නීල් ගුණදාස මහතා

නීල් ගුණදාස මහතා කැළණිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී (B.Sc) උපාධියක් ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, , කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙන් (NIE) අධ්‍යාපන කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද, එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් විශ්ව විද්‍යාලයෙන් තොරතුරු කළමනාකරණය පිළිබඳ විද්‍යාපති (M.Sc) උපාධියක්ද ලබා ගෙන තිබේ.

නීල් ගුණදාස මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත කළමනාකරණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂ (SLEAS-I) වේ. ඔහුගේ එක් ප්‍රධාන වගකීමක් වන්නේ අධ්‍යාපන පද්ධතිය පිළිබඳ දත්ත හා තොරතුරු සකස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) ක්‍රියාත්මක කිරීමයි. ගුණදාස මහතා 2006 සිට 2016 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර එහිදී මුළු රටටම බලපාන ආකාරයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ධනාත්මක වෙනසක් ඇති කළ ප්‍රධාන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කිරීමේ වගකීම දැරුවේය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ නීල් ගුණදාස මහතා සේවය කළ කාලය තුළ මුළු රටටම බලපෑමක් කළ බොහෝ ජයග්‍රහණ ළඟා කර ගත හැකි විය. ගුණදාස මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවට සම්බන්ධ වූ විට, මෙම අංශයේ ඉගැන්වීම සඳහා කැප වූ ශ්‍රී ලංකික ගුරුවරුන් සමඟ එක්ව තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය තිරසාර ආකාරයකින් ලබා දිය යුතු බව අවබෝධ කර ගත්තේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සාමාන්‍ය අධ්‍යාපනයට හඳුන්වා දීම
ද්විතීයික පාසල් විෂය මාලාවට තොරතුරු තාක්‍ෂණය විෂයයක් ලෙස ඇතුළත් කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණය, සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය තුළ වැදගත් සන්ධිස්ථානයක් විය. ඒ අනුව, අ.පො.ස (G.C.E) උසස් පෙළ සඳහා (12 ශ්‍රේණිය සඳහා) 2004 දී සාමන්‍ය තොරතුරු තාක්ෂණය (GIT) හඳුන්වා දෙන ලදී. මේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය විධිමත් ලෙස සාමාන්‍ය අධ්‍යාපනයට හඳුන්වා දුන් පළමු අවස්ථාවයි.

ඉන්පසුව, පාසල්වල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ භෞතික සම්පත් නඟා සිටුවීම සඳහා රජය, ආධාර දෙන විදේශීය ආයතනවලින් අරමුදල් ලබා ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2006 දී 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් සඳහා විකල්ප විෂයයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථා දෙකේදීම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඉගැන්වූයේ වෙනත් විෂයයන් ඉගැන්වීම සඳහා පත් කරන ලද ගුරුවරුන්ය. ඔවුන් පුහුණු කරනු ලැබුවේ ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගිනි. මීට අමතරව ඔවුන්ගේ උනන්දුව හා විෂය කෙරෙහි ඇති කැපවීම නිසා ගුරුවරුන් විසින්ම අදාළ පුහුණුව ලබාගත්තේය. එම ගුරුවරුන් ඉටු කළ විශිෂ්ට සේවය වෙනුවෙන් ඔවුන්ට හිමි පිළිගැනීම හා ගෞරවය ලබා දිය යුතු බව ගුණදාස මහතා නැවතත් අවධාරණය කරයි.

