යසා කරුණාරත්න මහතා

යසා කරුණාරත්න මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේයි. 1967 වර්ෂයේ ලංකා විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබා ගත් ඔහු අවුරුදු දෙකක් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා හා ගණිත අංශවල සේවය කළේය. ඉන් පසු ඔහු බැඳුණේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවටයි. මෙය ඒ වන විට රටේ පරිගණකයක් තිබු එකම රාජ්‍ය ආයතනය වු අතර යසා කරුණාරත්න මහතා ඔහුගේ පරිගණක වෘත්තිය ජීවිතය ආරම්භ කළේ මෙහිදීය.

1970 වර්ෂයේ දී කරුණාරත්න මහතා ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට එක් වූ අතර 1971 ජන සංගණනය සැලසුම් කිරීමේ වගකීම දැරුවේ ඔහුයි. 1972 දී පද්ධති විශ්ලේෂකයෙකු ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බැදුණු කරුණාරත්න මහතා පසුව එහි දත්ත සැකසුම් කළමනාකරු විය. ඇමරිකා එක්සත් ජනපදයේ කෙලොරාඩෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා ඔහුට 1979 දී එක්සත් ජාතීන්ගේ අධි ශිෂ්‍යත්වයක් ලැබුණු අතර ඔහු 1980 දී පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය. ඇමරිකාවේ සිටි කාලයේ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාර්ග සැලසුම් පද්ධතිවල සංඛ්‍යාත්මක පූර්ණත්වය පිළිබඳ උපදේශක ව්‍යාපෘතියක කරුණාරත්න මහතා තොරතුරු විශේෂඥයෙක් ලෙස කටයුතු කළේය. 1981 වර්ෂයේ පෙරලා ලංකාවට පැමිණි ඔහු 1983 දී සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් (ETF) මණඩලයට බැදුණි. 2001 වර්ෂය වන තුරු ඔහු එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිගණක සේවා) ලෙස සේවය කළේය. මේ කාලයේ කරුණාරත්න මහතා වෙනත් ආයතනවලට උපදේශක සේවා සැපයූ අතර ලංකා බැංකුවේ පළමුවැනි ජංගම ගිණුම් පද්ධතියේ උපදේශකයා වූයේ ඔහුයි. බොහෝ ශ්‍රී ලාංකික මෙන් ම ජාත්‍යන්තර සංවිධාන හා රජයේ ආයතනවලට ඔහු උපදේශන සේවා සපයා තිබේ. 1984 දී කරුණාරත්න මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ජාතික උපදේශකයෙක් ලෙස සේවය කර ඇති අතර විවිධ අංශවල තොරතුරු තාක්ෂණය ප්‍රචලිත කිරීමට ද ඔහු කටයුතු කර තිබේ.

යසා කරුණාරත්න මහතා 1976 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පරිගණක සංගමයේ පුරෝගාමි ප්‍රධාන චරිතයක් විය. දශක තුනක් තිස්සේ ඔහු එහි මහ මණ්ඩලයේ සේවය කර තිබේ. 1991 සිට 1999 දක්වා ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සභාපති වූයේ කරුණාරත්න මහතායි. ඔහු සභාපති ලෙස කටයුතු කළ කාලය තුළ බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි විය. ඔහුගේ මෙවැනි එක් අදහසක් වූයේ විදේශීය මෘදුකාංග තරග සඳහා පාසල් සිසුන් යැවීමයි. බොහෝ බාධක ජය ගනිමින් 1990 දි මෙම අදහස ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකි විය. ඔහුගේ අධිෂ්ඨානය මල් පල ගන්වමින් 1995 දී කලාපයේ රටවල් ගණනාවක් පරදවා ජාත්‍යන්තර මෘදුකාංග තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවේ කණ්ඩායම සමත් වූයේය. අනිත් ජයග්‍රහණය ලෙස සඳහන් කළ හැක්කේ ශ්‍රී ලංකා පරිගණක සංගමය සඳහා නවීන ගොඩනැගිල්ලක් ලබා ගැනීමයි. එයට පෙර පරිගණක සංගමය කටයුතු කලේ වෘත්තීය සංගම් සංවිධානයේ ගොඩනැගිල්ලේ කාමරයක සිටයි. යසා කරුණාරත්න මහතාගෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමයට ලැබුණු දායකත්වය ඇගයීමක් වශයෙන් 2001 වර්ෂයේ දී ඔහුට සංගමයේ ගෞරව අධි සාමාජිකත්වය පිරිනමන ලදී. 1989 වර්ෂයේ සිට වෘත්තික සංගම් සංවිධානය තුළ පරිගණක විද්‍යා අංශය නියෝජනය කළ සාමාජිකයා වූයේ කරුණාරත්න මහතායි.

