ලාල් චන්ද්‍රනාත් මහතා

ලාල් චන්ද්‍රනාත් මහතා සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ සහ ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් මෘදුකාංග තාක්ෂණ සමාගමේ හිටපු කළමණාකාර අධ්‍යක්ෂවරයෙකි. 1978 දී සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස් (DMS) සමාගමේ ආරම්භක කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි මාසය දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. 1981 දී සීමාසහිත ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ආරම්භ කළ කණ්ඩායම් සාමාජිකයෙකු වූ ඔහු 2017 ජුනි දක්වා එහි අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළේය. පසුව 2014 දී චන්ද්‍රනාත් මහතා ඩී.එම්.එස්. සොෆ්ට්වෙයාර් ටෙක්නොලොජීස් (පුද්) සමාගමේ අධ්‍යක්ෂ / සාමාන්‍යාධිකාරී ලෙස පත් කරන ලද අතර වේගවත් වර්ධනයට ඉඩ සැලසූ බොහෝ අංශ ආවරණය කරමින් ඔරකල් කෝපරේෂන් සමඟ ව්‍යාපාරික ගිවිසුම් සාකච්ඡා කිරීමටද ඔහු දායක විය. චන්ද්‍රනාත් මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ වසර 40 කට වැඩි කාලයක් සේවය කර ඇති අතර ඉංජිනේරු, පාරිභෝගික සහාය, මෘදුකාංග සංවර්ධනය, විකුණුම් හා අලෙවිකරණය සහ කළමනාකරණය සහ නායකත්වය වැනි තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ විවිධ ක්ෂේත්‍රවල අත්දැකීම් ලබා ඇත.

චන්ද්‍රනාත් මහතා 1992-1996 දක්වා සහ 1999-2000 දක්වා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) මහා මණ්ඩල සාමාජිකයෙකුද විය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ රජයේ ඉහළම ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) පූර්වගාමි ආයතනයයි. චන්ද්‍රනාත් මහතා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC)  තොරතුරු ඔලිම්පියාඩ් ජාතික කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කළේය. ඔහු ශ්‍රී ල‍ංකා පරිගණක සංගමයේ සාමාජිකයෙකු හා සභාපතිවරයෙකුද විය. ආසියානු හා ජාත්‍යන්තර මෘදුකාංග තරඟවලට සහභාගී වූ ශ්‍රී ලංකා ශිෂ්‍ය කණ්ඩායම්  ශ්‍රී ලංකාව සඳහා රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් වූයේ චන්ද්‍රනාත් මහතාගේ පුහුණු කිරීම්වල ප්‍රතිඵලයක් ලෙසයි.

චන්ද්‍රනාත් මහතා මහනුවර කිංස්වූඩ් විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර එහිදී ඔහු විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ලබා ගැනීමට සමත් විය. පිලිපීනයේ ආසියානු කළමනාකරණ ආයතනයේ පොදු කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් ද ඔහු හදාරා තිබේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ලාල් චන්ද්‍රනාත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී අයිබීඑම් (IBM 1130) පරිගණකයක් භාවිතා කරමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ සිය ගමන ආරම්භ කළේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඔහු අධ්‍යාපනය ලැබුවේ  අපූර්ව කාලයක බව ඔහු පවසයි. එය විශිෂ්ට ඉගෙනීමේ කාලයක් විය. ඔහුගේ කථිකාචාර්යවරු සුවිශේෂී පුද්ගලයන් විය. ඔවුන් ලාල්ට විදුලි ඉංජිනේරු විද්‍යාව සඳහා හොඳ පදනමක් ලබා දුන් අතර ලාල්ට අවශ්‍ය වූයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව හැදෑරීමටයි. ඔහු විශ්ව විද්‍යාලයේ අවසන් වසර දෙක තුළ ඉලෙක්ට්‍රොනික් විද්‍යාව ඉගෙන ගත්තේය. ෆෝට්‍රාන් සහ පැස්කල් නම් පරිගණක භාෂාවලින් ක්‍රමලේඛනය පිළිබඳ මූලික පාඨ මාලාවක් ද ඔහු හැදෑරුවේය. නව ක්ෂේත්‍ර අවබෝධ කර ගැනීමට විශාල වශයෙන් උපකාරී වූ සංඥා පද්ධති හා සන්නිවේදනය සහ සංඛ්‍යාන සංඥා න්‍යාය පිළිබඳව සිසුන් ඉගෙන ගත්හ. මේ එෆ්එම් සන්නිවේදනයේ ආරම්භක යුගයයි. පරිගණක මගින් අවසානයේ මිනිස් ඉරණම වෙනස් කරන බව ලාල් චන්ද්‍රනාත් වටහා ගත් අතරඔහුගේ ජීවිත කාලය තුළ එය සිදුවනු දැක ගැනීමට ඔහුට හැකි වූයේය..