දෘඪාංග සහ ජාල විසඳුම් කණ්ඩායම්
පාසල්වල පරිගණක විද්‍යාගාර නඩත්තු කිරීම සඳහා ජාතික මට්ටමින් දෘඪාංග හා ජාල විසඳුම් කණ්ඩායම් පිහිටුවීම 2008 දී ක්‍රියාත්මක කරන ලද එක් ප්‍රධාන පියවරක් විය. මෙම වැඩසටහනට සමගාමීව දෘඪාංග හා ජාල විසඳුම් කණ්ඩායම් කලාප මට්ටමින් මෙන්ම පාසල්වලද ක්‍රියාත්මක කරන ලදී. වාර්ෂික දෘඪාංග නඩත්තු කිරීමේ වැඩසටහන ඩෙල්ෆ්ට් දූපත සහ යාපනය ඇතුළුව දිවයින පුරා සෑම වසරකම (පාසල් නිවාඩු කාලය තුළ) දෙවන වාරය අවසානයේ දී පවත්වන ලදී. මේ පුහුණුව සඳහා දිවයින පුරා සිටින ගුරුවරුන් 250 ක් පමණ තෝරා ගනු ලැබීය. කොළඹ, පේරාදෙණිය, රුහුණ, සබරගමුව සහ කැළණිය විශ්ව විද්‍යාලවලදී තෝරාගත් ගුරුවරුන් සඳහා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදී. මෙම ගුරුවරුන් පාසල් මට්ටමින් සහ කලාප මට්ටමින් අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබා දෙන අතර මෙය ඉතා සාර්ථක වැඩසටහනක් විය.

එක් දරුවෙකුට එක් ලැප්ටොප් පරිගණකයක් (OLPC)
එක් දරුවෙකුට එක් ලැප්ටොප් පරිගණකයක් ලබා දීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2010 දී පාසල් 17 ක ප්‍රාථමික පාසල් ළමුන් සඳහා ලැප්ටොප් පරිගණක බෙදා දෙන ලදී. එක් පළාතෙන් එකක් බැගින් මුලදී පාසල් 9 ක් තෝරාගත් අතර අනෙක් පාසල් පසුව තෝරා ගන්නා ලදී. 1 සිට 5 ශ්‍රේණි දක්වා පාසල් විෂය නිර්දේශයට පෙළගස්වන ලද අයිතම 1500 කට අධික ප්‍රමාණයක් මෙම ලැප්ටොප් පරිගණකවල ස්ථාපනය කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) සහාය ඇතිව මෙහෙයුම් පද්ධතිය සිංහලට සහ දෙමළට පරිවර්තනය කරන ලදී. ලැප්ටොප් සහ අන්තර්ගතය උද්යෝගයෙන් භාවිතා කිරීමට පටන් ගත් ළමයින් ඒවා ඉතා අගය කළේය. මින් පෙර කිසි දිනෙක පරිගණකයක් භාවිතා නොකළ ග්‍රාමීය ප්‍රදේශවල ළමුන් ඉතා දක්ෂ ලෙස ලැප්ටොප් පරිගණක භාවිතා කිරීම ආරම්භ කළහ. මෙය සාර්ථක ව්‍යාපෘතියක් විය. උදාහරණයක් ලෙස ගණිතයට බිය වූ දරුව‍න්ගේ එම බිය දුරු කිරීමට පරිගණක සමත්වී ඇති බව ගුණදාස මහතා සහ ඔහුගේ කණ්ඩායම දුටුවේය.

ඉ-තක්සලාව, ඉ-ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය
ඉන්පසුව, 2010 දී නීල් ගුණදාස මහතා සිය කණ්ඩායම සමඟ පුළුල් සාකච්ඡා පැවැත්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල විද්‍යුත් ඉගෙනුම් වේදිකාව වන “ඉ-තක්සලාව” නම් ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීමට තීරණය කළේය. මෙය ඔහුගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක කරන ලද වඩාත් ඵලදායී ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය තවමත් ගුරුවරුන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක වන අතර මෙය මුළුමනින්ම ශ්‍රී ලාංකික ගුරුවරුන් විසින් මෙහෙයවන ශ්‍රී ලංකික ව්‍යාපෘතියකි. ශ්‍රී ලාංකික ගුරුවරුන් සවිබල ගැන්වුවහොත් ප්‍රාතිහාර්යන් සිදු කළ හැකි බව ගුණදාස මහතා සිය අත්දැකීම් තුළින් තරයේ විශ්වාස කරයි.

සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමය සඳහා වූ මෙම ජාතික ඉ-ඉගෙනුම් බිහිදොර “ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන” කාණ්ඩය යටතේ 2014 දී ඉ-ස්වාභිමානි උත්සවයේදී හොඳම විද්‍යුත් අන්තර්ගතය සඳහාවූ සම්මානය දිනා ගත්තේය. ඉ-ස්වභිමානි යනු ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් විවිධ කාණ්ඩ යටතේ නව්‍ය අන්තර්ගතයන් හෝ මෘදුකාංග සඳහා ලබා දෙන සම්මානයකි. ඉන්දියාවේ නවදිල්ලි නුවර “ඉ-ඉගෙනුම් හා අධ්‍යාපන” කාණ්ඩය යටතේ දකුණු ආසියාවේ සහ ආසියා පැසිෆික් කලාපයේ 2014 හොඳම ඉ-අන්තර්ගත තරගයේදී “මැන්තන් සම්මානය” (Manthan Award) දිනා ගැනීමට ඉ-තක්සලාව සමත් විය. මෙම පද්ධතියේ පිරිවැය ඵලදායී ආකෘතිය බෙහෙවින් ඇගයීමට ලක් විය. ඉ-තක්සලාව තිරසාර ආකෘතියක් ලෙස ඉදිරියට ගෙන යෑම සහ ශ්‍රී ලංකාවේ විද්‍යුත් ඉගෙනුම් සංස්කෘතිය වැඩි දියුණු කිරීම ගුණදාස මහතාගේ අධිෂ්ඨානය විය. එබැවින් ඔහු මුදල් අමාත්‍යාංශය හරහා විදේශ අරමුදල් ආධාරයෙන් අන්තර්ගතය සංවර්ධනය සඳහාවූ ජාතික මධ්‍යස්ථානය ( NCDC) පිහිටුවීම සඳහා වූ මූලික ක්‍රියාදාමය (අරමුදල් හා අනුමැතිය ලබා ගැනීම) ආරම්භ කළේය. සාමාන්‍ය අධ්‍යාපන පද්ධතිය තුළ අනාගත පරපුර සඳහා ශ්‍රී ලංකා ඉ-ඉගෙනුම් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ මූලික ස්ථානය වන්නේ මෙම අන්තර්ගතය සංවර්ධනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයයි.

මධ්‍යස්ථ පාසල් පෙළ පොත්
අලෙවිකරුවන්ට පක්ෂග්‍රාහී නොවන මධ්‍යස්ථ පාසල් පෙළ පොත් සකස් කිරීමටද මෙම කණ්ඩායම ක්‍රියා කළේය. ගුරුවරුන් දැන් විවෘත මූලාශ්‍ර තාක්‍ෂණය හා මෘදුකාංග බලපත්‍ර ලබා දීම වැනි කරුණු සම්බන්ධයෙන් දැනුවත්ව සිටින බැවින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධ පෙළ පොත් මධ්‍යස්ථ අන්තර්ගතයකින් සකස් කරන ලදී. ගුණදාස මහතා විශ්වාස කළේ අධ්‍යාපනය මගින් අවස්ථා උදා කළ යුතු බවයි.. “මුලදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පෙළ පොත්, වෙළෙන්දන්ට පක්ෂග්‍රාහී වූ අතර මෙය මගේ පාලන කාලය තුළ මා මුහුණ දුන් එක් අභියෝගයකි. රජය විසින් නිපදවන ලද සහ නොමිලේ බෙදා හරින ලද පෙළ පොත් මධ්‍යස්ථ විය යුතුවාක් මෙන්ම වෙළෙන්ඳුන්ට පක්ෂග්‍රාහී නොවිය යුතුය.”යි ගුණදාස මහතා ප්‍රකාශ කරයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ පෙළ පොත් වල දක්වා ඇති උදාහරණ එක් විශේෂිත මෘදුකාංගයකට පක්ෂග්‍රාහී නොවිය යුතු බවයි. එබැවින් විවෘත මූලාශ්‍ර තාක්‍ෂණය හා මෘදුකාංග බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර රහිත මෘදුකාංග භාවිතා කිරීමේ ඝෘණාත්මක ප්‍රතිඵල ආදි කරුණු පිළිබඳව ගුරුවරුන් දැනුවත් බව සහතික කිරීමට පියවර ගෙන තිබේ.

“ඉසුරු ලිනක්ස්” මෙහෙයුම් පද්ධතිය
සාමාන්‍ය අධ්‍යාපන පද්ධතියට විවෘත මූලාශ්‍රය හඳුන්වා දීම ගුණදාස මහතා ආරම්භ කළේය. මෘදුකාංග බලපත්‍ර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විශාල මුදලක් වැය කර තිබේ. මේ නිසා අධ්‍යාපන පද්ධතියට අනුකූලව සැකසූ මෙහෙයුම් පද්ධතියක් සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී. ශ්‍රී ලංකාවේ විවෘත මූලාශ්‍ර ප්‍රජාව (Open Source community )මේ සඳහා සහයෝගය ලබා දුන්නේය. ‘උබුන්ටු 12.4’ මෙහෙයුම් පද්ධතිය අධ්‍යාපනික කරුණු ඇතුළත් කර අභිරුචිකරණය කරන ලද අතර මෙම මෙහෙයුම් පද්ධතිය “ඉසුරු ලිනක්ස්” ලෙස නම් කරන ලදී. මෙම ව්‍යාපෘතිය ද සාර්ථක වූ අතර බොහෝ පාසල් ඉගැන්වීම සහ ඉගෙනීම සඳහා මෙය භාවිතයට ගනී.

මෘදුකාංග තරඟ
මෙම කාලය තුළ ගුණදාස මහතා සහ ඔහුගේ කණ්ඩායම ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) සහ තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) සමග එක්ව සිසුන් හා ගුරුවරුන් තෝරා ගැනීම සඳහා මෘදුකාංග තරඟ ආරම්භ කළහ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය සඳහා “ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරතා තරඟය” අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ නිල කටයුත්තක් ලෙස 2009 දී ආරම්භ කරන ලදී. මෙම තරඟ හරහා සිසුන් ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධානයට (APICTA) සහ වෙනත් ජාත්‍යන්තර තරග සඳහා යවන ලද අතර එම තරගවලදී පදක්කම් දිනා ගැනීමට ඔවුන් සමත් වූහ.

ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්
ගුණදාස මහතා සහ ඔහුගේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබා දුන් දකුණු කොරියාව සමඟ ජාත්‍යන්තර හවුල්කාරිත්වයක් ඇති කර ගත්තේය. කොරියානු ජනරජයේ ග්වාංජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. මෙම ව්‍යාපෘතිය සඳහා සම්පූර්ණයෙන්ම අරමුදල් සපයනු ලැබුවේ කොරියානු ජනරජය විසිනි. මෙම වැඩසටහන යටතේ මුලින් ගුරුවරුන් 12 දෙනෙකුට දින පහක පුහුණුවක් ලබා දෙන ලදී. පසුව පුහුණුව ලබන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 25 දක්වා වැඩි කරන ලදී. මෙය ශ්‍රී ලාංකික ගුරුවරුන්ට හොඳ අවස්ථාවක් විය. කොරියානු ජනරජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයේ ඉහළම තලයේ සිටින රටක් බැවින් ඔවුන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය පිළිබඳ නවතම දැනුම ලබා ගැනීමට හැකි වූයේය. වැඩසටහනේ අවසාන භාගයේ, එනම් 2009 සිට, පුහුණුව ලැබූ සෑම ගුරුවරයෙකුටම ලැප්ටොප් පරිගණකයක් ලබා දුන් අතර ඔවුන්ට එය ආපසු එන විට ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි විය. ගෝලීය මට්ටමින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඉදිරියට යන ආකාරය පිළිබඳව දැනුවත් විය හැකි ආකාරයට කොරියාවේ අධි තාක්‍ෂණික කර්මාන්ත නැරඹීමට ද මේ ගුරුවරුන්ට අවස්ථාව ලබා දෙන ලදී.

