ජගත් රණවක මහතා

කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ ජගත් රණවක මහතා කොළඹ විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යා උපාධියක් ලබා ගත්තේය.

ඔහු 1985 වර්ෂයේ මැයි මාසයේ දී සීමාසහිත ජගත් රොබොටික්ස් (පුද්) සමාගම යන නමින් තමාගේ ම සමාගමක් ආරම්භ කළේය. පරිගණක දෘඪාංග නිෂ්පාදනය හා අලෙවිය, මෘදුකාංග සංවර්ධනය ආදි ක්ෂේත්‍රයන්හි නියැලුණු මෙම සමාගමේ කළමනාකාරිත්වය පිළිබඳ ව ඔහුට අවුරුදු තිහකට වැඩි අත්දැකීම් තිබේ. මෙම සමාගමේ කාර්ය මණ්ඩලයේ සිය දෙනෙකුට වැඩි පිරිසක් සේවය කළෝය.

වෘත්තීය මෘදුකාංග විසඳුම් සකස් කිරීම අතින් රණවක මහතාට අවුරුදු තිහකට වැඩි පළපුරුද්දක් තිබේ. මේවාට අවශ්‍යතා හඳුනා ගැනීම, විශ්ලේෂණය, සැලසුම් කිරීම, ලේඛන ගත කිරීම, පරීක්ෂා කිරීම හා ක්‍රියාත්මක කිරීම ආදිය ඇතුළත් විය. ඉලෙක්ට්‍රොනික ක්‍රම පදනම් වූ කම්හල් ස්වයංකෘත පද්ධති සැලසුම් කිරීම අතින් ද ඔහුට අවුරුදු ගණනාවක අත්දැකීම් තිබේ. මේ අතර රුසියාවේ රෝහල් සඳහා පරිගණක පද්ධති සැපයීම, කෙන්යාවේ හෝටල්වලට කළමනාකරණ මෘදුකාංග/දෘඪාංග සැපයීම හා සිංගප්පූරුවට දෘඪාංග හා මෘදුකාංග සැපයීම ද වේ.

ශ්‍රී ලංකාවේ මෘදුකාංග සකස් කිරීමේ යෙදී සිටි කීප දෙනෙක් සමග එක්ව පිහිටුවා ගත් ශ්‍රී ලංකා මෘදුකාංග කර්මාන්ත සංගමයේ (SLASI) ආරම්භක සභාපතිවරයා වූයේ ජගත් රණවක මහතායි. ඔහු ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) අධි සාමාජිකයෙක් ද වේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ජගත් රණවක කුඩා කාලයේ සිටම ගුවන් විදුලි යන්ත්‍ර, කුඩා මෝටර රථ වැනි ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනවලට දැඩි ඇල්මක් දැක්වූයේය. 1969 දී රාජකීය විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගනුම ලබන අවධියේ ම ඔහු කැපිටල් රේඩියෝ ආයතනයේ තැපැල් මාර්ගික ඉලෙක්ට්‍රොනික ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරුවේ ය. බත්තරමුල්ලේ පිහිටා තිබූ මෙම ආයතනයේ අයිතිකරු වූයේ ජී. ඩී. ධර්මදාස මහතායි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්තිවල දී මූලික ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගත් ජගත් රණවක 1976 වසරේ භෞතික විද්‍යා උපාධියක් සඳහා ඉගෙනීමට කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී එහි දැන්වීම් පුවරුවේ තිබූ දැන්වීමකට ඔහුගේ අවධානය යොමු විය. එහි සඳහන් වූයේ භෞතික රසායන විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයෙක් වූ ආචාර්ය තුරෙයිසිංහම් රසායන විද්‍යාඥයින් සඳහා පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ දේශන පවත්වන බවයි. ජගත් රණවක ශිෂ්‍යයා මෙම දේශනවලට සහභාගී වු අතර පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ ව ඔහුට මුල් වරට අවබෝධයක් ලැබුණේ එහිදීය. දෙවැනි වසරේ දී ව්‍යවහාරික ගණිත පාඨමාලාවේ කොටසක් ලෙස ඔහු මහාචාර්ය වි. කේ. සමරනායකගෙන් ෆෝට්‍රාන් (FORTRAN) ක්‍රමලේඛනය ඉගෙන ගත්තේය. 1970 දශකයේ මැද භාගයේ විශ්ව විද්‍යාලයේ තිබුණේ කාඩ්පත් යන්තු පමණක් වූ අතර මේවා සම්පාදනය සඳහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට යවන ලදී. සම්පාදනය කරන ලද ක්‍රමලේඛය ශිෂ්‍යයන්ට ලැබුණේ මාසයකට පමණ පසුවයි.

