පරිගණක කර්මාන්තය

    • ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා

      ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ සාන්ත බෙනඩික් විද්‍යාලයේ හා පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේය. පරිගණක පිළිබඳ ඔහුගේ උනන්දුව ඇති වූයේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් ලෙස 1967 දී ප්‍රතිසම පරිගණකයක් භාවිතා කරමින් පැවරුමක් කිරීමට සිදු වූ අවස්ථාවේයි.

      බෙල්ජියන් රජයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් යටතේ 1979/80 දී ප්‍රනාන්දු මහතා තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ දී (AIT) පරිගණක යෙදුම් හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ය. ඔහුගේ නිබන්ධයේ මාතෘකාව වූයේ “ශ්‍රී ලංකාවේ පරිගණක යෙදුම් සඳහා ඇති සම්පත් පිළිබඳ සමික්ෂණය“ යන්නයි. මෙහි ක්ෂේත්‍ර කටයුතු සඳහා අරමුදල් සපයන ලද්දේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අයිබීඑම් වර්ල්ඩ් ට්‍රේඩ් කෝපරේෂන් මගිනි. මෙම උපාධිය ලබා ගැනීමෙන් පසු ප්‍රනාන්දු මහතා 1980 අග භාගයේ දී ශ්‍රී ලංකාවේ අයිබීඑම් (IBM) සමාගමට බැදුණි. විවිධ තනතුරු දරමින් 2012 දක්වා අවුරුදු 32ක් ඔහු ඉන්දියාව, හොංකොං, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ අයිබීඑම් සමාගමේ සේවය කර තිබේ. අවසාන අවුරුදු හතරේ දී ප්‍රනාන්දු මහතා අයිබීඑම් (IBM) සමාගමේ කාර්ය මණ්ඩල පුහුණු කරුවෙක් ලෙස ලෝකයේ විවිධ ස්ථානවලට සංචාරය කර තිබේ.

      ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ ඔහුගේ ජීවිතය, 1968 වසරේ සිට ශ්‍රී ලංකාවේ පරිගණක ඉතිහාසයට සමාන්තරව දිව යන බවයි. ඔහු ලංකාවේ මුලින් ම ක්‍රියාත්මක වූ අයිසීඑල් (ICL) පරිගණක වල සිට වෑන් මධ්‍ය (WANG Mini) පරිගණක හරහා අයිබීඑම් (IBM) පරිගණක දක්වා ලංකාවේත් පිටරටත් කටයුතු කර තිබේ. 

      ප්‍රනාන්දු මහතා 1967 සිට 1973 දක්වා කාලය තුළ ආධුනික පරිගණක ඉන්ජිනේරුවෙක්, පරිගණක ඉන්ජිනේරුවෙක් හා අයිසිඑල් (ICL) ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන පරිගණක ඉන්ජිනේරු ලෙසත් සේවය කර ඇත. 1973 සිට 1976 දක්වා කාල තුළ ඉන්දුනීසියාවේ අයිසීඑල් (ICL) සමාගමේ පරිගණක ඉන්ජිනේරු කළමනාකරු ලෙස සේවය කළේය. අයිබීඑම් (IBM) ශ්‍රී ලංකා ආයතනයේ ආධුනික නියෝජිතයෙක්, නියෝජිතයෙක් හා 1980 සිට 1985 දක්වා අලෙවි කළමනාකරු ලෙස ද 1988-90 කාලයේ පාරිභෝගික මෙහෙයුම් කළමනාකරු ලෙසද 1995 සිට 1998 දක්වා සාමාන්‍යාධිකාරී ලෙසද කටයුතු කර තිබේ. 1986 සිට 1988 දක්වා අයිබීඑම් (IBM) සමාගමේ අග්නිදිග ආසියානු කලාපයේ ව්‍යාපාර සැලසුම් කළමනාකරු ලෙස ද 1993 සිට 1995 දක්වා අයිබීඑම් ආසියාන් (IBM ASEAN) හි සන්නාම කළමනාකරු ලෙසද 1998 සිට 2008 දක්වා අයිබීඑම් ආසියා පැසිෆික් හි පොදු ව්‍යාපාර කළමනාකරු ලෙසද 2009 සිට 2012 දක්වා අයිබීඑම් වර්ල්ඩ්වයිඩ් (IBM World Wide) හි අලෙවි හා ඉගෙනුම් පහසුකරුවෙක් ලෙසද සේවය කර තිබේ.

