මහාචාර්ය ලලිත් ගමගේ

 

මහාචාර්ය ලලිත් ගමගේ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා වේ. ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවට ඇතුළු වූයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ය. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ බව මහාචාර්ය ලලිත් ගමගේ පවසයි. උපාධිය ලැබීමෙන් පසු ලලිත් ගමගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවට උපදේශකයෙකු ලෙස සම්බන්ධ විය. ලලිත් ගමගේට ලයිස්ටර් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් මෙකට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් පිරිනමා ඇත.

ආචාර්ය උපාධිය ලැබීමෙන් පසු ඔහු නැවත මොරටුව විශ්ව විද්‍යාලයට පැමිණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ප්‍රවර්ධනය කිරීමට ඔහු උනන්දු විය. විශ්ව විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලෙස ගමගේ මහතා පත් කරන ලද අතර එමගින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආයෝජන මණ්ඩලය (BOI) වැනි රජයේ ආයතන සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ සමාගම් සමඟ වැඩ කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි.

මහාචාර්ය ගමගේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉමහත් දායකත්වයක් ලබා දී ඇති අතර ශ්‍රී ලංකා රජයේ විවිධ තනතුරු දරමින් රටට සේවය කර තිබේ. ඔහු ආතර් සී. ක්ලාක් නූතන තාක්ෂණ ආයතනයේ (ACCIMT) සභාපති ලෙස සේවය කර ඇති අතර, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ (SLCERT|CC) අධ්‍යක්ෂ මණ්ඩලයේ ද සේවය කර ඇත. අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලය වන “ට්‍රේඩ්නෙට්එස්එල්” (TradeNetSL) පිහිටුවීමට මහාචාර්ය ලලිත් ගමගේ මහතා දායක විය. ඔවුන් දියත් කළ ඊ-වාණිජ්‍ය වේදිකාව වන “සයිබර් ට්‍රේඩර්” හරහා ගනුදෙනු කිරීමට දේශීය සමාගම්වලට අවස්ථාව ලැබුණු අතර එය රටේ පළමු ඉ-වාණිජ්‍ය වේදිකාව වේ.

අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ආයතනය (USAID) අනුග්‍රාහකත්වය ලබා දුන් තරඟකාරිත්ව ප්‍රාරම්භයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පර්ෂදය යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මූලෝපාය සංවර්ධනය කිරීමේ දී මහාචාර්ය ලලිත් ගමගේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අතර එමගින් ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පිහිටුවීමට මඟ පෑදුණි.

1999 වර්ෂයේ දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිහිටුවීම ඔහුගේ ප්‍රධාන ජයග්‍රහණයන්ගෙන් එකකි. උසස් තත්ත්වයේ තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන්ගේ හිඟයක් රටේ පවතින බවත්, වර්ධනය වන තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ අවශ්‍යතා සපුරාලීම සඳහා රාජ්‍ය විශ්ව විද්‍යාල විසින් බිහි කරන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත් මහාචාර්ය ලලිත් ගමගේ මහතා වටහා ගත්තේය. සෑම වසරකම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් 1000 කට අධික සංඛ්‍යාවක් බිහි කරන අරමුණින් ස්ථාපිත කරන ලද මාලබේ මණ්ඩපය පිහිටුවීමට මෙය හේතු විය. මුලින් තොරතුරු තාක්ෂණය පදනම් කර ගත් වැඩසටහන් පමණක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පසුව පරිගණක පද්ධති සහ ජාලකරණය, තොරතුරු පද්ධති, සයිබර් ආරක්ෂණය සහ මෘදුකාංග ඉංජිනේරු ආදි උපාධි පාඨමාලා ආරම්භ කළේය. පසුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විද්‍යාපති උපාධි වැඩසටහන් ද ආරම්භ කළ අතර කර්මාන්තයේ ප්‍රවණතා අනුව ඒවා අඛණ්ඩව වර්ධනය කෙරේ.