1992 ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය සංවිධානය කර කිරීමට උදව් කරන ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා කරුණාරත්න මහතාට ආරාධනය කළේය. ප්‍රධාන සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙස හා ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණයේ සභාපති ලෙස ඔහු පත් කරන ලදී. එය ඉතා සාර්ථක සම්මන්ත්‍රණයක් විය.

1992 ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය සංවිධානය කර කිරීමට උදව් කරන ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා කරුණාරත්න මහතාට ආරාධනය කළේය. ප්‍රධාන සංවිධායක කමිටුවේ සාමාජිකයෙක් ලෙස හා ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණයේ සභාපති ලෙස ඔහු පත් කරන ලදී. එය ඉතා සාර්ථක සම්මන්ත්‍රණයක් විය.

2002 වර්ෂයේ දී අග්නිදිග ආසියා කලාපීය පරිගණක සම්මේලනයේ මහලේකම් ලෙස කරුණාරත්න මහතා තෝරා පත් කර ගත් අතර ලේකම් කාර්යාලය පවත්වා ගෙන යෑමේත්, විවිධ රටවල කටයුතු සම්බන්ධීකරණය කිරීමේත් වගකීම පැවරුණේ ඔහුටයි. කරුණාරත්න මහතා තොරතුරු සැකසීම සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනයේ (IFIP) අග්නිදිග ආසියා කලාපය නියෝජනය කළේය. විවිධ රටවල මෙම කටයුතුවලට සහභාගී වීම නිසා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණ සඳහා විශිෂ්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් කැඳවා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට ප්‍රයෝජනවත් වන වැඩමුළු සංවිධානය කිරීමට ද ඔවුන්ට ආරාධනය කරන ලදී. කලාපයට යසා කරුණාරත්න මහතා ලබා දුන් දායකත්වයට ගරු කිරීමක් ලෙස ඔහු අග්නිදිග ආසියා පරිගණක සම්මේලනයේ විශිෂ්ට අධි සාමාජිකත්වය පිරිනමන ලදී. මෙම ගෞරවනීය සම්මානය ලැබූ එක ම තැනැත්තා කරුණාරත්න මහතායි.

වෘත්තිය සංගම් සංවිධානයෙන් පවත්වනු ලැබූ 2013 විද්‍යාවේ හා තාක්ෂණයේ වෘත්තිය විශිෂ්ටත්වය සඳහා වු ජාතික සම්මානය ද ඔහුට පිරිනමන ලදී.

1993 සිට 1999 දක්වා කාලයේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඉහළම ආයතනය වූ තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) සාමාජිකයෙක් ලෙසද කරුණාරත්න මහතා කටයුතු කළේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ, තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ, විදුලි සංදේශ සැපයුම්කරුවන්ගේ හා අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ නියෝජනයක් සහිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමයේ (SLICTA) ආරම්භක සභාපති වුයේත් කරුණාරත්න මහතායි.