උපාධිය ලබා ගැනීමෙන් පසු රණවක මහතා වැඩ කළ පළමුවැනි ආයතනය වූයේ කොළඹ 3 පිහිටි ඒඑම්එස් කොම්පියුටර් සර්විසස් (AMS Computer Services) සමාගමයි. මෙම සමාගම ලංකාවේ මුලින්ම පිහිටුවන ලද පරිගණක සමාගම් වලින් ඒකකි. මෙහි තිබු (ICL) පරිගණක කිලෝබයිට 2ක මතකයක් හා පටි ධාවක වලින් සමන්විත විය. සිහින් සිරුරක් තිබූ ජගත් රණවක මහතාට පරිගණක කාමරයේ (600F) දැඩි සීතල දරා ගැනීම අපහසු නිසා ඔහු ක්‍රමලේඛකයෙක් විය යුතු යයි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චන්ඩි විජේසේකර මහතා යෝජනා කළ බව ජගත් රණවක මහතාට මතක තිබේ. ඉන් පසු, එක්සත් ජනපදයේ පදනම් වූ, ඒටු ඉසෙඩ් (A to Z) කොම්පියටර් සර්විසස් මෘදුකාංග සංවර්ධන සමාගම උපාධිධාරීන්ට ඇයදුම් කරන ලෙස පළ කල දැන්වීමකට ප්‍රතිචාර දැක්වූ රණවක මහතා අයදුම්කරුවන් 300ක් අතරින් තෝරා ගත් 30 දෙනාට ඇතුළත් විය. මෙම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ වූයේ ආචාර්ය මායා සිත්තම්පලම් මහත්මියයි. පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ තුන් මාසයක පුහුණුවෙන් පසු රණවක මහතා එක්සත් රාජධානියේ ගනුදෙනුකරුවන් සඳහා කොබෝල් භාෂාවෙන් ක්‍රමලේඛන සකස් කළේය. කඩදාසිවල ලියන ලද මෙම ක්‍රමලේඛන එක්සත් රාජධානියේ දී පරිගණකයට ඇතුළු කර සම්පාදනය කරන ලදී. ඉන් අනතුරුව තවත් සමාගම් කීපයක සේවය කළ රණවක මහතා අවසානයේ සීමාසහිත ජගත් රොබොටික්ස් (පුද්) සමාගම නමින් තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කළේය. ඔහු සේවය කළ විවිධ ආයතන අතර නික්සඩෝෆ් පරිගණක තිබූ ඉන්ෆොමැටික්ස් සමාගම, කැනන් මයික්‍රො පරිගණකයත් තිබූ ත්‍රීඒකර් ෆාම්ස්, නෙක් පරිගණක තිබූ ෆෙන්ටන්ස් සමාගම, හා අර්නස්ට් ඇන්ඩ් විනි වරලත් ගණකාධිකාරි සමාගම ආදිය විය. මෙම ගණකාධිකරණ සමාගමේ පරිපාලිත සමාගමක් වූ එම්එස්එල් කොම්පියටර් සර්විසස් හි පද්ධති විශ්ලේෂකයෙක් ලෙස සේවය කරද්දී ජගත් රණවක මහතා මහජන බැංකුවේ ජාත්‍යන්තර අංශය හා මර්කන්ටයිල් ක්‍රෙඩිට් සමාගමේ කුලී මිලට ගැනීමේ පද්ධතිය පරිගණකගත කිරීමේ දී කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය. මෙම ආයතනවල අයිබීඑම් 34 හා 36 යන්ත්‍ර තිබූ අතර ක්‍රමලේඛනය කරන ලද්දේ ආර්පීජී (IBM RPGII) භාෂාවෙනි. අර්නස්ට් ඇන්ඩ් විනි ආයතනයේ සේවය කරන අතර ජගත් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජිකල් ස්ටඩීස් (ITS) ආයතනයේ සැන්දෑ පන්තිවලට යමින් දෑ අවුරුදු ඩිප්ලෝමාවක් යටතේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, ක්ෂුද්‍ර සකසන හා ක්ෂුද්‍ර පරිගණක තාක්ෂණය ඉගෙන ගත්තේය. මෙම ආයතනය එක්සත් ජනපදයේ තාක්ෂණික ආයතනයකට සම්බන්ධ විය.