මහාචාර්ය ගමගේ ප්‍රකාශ කරන්නේ උපාධිධාරීන්, විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධිධාරීන් පමණක් නොව ඕනෑම උපාධිධාරියෙකු අවධානය යොමු කළ යුත්තේ හුදෙක් විභාග සමත්වීම ගැනම නොවිය යුතු බවයි. සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට හා ගැටලු වල ස්වභාවය තේරුම් ගෙන විශ්ලේෂණය කිරීමට ලබාගත් දැනුම අදාළ කර ගැනීමට මෙන් ම කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඔවුන්ට හැකි විය යුතුය. මෙම ගුණාංග හොඳ වෘත්තිකයෙකු වීමට හේතු වේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

මහාචාර්ය ලලිත් ගමගේ මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) සභාපති / ප්‍රධාන විධායක නිලධාරියා වේ. මහාචාර්ය ලලිත් ගමගේ තරුණ වියේදී ඔහුගේ අභිප්‍රාය වූයේ ඉංජිනේරුවෙකු වීමටයි. එකල තොරතුරු තාක්ෂණය එතරම් ජනප්‍රිය විෂයයක් නොවීය. පාසල් සිසුවෙකු හා යෞවනයෙකු ලෙස ඔහු ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන දැඩි උනන්දුවක් දැක්වූ අතර ට්‍රාන්සිස්ටර් ගුවන්විදුලි යන්ත්‍ර, ග්‍රාෆික සමකාරක සහ ඩිස්කෝ විදුලි පහන් ආදිය නිර්මාණය කළේය. මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට දැඩි උත්සාහයක් ගත යුතු බව ඔහු දැන සිටියේය. වෙහෙස මහන්සි වී අධ්‍යයන කටයුතුවල නිරතවූ නිසා ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු දෙපාර්තමේන්තුවට තෝරා ගන්නා ලදී. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ බව මහාචාර්ය ලලිත් ගමගේ පවසයි.

උපාධිය ලැබීමෙන් පසු ලලිත් ගමගේ මහතා ශික්ෂකයෙකු ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ අලුතින් පිහිටුවන ලද පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවට බැඳී ඇත. මෙම කාලයේ, ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්වල සිටි සිසුන් අලුතින් පිහිටුවන ලද තොරතුරු තාක්ෂණ සමාගමකට බැඳී ඇති අතර, ඒ සඳහා ලලිත් ගමගේ ද අයදුම් කර සම්මුඛ පරීක්ෂණ ආදියෙන් පසුව එම සමාගමේ රැකියාවකට තෝරා ගන්නා ලදී. එහෙත් විශ්ව විද්‍යාලයේ දෙපාර්තමේන්තු ප්‍රධානියාට මේ ගැන දැනුම් දුන් විට ඔහු ලලිත් ගමගේට පවසා ඇත්තේ විශ්ව විද්‍යාලයේ ස්ථිර තනතුරක් සහ උසස් අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා දිය හැකි බවයි. එබැවින් ලලිත් ගමගේ සමාගමට නොබැඳී විශ්ව විද්‍යාලයේ රැඳී සිටිමින් පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ දිගටම සේවය කළේය. මෙම දෙපාර්තමේන්තුවට ඇතුළත් වූ පළමු කණ්ඩායමට ඉගැන්වීමේ වරප්‍රසාදය තමාට ලැබුණු බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට තමා අවතීර්ණ වුයේ මේ ආකාරයට බවත් ඔහු පවසයි.

ඉන්පසු ඔහුට බ්‍රිතාන්‍ය රජයෙන් ලෙයිස්ටර් විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා ශිෂ්‍යත්වයක් පිරිනමන ලදී. ලලිත් ගමගේ ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන විට පරිගණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ජපන් ආධාර මුදලක් ලැබී තිබුණි. ඉන්පසුව ඔහුට බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් මෙකට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණි. මෙකැට්‍රොනික්ස් යනු විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු, විදුලි සංදේශ, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ වැනි ක්ෂේත්‍රයන්ගෙන් සමන්විත බහුකාර්ය ක්ෂේත්‍රයක් බැවින් ලලිත් ගමගේ සැබවින්ම මෙම වැඩසටහන හරහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට පිවිසියේය.

ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහු නැවත මොරටුවා විශ්ව විද්‍යාලයට පැමිණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙසයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය ප්‍රවර්ධනය කිරීමට ඔහු උනන්දු විය. විශ්ව විද්‍යාලය විසින් ඔහු පරිගණක මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලෙස පත් කරන ලද අතර එමගින් අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ආයෝජන මණ්ඩලය (BOI) වැනි රජයේ ආයතන සහ පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ සමාගම් සමඟ වැඩ කිරීමට අවස්ථාව ලැබුණි.

උසස් තත්ත්වයේ තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයන් සොයා ගැනීමට තොරතුරු තාක්‍ෂණ සමාගම් මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව මහාචාර්ය ලලිත් ගමගේ තේරුම් ගත්තේය. මෙම කාල පරිච්ඡේදය තුළදී, රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් අවශ්‍ය තරමට තොරතුරු තාක්‍ෂණ උපාධිධාරීන් බිහි කිරීමක් හෝ පරිගණක විද්‍යාව විෂයයක් ලෙස හැදෑරූ ප්‍රමාණවත් උපාධිධාරීන් සංඛ්‍යාවක් බිහි කිරීමක් සිදු නොවීය. වේගයෙන් වර්ධනය වන තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ ඉල්ලුම සපුරාලීමට විශ්ව විද්‍යාලවලින් පිට වන තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීය. මේ නිසා මොරටුව විශ්ව විද්‍යාලය තුළ නව ආයතනයක් පිහිටුවීම පිළිබඳව මහාචාර්ය ගමගේ විසින් ලිපියක් සකස් කළ අතර එයට හොඳ ප්‍රතිචාරයක් ලැබුණ නමුත් අවශ්‍ය අරමුදල් සපයා ගැනීම ගැටලුවක් විය. මෙයින් ඒකාබද්ධ අරමුදලට විශාල බරක් පැටවෙනු ඇතයි යන්න රජයේ අදහස විය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT)
ඉන්පසුව 1999 දී මහාචාර්ය ලලිත් ගමගේ තවත් වෘත්තිකයන් පිරිසක් සමග එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිහිටුවා සිසුන් බඳවා ගැනීමට තීරණය කළහ. ශ්‍රී ලංකා තාක්ෂණ ආයතනය මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ ලංකා බැංකු ගොඩනැගිල්ලේ 16 වන මහලේ ය. මේ වන විට තොරතුරු තාක්ෂණ ආයතනයට උපාධි ප්‍රදානය කළ හැකි තත්වයක් නොතිබුණි. මේ නිසා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) විසින් පවත්වන ඩිප්ලෝමා වැඩසටහනක් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබීය. මෙයට අයදුම්පත් 3000 කට අධික සංඛ්‍යාවක් ලැබුණු අතර ඉන් සිසුන් 395 දෙනෙකු බඳවාගෙන තිබේ. මෙය ගාස්තු අය කරන ආයතනයක් විය. මෙවැනි පාඨමාලා සඳහා විශාල ඉල්ලුමක් ඇති බව පෙනී ගිය නිසා මහාචාර්ය ලලිත් ගමගේ සහ කණ්ඩායම ලංකා බැංකු වෙළඳ කුළුණේ තවත් මහලක් කුලියට ගත්තේය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ජනප්‍රියතාව වර්ධනය වීමත් සමග ඊළඟ වසරේ අයදුම්පත් 6,300 ක් ලැබී ඇති අතර එයින් සිසුන් 600 ක් බඳවා ගන්නා ලදී. මෙම කාල පරිච්ඡේදය තුළදී, මහපොළ භාරකාර අරමුදල මේ ආයතනය සඳහා අරමුදල් සහ දැන් ආයතනය ස්ථාපිත කර ඇති මාලබේ ඉඩම ලබා දීමට එකඟ විය. මෙය අවශ්‍යතා අනුව සැකසූ මණ්ඩපයක් වන අතර එහි ඉදිකිරීම් කටයුතු අවශ්‍ය පහසුකම් සහිතව 2002 වර්ෂයේදී නිම කරන ලදී. ඉන්පසුව, සිසුන් 1000 කට වැඩි සංඛ්‍යාවක් බඳවා ගැනීමට හැකි වූ අතර, එයින් අදහස් වන්නේ පසුගිය කාලය තුළ මෙම ආයතනයෙන් සෑම වසරකම තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් 1000 කට වැඩි සංඛ්‍යාවක් බිහි කර ඇති බවයි. මෙම උපාධිධාරීන් ක්ෂේත්‍රයට පිවිසීම කර්මාන්තයේ වර්ධනයට ධනාත්මක ලෙස බලපා ඇත. රටේ අපනයන ඉපයීම් අතර තොරතුරු තාක්ෂණය පස් වන ස්ථානයට පැමිණ ඇති අතර ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) මෙම කර්මාන්තය සඳහා වැඩිම උපාධිධාරීන් සංඛ්‍යාවක් ලබා දී ඇතයි මහාචාර්ය ගමගේ පවසයි.
මුලින් තොරතුරු තාක්ෂණය පදනම් කරගත් පාඨමාලා පමණක් ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), කර්මාන්තයේ අවශ්‍යතා අවබෝධ කර ගනිමින් පරිගණක පද්ධති සහ ජාලකරණය, තොරතුරු පද්ධති, සයිබර් ආරක්ෂණ සහ මෘදුකාංග ඉංජිනේරු ආදි උපාධි පාඨමාලා ආරම්භ කළේය. පසුව මෙම (SLIIT) ආයතනය, ශාස්ත්‍රපති උපාධි පාඨමාලා ද ආරම්භ කළ අතර කර්මාන්තය සමඟ අඛණ්ඩව වර්ධනය වූයේය. කෘතිම බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනීමේ ක්ෂේත්‍ර වේගයෙන් දියුණු වන අංශ බැවින් දත්ත විද්‍යාව පිළිබඳ වැඩසටහනක් ද දියත් කරන ලදී.