ලාල් චන්ද්‍රනාත් 1977 දී උපාධිය ලබා 1978 දී සීමාසහිත ඩේටා මැනේජ්මන්ට් සිස්ටම්ස්  (පසුව ඩීඑම්එස් ලෙස ප්‍රසිද්ධියට පත් වූ) අලුත ඇරඹූ සමාගමකට බැඳුණි. එහි ප්‍රධාන විධායක නිලධාරී රුවන් රත්නතුංග මහතා වූ අතර තවත් ඉංජිනේරු උපාධිධාරීන් දෙදෙනෙකු වන රාමතාස් මහතා සහ පරමගුරු ද එහි සිටියහ. සිව්වන සේවකයා වූයේ ලාල් චන්ද්‍රනාත්ය. මෙම (DMS) සමාගම විසින් පළමු වැන්ග් පරිගණකය ශ්‍රී ලංකාවේ තේ සමාගමකට විකුණන ලදී. මේ කාලයේ අයිබීඑම් සමාගම විසින් විශාල පරිගණක අලෙවි කරමින් තොරතුරු තාක්‍ෂණය ඉගැන්වූ නමුත් තේ කර්මාන්තය සඳහා සම්පූර්ණ පැකේජයක් සකස් කර එය පරිගණකය සමඟ පූර්ණ විසඳුමක් ලෙස අලෙවි කළේ ඩීඑම්එස් සමාගමයි. මෙය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පියවරක් විය. මේ අතින් ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම් (DMS) සමාගම පූර්වාරම්භකයෙක් වූයේය.

සීමාසහිත ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම් (DMS) සමාගම අතිශයින්ම ශක්තිමත් සාරධර්ම මත පදනම් වූ බව සිහිපත් කරන්නෙ ලාල් චන්ද්‍රනාත් මහතා ව්‍යාපෘති ලබා ගැනීම සඳහා කිසි විටෙකත් අනවශ්‍ය දේ නොකළ බව කියා සිටයි. කණ්ඩායමට අවශ්‍ය වූයේ (DMS) තාක්‍ෂණික සමාගමක් ලෙස දියුණු කිරීමටයි. එය තාක්‍ෂණයෙන් බබළවන්නට ඔවුන්ට අවශ්‍ය විය. කණ්ඩායමට ශක්තිමත් වැඩ සදාචාරයක් තීබු අතර සියලු දෙනා වෙහෙස මහන්සි වී වැඩ කළෝය. මුල් පද සකසන දියුණු කරමින් සිටි මැසචුසෙට්ස් හි වැන්ග් ලැබොරටරීස් නම් සමාගම සමඟ මුල් කාලයේ සිටම. සීමාසහිත ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම් (DMS) සමාගම සම්බන්ධ වී තිබුණි.

ඒ වන විට පරිගණක භාවිතා කරන ලද්දේ ගණනය කිරීම් සඳහායි. නමුත් ආචාර්ය වැන්ග්ගේ අදහස වූයේ පද සැකසීම සහ පෙළ සැකසීම සඳහා පරිගණක භාවිතා කළ හැකි නම් එය පරිගණක භාවිතා කරන ආකාරය වෙනස් කරනු ඇති බවයි. මේ අනුව පද සැකසීමට උපකාරී වන කාර්යාල තොරතුරු පද්ධතිය (OIS) නමින් පරිගණක පද්ධතියක් වැන්ග් සමාගම විසින් දියුණු කරන ලදී.

