ගෙවීම් පද්ධති

  • ජනක ද සිල්වා මහතා

    ජනක ද සිල්වා මහතා පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව හා ගණිතය හදාරා 1966 දී උපාධිය ලබා ගත්තේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය ලබා ඇති ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka), වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකි. ජනක ද සිල්වා මහතාගේ පරිගණක ඇසුර ආරම්භ වූයේ 1978 දී ලංකා බැංකුවේ මෙහෙයුම් පරිගණක ගත කිරීමේ කාර්යය ඔහුට පැවරීමත් සමගයි. පසුව ජනක ද සිල්වා මහතා ආරම්භක සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සම්පත් බැංකුවට සම්බන්ධ වූ අතර එහිදී බහු-ස්ථාන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ස්ථාපිත කිරීම සහ බැංකු ගණුදෙනු කාලය දීර්ඝ කිරීම වැනි වැදගත් ජයග්‍රහණ කරා ළඟා වීමේ වගකීම පැවරී තිබුණේ ඔහුටයි. 1995 දී ඔහු සම්බන්ධ වූ යුනියන් බැංකුවේ ද මෙහෙයුම් ආරම්භ කිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අතර බොහෝ වැදගත් සන්ධිස්ථාන කරා ළඟා වීමට හැකි වූයේය. බැංකු ශාඛා පිළිබඳ සංකල්පය තුරන් කරන ලදී, දුරකථන බැංකුකරණය හඳුන්වා දෙන ලද අතර තමන්ගේම වෙබ් අඩවියක් සමඟ අන්තර්ජාලයට පිවිසි පළමු බැංකුව යුනියන් බැංකුව වේ. අන්තර්ජාල බැංකුකරණය හඳුන්වා දුන් පළමු බැංකුව ද එය විය.

    වැඩිදුර කියවන්න…
  • නයනි ප්‍රනාන්දු මහත්මිය

    ලංකා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරිනියක් වන නයනි ප්‍රනාන්දු මිය, ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සමාජ හා ආර්ථික සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගෙන තිබේ. ඇය ශ්‍රී ලංකා පරිගණක වෘත්තිකයන්ගේ සංගමයේ (CSSL) අධිසාමාජිකාවක් ද වේ. 1993 වර්ෂයේ සොන්ටා (Zonta) සමාජය විසින් ජයග්‍රාහක කාන්තා සම්මානය පිරිනැමීමෙන් ඇගේ හැකියාවන් පිළිගැනිමට ලක් කරන ලදී.

    ඇය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිය ජීවිතය ආරම්භ කළේ 1971 වර්ෂයේ ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක ක්‍රමලේඛිකාවක් ලෙසයි. ඉන් පසු 1978 සිට 2000 වර්ෂය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ඇය 1988 ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ස්වයංකෘත නිෂ්කාශන කාර්යාලය (SLACH) සම්බන්ධ වගකීම දරමින් අවුරුදු හයක් එහි කළමනාකරු ලෙස සේවය කළාය. 1993 දී අරමුදල් හුවමාරු පද්ධතියක් (ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය -SLIPS) හඳුන්වා දීමට නායකත්වය ගත්තේත් ඇයයි. 1994 සිට 2000 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ ඇය 1996 මහ බැංකුවට එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පරිගණක පද්ධති විනාශ වීමෙන් පසු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව යථා තත්වයට ගෙන ඒමට දැඩි පරිශ්‍රමයක් දැරුවාය. 2000 වර්ෂයේ සහස්‍රක වෙනසට (Y2K) සූදානම් කිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මූල්‍ය අංශයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේ ඇයයි. 2000 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඇය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශ්‍රාම ගත්තාය.

    වර්ෂ 2000 සිට 2002 දක්වා කාලය තුළ ඇය ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ උපදේශක ලෙස කටයුතු කළ අතර 2002 සිට 2008 දක්වා පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ උපදේශකයෙක් ලෙස සේවය කළාය. 2008 වර්ෂයේ සිට 2011 දක්වා බංගලාදේශයේ සේවය කළ ඇය එහි මහ බැංකුවේ ඉලෙක්ට්‍රොනික චෙක් නිෂ්කාශන පද්ධතිය හා ඉලෙක්ට්‍රොනික මුදල් මාරු කිරීමේ ජාලය 2010 දි සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් වූවාය. පරිගණක වෘත්තිකයන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකාවක් වන නයනි ප්‍රනාන්දු මිය 1993 සිට 1995 දක්වා එහි උප සභාපති ලෙස මහ මණ්ඩලයේ ද සේවය කළාය.

    නයනි ප්‍රනාන්දුගේ නම ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශය මෙන් ම බැංකු ක්ෂේත්‍රය සමග බැඳී පැවතියේය. පසුගිය අවුරුදු 20 තුළ මෙම අංශයේ ලබා ඇති ජයග්‍රහණ සියල්ල පසුපස සිටි චරිතයක් වන්නේ ඇය යි.