අනාගතය සම්බන්ධයෙන් කරුණාරත්න මහතා කියා සිටියේ රථවාහන නිෂ්පාදන කර්මාන්තය වැනි බොහෝ කර්මාන්ත වල මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණය හා රොබෝවන් යොදා ගන්නා ආකාරයට ම අද වෘත්තිකයන් කරන කටයුතු සඳහා ද තාක්ෂණය යොදා ගත හැකි බවයි. මේ නිසා වෘත්තිකයන් මුහුණ දි ඇති අභියෝගය වන්නේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීමට නව තාක්ෂණය යොදා ගත හැකි ආකාරය ගවේෂණය කිරීමයි.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


යසා කරුණාරත්න මහතා මූලික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේයි. එහිදී ඔහු ශිෂ්‍ය ක්‍රියාකාරකම්වල වැදගත් කාර්ය භාරයක් ඉටු කළ අතර ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ සභාපති ද විය. පසුව ලංකා විශ්ව විද්‍යාලයට ඇතුල් වූ ඔහු 1967 වර්ෂයේ දී විද්‍යාවේදි ගෞරව උපාධියක් ලබා ගත්තේය. ප්‍රතිඵල නිකුත් වීමටත් පෙර විශ්ව විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයට පත්වීමක් ලැබූ කරුණාරත්න මහතා එහි භෞතික විද්‍යා හා ගණිත අංශවල සේවය කළේය.

මේ කාලය තුළ පරිගණක පිළිබඳ උනන්දු වූ කරුණාරත්න මහතා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව විසින් පළ කළ පුවත්පත් දැන්වීමක් දුටුවේය. මෙය ඒ වන විට රටේ පරිගණකයක් තිබූ පළමු වැනි රාජ්‍ය ආයතනය යි. මෙම දැන්වීමට ප්‍රතිචාර දැක්වූ අයදුම්කරුවන් 400ක් පමණ සිටි අතර කරුණාරත්න මහතා ආධුනික පද්ධති විශ්ලේෂක/ක්‍රම ලේඛක තනතුර සඳහා තෝරා ගන්නා ලදී. මෙහිදී ඔහුට ආචාර්ය ආර්.බී. ඒකනායක, රන්ජන් පෙරේරා මහතා, නිමල් අමරසිංහ මහතා වැනි තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සමග වැඩ කිරීමේ අවස්ථාව ලැබුණි. කරුණාරත්න මහතා කියා සිටියේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ පරිගණකය ඉතා විශාල යන්ත්‍රයක් වූ අතර එහි 16 K මතකයක් හා පටි මෙහෙයුම් පද්ධතියක් තිබූ බවයි. නමුත් අද ඇති සුලබ ජංගම උපකරණවල පවා එමෙන් මිලියන වාරයකට වැඩි මතකයක් තිබේ. සංස්ථාව වෙනත් ආයතනවල කටයුතු භාර ගත් අතර (සේවා කාර්යාංශයක් ලෙස) 1969 දී අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සකසන ලද්දේ මෙම පරිගණකයේයි.

1970 වර්ෂයේ දි කරුණාරත්න මහතා ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ රැකියාවකට ඉල්ලුම් කළ අතර එහි ක්‍රමලේඛක තනතුරකට ඔහු පත් කරන ලදී. මෙම දෙපාර්තමේන්තුවේ 24K මතකයක් සහිත IBM 360 පරිගණකයක් තිබුණි. මෙම පරිගණකය බිම් මහලේ සවි කර තිබූ අතර පාසල් ශිෂ්‍යයන් හා වෙනත් අයට එය දැක ගැනීම සඳහා පළමුවැනි මහලේ නැරඹුම් මැදිරියක් තිබුණි. මෙම දෙපාර්තමේන්තුවේ දී ජනගහණය, නිවාස හා කෘෂිකර්මය පිළිබඳ 1971 සංගණනය සඳහා පද්ධතිය සැලසුම් කිරීමේ අභියෝගාත්මක කාර්යය ඔහුට පැවරුණි. ඔහු නියමිත කාලය තුළ එම කටයුතු නිම කළ අතර සංගණනය සාර්ථකව පවත්වන ලදී. අදාළ සියලුම කටයුතු කරන ලද්දේ සිදුරු කාඩ්පත් මගිනි. අතින් ක්‍රියාකරවන යන්ත්‍රවලින් ක්‍රමලේඛන කාඩ්පත්වලට ඇතුල් කර සම්පාදනය සඳහා පරිගණකයට යවන ලදී. මේ සඳහා යොදා ගත් සිදුරු කාඩ්පත් මිලියන 20ක් පමණ කාර්යාලය පුරා ගොඩ ගසා තිබූ බව කරුණාරත්න මහතාට මතක තිබේ.