ඒ වන විට ලංකාවට කුඩා පරිගණක පැමිණ තිබුණි.  සීමාසහිත ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම් (DMS) සමාගම විසින් වැන්ග් කුඩා පරිගණක පද්ධතියක් ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයට (NIBM) අලෙවි කිරීම සන්ධිස්ථානයක්  විය.  ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) උපදේශක ලෙස කටයුතු කළේ කැනඩාවේ ආචාර්ය බිල් ස්මිත්  ය. බොහෝ දෙනෙක් තොරතුරු තාක්ෂණ හා පරිගණක පිළිබඳව මෙම (NIBM) ආයතනයේ පුහුණුව ලැබූහ. ලාල් චන්ද්‍රනාත් මහතා සඳහන් කරන්නේ ඔවුන් ඒ සඳහා විෂය මාලාව සහ පුහුණු ද්‍රව්‍ය සකස් කළ බවයි. මෙම විෂය මාලාව පදනම් කරගෙන පසුව කොළඹ, පේරාදෙණිය යාපනය සහ විවෘත විශ්ව විද්‍යාලය සඳහාද ඩී.එම්.එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම විෂයමාලා සකස් කළේය.

1981 දී, ඉන්ටෙල් සමාගමෙන් තනි චිප ක්ෂුද්‍ර සකසන (single chip micro-processors) ලබා ගත හැකි වූ අතර, ඊට පෙර මොස්ටෙක් සමාගම විසින් 6502 ක්ෂුද්‍ර සකසන නිපදවන ලද අතර ඒවා ඇපල් සහ කොමඩෝර් පරිගණකවල භාවිතා කරන ලදී. මේ කාලයේ ස්ථාපිත කරන ලද  ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ක්ෂුද්‍ර පරිගණක කෙරෙහි අවධානය යොමු කළේය. ලාල් චන්ද්‍රනාත් මහතා එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා විය. මෙය අවසානයේදී විශාල සමාගමක් බවට පත් වූ අතර වර්තමානයේදී පවා සමාගම පද්ධති ඒකාබද්ධ කරන්නෙක් ලෙස ප්‍රකටය. ඔවුන් කොමඩෝර් පරිගණක ගෙන ආ අතර කොමඩෝර් පෙට් පරිගණක පාසල් හා විශ්ව විද්‍යාල වල බහුලව භාවිතා විය. පසුව, මිල අඩු හා දැරිය හැකි මිලකට අලෙවි කළ කොමඩොර් 64 පරිගණක නිවාසවල භාවිතා කරන ලදී.

1983/1984 කාලයේදී දී ඩී.එම්.එස් ඉලෙක්ට්‍රොනික්ස්, වැන්ග් ලැබ්ස් සමාගමේ මග පෙන්වීම යටතේ ඔවුන්ගේ OIS පද්ධතියේ වැඩ කරන සිංහල පද සකසනයක්  දියුණු කිරීම ආරම්භ කළ අතර  අනතුරුව දෙමළ පද සකසනයක් ද සකස් කළේය. මෙය වැන්ග් සමාගම විසින් OIS සඳහා සංවර්ධනය කරන ලද “පොලිග්ලොට් පෙළ සංස්කාරකය” මත පදනම් විය. ඔවුන් එය 1985 දී දියත් කිරීමට නියමිතව තිබුණත් තොරතුරු තාක්ෂණ ඉතිහාසයේ පළමු තොරතුරු තාක්ෂණ බුද්ධිමය දේපල නඩුව ගොනු කිරීම නිසා එය කළ හැකි වූයේ නැත. මෙයට හේතු වූයේ සීමාසහිත මෙට්‍රොපොලිටන් සමාගමේ ඒ.කේ. කුමාරසේන මහතා  මෙය ඔහුගේ නිපයුමක් යයි කියමින් නඩු පැවරීමයි. මෙය දුෂ්කර කාල පරිච්ඡේදයක් වූ අතර, වසර එකහාමාරකට ආසන්න කාලයක් ඩීඑම්එස් සමාගම උසාවිවල ගත කළ අතර අවසානයේදී නිෂ්පාදිතය සඳහා වූ උනන්දුව අඩුවු අතර නඩුව උසාවියෙන් බැහැරව විසඳා ගන්නා ලදී. පසුව ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික් සමාගම විසින් ග්‍රැෆික් කාඩ්පත් භාවිතා කරමින් සිංහල සහ දෙමළ පද සකසන නිපදවන ලදී. මේ මඟින් මට්ටම් තුනක් සහිත සිංහල අක්ෂර වල ඉස්පිලි සහ පාපිලි ආදිය නිවැරදිව දැක්වීමට හැකි විය.

ඉන්පසුව, ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම ස්කුවෙයාර් ඩී නම් සමාගමෙන් ක්‍රමලේඛනය කළ හැකි තර්ක පාලක ලබා ගෙන ඒවා ටයර් සංස්ථාවේ ටයර් පදම් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා භාවිතා කළේය.  මේ අනුව වායව උපකරණ වෙනුවට ඉලෙක්ට්‍රෝනික උපකරණ  ආදේශ කරන ලදී. ඩීඑම්එස් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම පසුව ප්‍රමුඛ පෙළේ ගුවන් සේවා මෘදුකාංග සමාගමක් වන මේමොරෙක්ස් ටෙලෙක්ස් සමඟ ශ්‍රී ලංකා ගුවන් සේවයේ පොදු පරිශීලක පර්යන්ත උපකරණ (CUTE) සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක වැඩ කළ අතර මෙහිදී උපාංග 150 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ කරන ලදී 2000 දී ඔවුන් සම්පත් බැංකුවේ ප්‍රධාන පරිගණක ස්විචය, වින්ටෙල් සකසනය මත පදනම් වූ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ගනුදෙනු ස්විචයක් මගින් ප්‍රතිස්ථාපනය කළහ.

ලාල් චන්ද්‍රනාත් මහතා පවසන්නේ සමස්තයක් ලෙස ඩීඑම්එස් සමාගම ඉතා සාර්ථක වූ බවයි. එහි නිර්මාතෘ රුවන් රත්නතුංග මහතා සාර්ථක ව්‍යවසායකයෙකු බව ඔහු පවසයි. 1991 දී ඩීඑම්එස් සොෆට්වෙයාර් ටෙනක්නොලොජීස් සමාගම ඔරකල් සමාගම සමඟ හවුල් වී ඔරකල් පදනම් කරගත් විසඳුම් පිළිබඳ විශේෂඥතාවක් ලබා ගත් අතර සම්බන්ධක දත්ත සමුදාය තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ලබා දුන්නේය. පසුකාලීනව ඩීඑම්එස් ගාමන්ට් ටෙක්නොලොජීස් සමාගම පිහිටුවන ලද අතර මෙම සමාගම ඇඟලුම් කර්මාන්තයට උපකාරී වන නව තාක්ෂණයන් රැසක් හඳුන්වා දුන්නේය. සමස්තයක් වශයෙන් ගත් කල, ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තයට ඩීඑම්එස් සමාගම විශාල බලපෑමක් කර තිබේ. සියල්ලටම වඩා, ඩීඑම්එස් සමාගමේ අපූරු සංස්කෘතියක් තිබූ අතර එය මිනිසුන් දියුණු කළේය. ඩීඑම්එස් ‍සමාගමේ සිටි සමහර අය පිටතට ගොස් ඉතා දීප්තිමත් වෘත්තීය ජීවිතයක් නිර්මාණය කර ගත්හ. තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයට “නව පෙනුමක්” ලබා දීමට ඉවහල් වූ ගමනක යෙදී සිටි බව ලාල් චන්ද්‍රනාත් මහතා සිහිපත් කරයි. “තත්වය මීට වඩා හොඳ විය හැකිව තිබුණත් එය වඩාත් නරක වන්නට ද ඉඩ තිබුණි”, සීමාසහිත ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම් (DMS) සමාගම ඉතා හොඳ කාර්ය සාධනයක් ලබා ගෙන තිබේ.

ශ්‍රී ලංකා පරිගණක සංගමය

චන්ද්‍රනාත් මහතා අසූව දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකා පරිගණක සංගමයේ සාමාජිකයෙකි. ඔහු 1999/2000 සහ 2000/2001 යන කාල පරිච්ඡේදයන් තුළ  එහි සභාපතිවරයා විය. අග්නිදිග ආසියා කලාපීය පරිගණක සම්මේලනය (SEARCC) යටතේ පැවැත්වූ මෘදුකාංග තරඟ සඳහා ශ්‍රී ලංකා සිසුන්ගෙන් සමන්විත කණ්ඩායම් පුහුණු කිරීම සඳහා යසා කරුණාරත්න මහතා විසින් ඔහු පොළඹවන ලදී. ලාල් චන්ද්‍රනාත් මහතා 1989 සිට 1994 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය. සෑම වසරක් පාසාම ශ්‍රී ලාංකික කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු විය. 1994 වන විට කලාපීය කණ්ඩායම් අතර මෙම තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

1992 දී ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්‍ෂණවේද සභාවේ (CINTEC) සභාපතිවරයා වූ  මහාචාර්ය වී.කේ. සමරනායක මහතාට අවශ්‍ය වූයේ ජාත්‍යන්තර තොරතුරු විද්‍යා ඔලිම්පියාඩ් (IOI) හි මෘදුකාංග තරඟවලට ශ්‍රී ලංකාව සහභාගී කරවීමටයි. එක් සැන්දෑවක, ඩී.එම්.එස්. මෘදුකාංග තාක්‍ෂණ සමාගමේ, ලාල් චන්ද්‍රනාත් සහ පාලිත රොද්‍රිගෝ යන මහත්වරුන් සින්ටෙක් හි සභාපති මහාචාර්ය සමරනායක මහතාගේ කාර්යාලයේදී රැස්වී බර්ලිනයට දුරකථන ඇමතුමක් ලබා ගත්තේය. ඔවුන්ට දැන ගැනීමට අවශ්‍ය වූයේ  ශ්‍රී ලංකාවේ කණ්ඩායමකට මෙම තරගවලට සහභාගි විය හැකිද යන්නයි. එසේ කළ හැකි බව දැනගත් විට, ලාල් චන්ද්‍රනාත් මහතා සහ පාලිත රොද්‍රිගෝ මහතා ශ්‍රී ලංකා සිසුන්ට (IOI) මෘදුකාංග තරඟ සඳහා පුහුණුව ලබා දීම ආරම්භ කළහ. චන්ද්‍රනාත් මහතා  පරිගණක හා තොරතුරු තාක්‍ෂණවේද සභාවේ තොරතුරු ඔලිම්පියාඩ් කමිටුවේ සභාපතිවරයා වූ අතර 1992 සිට 1996 දක්වා මේ (IOI) තරඟ සඳහා සහභාගී වූ කණ්ඩායම්වලට නායකත්වය දුන්නේය. 1994 කණ්ඩායමේ සාමාජිකයෙක් වූ සිෆාන් සවාහීර් ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගත් අතර 1995 දී ශ්‍රී ලංකාව රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. තොරතුරු තාක්‍ෂණය යනු ශ්‍රී ලංකාවට විශිෂ්ටත්වයට පත්විය හැකි ක්ෂේත්‍රයක් බවට සැකයකින් තොරව ඔප්පු වී ඇති බවත්, මෙම ජයග්‍රහණ පිළිබඳව ඔහු සතුටු වන බවත් චන්ද්‍රනාත් මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.