පළමුවන අංග සම්පූර්ණ සපන් (SMART) පන්ති කාමරය 2014 දී පිටිපන මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ආරම්භ කරන ලදී. ඒ සඳහා මුළුමනින්ම අරමුදල් සපයන ලද්දේ කොරියානු ජනරජය (දකුණු කොරියාව) විසිනි. මෙයට හේතු වූයේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පවත්වා ගෙන යන හවුල්කාරිත්ව සම්බන්ධයයි.. මේ සම්බන්ධයෙන් දකුණු කොරියානු රජය, ග්වාංජු මෙට්‍රොපොලිටන් අධ්‍යාපන කාර්යාලය, දේශීය සගයන්, දේශීය විශේෂඥ දැනුම සහ ශ්‍රී ලංකාවේ පාසල් ගුරුවරුන්ගේ සමස්ත ප්‍රජාව ඇතුළු සියල්ලන්ටම ගුණදාස මහතා කෘතඥතාව පළ කරයි.

නව ව්‍යාපාර මුහුණ දෙන අභියෝග
අලුත් දෙයක් ආරම්භ කිරීම විශාල අභියෝගයකි. ගුණදාස මහතා සහ ඔහුගේ කණ්ඩායම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන යාමට උත්සාහ කරන විට මෙය පැහැදිලි විය. සමහර විට විදුලිය නොමැති වීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පහසුකම් හිඟවීම සහ මෙම පාසල් සඳහා ප්‍රමාණවත් ගුරුවරුන් සංඛ්‍යාවක් නොසිටීම ආදි ගැටලුවලට මුහුණ දීමට සිදු විය. එබැවින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇති ගුරුවරුන් කණ්ඩායමක් තෝරා ගන්නා ලද අතර මෙසේ කැපවීමක් පෙන්වූ ගුරුවරුන්ට ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් අඛණ්ඩ පුහුණුවක් ලබා දෙන ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් බිහිකිරීම සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට ප්‍රධාන තීරණයක් ගන්නා ලදී. මේ අනුව අධ්‍යාපන පද්ධතිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් බිහිකිරීම සඳහා රත්නපුර කහවත්ත, රුවන්පුර ජාතික අධ්‍යාපන ආයතනය 2010 දී තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය සඳහා කැපවූ විද්‍යාලයක් ලෙස නැවත ස්ථාපිත කරන ලදී. උසස් පෙළ විභාගය සඳහා 2009 දී තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ප්‍රධාන විෂයයක් ලෙස හඳුන්වා දෙන ලදී. මෙහි ප්‍රතිඵලය වූයේ විශ්ව විද්‍යාලවල මෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ විශාල උද්යෝගයක් ඇති වීමයි. උසස් පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය නිර්දේශය යටතේ අන්තර්ගතය ඉගැන්වීම සඳහා ගුරුවරුන් පුහුණු කරන ලදී.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධි නොමැති ගුරුවරුන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය (UNIVOTECH) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. මෙම පාඨමාලා හදාරන ගුරුවරුන්ට පූර්ණ කාලීන අධ්‍යයන නිවාඩු ලබා දෙන ලදී. මෙය සාර්ථක වැඩසටහනක් වූ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන්ට ජාලකරණය, බහුමාධ්‍ය සහ ක්‍රමලේඛනය වැනි ප්‍රධාන විෂයයන් පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට හැකි විය. 2012 වසරේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධිධාරීන් බඳවා ගනු ලැබුවේ සියලුම සම්මුඛ පරීක්ෂණ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාවේ නායකත්වය යටතේ පවත්වා ඔවුන් ස්ථානගත කිරීමෙනි. මෙහි ප්‍රතිඵලය වූයේ අධ්‍යාපන පද්ධතිය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාධිධාරීන් සෑහෙන සංඛ්‍යාවක් සිටීමයි. පසුව පාසල්ද මෙයට හොඳින් අනුගත විය. සමහර පාසල්වල පාසල් සීනුව නාද කිරීම සඳහා පවා මෘදුකාංග නිපදවා ඇති බව ගුණදාස මහතා සිහිපත් කරයි. මේ අනුව කාලයත් සමග තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ජනප්‍රිය විෂයයක් බවට පත්වී තිබේ.
එහෙත් මේ සියලු වර්ධනයන් මැද පවා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය දුර බැහැර ප්‍රදේශවලට ගෙන යාමේ අභියෝගයන් තිබුණි. එබැවින් සෑම කලාපයකම පරිගණක සම්පත් මධ්‍යස්ථාන පිහිටුවන ලදී. සෑම කලාපයකම පාසල් සඳහා පුහුණුව හා සහාය ලබා දීමට මේවා පිහිටුවන ලද අතර මෙය තවත් සාර්ථක ව්‍යාපෘතියක් විය. 2009 සිට 2013 දක්වා කාලය තුළ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව ග්‍රාමීය ප්‍රදේශවල පාසල් ගුරුවරුන් සඳහා අදාළ අතිරේක අන්තර්ගතයන් සකස් කිරීම තවත් ව්‍යාපෘතියක් විය.