      2004 වර්ෂයේ සිට ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි. ඔහු ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ආරම්භක අධ්‍යක්ෂවරයෙක් මෙන් ම හිටපු මහ මණ්ඩල සාමාජිකයෙක් වේ. වෘත්තිය වශයෙන් ප්‍රනාන්දු මහතා වරලත් ඉන්ජිනේරුවෙක්, පරිගණක සංගමයේ අධි සාමාජිකයෙක් හා සිංගප්පූරුවේ බේරුම්කරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙක් ද වේ. ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයේ සහතික ලත් කුසලතා ඇගයුම් කරුවකු ද වන ප්‍රනාන්දු මහතා රටවල් 8ක ජීවත් වෙමින් වැඩ කර ඇති බැවින් තමා ලෝක පුරවැසියෙක් ලෙස සලකයි.

      වැඩිදුර කියවන්න…
    • ලක්ෂ්මන් හෙටිටිආරච්චි මහතා


       

       

      ලක්ෂ්මන් හෙට්ටිආරච්චි මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙක්, බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් හා නීතිඥයෙක් ද වේ. 1979 වර්ෂයේ මූල්‍ය හා පරිපාලන කළමනාකරු ලෙස අයිබීඑම් (IBM) සමාගමට බැදුණු ඔහු එහි ගිණුම් හා අයවැය සම්බන්ධ කටයුතුවල නිරත විය. පසුව අලෙවිකරණ ක්ෂේත්‍රයට පිවිසී හෙට්ටිආරච්චි මහතා අවසානයේ අයිබීඑම් ශ්‍රී ලංකා සමාගමේ දේශීය කළමනාකරු විය.

       

       

       

    • යසා කරුණාරත්න මහතා

      යසා කරුණාරත්න මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේයි. 1967 වර්ෂයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබා ගත් ඔහු අවුරුදු දෙකක් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා හා ගණිත අංශවල සේවය කළේය. ඉන් පසු ඔහු බැඳුණේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවටයි. මෙය ඒ වන විට රටේ පරිගණකයක් තිබු එකම රාජ්‍ය ආයතනය වු අතර යසා කරුණාරත්න මහතා ඔහුගේ පරිගණක වෘත්තිය ජීවිතය ආරම්භ කළේ මෙහිදීය.

      1970 වර්ෂයේ දී කරුණාරත්න මහතා ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට එක් වූ අතර 1971 ජන සංගණනය සැලසුම් කිරීමේ වගකීම දැරුවේ ඔහුයි. 1972 දී පද්ධති විශ්ලේෂකයෙකු ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බැදුණු කරුණාරත්න මහතා පසුව එහි දත්ත සැකසුම් කළමනාකරු විය. ඇමරිකා එක්සත් ජනපදයේ කෙලොරාඩෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා ඔහුට 1979 දී එක්සත් ජාතීන්ගේ අධි ශිෂ්‍යත්වයක් ලැබුණු අතර ඔහු 1980 දී පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය. ඇමරිකාවේ සිටි කාලයේ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාර්ග සැලසුම් පද්ධතිවල සංඛ්‍යාත්මක පූර්ණත්වය පිළිබඳ උපදේශක ව්‍යාපෘතියක කරුණාරත්න මහතා තොරතුරු විශේෂඥයෙක් ලෙස කටයුතු කළේය. 1981 වර්ෂයේ පෙරලා ලංකාවට පැමිණි ඔහු 1983 දී සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් (ETF) මණඩලයට බැදුණි. 2001 වර්ෂය වන තුරු ඔහු එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිගණක සේවා) ලෙස සේවය කළේය. මේ කාලයේ කරුණාරත්න මහතා වෙනත් ආයතනවලට උපදේශක සේවා සැපයූ අතර ලංකා බැංකුවේ පළමුවැනි ජංගම ගිණුම් පද්ධතියේ උපදේශකයා වූයේ ඔහුයි. බොහෝ ශ්‍රී ලාංකික මෙන් ම ජාත්‍යන්තර සංවිධාන හා රජයේ ආයතනවලට ඔහු උපදේශන සේවා සපයා තිබේ. 1984 දී කරුණාරත්න මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාතික උපදේශකයෙක් ලෙස සේවය කර ඇති අතර විවිධ අංශවල තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීමට ද ඔහු කටයුතු කර තිබේ.

