ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තයේ හා පුද්ගලික අධ්‍යාපනයේ පුරෝගාමියෙක් වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ ඉන්ෆොමැටික්ස් සමාගම් සමූහයේ සමාරම්භක හා සභාපතිවරයා ද වේ.

ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ එංගලන්තය හා බෙල්ජියම යන රටවලයි. 1983 වර්ෂයේ ආපසු ලංකාවට පැමිණි ඔහු පරිගණක සමාගමක් ලෙස ඉන්ෆොමැටික්ස් ආයතනය ආරම්භ කළේය. ඉන්ෆොමැටික්ස් සමාගම දෘඪාංග, මෘදුකාංග, පුහුණුව හා නඩත්තුව ආදි සියල්ල ලබා දුන් පූර්ණ විසඳුම් සමාගමක් විය.

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල රටේ ඇති ඉල්ලුමට සරිලන තරම් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහි නො කරන බැවින් තොරතුරු තාක්ෂණ අංශයේ මානව සම්පත් හිඟයක් ඇති බව අවබෝධ කර ගත් වික්‍රමසිංහ මහතා මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය සමග එක්ව 1990 සිට ඉන්ෆොමැටික්ස් ආයතනය තුළින් තොරතුරු තාක්ෂණය, තොරතුරු පද්ධති හා පරිගණක විද්‍යාව පිළිබඳ උපාධි ලබා දීමට ක්‍රියා කළේය. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය උපාධි පිරිනැමූ පළමු වැනි ආයතනය ඉන්ෆොමැටික්ස් වේ. මේ අනුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තෘතීය අධ්‍යාපනික සුදුසුකම් ලබා දීමේ සංකල්පයේ පුරෝගාමියා ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ ලෙස සැලකිය හැකියි.

ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනයේ (IIT) උපාධිධාරීන්ට ඔවුන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට දිරි ගන්වන බව ආචාර්ය වික්‍රමසිංහ කියා සිටී. ඔහුගේ අදහස වන්නේ තෘතීයික අධ්‍යාපන ආයතන, අන්තර්ජාතික වශයෙන් අවස්ථා ඇති හා ඒ ඒ පුද්ගලයන්ට ගැළපෙන ක්ෂේත්‍රවල ශිෂ්‍යයන් පුහුණු කළ යුතු බවයි. මේ අනුව “ජාත්‍යන්තර නිෂ්පාදන” ලෙස මානව සම්පත් ලෝකයට සැපයීමෙන් විදේශ විනිමය උපයා ගැනීම හා අනිකුත් ආර්ථික ප්‍රතිලාභ තුළින් ශ්‍රී ලංකාවට බොහෝ වාසි ලබා ගත හැකි වේ. ශ්‍රී ලංකාව, සුවිශේෂී අංශ කෙරෙහි අවධානය යොමු කිරීම කාලෝචිත බව ආචාර්ය වික්‍රමසිංහගේ අදහසයි.

ලංකාවේ තොරතුරු හා සන්නිවේදන කර්මාන්තයේ පුරෝගාමී චරිතයක් වන ආචාර්ය ගාමිණි වික්‍රමසිංහට ඔහු ඉටු කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) 2014 ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේදි සම්මානයක් පිරිනමන ලදී.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ශ්‍රී ලංකාවේ මෘදුකාංග කර්මාන්තයේ හා පුද්ගලික අධ්‍යාපනයේ පුරෝගාමියෙක් වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ ඉන්ෆොමැටික්ස් සමාගම් සමූහයේ සමාරම්භක හා සභාපතිවරයා ද වේ. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබුවේ එංගලන්තය හා බෙල්ජියම යන රටවලයි. ඔහුගේ අධ්‍යයන ක්ෂේත්‍රයන් වූයේ පරිගණනය හා පද්ධති විශ්ලේෂණයයි.

1983 වර්ෂයේ ආපසු ලංකාවට පැමිණි ඔහු පරිගණක සමාගමක් ලෙස ඉන්ෆොමැටික්ස් ආයතනය ආරම්භ කළේය. ඉන්ෆොමැටික්ස් සමාගම දෘඪාංග, මෘදුකාංග, පුහුණුව හා නඩත්තුව ආදි සියල්ල ලබා දුන් පූර්ණ විසඳුම් සමාගමක් විය. ඒ වන විට ශ්‍රී ලංකාවේ අයිබීඑම් (IBM) අයිසිඑල් (ICL) හා බරෝස් (Burroughs) වැනි ප්‍රධාන සමාගම් කීපයක නියෝජනයක් තිබූ බව වික්‍රමසිංහ මහතා සිහි කරයි.

