමනාකරුවෙක් ලෙස කටයුතු කිරීම ද වෙයි. ලෝකයේ රටවල් 90ක පමණ ක්‍රියාත්මක කර ඇති විවිධ ව්‍යාපෘතිවල සෘජු ක්ෂේත්‍ර අත්දැකීම් ඇති ඒ මහතා ලොව පුරා ඇති ප්‍රධාන විශ්ව විද්‍යාල ගණනාවක බාහිර මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් අනුමත කළ තිරසාර සංවර්ධන ඉලක්ක හා පැරිස් දේශගුණ ගිවිසුම වැනි ගෝලීය ප්‍රතිපත්ති ගණනාවකට එතුමා සෘජු දායකත්වයක් ලබා දී තිබේ.

    වැඩිදුර කියවන්න…
  • මහාචාර්ය වී.කේ. සමරනායක
    මහාචාර්ය සමරනායක කොළම විශ්ව විද්‍යාලයෙන් 2004 දී විශ්‍රාම ගත්තේ අවුරුදු 43ක දීර්ඝ හා ඉතා ගෞරවනීය සේවයකින් පසුවයි. පරිගණක විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ධුරයක් පිරිනමා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව හා මහා මණ්ඩලය විසින් එතුමාට ගෞරව දක්වන ලදී. වී. ඩබ්ලිව් සමරනායක යුවලගේ පුතු ලෙස වන්නිආරච්චිගේ කිත්සිරි සමරනායක කොළඹ දී උපත ලැබුවේ 1939 මැයි 22 දිනයි. ඔහුගේ පියා රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ විදුහල්පති වූ අතර මව ද එම පාසලේ ගුරුවරියක් වූවාය. මෙම පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ කිත්සිරි සමරනායක 1948 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. තරඟකාරි විභාගයට මුහුණ දීමෙන් පසු 1950 දී ඔහුට රාජකීය විද්‍යාලයට ඇතුල් වීමට වරම් ලැබුණි. ඔහුගේ සාර්ථකත්වයට බලපෑ එක් කරුණක් වූයේ මේ මුළු කාලය තුළ ම විදුහල්පති නිල නිවාසයක ජීවත් වෙමින් පාසලේ අධ්‍යාපනික හා අනිකුත් කටයුතුවලට සම්බන්ධ වෙමින් ලබා ගත් පන්නරයයි. 1956 වර්ෂයේ ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වූ සමරනායක ශිෂ්‍යයා ගණිත විශේෂ උපාධි පාඨමාලාව සඳහා තෝරා ගන්නා ලදී. 1961 වර්ෂයේ පළමුවැනි පන්තියේ ගෞරව උපාධියක් හිමි කර ගත් ඔහුගේ අධ්‍යයන විශිෂ්ටත්වය නිසා සහකාර කථිකාචාර්ය ධුරයක් ලැබුණි. මෙය ඉතා දීර්ඝ හා කීර්තිමත් විශ්ව විද්‍යාල සේවයක ආරම්භය විය. වැඩිදුර කියවන්න…
  • ඉරාන් වික්‍රමරත්න මහතා
    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණ හා රජයේ ඉහළම තොරතුරු තාක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ආරම්භක සභාපතිවරයා වූයේ ඉරාන් වික්‍රමරත්න මහතායි. ඔහු 2002 වර්ෂයේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ උපදේශකයෙක් වූ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ස්ථාපිත කිරීම හා ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සකස් කිරීමේ දී විශේෂ කාර්ය භාරයක් ඉටු කළේය. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ලෝකයේ පළමුවැනි වරට ලෝක බැංකුව සම්බන්ධ වූ පූර්ණ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය බැවින් එය පුරෝගාමි ව්‍යාපෘතියක් ලෙස සැලකිය යුතුය යන්න වික්‍රමරත්න මහතාගේ අදහස වේ. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ඉ-ශ්‍රී ලංකා වැඩසටහන පිළියෙල කිරීමේ දී ප්‍රථමයෙන් ම දැක්මක් අවශ්‍ය වූ බවයි. ඉන් පසු සැලැස්මක් හා මාර්ග සිතියමක් පිළියෙල කරන ලදී. ඉන් පසුව අවශ්‍ය වූයේ සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය විස්තරාත්මක ව දැක්වීමයි. මෙයට අමතරව අධීක්ෂණ යන්ත්‍රණයක් ද සකස් කළ යුතු විය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි වැඩසටහන් සඳහා තිරසරබව සහතික කළ යුතු බවත් අවසාන වශයෙන් සියලු ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබිය යුතු බවත්ය. වැඩිදුර කියවන්න…
  • මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ
    මහාචාර්ය පි. ඩබ්ලිව්. ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) වැඩබලන සභාපති හා සභාපති ලෙස කටයුතු කර ඇති අතර 2017 පෙබරවාරි වන තෙක් ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා විය. ශිෂ්‍යයෙක් ලෙස කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වූ මහාචාර්ය ඈපාසිංහ ගණිතය පිළිබඳ පළමු පන්තියේ විශේෂ විද්‍යාවේදී උපාධියක් ලබා ගත්තේය. එම වසරේ විද්‍යා පීඨයේ වැඩි ම ලකුණු ලබාගත් ශිෂ්‍යයා වීම නිසා ඔහුට විශේෂ විද්‍යා ශිෂ්‍යත්වයක් ලැබුණි. 1965 වසරේ දී ලන්ඩනයේ ඉම්පීරියල් කොලොජ් ඔෆ් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ආයතනයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධයේ මාතෘකාව වූයේ “ප්‍රති-රේඛීය ප්‍රමාණීකෘත ක්ෂේත්‍ර සුත්‍රණය“ (On the Formulation of Anti-Linear Quantized Fields) යන්නයි. 1965 වර්ෂයේදි ආපසු ලංකාවට පැමිණි ඔහුට ගණිත අංශයේ කථිකාචාර්යවරයෙක් ලෙස උසස්වීමක් ලැබුණි. එවකට ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපය ලෙස හැඳින්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ ප්‍රධානි හා මහාචාර්ය ලෙස 1967 දී පත් කරන ලද එතුමා 1977/78 යුගයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කළේය. 1978 වර්ෂයේ දී ආපසු කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු ගණිත අංශයේ ප්‍රධානී ලෙස පත් කරන ලදී. මේ කාලයේ ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කරමින් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් සඳහා “තීරණ ගැනීමේ ප්‍රමාණාත්මක ශිල්ප ක්‍රම“ (Quantitative Techniques in Decision Making) පිළිබඳ පාඨමාලාවක් සැලසුම් කර ඉගැන්වූයේය. 1983, 1994 හා 1995 යන වර්ෂවල දී ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළ අතර අවස්ථා ගණනාවක දී උප-කුලපති ලෙස ද සේවය කළේය. මහාචාර්ය ඇපාසිංහ 1994 දී තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ සභාපති ලෙස පත් කරන ලද අතර 1997 දී ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සභාපති ලෙස පත් කරන ලදී. මහාචාර්ය වි. කේ. සමරනායක ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිත්වය දැරූ කාලයේ මහාචාර්ය ඈපාසිංහ එහි මහමණ්ඩලයට එක්වූ අතර 2007 දි මහාචාර්ය සමරනායක අභාවප්‍රාප්ත වීමෙන් පසු එහි වැඩබලන සභාපති ලෙස පත් කරන ලදී. අවුරුදු තුනකට පසු මහාචාර්ය ඈපාසිංහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ධුරයට පත් කරන ලදී. විශ්ව විද්‍යාල අංශයේ මෙන්ම විවිධ රජයේ ආයතනවල සේවය කරමින් රටේ සංවර්ධනයට දායකවීම සම්බන්ධයෙන් මහාචාර්ය ඈපාසිංහට විශිෂ්ට වාර්තාවක් තිබේ. මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති පදවිය දැරීමට එතුමා ඉතාම සුදුසු වූ අතර එම ආයතනයේ ප්‍රධාන කර්තව්‍යය වූ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී විශිෂ්ට නායකත්වයක් හා මග පෙන්වීමක් ලබා දුන්නේය. 2014 අග භාගයේ දී එතුමා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති තනතුරෙන් ඉල්ලා අස් වුයේය. වැඩිදුර කියවන්න…
  • ජයන්ත ප්‍රනාන්දු මහතා
    නීතිඥයෙක් වන ජයන්ත ප්‍රනාන්දු මහතා අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කර තිබේ. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන නීති පිළිබඳ ව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇති ඔහු බුඩාපෙස්ට් සයිබර් අපරාධ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව එක් කිරීමට හා එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කීරීම ආදි කටයුතුවලට නායකත්වය දුන්නේය. මේ දෙක ම දකුණු ආසියානු රටවල් අතරින් පළමු වරට සිදු වූයේ ශ්‍රී ලංකාවේයි. ජයන්ත ප්‍රනාන්දු මහතාගේ විශේෂඥ දැනුම පුළුල් පරාසයක විහිදෙයි. ඒවා අතර තොරතුරු සුරක්ෂිතතාව, සයිබර් අපරාධ, බුද්ධිමය දේපළ අයිතිය හා මෘදුකාංග බලපත්, පෞද්ගලිකත්වය, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හා ජංගම බැංකු කටයුතු, අන්තර්ජාල පාලනය හා සංකීර්ණ තොරතුරු තාක්ෂණ පද්ධති ගිවිසුම් කෙටුම්පත් කිරීම/සාකච්ඡා කිරීම ආදිය වේ. රටවල් ගණනාවක තොරතුරු තාක්ෂණ නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අත්දැකීම් ඇති ඔහු අන්තර්ජාතික වෙළඳ නීති පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ (UNCITRAL) හා යුරෝපීය මණ්ඩලයේ විශේෂඥයෙකු ලෙස කටයුතු කරයි. ප්‍රනාන්දු මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හා විශ්ව විද්‍යාල ගණනාවක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කරයි. සයිබර් ආරක්ෂාව පිළිබඳ ජාතික ආයතනය (Sri Lanka CERT) ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල ගණනාවක සාමාජිකයෙකු වන ඔහු ලංකා වසම් රෙජිස්ටරයේ (.LK) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ද වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ/නීති උපදේශක ලෙස ද ඔහු කටයුතු කරයි. ජයන්ත ප්‍රනාන්දු මහතා පැවරූ නම් හා අංක පිළිබඳ ජාත්‍යන්තර සංස්ථාවේ (ICANN) හි රාජ්‍ය උපදේශක කමිටුවේ (GAC) උප සභාපති පදවියට පත්වූ පළමුවැනි දකුණු ආසියාතිකයා වේ. ඔහු එහි නාම යෝජනා කමිටුවේ ද සහායක සභාපති (2005-07) ලෙස ද කටයුතු කර ඇති අතර 2016 ජුනි මාසයේදී ස්ට්‍රැස්බර්ග් හි යුරෝපීය මණ්ඩලයේ සයිබර් අපරාධ ප්‍රඥප්ති කමිටුවේ සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත ගෝලීය කාර්යාංශයට පත්වූ පළමුවැනි දකුණු ආසියාතියා ද විය. මෙම (T-CY) කමිටුව ගෝලීය මට්ටමෙන් බුඩාපෙස්ට් සයිබර් අපරාධ ගිවිසුම ක්‍රියාත්මක කරයි. ජයන්ත ප්‍රනාන්දු මහතා එක්සත් රාජධානියේ චෙවනින් ශිෂ්‍යත්වධාරියෙක් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ අයිසෙන්හවර් අධිශිෂ්‍යත්වලාභියෙක් ද වේ. වැඩිදුර කියවන්න…