      යසා කරුණාරත්න මහතා 1976 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පරිගණක සංගමයේ පුරෝගාමි ප්‍රධාන චරිතයක් විය. දශක තුනක් තිස්සේ ඔහු එහි මහ මණ්ඩලයේ සේවය කර තිබේ. 1991 සිට 1999 දක්වා ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති වූයේ කරුණාරත්න මහතායි. ඔහු සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි විය. ඔහුගේ මෙවැනි එක් අදහසක් වූයේ විදේශීය මෘදුකාංග තරග සඳහා පාසල් සිසුන් යැවීමයි. බොහෝ බාධක ජය ගනිමින් 1990 දි මෙම අදහස ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකි විය. ඔහුගේ අධිෂ්ඨානය මල් පල ගන්වමින් 1995 දී කලාපයේ රටවල් ගණනාවක් පරදවා ජාත්‍යන්තර මෘදුකාංග තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ කණ්ඩායම සමත් වූයේය. අනිත් ජයග්‍රහණය ලෙස සඳහන් කළ හැක්කේ ශ්‍රී ලංකා පරිගණක සංගමය සඳහා නවීන ගොඩනැගිල්ලක් ලබා ගැනීමයි. එයට පෙර පරිගණක සංගමය කටයුතු කලේ වෘත්තීය සංගම් සංවිධානයේ ගොඩනැගිල්ලේ කාමරයක සිටයි. යසා කරුණාරත්න මහතාගෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමයට ලැබුණු දායකත්වය ඇගයීමක් වශයෙන් 2001 වර්ෂයේ දී ඔහුට සංගමයේ ගෞරව අධි සාමාජිකත්වය පිරිනමන ලදී. 1989 වර්ෂයේ සිට වෘත්තික සංගම් සංවිධානය තුළ පරිගණක විද්‍යා අංශය නියෝජනය කළ සාමාජිකයා වූයේ කරුණාරත්න මහතායි.

      1992 ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය සංවිධානය කර කිරීමට උදව් කරන ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා කරුණාරත්න මහතාට ආරාධනය කළේය. ප්‍රධාන සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙස හා ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණයේ සභාපති ලෙස ඔහු පත් කරන ලදී. එය ඉතා සාර්ථක සම්මන්ත්‍රණයක් විය.

      1992 ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය සංවිධානය කර කිරීමට උදව් කරන ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා කරුණාරත්න මහතාට ආරාධනය කළේය. ප්‍රධාන සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙස හා ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණයේ සභාපති ලෙස ඔහු පත් කරන ලදී. එය ඉතා සාර්ථක සම්මන්ත්‍රණයක් විය.

      2002 වර්ෂයේ දී අග්නිදිග ආසියා කලාපීය පරිගණක සම්මේලනයේ මහලේකම් ලෙස කරුණාරත්න මහතා තෝරා පත් කර ගත් අතර ලේකම් කාර්යාලය පවත්වා ගෙන යෑමේත්, විවිධ රටවල කටයුතු සම්බන්ධීකරණය කිරීමේත් වගකීම පැවරුණේ ඔහුටයි. කරුණාරත්න මහතා තොරතුරු සැකසීම සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනයේ (IFIP) අග්නිදිග ආසියා කලාපය නියෝජනය කළේය. විවිධ රටවල මෙම කටයුතුවලට සහභාගී වීම නිසා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණ සඳහා විශිෂ්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් කැඳවා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට ප්‍රයෝජනවත් වන වැඩමුළු සංවිධානය කිරීමට ද ඔවුන්ට ආරාධනය කරන ලදී. කලාපයට යසා කරුණාරත්න මහතා ලබා දුන් දායකත්වයට ගරු කිරීමක් ලෙස ඔහු අග්නිදිග ආසියා පරිගණක සම්මේලනයේ විශිෂ්ට අධි සාමාජිකත්වය පිරිනමන ලදී. මෙම ගෞරවනීය සම්මානය ලැබූ එක ම තැනැත්තා කරුණාරත්න මහතායි.

      වෘත්තිය සංගම් සංවිධානයෙන් පවත්වනු ලැබූ 2013 විද්‍යාවේ හා තාක්ෂණයේ වෘත්තිය විශිෂ්ටත්වය සඳහා වු ජාතික සම්මානය ද ඔහුට පිරිනමන ලදී.

      1993 සිට 1999 දක්වා කාලයේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඉහළම ආයතනය වූ තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) සාමාජිකයෙක් ලෙසද කරුණාරත්න මහතා කටයුතු කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ, විදුලි සංදේශ සැපයුම්කරුවන්ගේ හා අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ නියෝජනයක් සහිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමයේ (SLICTA) ආරම්භක සභාපති වුයේත් කරුණාරත්න මහතායි.

      අනාගතය සම්බන්ධයෙන් කරුණාරත්න මහතා කියා සිටියේ රථවාහන නිෂ්පාදන කර්මාන්තය වැනි බොහෝ කර්මාන්ත වල මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණය හා රොබෝවන් යොදා ගන්නා ආකාරයට ම අද වෘත්තිකයන් කරන කටයුතු සඳහා ද තාක්ෂණය යොදා ගත හැකි බවයි. මේ නිසා වෘත්තිකයන් මුහුණ දි ඇති අභියෝගය වන්නේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීමට නව තාක්ෂණය යොදා ගත හැකි ආකාරය ගවේෂණය කිරීමයි.

      වැඩිදුර කියවන්න…
    • අභය අමරදාස මහතා

      කොළම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අභය අමරදාස මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) සාමාන්‍යාධිකාරී වේ. පාසලේ දී මුද්‍රණ ශිල්පය ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණු බැවින් අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කළ අතර 1980 දෙසැම්බර් මාසයේ එම රැකියාව ලැබුණි. ඔහුගේ වෘත්තිය උනන්දුව තිබුණේ චිත්‍රක කලාව හා මුද්‍රණ තාක්ෂණ ශිල්පය ගැනයි. අමරදාස මහතා ඔෆ්-සෙට් ලිතොග්‍රාෆ්, මුද්‍රණය සඳහා සැලසුම්, පිරිවැය හා ඇස්තමේන්තු කිරීම හා චිත්‍රක පුනර්-ඡායාරූපකරණය ඇතුළු මුද්‍රණ තාක්ෂණය පිළිබඳ තෘතීයික පාඨමාලා හදාරා තිබේ. මේ සඳහා ඔහු පළමු පන්තියේ ස්වර්ණ සම්මාන ද දිනා ගෙන ඇත. රජත සම්මානයක් සහිත ව මුද්‍රණ තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ද ලබාගෙන තිබේ.

      අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ සේවය කළ කාලයේ සිංහල හා ඉංග්‍රීසි පුවත් පත් සඳහා තේරීම සහිත වර්ගීකෘත දැන්වීම් ක්‍රමයක් (classified advertisements with sorting) හඳුන්වා දුන්නේය. වර්ගීකෘත දැන්වීම් තේරීමට භාජනය කළ හැකි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පුවත්පත්වලට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. 1995 සැප්තැම්බර් 4 වන දින පළමු වරට ලංකා ඉන්ටර්නෙට් මගින් ‘ඩේලි නිවුස්‘ හා ඉරිදා ‘ඔබ්සර්වර්‘ පුවත්පත් අන්තර්ජාලයේ පළ කරන ලදී. මේවා දකුණු ආසියාවේ අන්තර්ජාලයේ පළ කළ මුල්ම පුවත්පත් වේ. එතැන් සිට නොකඩවා මෙම පුවත් පත් අන්තර්ජාලයේ පළ විය. ‘දිනමිණ‘ නම් සිංහල යුනිකෝඩ් ෆොන්ටය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් නිපදවා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට දෙන ලද අතර දැන් එය පරිශීලකයන්ට නොමිලේ භාවිතා කළ හැකි වේ.

      වැඩිදුර කියවන්න…
    • ජගත් රණවක මහතා

      කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ජගත් රණවක මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් ලබා ගත්තේය.

      ඔහු 1985 වර්ෂයේ මැයි මාසයේ දී සීමාසහිත ජගත් රොබොටික්ස් (පුද්) සමාගම යන නමින් තමාගේ ම සමාගමක් ආරම්භ කළේය. පරිගණක දෘඪාංග නිෂ්පාදනය හා අලෙවිය, මෘදුකාංග සංවර්ධනය ආදි ක්ෂේත්‍රයන්හි නියැලුණු මෙම සමාගමේ කළමනාකාරිත්වය පිළිබඳ ව ඔහුට අවුරුදු තිහකට වැඩි අත්දැකීම් තිබේ. මෙම සමාගමේ කාර්ය මණ්ඩලයේ සිය දෙනෙකුට වැඩි පිරිසක් සේවය කළෝය.