ශ්‍රි ලංකාවට ආපසු පැමිණි වික්‍රමසිංහ මහතා දුටුවේ දෘඪාංග සැපයුම් කරුවන් දෘඪාංග පමණක් සපයන අතර වෙනත් අය මෘදුකාංග අලෙවි කරන බවයි. ගනුදෙනුකරුවෙකුට සහාය අවශ්‍ය වූ විට ඒ සඳහා යා යුත්තේ කා වෙත ද යන්න ගැන පැහැදිලි අදහසක් නො තිබුණි.

මේ නිසා දෘඪාංග, මෘදුකාංග, පුහුණුව හා නඩත්තුව එක ම තැනකින් ලබා දෙන නව සංකල්පයක් ඔහු හඳුන්වා දුන්නේය. විවිධ පරිගණක අවශ්‍යතා සඳහා විවිධ තැන්වලට යෑම මේ නිසා අවශ්‍ය නොවීය. මෙහි දී ඉලක්කය වූයේ මුදල් ගෙවූ ගනුදෙනුකරුවන්ගේ සියලු අවශ්‍යතා සපුරා ඔවුන් සතුටෙන් තැබීමයි. ඉන්ෆොමැටික්ස් සමාගම අලෙවි කළේ නික්ස්ඩෝෆ් නම් නිෂ්පාදනය වන අතර එයට දෘඪාංග මෙන් ම මෘදුකාංග ද ඇතුළත් විය. එය ගනුදෙනුකරුට පූර්ණ විසඳුමක් ලබා දුන්නේ ය.

ඉන්ෆොමැටික්ස් ආයතනය ඉන් පසුව ආරම්භ කළේ පාරිභෝගිකරණය කළ මෘදුකාංග සැපයීමයි. නමුත් මේ සඳහා අවශ්‍ය මානව සම්පත්වල හිඟයක් ඇති බව පෙනුණි. මෙයට හේතු වූයේ ශ්‍රි ලංකාවේ ජාතික විශ්ව විද්‍යාල අවශ්‍ය තරම් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහි නොකිරීමයි. අවශ්‍ය මානව සම්පත් තරමක් දුරට හෝ සැපයූ එකම ආයතනය වූයේ ආචාර්ය එන් ඩබ්ලිව් එන් ජයසිරි මහතා කළමනාකරණ තොරතුරු පද්ධති අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයයි (NIBM). මෙම ආයතනයේ මාස 6 ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ ශිෂ්‍යයන් බඳවා ගෙන ඔවුන් තව දුරටත් පුහුණු කරන ලදී. බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක් සමග එක්වී ශ්‍රී ලංකාවේ පරිගණක උපාධීධාරීන් බිහි කිරීමේ අදහස ආචාර්ය වික්‍රමසිංහ ක්‍රියාත්මක කලේ මේ නිසායි.

මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය සමග එක්ව 1990 සිට ඉන්ෆොමැටික්ස් ආයතනය තුළින් තොරතුරු තාක්ෂණය, තොරතුරු පද්ධති හා පරිගණක විද්‍යාව පිළිබඳ උපාධි ලබා දීම ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය උපාධියක් පිරිනැමූ පළමුවැනි ආයතනය වූයේ ඉන්ෆොමැටික්ස් ආයතනයයි. මේ අනුව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තෘතීය අධ්‍යාපනික සුදුසකම් ලබා දීමේ සංකල්පයේ පුරෝගාමියා ආචාර්ය ගාමිණි වික්‍රමසිංහ වේ. මුල් අවධියේ මුහුණ දීමට සිදුවූ එක් ගැටලුවක් වූයේ උපාධි අපේක්ෂකයන්ගේ පුහුණුව සඳහා අවශ්‍ය ආචාර්ය මණ්ඩලයක් සොයා ගැනීමයි. අනිත් කරුණ වුයේ අලුත් සමාගමක් උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීම ගැන විශ්වාසයක් නොමැති වීමයි. මේ නිසා ශිෂ්‍යයන් මෙන්ම ඔවුන්ගේ දෙමාපියන් තුළත් විශ්වාසය ගොඩනැගීම අවශ්‍ය වූයේය. ආචාර්ය වික්‍රමසිංහ පිහිටවූ ආයතනය ඉන්ෆොමැටික්ස් පරිගණක අධ්‍යයන ආයතනය (IICS) වන අතර දැන් එය හඳුන්වන්නේ ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය (IIT) ලෙසයි. එවකට අධ්‍යාපන ඇමතිවරයා වූ ලලිත් ඇතුළත්මුදලි මහතා විශාල සහයෝගයක් ලබා දෙමින් නියම මාර්ගයේ යෑමට තමාට මග පෙන්වූ බව ආචාර්ය වික්‍රමසිංහ සිහිපත් කරයි. මෙහි ප්‍රධාන වාසිය වූයේ එක්සත් රාජධානියට ගොස් එම උපාධිය ලබා ගැනීමට යන වියදමට වඩා ඉතා අඩුවෙන් ලංකාවේ දී එම උපාධියම ලබා ගැනීමට හැකිවීමයි. මෙය අභ්‍යන්තර උපාධියක් වූ අතර මැන්චෙස්ටර් මොට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලයේ පාඨමාලාවම මෙහිදීත් ලබා ගත හැකි විය. උපාධිධාරීන් බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයේ සිසුන් ලෙස සලකන ලදී. ඉන්ෆොමැටික් උපාධි අපේක්ෂකයන්, වර්ෂයක් කර්මාන්තයේ නියැලීම අවශ්‍ය වූයේය. මෙය ආරම්භයේ සිටම ක්‍රියාත්මක කළ අතර දැන් ජාතික විශ්ව විද්‍යාල ද මෙම ක්‍රමය අනුගමනය කිරීමට පටන් ගෙන ඇතැයි ආචාර්ය වික්‍රමසිංහ කියා සිටී. ඔහුගේ අරමුණ වූයේ ආත්ම විශ්වාසයෙන් යුතු දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමය. එහි ප්‍රතිඵල ගැන සතුටු විය හැකි බව වික්‍රමසිංහ මහතා පවසයි. පසුගිය වර්ෂයේ සියලුම ජාතික විශ්ව විද්‍යාල හා පුද්ගලික විශ්ව විද්‍යාල තරග කළ මයික්‍රොසොෆ්ට් ඉමජින් කප් (Imagine Cup) තරගයේදී පදක්කම් 9න් 6ක්ම දිනා ගැනීමට ඉන්ෆොමැටික්ස් ආයතනය සමත් විය. ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනයෙන් පිටවූ ශිෂ්‍යයන් රටේ ප්‍රධාන ආයතන වල වැදගත් තනතුරු හොබවති. සමහරෙක් අපනයන ක්ෂේත්‍රයේ කටයුතු කරති. මේ අනුව ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනයේ උපාධිධාරීන් රටට විදේශ විනිමය උපයා දෙන අතර බ්‍රිතාන්‍ය උපාධි ලබා දීම ආරම්භ කර දැන් අවුරුදු 25ක් සම්පූර්ණ කර ඇතැයි ආචාර්ය වික්‍රමසිංහ පැවසීය.

ශ්‍රී ලංකා රජය හා පුද්ගලික අංශය මගින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘතිවලට අවශ්‍ය වෘත්තිකයන් ද මෙම ආයතනය පුහුණු කර තිබේ. කාර්ය මණ්ඩලය රඳවා ගැනීම දුෂ්කර වුවත් එය නො වැළැක්විය හැකි යයි ආචාර්ය වික්‍රමසිංහ කියා සිටී. වර්තමානයේ බොහෝ සමාගම් ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනයේ උපාධීධාරීන්ම මෙන්ම එහි පැරණි සේවකයන් ද බඳවා ගෙන තිබේ. තමන්ගේ ම ව්‍යාපාර ආරම්භ කිරීමට මෙම උපාධිධාරීන් උනන්දු කරවනු ලැබේ. ඔහු කියා සිටින්නේ දැනට වුවත් තොරතුරු තාක්ෂණ උපාධිධාරීන්ගේ සැපයුම, ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බවයි. තෘතීයික අධ්‍යාපන ආයතන, අන්තර්ජාතික වශයෙන් අවස්ථා ඇති හා එ ඒ පුද්ගලයන්ට ගැළපෙන ක්ෂේත්‍රවල ශිෂ්‍යයන් පුහුණු කළ යුතු අතර “ජාත්‍යන්තර නිෂ්පාදන” ලෙස මානව සම්පත් ලෝකයට සැපයීමෙන් විදේශ විනිමය උපයා ගැනීම හා අනිකුත් ආර්ථික ප්‍රතිලාභ තුළින් ශ්‍රී ලංකාවට බොහෝ වාසි ලබා ගත හැකි බව ඔහු කියා සිටී.