ජගත් රණවක මහතා 1985 මැයි මාසයේ සීමාසහිත ජගත් රොබොටින්ස් සමාගම නම් තම ව්‍යාපාරය ආරම්භ කළේ පරිගණක දෘඪාංග හා මෘදුකාංග යන ක්ෂේත්‍ර දෙකේ ම නියැලීමටයි. සමාගමට මේ නම දෙන ලද්දේ “ජගත්” යන්නෙන් ජාත්‍යන්තර යන අදහසත් “රොබොටික්ස්” යන්නෙන් ස්වයංකෘත යන්නත් අදහස් වන බැවිනි. මෘදුකාංග සංවර්ධනයට පමණක් සීමා නො වුණු ජගත් (ශ්‍රී ලංකාවේ පළමුවරට) විවිධ රටවලින් ආනයනය කළ අයිබීම් අනුරූප පරිගණක. මුද්‍රක, ඩිජිටයිසර, ආදි පරිගණක උපාංග අලෙවි කිරීම ආරම්භ කළේය. ඒ අතරම ජේආර්එල් (JRL) යන වෙළඳ නාමය යටතේ විවිධ පරිගණක හා ඉලෙක්ට්‍රොනික උපකරණ ද නිපදවා අලෙවි කළේය. මේ අතර ලංකා දුම්කොළ සමාගමට දුම්වැටි ගණන් කිරීමේ ක්‍රමයක්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට හපුතලේ බෙරගල සවි කළ නායයෑම් අනතුරු ඇඟවීමේ පද්ධතියක් ආදි විවිධ ස්වයංකෘත ව්‍යාපෘති ද රණවක මහතා ක්‍රියාත්මක කළේය.

1986 පෙබරවාරි මාසය වන විට ජගත් රොබොටික්ස් සමාගමට පරිගණක සැපයීම සඳහා රජයේ අමාත්‍යංශවලින් ඇණවුම් ලැබෙන්නට විය. මේවා මෙම ආයතනවල සේවය කළ කළමනාකරුවන්, ඉන්ජිනේරුවන් හා වාස්තු විද්‍යාඥයින් ආදීන් පුහුණු කිරීම සඳහා විය. මෙයට හේතු වූයේ කොළඹ රාජකීය විද්‍යාලයේ 150 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත් වු ප්‍රදර්ශනයේ දී ජගත් රොබොටික්ස් සමාගමේ ප්‍රදර්ශන කුටියට එවකට අගමැති ප්‍රේමදාස මහතා පැමිණීමයි. එහිදී දුටු දෙයින් විස්මයට පත් අගමැතිතුමා ඔහු යටතේ තිබූ සියලු ම ආයතනවලට පරිගණක මිලදී ගන්නා ලෙසත් ඒවායේ ඉන්ජිනේරුවන් ජගත් රොබොටික්ස් සමාගමේ පුහුණු කරන ලෙසත් නියෝග කළේය. මෙම ඉන්ජිනේරුවන්ට විවිධ පරිගණක මෘදුකාංග භාවිතා කරමින් ඔවුන්ගේ කටයුතු කළ හැකි ආකාරය උගන්වන ලදී. ඔවුන් පුහුණු වූ මෘදුකාංග පැකේජයන් වූයේ Lotus123, Word Star, dBase II, AutoCad, Microfeap ආදියයි. ජගත් රණවක මහතාගේ ආයතනයේ පැවැත්වූ පරිගණක සාක්ෂරතා පාඨමාලා වෛද්‍යවරුන්. ගණකාධිකාරීත්. ව්‍යාපාර කළමනාකරුවන් හා ළමයින් ඇතුළු විවිධ කණ්ඩායම් අතර ඉතා ජනප්‍රිය විය. මෙම පන්තිවලට සහභාගී වු බොහෝ වෘත්තිකයන් ජගත්ගේ සමාගම එකලස් කළ පරිගණක මිලදී ගත්හ. රණවක මහතාට අමතරව මේ පාඨමාලාවල දේශන පැවැත්වු අය අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිවිල් ඉන්ජිනේරුවෙකු වූ එන් මදුසුදනන් මහතා, වරලත් ගණකාධිකාරීවරයෙක් වූ ශ්‍රී ලාල් අහන්ගම හා පරිමිත අංග විශ්ලේෂණය (Finite Element Analysis) පිළිබඳ ව ඉගැන්වූ ආචාර්ය දයා රණවීර ද විය.

ලෝකයේ විවිධ රටවලින් ආනයනය කළ උපාංග එකලස් කර නිපදවා ජේආර්එල් (JRL) යන වෙළඳ නාමය යටතේ අලෙවි කළ පරිගණක හා අනිකුත් උපකරණවලට 1988 වන විට රුසියාව හා නෙදර්ලන්තය ඇතුළු පිටරටවලින් පවා ඇණවුම් ලැබුණි. පරිගණක එකලස් කිරීමේ කටයුතු 1996 දී නතර කරන තෙක් ම මෙම සමාගම පරිගණක හා අනිකුත් උපාංග අපනයනය කළේ ය.

ජගත් රොබොටික්ස් ආයතනයෙන් පළමු පරිගණකය මිල දී ගත්තේ එවකට ජර්මේනියා (පුද්) සමාගමේ (වානේ ආනයනය කළ සමාගමක්) කළමනාකාර අධ්‍යක්ෂ වූ ආතර් සේනානායක මහතායි. ඒ 1985 වර්ෂයේදීයි. දෙවැනි පරිගණකය මිල දී ගත්තේ කොළඹ ගංගාරාම විහාරයේ ගරු ගලබොඩ ඥානිස්සර හිමියන් (පොඩි හාමුදුරුවෝ) විසිනි. ස්වාමීන් වහන්සේගේ අරමුණ වූයේ පන්සලේ දායකයන්ගේ ලිපින ලැයිස්තුවත් පවත්වා ගැනීමත් එම ලිපින මුද්‍රණය කර අලවා ලියුම් තැපැල් කිරීම පහසුවෙන් කර ගැනීමත් ය. පසුව ශිෂ්‍යයන්ට නොමිලේ පරිගණක විද්‍යාව උගන්වන පාසලක් ද පටන් ගැනීමට එම හිමියන්ට අවශ්‍ය විය. 1986 වර්ෂයේ ජගත් රොබොටික්ස් සමාගම පරිගණක හයකින් යුත් ජිනරතන වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය පන්සලේ ක්‍රියාත්මක කළේ ය.

එම වර්ෂයේ ම ජගත් රොබොටික්ස් සමාගම සපුතන්ත්‍රී එස්.පී. මහානාම විසින් සකස් කරන ලද සිංහල පද සකසනය අලෙවි කිරීම ආරම්භ කළේ ය. මහානාම මහතාට මහානාම සිංහල යතුරු පුවරුවට පේටන්ට් බලපත්‍රයක් තිබුණි. මෙම සිංහල පද සකසනය ශ්‍රී ලංකාවේ බොහෝ මුද්‍රණ ආයතන අතර ඉතා ජනප්‍රිය විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතා ද විරුද්ධ පක්ෂ නායකයා ලෙස කටයුතු කළ කාලයේ මෙම පද සකසනය භාවිතා කළේය. රාජපක්ෂ මහතා අගමැති ලෙස කටයුතු කළ 2000 වර්ෂයේ දී මෙම පද සකසනයේ පිටපතක් එතුමාට තෑගි කරන ලදී.

ජගත් රොබොටික්ස් සමාගම තම ප්‍රථම ශාඛාව 1988 වර්ෂයේ මාතර නගරයේ ආරම්භ කළේ ප්‍රංශ සමාගමක් (Alsthom Ratuae) විසින් ඉදි කළ නිල්වලා ගඟ සොරොව් මෙහෙයුම් ස්වයංකෘත කිරීමේ ව්‍යාපෘතියට සේවාවන් සැපයීමටයි. මෙයට සමාන්තරව දකුණු ලක පළමුවැනි පරිගණක පුහුණු මධ්‍යස්ථානය ද 1988 දී මාතර ආරම්භ කරන ලදී. මෙහි අරමුණ වූයේ දකුණේ ක්‍රමලේඛකයන්, පරිගණක ක්‍රියාකරවන්නන් හා වෘත්තිකයන් පුහුණු කිරීමත්, කාර්යාල හා වෙළඳසැල්වලට පරිගණක හා මෘදුකාංග අලෙවි කිරීමත් ය. මෙම ශාඛාවේ පාඨමාලා හැදෑරූ සියලු ම ශිෂ්‍යයන්ට එම පළාතෙන් ම රැකියා ලබා ගත හැකි වූයේය. ජගත් රොබොටික්ස් මාතර ශාඛාව ආරම්භ කර අවුරුද්දකට පමණ පසුව පොඩි හමුදුරුවන්ට ද මාතර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය විය. මේ සඳහා යොදා ගත්තේ නූපේ හන්දියේ තිබූ පැරණි වෙළඳපොළ ගොඩනැගිල්ලයි. 1989 පමණ වන විට ජගත් රොබොටික්ස් ආයතනය සංවිධානය කළ ප්‍රදර්ශන ආදිය නැරඹීමෙන් දකුණු පළාතේ බොහෝ ශිෂ්‍යයන්ට පරිගණක පිළිබඳ දැනීමක් තිබුණි. වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාවේ එහි නොමිලේ ඉගෙනීමට සිසුන් 6,500ක් ඉල්ලුම කර තිබුණත් මධ්‍යස්ථානය මිලදී ගෙන තිබුණේ පරිගණක හයක් පමණි. මෙම ගැටලුව විසඳන ලද්දේ යතුරුලියන 100ක් මිලදී ගෙන අයදුම්කරුවන් සියලු දෙනාටම සතියකට පැය භාගය බැගින් යතුරු ලියනත් පරිගණකත් ලබා දීමෙනි. මේ කාලය වන විට ජගත් රොබොටික්ස් සමාගම වතු අංශය සඳහා මෘදුකාග පිළියෙල කිරීම ද ආරම්භ කර තිබුණි. අනූවේ දශකයේ ආරම්භයේ ඔවුන් සත්කාරක සේවා අංශයට මෘදුකාංග සකස් කිරීම ආරම්භ කළේය. 1995 පමණ වන විට ලංකාවේ හෝටල් ගණනාවක් මෙන් ම කෙන්යාවේ හෝටල් කීපයක් ද JRL සමාගම විසින් පරිගණකගත කර තිබුණි. රාජ්‍ය වැවිලි අංශය පුද්ගලීකරණය කළ විගස ම හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් තලවකැලේ හොලිරූඩ් වත්තේ සුපිරින්ටැන්ඩන්ට් වු ඒ ආර් එම් අසාඩ් මහතා දෛනිකව ගෙවන කම්කරුවන්ගේ වැටුප් ගෙවීමේ ක්‍රමලේඛයක් සකස් කිරීමට ජගත් රොබොටික්ස් සමාගමට භාර දුන්නේය. මේ නිසා ඔවුන්ට පුද්ගලික අංශයේ වතු සමාගම් සමග කටයුතු කිරීමට අවස්ථාව සැලසුණි. 1996 වර්ෂයේ දී රණවක මහතා මෘදුකාංග අලෙවි කරන ක්‍රමවේදය වෙනස් කරමින් මෘදුකාංග සේවයක් ලෙස (SAAS) ලබා දීම ආරම්භ කළේය. මෙහි දී මෘදුකාංග කුලියට ගත් නිෂ්පාදනයක් ලෙස සලකන ලද අතර වත්තකට මෙම සේවය සඳහා මාසයකට ගෙවීමට සිදු වූයේ සුළු මුදලකි. දැනටත් රණවක මහතා මෙම සේවාව සපයන්නේ මේ ආකාරයටයි.

ශ්‍රී ලංකා මෘදුකාංග කර්මාන්ත සංගමය (SLASI)

එවකට ශ්‍රී ලංකා පරිගණක තොරතුරු හා තාක්ෂණවේද සභාවේ (CINTEC) සභාපති පදවිය දැරූ මහාචාර්ය වී. කේ. සමරනායකගේ සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිෂ්පාදනයේ යෙදී සිට තවත් හය දෙනෙක් සමග එක්වී 1994 වසරේ දී ජගත් රණවක මහතා ශ්‍රී ලංකා මෘදුකාංග කර්මාන්ත සංගමය පිහිටුවා එහි ආරම්භක සභාපති ලෙස පත් වූයේය.