කරුණාරත්න මහතා 1972 දී පද්ධති විශ්ලේෂකයෙක් ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට බැඳුණේය. එහි තිබුණේ ද IBM 360 පරිගණකයක් වන අතර ඔවුන් ද වෙනත් අයට සේවා සැපයීමට එය භාවිතා කලේය. මෙයින් එක් කාර්යයක් වූයේ ලංකා විදුලි බල මණ්ඩලයේ බිල්පත් සකස් කිරීමයි. රෑ තිස්සේ විදුලි බිල්පත් මුද්‍රණය කළ ආකාරය කරුණාරත්න මහතාට මතක තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ පරිගණකය විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ බිල්පත් මුද්‍රණය කිරීම ද සිදු කළේය.

කරුණාරත්න මහතාට 1979 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ කොලොරාඩෝ රාජ්‍ය විශ්ව විදයාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා එක්සත් ජාතීන්ගේ අධි ශිෂ්‍යත්වයක් ලැබුණි. 1980 දී එම විශ්ව විදයාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට ඔහු සමත් විය. එහි සිටිය දි විශ්ව විද්‍යාලය විසින් භාර ගන්නා ලද එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහා වූ උපදේශක ව්‍යාපෘතියක තොරතුරු විශේෂඥයා ලෙස ද ඔහු කටයුතු කළේය.

1981 දි ඛනිජ තෙල් සංස්ථාවේ සේවයට ආපසු පැමිණි කරුණාරත්න මහතා 1983 දී සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් (ETF) මණ්ඩලයට සම්බන්ධ විය. 2001 වර්ෂය වන තුරු කරුණාරත්න මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පරිගණක සේවා) ලෙස කටයුතු කළේය. මෙම මණ්ඩලයෙහි සේවය කරන අතර ඔහුට වෙනත් ආයතන සඳහා උපදේශක සේවා ලබා දිය හැකි වූයේය.

සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ තොරතුරු පද්ධතිය වැඩි දියුණු කළ යුතු වූ බැවින් ඒ ගැන අධ්‍යයනය කිරීමට කරුණාරත්න මහතා සිංගප්පූරුවට යවන ලදී. සිංගප්පූරුවේ මධ්‍යම අර්ථ සාධක අරමුදල, සේවකයන්ට බොහෝ ප්‍රතිලාභ ලබා දෙන ලෝකයේ ඇති හොඳම හා කාර්යක්ෂම අර්ථ සාධක අරමුදල් පද්ධතියක් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදලේ ද යොදා ගත හැකි අංග ගණනාවක් පිළිබඳ ව ඔහුට අධ්‍යයන කිරීමට ලැබුණි. මේ අනුව නවීන පහසුකම් සහිත නව පද්ධතියක් භාරකාර අරමුදල සඳහා ද හඳුන්වා දෙන ලදී.