      වෘත්තීය මෘදුකාංග විසඳුම් සකස් කිරීම අතින් රණවක මහතාට අවුරුදු තිහකට වැඩි පළපුරුද්දක් තිබේ. මේවාට අවශ්‍යතා හඳුනා ගැනීම, විශ්ලේෂණය, සැලසුම් කිරීම, ලේඛන ගත කිරීම, පරීක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදිය ඇතුළත් විය. ඉලෙක්ට්‍රොනික ක්‍රම පදනම් වූ කම්හල් ස්වයංකෘත පද්ධති සැලසුම් කිරීම අතින් ද ඔහුට අවුරුදු ගණනාවක අත්දැකීම් තිබේ. මේ අතර රුසියාවේ රෝහල් සඳහා පරිගණක පද්ධති සැපයීම, කෙන්යාවේ හෝටල්වලට කළමනාකරණ මෘදුකාංග/දෘඪාංග සැපයීම හා සිංගප්පූරුවට දෘඪාංග හා මෘදුකාංග සැපයීම ද වේ.

      ශ්‍රී ලංකාවේ මෘදුකාංග සකස් කිරීමේ යෙදී සිටි කීප දෙනෙක් සමග එක්ව පිහිටුවා ගත් ශ්‍රී ලංකා මෘදුකාංග කර්මාන්ත සංගමයේ (SLASI) ආරම්භක සභාපතිවරයා වූයේ ජගත් රණවක මහතායි. ඔහු ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) අධි සාමාජිකයෙක් ද වේ.

      වැඩිදුර කියවන්න…
    • ලාල් චන්ද්‍රනාත් මහතා

      ලාල් චන්ද්‍රනාත් මහතා සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සහ ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් මෘදුකාංග තාක්ෂණ සමාගමේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයෙකි. 1978 දී සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් (DMS) සමාගමේ ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි මාසය දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. 1981 දී සීමාසහිත ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ආරම්භ කළ කණ්ඩායම් සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. පසුව 2014 දී චන්ද්‍රනාත් මහතා ඩී.එම්.එස්. සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජීස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ / සාමාන්‍යාධිකාරී ලෙස පත් කරන ලද අතර වේගවත් වර්ධනයට ඉඩ සැලසූ බොහෝ අංශ ආවරණය කරමින් ඔරකල් කෝපරේෂන් සමඟ ව්‍යාපාරික ගිවිසුම් සාකච්ඡා කිරීමටද ඔහු දායක විය. චන්ද්‍රනාත් මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ වසර 40 කට වැඩි කාලයක් සේවය කර ඇති අතර ඉංජිනේරු, පාරිභෝගික සහාය, මෘදුකාංග සංවර්ධනය, විකුණුම් හා අලෙවිකරණය සහ කළමනාකරණය සහ නායකත්වය වැනි තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් ලබා ඇත.

      චන්ද්‍රනාත් මහතා 1992-1996 දක්වා සහ 1999-2000 දක්වා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) මහා මණ්ඩල සාමාජිකයෙකුද විය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ රජයේ ඉහළම ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්වගාමි ආයතනයයි. චන්ද්‍රනාත් මහතා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC)  තොරතුරු ඔලිම්පියාඩ් ජාතික කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු ශ්‍රී ල‍ංකා පරිගණක සංගමයේ සාමාජිකයෙකු හා සභාපතිවරයෙකුද විය. ආසියානු හා ජාත්‍යන්තර මෘදුකාංග තරඟවලට සහභාගී වූ ශ්‍රී ලංකා ශිෂ්‍ය කණ්ඩායම්  ශ්‍රී ලංකාව සඳහා රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූයේ චන්ද්‍රනාත් මහතාගේ පුහුණු කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

      චන්ද්‍රනාත් මහතා මහනුවර කිංස්වූඩ් විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහු විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගැනීමට සමත් විය. පිලිපීනයේ ආසියානු කළමනාකරණ ආයතනයේ පොදු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් ද ඔහු හදාරා තිබේ.