මෙම සංගමය පිහිටුවා ගැනීමෙන් පසු එවකට ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ගරු කරු ජයසූරිය මහතාගේ ආරාධනයෙන් හා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ ලේකම් පී. ඩී ප්‍රනාන්දු මහතාගේ සහායෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට ජගත් රණවක මහතා ජර්මනියේ පැවති සීබිට් (Cebit) ප්‍රදර්ශනයට සහභාගී විය. ප්‍රදර්ශනයේ සංවිධායකයන් හමුවූ කරු ජයසුරිය මහතාට 1995 සිට ශ්‍රී ලංකා මෘදුකාංග ප්‍රදර්ශන කුටි පැවැත්වීමට ජර්මන් රජයේ මූල්‍ය අනුග්‍රහය ලබා ගත හැකි වූයේ ය. හෝටල් මෘදුකාංග සඳහා ජගත් රොබොටික්ස් සමාගමට අපනයන වෙළඳපොළට අවතීර්ණ වීමට හැකි වූයේ එලෙසයි.

අග්නිදිග ආසියානු කලාපීය පරිගණක සන්ධානය (SEARCC) 95

ජගත් රණවක මහතා 1995 දී ශ්‍රී ලංකා පරිගණක සංගමයේ විධායක කමිටු සාමාජිකයෙක් වූ අතර අග්නිදිග ආසියානු කලාපීය පරිගණක සන්ධාන සම්මන්ත්‍රණයේ හා ප්‍රදර්ශනයේ ලේකම්වරයා ද විය. මෙය ශ්‍රී ලංකාවේ පළමු වරට පවත්වනු ලැබූ විශාල ම ජාත්‍යන්තර පරිගණක සම්මන්ත්‍රණය විය. සභාපති යසා කරුණාරත්න, ලේකම් ජගත් රණවක හා මහාචාර්ය අභය ඉඳුරුව ඇතුළු කණ්ඩායමක් තම පුද්ගලික මුදල් වැය කරමින් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය ප්‍රවර්ධනය කිරීමට කලාපයේ රටවල් ගණනාවකට සංචාරය කළෝ ය.

ජගත් රොබොටික්ස් ආයතනය 1996 වර්ෂයේ දී දෘඪාංග නිෂ්පාදන හා අලෙවි අංශය වසා දැමුවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩවලට තිබූ අවාසි සහගත බදු නිසා ය. මෙයට අමතරව තම සමාගමට බැංකුවලින් පහසුකම් ලබාගත නො හැකි වූ බව ද ජගත් රණවක මහතා සිහි කරයි. මෙයට හේතු වූයේ ණය තොරතුරු කාර්යාංශයේ වැරදි ලැයිස්තු ගත කිරීමක් වුවත් එය අනාවරණය වූයේ 2006 වර්ෂයේදීය. ජගත් රණවක මහතා වැවිලි කර්මාන්ත අංශය සම්පූර්ණයෙන්ම ස්වයංකෘත කිරීමට අවශ්‍ය මෘදුකාංග දිගටම සකස් කළ අතර පුද්ගලික වැවිලි සමාගම්වලට සාධාරණ මිලකට කුලි පදනමකින් මෘදුකාංග සැපයූවේය. තේ හා රබර් වතු වඩාත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා නව ක්‍රමවේද යොදා ගනිමින් මෘදුකාංග සැපයීම ජගත් රොබොටික්ස් ආයතනයේ ප්‍රධාන කාර්යයකි. මේ වන විට ජගත් රොබොටික්ස් සමාගම ලංකාවේ වතු 200කට වැඩි ගණනක් පරිගණකගත කර තිබේ. ඔවුන්ගේ අනාගත සැලසුම් වන්නේ තොරතුරු ලබාගැනීම පහසු කිරීම සඳහා ජංගම දුරකථන හා වෙබ් මත පදනම් වූ යෙදුම් නිපදවීමයි.

ගැලරිය