ලංකා බැංකුවේ පළමුවැනි ජංගම ගිණුම් පද්ධතිය සඳහා යසා කරුණාරත්න මහතා එක් උපදේශකයෙක් විය. මෙම ව්‍යාපෘතියේ ඔහු සමග ලංකා බැංකුවේ ආචාර්ය ආර්.බී. ඒකනායක හා ජානක ද සිල්වා මහතා යන දෙදෙනා ද කටයුතු කළෝය. මෙම ව්‍යාපෘතිය ලංකා බැංකුවේ ශාඛාවල ක්‍රියාත්මක කරන ලද අතර අත් පද්ධති වෙනුවට පරිගණක ටර්මිනල යොදා ගැනුණි. 1985 සිට 1987 දක්වා කරුණාරත්න මහතා සේවය කළේ බෙකා වූලි ඉන්ටර්නැෂනල් නම් සමාගමක පද්ධති උපදේශක ලෙසයි. ඔවුන් සීමාසහිත ලංකා විදුලි (පුද්) සමාගමේ ද්විතීයික නගරවලට විදුලිය බෙදාහැරීමේ ව්‍යාපෘතියේ උපදේශකයන් විය. මෙම ව්‍යාපෘතිය තුළින් ශ්‍රී ලංකාවේ උපයෝගිතා බිල්පත් පද්ධතිවල විප්ලවකාරී වෙනසක් සිදුවු අතර ක්ෂණික බිල්පත් පද්ධතියක් හඳුන්වා දෙන ලදී. එනම් මීටර කියවන්නා මීටරය කියවූ වහාම පාරිභෝගිකයාට බිල්පත ලබා දීමයි. දැන් මෙම ක්‍රමය විදුලි බලය මෙන් ම ජල සැපයුම් සම්බන්ධයෙන් ද යොදා ගැනේ. මේ නිසා මාසයක් තුළ බිල්පත ගෙවිය හැකි අතර ඉක්මනින් ආදායම එකතු කර ගැනීමට ද හැකි වූයේය. නව පද්ධතිය ගෙන්වා සවි කිරීමට පෙර එයට සමාන පද්ධතියක් ලබා දෙන ලෙස පරිගණක සැපයුම්කරුගෙන් ඉල්ලා සිටින ලදී. මේ නිසා කාර්ය මණ්ඩලයට දත්ත ඇතුළු කර ගුරු ගොනු සකස් කිරීමට හැකි වීම නිසා අලුත් පද්ධතිය සවි කළ විගස ම ප්‍රමාදයකින් තොරව මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකි වූයේය. කරුණාරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ද්විතීයික අධ්‍යාපනය නවීකරණ ව්‍යාපෘතියේ හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ විද්‍යා හා තාක්ෂණ කාර්ය මණ්ඩල සංවර්ධන ව්‍යාපෘතියේත් උපදේශකයෙක් ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා පරිගණක සංගමය

1975 පමණ වන විට බොහෝ රටවල තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සඳහා වූ පරිගණක සංගම් බිහි වී තිබුණි. මේ නිසා ශ්‍රී ලංකාවේ පරිගණක වෘත්තිකයන් කිප දෙනෙකුගේ ද අදහස වූයේ ශ්‍රි ලංකාවේ ද පරිගණක සංගමයක් ඇරඹීමට කාලය පැමිණ ඇති බවයි. ඒ වන විට පරිගණක ක්ෂේත්‍රයේ සිටියේ වෘත්තිකයන් 30 – 40ත් පමණි. ඔවුන් සියල්ලන්ට ම මහ බැංකුවේ පැවත්වූ රැස්වීමකට ආරාධනය කරන ලද අතර එහිදී ශ්‍රී ලංකා පරිගණක සංගමයක් පිහිටුවීමට තීරණය කරන ලදී. මෙය ආරම්භක සාමාජිකයන්ගේ රැස්වීම ලෙස සැලකේ. මේ අනුව ව්‍යවස්ථාවක් සකස් කරන ලද අතර 1976 දි ශ්‍රී ලංකා පරිගණක සංගමය පිහිටුවන ලදී. යසා කරුණාරත්න මහතා මහ මණ්ඩල සාමාජිකයෙක් වූ අතර දශක තුනක් පුරා ඔහු මහ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබේ. 1991 සිට 1999 දක්වා ශ්‍රි ලංකා පරිගණක සංගමයේ සභාපති ලෙස කටයුතු කළේ යසා කරුණාරත්න මහතායි. සභාපති ලෙස ඔහු කටයුතු කළ කාලය තුළ බොහෝ ජයග්‍රහණ හිමි කර ගත හැකි විය. විදේශීය තොරතුරු තාක්ෂණ තරග සඳහා පාසල් සිසුන් යැවිය යුතු යයි 1990 දි ඔහු සංගමයේ මහ මණ්ඩලයට යෝජනා කළ නමුත් මේ සඳහා අරමුදල් සපයා ගැනීම දුෂ්කර වනු ඇතැයි යන මතය නිසා මෙම අදහස ප්‍රතික්ෂේප විය. නමුත් මෙය කළ යුතය යන මතයේ සිටි කරුණාරත්න මහතා කියා සිටියේ අරමුදල් සොයා ගත නො හැකි වුවහොත් මේ විදේශ සංචාරය සඳහා ඔහු අරමුදල් සපයන බවයි. මේ නිසා ඔහුගේ යෝජනාව පිළිගැනුණු අතර ජාතික කණ්ඩායම තෝරා ගැනීම සඳහා තරග පවත්වන ලදී. තෝරා ගත් කණ්ඩායමේ විදේශ සංචාරය සඳහා ප්‍රමාණවත් අනුග්‍රහයක් ද ලැබුණි. මුලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කාර්ය සාධනය එතරම් සතුටුදායක නොවූවත් මෙම තත්වය දියුණු කළ යුතු යයි තීරණය කළ කරුණාරත්න මහතා ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ ලාල් චන්ද්‍රනාත් මහතාගෙන් මෙම කණ්ඩායම පුහුණු කරන ලෙස ඉල්ලා සිටියේය. චන්ද්‍රනාත් මහතා මුලදී මෙයට එතරම් කැමැත්තක් නො දැක්වූ නමුත් කරුණාරත්න මහතාගේ බල කිරීම නිසා ශිෂ්‍යයන් පුහුණු කිරීම ආරම්භ කළේය. 1995 වර්ෂයේදී මෙම තරගයට සහභාගී වු කලාපීය කණ්ඩායම් 18 ක් පරදවා ජය ගැනීමට ශ්‍රී ලංකාවේ කණ්ඩායම සමත් විය. මෙම තරගවලට සහභාගී වූ ශිෂ්‍යයෝ ඔවුන්ගේ වෘතීන්වල දැන් වැදගත් තනතුරු දරති. ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයේ විභාග මෙහි පැවැත්වු අතර තරුණයන්ට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ රැකියා ලබා ගැනීමට එය බෙහෙවින් උපකාරී වී තිබේ. ඒ කාලයේ තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙනත් විභාග නොවු බැවින් ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් මෙම විභාගයට පෙනී සිටියෝ ය.