      වැඩිදුර කියවන්න…
    • නිරන්ජන් ද සිල්වා මහතා

      නිරන්ජන් ද සිල්වා මහතා මෙට්‍රොපොලිටන් කම්පියුටර්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඔහුගේ පළමු උපාධිය එක්සත් රාජධානියෙන් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ශාස්ත්‍රපති (MBA) උපාධියක් ලබා ඇත. නිරන්ජන් 1981 පෙබරවාරි මාසයේදී ඉංජිනේරුවෙකු ලෙස මෙට්‍රොපොලිටන් සමූහයට සම්බන්ධ විය.
      නිරන්ජන් මෙට්‍රොපොලිටන් සමාගමට සම්බන්ධ වන විට, බැංකු උපකරණ ලෙජර් කාඩ් සහ මුද්‍රණ යන්ත්‍ර සැපයීමේ ඒකාධිකාරිය තිබුණේ මෙට්‍රොපොලිටන් සමාගමටයි. 1982 දී ලංකා බැංකුව (BOC) ස්වයංකෘත (automate) කිරීමට තීරණය කිරීමෙන් පසුව ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් සහිත පරිගණකයක් ලබා ගැනීමට 1983 මුල් භාගයේදී ටෙන්ඩරයක් කැඳවූයේය. මෙට්‍රොපොලිටන් සමාගම මේ සඳහා ෆුජිට්සු ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් සමග කැනන් ඒඑස්-100 පරිගණකයක් ඉදිරිපත් කළේය. නිරන්ජන් ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම මෙට්‍රොපොලිටන් සමාගම සඳහා මෙම ටෙන්ඩරය දිනා ගැනීමට සමත් වුවද, ඔවුන් ඉදිරිපත් කරන විසඳුම ප්‍රායෝගිකව පෙන්වීම සඳහා ලංකා බැංකුව ලබා දුන්නේ සතියක කාලයක් පමණි. මෙය ආරම්භක ඉදිරි පියවරක් වූ අතර එය ලංකා බැංකුව සහ අනෙකුත් බැංකු පරිගණක ගත කිරීමේ ආරම්භය ද විය.
      නිරන්ජන් ද සිල්වා මහතා ආරම්භ කළ තවත් අභියෝගාත්මක ව්‍යාපෘතියක් වූයේ විදුලි බිල්පත් සඳහා වූ “මාර්ගගත බිල්පත් ක්‍රමය” යි. මෙම ව්‍යාපෘතිය හරහා ලංකා විදුලිබල පුද්ගලික සමාගමේ (ලෙකෝ) පාරිභෝගිකයෙකුට විදුලි බිල ලබා දීමේ ක්‍රියාවලිය වෙනස් කරන ලද අතර එමඟින් බිල්පත තැපැල් කිරීම වෙනුවට මීටර කියවන්නා පාරිභෝගිකයාගේ නිවසට ගිය අවස්ථාවේම පාරිභෝගිකයාට බිල්පත ලැබුණි. නිරන්ජන් ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම මෙම ටෙන්ඩරයද මෙට්ට්‍රොපොලිටන් සමාගමට ලබා ගත්තේය.
      නිරන්ජන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු භාණ්ඩාගාරික, උප සභාපති සහ අවසානයේ එහි සභාපතිවරයා ද විය. ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) යටතේ නිරන්ජන් සම්බන්ධ වූ වඩාත්ම අභියෝගාත්මක කාර්යය වූයේ 1995 දී අග්නිදිග ආසියානු කලාපීය පරිගණක සම්මේලනය (SEARCC) සංවිධානය කිරීමයි.
      නිරන්ජන් ද සිල්වා මහතා පවසන්නේ මෙට්‍රොපොලිටන් සමූහයේ සාමාජිකයෙකු වීමට ලැබීම සතුටට කරුණක් බවත් එය නව තාක්‍ෂණය හා නව විසඳුම් කෙරෙහි අවධානය යොමු කළ සමාගමක් බවත්ය. නිරන්ජන් මේ වන විට ජපන් සමාගමක් වන ‘ඇඩම් ඉනවේෂන්’ සමාගම සමග කටයුතු කරන අතර ජපානයේ පළමු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ උද්‍යානය ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ද දැනටමත් එහි ක්‍රියාත්මක වේ.