    වැඩිදුර කියවන්න…
  • ආචාර්ය රානී ජයමහ මහත්මිය
     පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් 1970 වර්ෂයේදී මුදල් හා බැංකුකරණය පිළිබඳ පළමු උපාධිය (ගෞරව) ලබා ගත් ජයමහ මහත්මිය වර්ෂයක් පමණ කාලයක් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර පසුව 1971 දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට (ERD) ආර්ථික විද්‍යාඥයෙක් ලෙස සම්බන්ධ විය. ඉන්පසුව බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් ලබා ගත් ඇය ශාස්ත්‍රපති උපාධිය සඳහා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්ව විද්‍යාලයේ වසර දෙකක (1975-1976) කාලයක් ගත කළාය. 

    1976 දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඇය මහ බැංකුවට නැවත පැමිණීමෙන් පසු මුදල් හා බැංකුකරණ අංශයේ ආර්ථික විද්‍යාඥවරියක් ලෙස පත් කරන ලද අතර පසුව ඇය ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට උසස් කරන ලදී. 1987 දී ආචාර්ය උපාධියට හැදෑරීම සඳහා එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය ජයමහ මහත්මිය 1989 දී මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු බැංකු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට උසස් කරන ලදී.

    වැඩිදුර කියවන්න…
  • චන්න ද සිල්වා මහතා

    චන්න ද සිල්වා මහතා ලංකා ක්ලියර් (LankaClear) සමාගමේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි වේ. ශ්‍රී ලංකාවේ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ චන්න ද සිල්වා මහතා නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විද්යුත් හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී හා විද්‍යාපති උපාධි ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි ආචාර්ය ප්‍රභාත් සමරතුංග, චන්න ද සිල්වා මහතාට හමු වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටි කාලයේයි. 1995 දී ආපසු ලංකාවට පැමිණි චන්න ද සිල්වා මහතා, ලංකාවේ පළමුවැනි අන්තර්ජාල සමාගම වූ ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිටුවීමටත් පළමුවැනි වාණිජ ඉ-තැපැල් සේවාව, sri.lanka.net, ආරම්භ කිරීමටත් සහාය විය. ශ්‍රී ලංකාවේ පළමුවැනි වාණිජ වෙබ් අඩවිය (www.lanka.net) නිර්මාණය කළේ මේ සමාගම වන අතර එය තවමත් ක්‍රියාත්මකව පවතී. පළමුවැනි වරට ‘ඩේලි නිව්ස්‘ හා ‘සන්ඩේ ඔබ්සර්වර්‘ පුවත්පත්, මාර්ග ගත පුවත්පත් ලෙස ලබා දුන්නේ ද මෙම සමාගමයි. පළමුවැනි මාර්ග ගත ගුවන් විදුලි මධ්‍යස්ථානය වු ‘ටීඑන්එල් රේඩියෝ’ සඳහා පහසුකම් සැපයූවේ ද ලංකා ඉන්ටර්නෙට් සමාගමයි. විවෘත මූලාශ්‍ර (Open Source) ක්ෂේත්‍රයේ මෙන් ම මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගමේ සේවය කර ඇති චන්න ද සිල්වා මහතා පසුව අයිබීඑම් සමාගමට බැඳුණේය.

    චන්න ද සිල්වා ඉන් පසුව එක් වූයේ ලංකා ක්ලියර් (LankaClear) සමාගමටයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව හා බලපත්‍ර ලත් වාණිජ බැංකුවලට අයිති සමාගමකි. 2002 වර්ෂයේ දී මෙම සමාගම ඒ වන විට මහ බැංකුව විසින් සිදු කළ ශ්‍රී ලංකාවේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය ස්වයංකෘත කිරීම ආරම්භ කළේය. ලංකා ක්ලියර් සමාගම ආරම්භ කළ අනිත් සේවාව වූයේ එක් දින මුදල් හුවමාරුවට ඉඩ ලබා දුන් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියයි (SLIPS). මෙම සමාගම තැබූ තවත් වැදගත් පියවරක් වූයේ ලංකා පේ (Lanka Pay) නම් පොදු ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ස්විචයයි. දැන් ලංකා ක්ලියර් තුළින් සියලු ම බැංකු හා ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර 98%ක්ම සම්බන්ධ කර තිබේ. ලංකා ක්ලියර් සමාගමේ මූලික අරමුණ වූයේ සියලු මූල්‍ය කටයුතු එක්තැන් කිරීමත් සුරක්ෂිත ආකාරයකට තාක්ෂණය මත පදනම් වූ ගෙවීම් ක්‍රම ග්‍රාමීය පෙදෙස්වලට ගෙන යෑමත් ය.

    වැඩිදුර කියවන්න…