මේ කාලයේ ශ්‍රී ලංකා පරිගණක සංගමය කලාපයේ රටවල් සමග පැවැත්වූ සබඳතා නිසා එයට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලැබුණි. සංගමයේ සාමාජිකයන් කලාපයේ සම්මන්ත්‍රණවලට සහභාගී වූ අතර එම පරිගණක සංගම් ක්‍රියාත්මක කළ විවිධ වැඩසටහන් ද අධ්‍යයනය කළේය. ඒවායින් උගත් පාඩම් ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සම්මන්ත්‍රණවලදී යොදා ගැනීම නිසා ඒවා ජාත්‍යන්තර මට්ටමට පත් වූයේය. කරුණාරත්න මහතාගේ ධුර කාලය තුළ සංගමය මූල්‍යමය අතින් ද ශක්තිමත් විය. අනිත් ජයග්‍රහණය ලෙස සඳහන් කළ හැක්කේ ශ්‍රී ලංකා පරිගණක සංගමය සඳහා නවීන ගොඩනැගිල්ලක් ලබා ගැනීමයි. මෙය කරුණාරත්න මහතා තනිවම සැලසුම් කර සාර්ථක ලෙස අවසන් කළ කටයුත්තකි. යසා කරුණාරත්න මහතාගෙන් ශ්‍රී ලංකා පරිගණක සංගමයට ලැබුණු දායකත්වය ඇගයීමක් වශයෙන් 2001 වර්ෂයේ දී ඔහුට ගෞරව අධි සාමාජිකත්වය පිරිනමන ලදී. මෙම සම්මානය ප්‍රදානය කළ පළමු අවස්ථාව මෙය වන අතර මෙම උත්සවයේ දී කරුණාරත්න මහතාට හා ආචාර්ය ආර්.බී ඒකනායක මහතාට මෙම ගෞරවය පිරිනමන ලදී. 1989 වර්ෂයේ සිට වෘත්තික සංගම් සංවිධානයේ පරිගණක විද්‍යා අංශය නියෝජනය කළ සාමාජිකයා වූයේ කරුණාරත්න මහතායි.