      වැඩිදුර කියවන්න…
    • චන්දන වීරසිංහ මහතා

      චන්දන වීරසිංහ මහතා ඩී.එම්.එස්. ඉලෙක්ට්‍රොනික්ස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ/ සාමාන්‍යාධිකාරීවරයායි. ඔහු නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චන්දන පළමු වරට පරිගණක පද්ධති හා සම්බන්ධ වූයේ මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙතු ලෙස සිටියදීය. ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් ලබා ගැනීමට ඔහු සමත් විය. උපාධිය ලැබීමෙන් පසු චන්දන 1984 දී දත්ත කළමනාකරණ පද්ධති (DMS) සමාගමේ ඉංජිනේරුව‍ෙකු ලෙස සම්බන්ධ විය. ඉන් අනතුරුව චන්දනා වීරසිංහ මහතා එවකට එම (DMS) සමාගම විසින් අලෙවි කරන ලද වැන්ග් කුඩා පරිගණක පද්ධති සඳහා සහාය ලබා දීමේ නිරත විය.

      චන්දන වීරසිංහ මහතා නායකත්වය දුන් වැදගත් ව්‍යාපෘතියක් වූයේ සිංහල සහ දෙමළ භාෂා වැන්ග් පරිගණක පද්ධතිවලට හඳුන්වා දීමයි. පරිගණක කටයුතු සිංහල හා දෙමළ භාෂාවෙන් කිරීමට මේ අවස්ථාවේ ඉල්ලුමක් තිබුණි. ඉංග්‍රීසි භාෂාවට අමතරව පරිගණකවලට වෙනත් භාෂා ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටි වැන්ග් ගෝලීය (Wang global) කණ්ඩායම සමග චන්දන සහ ඔහුගේ කණ්ඩායම සම්බන්ධ විය. මෙම ව්‍යායාමය ප්‍රධාන වශයෙන් පද සැකසීම සඳහා විය. මෙම පැකේජයේ සියලු කටයුතු නිමා කර එය දියත් කිරීමට නියමිතව තිබූ නමුත් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිබඳ නඩුවක් නිසා ඒ කටයුතු නතර කිරීමට සිදු වූයේය. වසරකට පමණ පසු මෙය අධිකරණයෙන් බැහැරව විසඳා ගන්නා ලදී. පසුව (DMS) සමාගම පුද්ගලික පරිගණක සඳහා දේශිය භාෂා මෘදුකාංග දියුණු කරන ලද අතර “මව්බිම” නම් සිංහල පැකේජයක් හා “තයිමෝලි නම් දෙමළ භාෂා පැකේජයක් හඳුන්වා දෙන ලදී.

      චන්දන වීරසිංහ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කළේය. මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය පිහිටුවීම සඳහා ක්‍රියා කළ කමිටුවේ ද ඔහු සමාජිකයෙක් විය. තොරතුරු තාක්ෂණ පීඨයේ බාහිර පීඨ මණ්ඩලයේ සාමාජිකයෙකු වූ වීරසිංහ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය.

      1990 දශකයේ අග භාගයේදී ශ්‍රී ලංකා පරිගණක සංගමයට (CSSL) බැදුණු චන්දන වීරසිංහ මහතා එම සංගමයේ අධිසාමාජිකයෙකි. ඔහු එම සංගමයේ උප සභාපති ලෙසත්, ලේකම් හා ශිෂ්‍ය උපදේශක ලෙසත් 2003 වර්ෂයේදී සභාපති ලෙසත් සේවය කර තිබේ.

      2003 දී ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන දියත් කළ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) ආරම්භ කරන ලදී. චන්දනා වීරසිංහ මහතා ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) නිල සාමාජිකයෙක් ලෙස එම ආයතනය අවසන් කිරීමේ ක්‍රියාවලියට සහභාගී වූ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පිහිටුවීම පිළිබඳ රැස්වීම්වලට ද සහභාගී විය.

      චන්දන වීරසිංහ මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) තොරතුරු තාක්ෂණ පිළිබඳ කමිටුවේ සාමාජිකයෙක් ද විය. මෙම කමිටුව දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළියෙල කිරීම සම්බන්ධයෙන් කටයුතු කළේය. කර්මාන්තයේ ප්‍රමිතිවල වැදගත්කම වීරසිංහ මහතා අවධාරණය කරයි. අවසාන වශයෙන් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව බොහෝ දුරක් ගමන් කර ඇති බවයි.

      වැඩිදුර කියවන්න…