ශ්‍රී ලංකා වාණිජ ජාලය (TradeNetSL)
කලින් සඳහන් කළ පරිදි මහාචාර්ය ගමගේ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ලෙස සේවය කරමින් සිටි කාලයේ ඔහුට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සමග කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි. නිෂ්පාදන හා සේවා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම (EDB) මණ්ඩලය සැබවින්ම තාක්ෂණය භාවිතා නො කරන බව ඔහුට පෙනී ගියේය. මහාචාර්ය ගමගේ විසින් මෙම ගැටලුව ගැන අධ්‍යයනයක් කිරීමෙන් පසු අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) වෙළඳ තොරතුරු ජාලය (TradeNetSL) පිහිටුවීමට තීරණය කළ අතර එමගින් නිෂ්පාදන, වෙළඳපොළ, දේශීය සමාගම්, විශේෂයෙන් කුඩා හා මධ්‍යම ව්‍යවසායන්ට (SMEs) ප්‍රචාරයක් ලබා දීම සහ ඒවා අන්තර්ජාලය හරහා ප්‍රවර්ධනය කිරීම ආදිය සඳහා තාක්ෂණය භාවිතා කරන ලදී. ඔවුන් දියත් කළ “සයිබර් ට්‍රේඩ්” හරහා දේශීය සමාගම්වලට ගනුදෙනු කිරීමට අවස්ථාව ලැබුණු අතර එය රටේ පළමු ඊ-වාණිජ වේදිකාව ද විය. මෙය ආරම්භ කළේ මහාචාර්ය ගමගේ සහ ඔහුගේ එක් සිසුවෙකු විසිනි. මේ සඳහා ඔවුන්ට කුඩා කාමරයක් ලබා දී තිබුණ ද අරමුදල් කිසිවක් නොලැබුණි. ඔවුන් මේ සඳහා පැරණි සේවාදායකයක් හා මන්දගාමී අන්තර්ජාල සම්බන්ධතාවක් යොදා ගනිමින් එක රැයක් තිස්සේ බාගත කළ සහ ලිනක්ස් මෘදුකාංගයක් භාවිතා කළහ. කලින් සොයා ගත නොහැකි වූ වෙළඳපොල මෙම ඊ-වාණිජ වේදිකාව හරහා සොයා ගත් අපනයනකරුවන් දහස් ගණනකට මෙයින් බොහෝ ප්‍රතිලාභ ලැබී තිබේ. අවසානයේ මෙය අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) විශාලම අංශය බවට පත් වූයේය.

අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ආයතනය (USAID) අනුග්‍රාහකත්වය ලබා දුන් තරඟකාරිත්ව ප්‍රාරම්භයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පර්ෂදය සහ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) කර්මාන්ත අංශය සමඟ සමීපව කටයුතු කරන බව මහාචාර්ය ගමගේ පවසයි. මෙම කාල පරිච්ඡේදය තුළ තොරතුරු තාක්ෂණ කර්මාන්තය ආරම්භක අවස්ථාවේ පසු වූ අතර එය දිරි ගැන්වීම අවශ්‍ය විය. මානව සම්පත් (HR) එක් අංශයක් පමණි. එබැවින්, අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද ආයතනය (USAID) අනුග්‍රාහකත්වය ලබා දුන් තරඟකාරිත්ව ප්‍රාරම්භයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පර්ෂදය යටතේ පැහැදිලි අදියර 3කින් සමන්විත මූලෝපායක් සකස් කරන ලදී. මෙම මූලෝපායේ පළමු කොටස සාධක මත පදනම් වූ අතර හඳුනා ගත් සාධක වූයේ මානව සම්පත්, යටිතල පහසුකම්, ව්‍යාපාරික පරිසරය, නෛතික පරිසරය, අලෙවිකරණ සහ ප්‍රවර්ධන පරිසරය සහ වෙළඳ නාමකරණයෙ ආදියයි. මහාචාර්ය ලලිත් ගමගේ කණ්ඩායමක් සමඟ මානව සම්පත් අංශය භාර ගත් අතර අනෙක් අංශ පිළිබඳ ව වෙනත් කණ්ඩායම් කටයුතු කළහ. තරඟකාරිත්වය ලබා ගත යුතුව තිබුණේ මෙම සාධකවල ඇති හැකියාව සහ පිරිවැය තුළිනි. මහාචාර්ය ගමගේ සිහිපත් කරන්නේ මෙම කාල පරිච්ඡේදය තුළ ප්‍රමාණවත් කලාප පළලක් (bandwidth) නොමැති බවට බොහෝ දෙනා පැමිණිලි කළ නමුත් මෙය දැන් ගැටලුවක් නොවන බවයි. මූලෝපායේ දෙවන කොටස වූයේ කාර්යක්ෂමතාව මත පදනම් වූ මූලෝපායක් සහ ක්‍රියාවලීන් වැඩිදියුණු කළ හැකි ආකාරයයි.

මූලෝපායේ තෙවන අදියර වූයේ පර්යේෂණ හා සංවර්ධන කටයුතුයි. පර්යේෂණ හා සංවර්ධන (R&D) කටයුතුවල වැදගත්කම මහාචාර්ය ගමගේ අවධාරණය කරයි. කාර්යක්‍ෂමතාව සහ විශේෂ වෙළඳපොළ වැඩි කල් පවතින්නේ නැතැයි ඔහු පවසයි. කර්මාන්තයට පර්යේෂණ හා සංවර්ධන ප්‍රතිලාභ ලබා ගත හැකි වන පරිදි සුදුසු ක්ෂේත්‍රවල පර්යේෂණ හා සංවර්ධනය වැදගත් වන අතර නව නිෂ්පාදන හා සේවාවන් සංවර්ධනය කළ යුතු වේ. මේ වන විට ශ්‍රී ලංකාව දෙවන අදියරේ අවසාන කොටසේ සිටින අතර තොරතුරු තාක්ෂණ කර්මාන්තය ඊළඟ මට්ටමට ගෙන යෑම සඳහා මූලෝපායේ තුන්වන අදියර ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.