1992 ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණය හා ප්‍රදර්ශනය සංවිධානය කිරීමට උදව් ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා කරුණාරත්න මහතාට ආරාධනය කිරීම ඔහු සිහිපත් කරයි. ප්‍රධාන සංවිධාන කමිටුවේ සාමාජිකයෙක් ලෙස හා ඉන්ෆොටෙල් සම්මන්ත්‍රණයේ සභාපති ලෙස කරුණාරත්න මහතා පත් කරන ලද අතර එය ඉතා සාර්ථක සම්මන්ත්‍රණයක් විය. ආසියා පැසිෆික් කලාපයේ රටවල් 13 කින් සමන්විත අග්නිදිග ආසියා කලාපීය පරිගණක සම්මේලනයේ සභාපති ධුරයට ද කරුණාරත්න මහතා පත් කර ගන්නා ලදී. 1993 වර්ෂයේ ලංකාවේ පැවැත්වු අග්නිදිග ආසියා කලාපීය පරිගණක (SEARCC ’95) සම්මන්ත්‍රණයේ සංවිධායක කමිටුවේ සභාපතිත්වය දරණ ලද්දේ ද කරුණාරත්න මහතායි. මෙම කටයුතුවල දී ආචාර්ය අභය ඉඳුරුව, ආචාර්ය ආර්.බී. ඒකනායක, නයනි ප්‍රනාන්දු මිය, නිරන්ජන් ද සිල්වා මහතා, එච් එන් බී ගුණරත්න මහතා, ලාල් චන්ද්‍රනාත් මහතා, සුනිල් අල්විස් මහතා කනිෂ්ක සුගතදාස මහතා, ජගත් රණවක මහතා, ආචාර්ය බන්දු රණසිංහ මහතා, ලයනල් පෙරේරා මහතා , හා කිත්සිරි මංචනායක මහතා වැනි විශිෂ්ට වෘත්තිකයන් කණ්ඩායමක් සමග කටයුතු කිරීමට ලැබීම කරුණාරත්න මහතා සිහි කරයි. අජන්තා කුරේ මහතා මෙම කණ්ඩායමේ උපදේශක හා නීතිඥයා විය.

2002 වර්ෂයේ දී අග්නිදිග ආසියා කලාපීය පරිගණක සම්මේලනයේ මහලේකම් ලෙස කරුණාරත්න මහතා තෝරා පත් කර ගත් අතර ලේකම් කාර්යාලය පවත්වා ගෙන යෑමේත් විවිධ රටවල කටයුතු සම්බන්ධීකරණය කිරීමේත් වගකීම පැවරුණේ ඔහුටයි. මේ කාලයේ මැලේසියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය හා ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණ සංවිධානය කිරීමේ දී ඔහු ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය. කරුණාරත්න මහතා තොරතුරු සැකසීම සඳහා වූ ජාත්‍යන්තර සම්මේලනය නම් ලෝක ආයතනයේ (IFIP) අග්නිදිග ආසියා කලාප පරිගණක සම්මේලනය (SEARCC) නියෝජනය කළේය.

විවිධ රටවල මෙම කටයුතුවලට සහභාගී වීම නිසා ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණ සඳහා විශිෂ්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් කැඳවා ගැනීමට හැකි වු අතර ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට ප්‍රයෝජනවත් වන වැඩමුළු සංවිධානය කිරීමට ද ඔවුන්ට ආරාධනය කරන ලදී. කලාපයට යසා කරුණාරත්න මහතා ලබා දුන් දායකත්වයට ගරු කිරීමක් ලෙස ඔහුට අග්නිදිග ආසියා පරිගණක සම්මේලනයේ විශිෂ්ට අධි සාමාජිකත්වය පිරිනමන ලදී. මෙම ගෞරවනීය සම්මානය ලැබූ එකම තැනැත්තා කරුණාරත්න මහතායි. ඔහුට ලැබුණු තවත් සම්මානයක් වන්නේ 2013 දී ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පිරිනමන ලද විද්‍යාවේ හා තාක්ෂණයේ වෘත්තිය විශිෂ්ටත්වය සඳහා වු ජාතික සම්මානයයි.

ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව (CINTEC)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ රටේ ඉහළම ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ මහ මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළ බව කරුණාරත්න මහතා වැඩිදුරටත් සිහිපත් කරයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය (SLICTA)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ, විදුලි සංදේශ සැපයුම්කරුවන්ගේ හා අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ නියෝජනයක් සහිතව පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමයේ ආරම්භක සභාපති වුයේ කරුණාරත්න මහතායි.

අවසාන වශයෙන් ඉතා ඵලදායි වෘත්තිය ජීවිතයේ “කිසිසේත් විශ්වාස කළ නොහැකි“ ජයග්‍රහණයක් ලබා ගැනීම ගැන ද කරුණාරත්න මහතා සඳහන් කළේය. 1999 වර්ෂයේ සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සඳහා දෘඪාංග හා මෘදුකාංග සහිත පරිගණක පද්ධතියක් ඉක්මනින් මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවා තිබුණි. මේ සඳහා වෙන් කළ මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 80ක් වූ අතර එය ඒ කාලයේ අති විශාල මුදලක් විය. ටෙන්ඩර ඉදිරිපත් කිරීමේ අවසාන දිනය දෙසැම්බර් 14 වූ අතර ඇගයීම් වාර්තාව සමග ටෙන්ඩර මණ්ඩලයේ තීරණය පසුදා ලෝක බැංකුවට දන්වන ලදී. සාමාන්‍යයෙන් මෙවැනි ටෙන්ඩරයක් ඇගයීම හා ටෙන්ඩර මණ්ඩලයේ තීරණය සඳහා සති ගණනක් හෝ මාස ගණනක් ගත වේ. කරුණාරත්න මහතා කළේ ටෙන්ඩර විවෘත කිරීමට ඇගයීමේ කමිටුව තම කාර්යාලයට එවන ලෙස මුදල් අමාත්‍යංශයේ ටෙන්ඩර මණ්ඩල සභාපති ගෙන් ඉල්ලා සිටීමයි. සභාපති අකමැත්තෙන් මෙයට එකඟ විය. ඉන් පසු කරුණාරත්න මහතා ඇගයීම් කමිටුවට කියා සිටියේ ඔහුගේ කාර්යාලයෙන් පිටවීමට පෙර ඇගයීම සම්පූර්ණ කළ යුතු බවයි. පසුවදා පාන්දර 2 වන තුරු වැඩ කළ ඇගයීම් කමිටුවේ වාර්තාව පසු දින ටෙන්ඩර මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලදී.

යසා කරුණාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ලබා ගත් ජයග්‍රහණවලට අමතරව ඔහු බ්‍රිජ් ක්‍රීඩාවට ද දක්ෂයෙක් බවයි. වයස අවුරුදු 12 දි ඔහුගේ පියා මෙම ක්‍රීඩාව ඉගැන්වූ අතර පසුව කීප වාරයක් ම ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබේ.

අනාගතය සම්බන්ධයෙන් කරුණාරත්න මහතා කියා සිටියේ රථවාහන නිෂ්පාදන කර්මාන්තය වැනි බොහෝ කර්මාන්ත වල මිනිස් ශ්‍රමය වෙනුවට තාක්ෂණය හා රොබෝවන් යොදා ගන්නා ආකාරයට ම අද වෘත්තිකයන් කරන කටයුතු සඳහා ද තාක්ෂණය යොදා ගත හැකි බවයි. මේ නිසා වෘත්තිකයන් මුහුණ දි ඇති අභියෝගය වන්නේ ලෝකය වඩා හොඳ තැනක් බවට පත් කිරීමට නව තාක්ෂණය යොදා ගත හැකි ආකාරය ගවේෂණය කිරීමයි.

ගැලරිය

no images were found

සම්පත්

Annual Report 1991/1992 – The Computer Society of Sri Lanka

Annual Report 1994/1995 – The Computer Society of Sri Lanka

SEARCC’95