ශ්‍රී ලංකාව සුවිශේෂී අංශ කෙරෙහි අවධානය යොමු කිරීම කාලෝචිත බව ආචාර්ය වික්‍රමසිංහගේ අදහසයි. එවිට අප බහුතරය සමග තරග කිරීම අවශ්‍ය නොවේ.

රැකියාවලට සුදුසු උසස් තත්වයේ උපාධිධාරීන් බිහි කිරීම මෙන් ම පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබා දිය හැකි මණ්ඩපයක් පිහිටුවීමට සැලසුම් කර තිබේ යයි වික්‍රමසිංහ මහතා පැවසීය. මෙහිදී මූලික මට්ටමේ සිට ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපනය ලබා දෙනු ඇත. ලන්ඩනයේ වෙස්ට් මින්ස්ටර් විශ්ව විද්‍යාලය, ස්කොට්ලන්තයේ රොබට් ගෝඩන් විශ්ව විද්‍යාලය, එංගලන්තයේ කැන්ටබරි ක්‍රයිස්ට්චර්ච් විශ්ව විද්‍යාලය ආදිය සමග අධ්‍යයන සබඳතා ගොඩ නගා ගෙන තිබේ.

ආචාර්ය වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියේ ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය පරිගණනය සඳහා පමණක් සීමාවූ ආයතනයක් නොවන බවයි. ව්‍යාපාර සම්බන්ධ පරිගණක උපාධි ද පිරි නැමේ. ශ්‍රී ලංකා ආර්ථිකයට වැදගත් වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මය හා අධ්‍යාපනය වැනි ක්ෂේත්‍රවලට ද ඔවුන් අවතීර්ණ වනු ඇත.

අවසාන වශයෙන් ආචාර්ය වික්‍රමසිංහ කියා සිටියේ ඊළඟ අවුරුදු පහ තුළ ඉන්ෆොමැටික්ස් ආයතනය විශාල ප්‍රමාණයේ මෘදුකාංග සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි. ඔවුන් දැනටමත් ශ්‍රී ලංකාවේ ආගමන පද්ධතිය සඳහා මෘදුකාංග දියුණු කර ඇති අතර ෆිජි හා මුරිසිය වැනි රටවලද ඒවා ක්‍රියාත්මක කර තිබේ. ඔවුන් රක්ෂණ ක්ෂේත්‍රයට ද මෘදුකාංග සකස් කර තිබෙන අතර ආචාර්ය වික්‍රමසිංහගේ අපේක්ෂාව වී ඇත්තේ මෙම නිෂ්පාදන වෙන රටවලට ගෙන යෑමයි. ඔවුන් වැඩ කරන්නේ සුවිශේෂී වෙළඳපොළකට බව ඔහු අවධාරණය කරයි. තෘතීය අධ්‍යාපනය සපයන ඉන්ෆොමැටික්ස් වැනි සමාගම් මෙන් ම මෘදුකාංග නිෂ්පාදනය කරන සමාගම් රටේ ආර්ථිකයට ආධාරයක් වන අතර අවුරුදු පහක් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 5 වටිනා මෘදුකාංග අපනයන කිරීමේ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සම්මේලනයේ (SLASSCOM) ඉලක්කය ළඟා කර ගැනීමට ද හැකිවනු ඇත. ඉන්ෆොමැටික්ස් තාක්ෂණ ආයතනය මෙම අරමුණු ඉටු කර ගැනීමට විශාල දායකත්වයක් සපයා තිබේ.

අවුරුදු ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන කර්මාන්තයට කර ඇති සේවය වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) 2014 ඉන්ෆොටෙල් ප්‍රදර්ශනයේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ පුරෝගාමියෙක් වන ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතාට සම්මානයක් පිරිනමන ලදී.