තවත් ප්‍රධාන පියවරක් වූයේ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (IT/BPO) අංශය හරහා ලබා ගත හැකි අවස්ථා පිළිබඳව සිසුන් දැනුවත් කිරීමයි. මඩකලපුව, මහනුවර, ගාල්ල, රත්නපුර, යාපනය, කුරුණෑගල සහ කොළඹ වැනි ප්‍රධාන නගරවල අමාත්‍යාංශය මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වන ලදී. මේ නිසා ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණ / ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය පිළිබඳ දැනුම ලබා ගැනීමටත් ඔවුන්ට එයට සම්බන්ධ විය හැකි ආකාරය ගැන දැනුවත්වීමටත් හැකි වූයේය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කෙරෙහි සිසුන් අතර, විශේෂයෙන් 10 ශ්‍රේණියේ සහ උසස් පෙළ පන්තිවල සිසුන් අතර දැන් විශාල උද්යෝගයක් පවතී.

ගුණදාස මහතා සහ ඔහුගේ කණ්ඩායම විසින් බිහිකළ සමස්ත ව්‍යුහය මෙයයි. සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයම ආවරණය වන පරිසරයක් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ තිබීම ඉතා වැදගත් බව ගුණදාස මහතා පවසයි. මෙතෙක් අවධානය යොමු වී තිබුණේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය කෙරෙහි ය. නමුත් අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා වැනි අංශ කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ඔහු පවසයි. අදාළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා රට පුරා සැපයීම සඳහා යාන්ත්‍රණයක් තිබීම අවශ්‍ය වේ. මේවා ගැන දැනටමත් අවධානය යොමු වී ඇතත් එය ප්‍රමාණවත් නොවේ. අනාගතයේ දී ශ්‍රී ලංකාව අධ්‍යාපනයට අදාළ දෘඪාංග, මෘදුකාංග, ජාලකරණය සහ සම්බන්ධතා වැනි අංශ ගැන පමණක් නොව, සයිබර් ආරක්ෂාව, අන්තර්ගතය සහ අදාළ පුහුණුව වැනි ක්ෂේත්‍ර ගැන ද පුළුල් ලෙස අවධානය යොමු කළ යුතු බව ගුණදාස මහතා පවසයි. තවද, කෘෂිකාර්මික හා කාර්මික විප්ලවයන් දෙකෙන්ම ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වූ හෙයින්, ගුණදාස මහතා දැඩි ලෙස විශ්වාස කරන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තුළින් රට වෙනස් කළ හැකි බවත්, අප එය නිසි ලෙස වටහා ගන්නේ නම් ඒ සඳහා තවමත් ඉඩකඩ පවතින බවත්ය.

 

ගැලරිය