මහාචාර්ය ගමගේ සිහිපත් කරන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මූලෝපාය සකස් කර එය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතු භාර අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාට පිළිගැන්වූ විට ඔහු පවසා ඇත්තේ “මෙය ලෝක බැංකුවෙන් අරමුදල් ලබා ගත හැකි වන පරිදි බැංකුගත කළ හැකි ලේඛනයක් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය” බවයි. ඉන්පසුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විසින් මෙහෙයවනු ලබන රටේ සංවර්ධනය පිළිබඳ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ලෙස මෙම මූලෝපාය සැකසීමට විශේෂයෙන් ආචාර්ය නාගී හන්නා ඇතුළු ලෝක බැංකුවේ කණ්ඩායම සමඟ කටයුතු කර එය ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු අරමුදල් ලබා ගන්නා ලදී. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ආයතනය වූ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) මේ තුළින් බිහි වූ බව මහාචාර්ය ලලිත් ගමගේ සතුටින් ප්‍රකාශ කරයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බව මහාචාර්ය ගමගේ ප්‍රකාශ කළේය.

මෙම මූලෝපායේ කොටසක් ලෙස කර්මාන්ත සංගම් ඉදිරියට ගෙන ඒමට ඔවුන්ට අවශ්‍ය විය. ශ්‍රී ලංකා මාදුකාංග හා සේවා සමාගම් සංගමය (SLASCOMM) පිහිටුවීම සඳහා සියලු දෙනා ම එක්වූ බවත් එයට මූලික වුයේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය බවත් මහාචාර්ය ගමගේ කියා සිටී.

අවසාන වශයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සෑම තැනම පැතිරී ඇති බව ඔහු පවසයි – උදාහරණයක් ලෙස කාර්යාලවල, නිවාසවල, මෝටර් රථවල, ආදි සෑම තැනක ම එය අවශ්‍ය වේ. එබැවින් මේවාට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටිය යුතුය.

එබැවින්, ඕනෑම උපාධිධාරියෙකුට, විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධිධාරීන්ට පමණක් නොව නොව, ඕනෑම උපාධිධාරියෙකුට ඔහු දෙන අවවාදය නම්, විශ්ව විද්‍යාලයක උපාධි අපේක්ෂකයාගේ ඉලක්කය හුදෙක් විභාග සමත් වීම පමණක් නොවිය යුතු බවයි. විශ්ව විද්‍යාලයකට ඇතුළු වන විට අප පාසල් දරුවන්ගේ තත්වයේ සිට වෘත්තිකයන් බවට පරිවර්තනය වේ. වෘත්තිකයෙකු වීමේ දී දැනුම ලබා ගැනීම වැදගත් වන නමුත් සැබෑ ලෝකයේ ගැටලු විසඳීම සඳහා ලබාගත් දැනුම අදාළ කර ගැනීමට හැකි විය යුතුය. මෙම ගැටළු වල ස්වභාවය අවබෝධ කර ගැනීමට සහ විශ්ලේෂණය කිරීමට හැකියාව තිබිය යුතු අතර, දැනුම ප්‍රමාණවත් නොවේ නම්, වෙනත් අය කර ඇති දේ සොයා ගැනීමට හා පර්යේෂණ කිරීමට හැකි විය යුතු අතර කණ්ඩායම් සමඟ වැඩ කිරීමේ හැකියාව ද තිබිය යුතුය, සමහර විට නායකත්වය දීමට ද හැකි විය යුතුයි. මහාචාර්ය ගමගේ පවසන පරිදි මේවා උපාධි අපේක්ෂකයෙකු ලබා ගත යුතු කුසලතා වන අතර එයින් ඔහු හොඳ වෘත්තිකයෙකු බවට පත්වනු ඇත. අවසාන වශයෙන් වැදගත් වන්නේ මෙම කුසලතා අත්කර ගැනීම සහ සමාජයේ අභිවෘද්ධිය සඳහා කෙනෙකුට දායක විය හැකි වන පරිදි නව්‍ය විසඳුම් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබීමයි.