දිනිෂා එදිරිවීර මහත්මිය

දීනිෂා එදිරිවීර මහත්මිය වර්තමානයේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) ජ්‍යෙෂ්ඨ පද්ධති ඉන්ජිනේරුවෙක් වේ. ඇය ශ්‍රී ලංකාවේ මොරටුව විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදි (B.Sc.) හා විද්‍යාපති (M.Sc.) උපාධි හිමි කරගෙන ඇත. ඇය ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනයේ (IESL) සමායන සාමාජිකාවක් මෙන් ම ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සමායන සාමාජිකාවක් ද වේ.

එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ දී එදිරිවීර මහත්මිය, වර්ගීකෘත දැන්වීම් පද්ධතියට හා ඩිජිටල් දැන්වීම් පද්ධතිය සඳහා මෘදුකාංග සැලසුම් කර සංවර්ධනය කළාය. මෙයට අමතරව වර්ගීකෘත දැන්වීම් පද්ධතිය සඳහා සිංහල පරිතුලන (Collation) ඇල්ගොරිතමය ද, සංස්කරණ පද්ධතිය සඳහා සිංහල යා-ඉර යෙදුම් (Hyphenation) මොඩියුලය හා යුනිකෝඩ් නොවන පාඨ, යුනිකෝඩ්, හිමිකාර හා විවෘත පද්ධතිවලට පරිවර්තනය කිරීමේ මෘදුකාංග ද ඇය නිර්මාණය කර තිබේ. අනුර තිසේරා මහතාගේ මග පෙන්වීම යටතේ ඇය “දිනමිණ” නම් යුනිකෝඩ් ෆොන්ටය සඳහා රීති ද සකස් කළාය. පසුව මෙම ෆොන්ටය නොමිලේ ලබා දීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) භාර දෙන ලදී.

පසුගිය අවුරුදු 8ක් පමණ තිස්සේ දිනිෂා එදිරිවීර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ (LLWG) සාමාජිකාවක ලෙස කටයුතු කර තිබේ. මෙම ආයතනයේ යුනිකෝඩ් අනුකූල සිංහල ෆොන්ටය වන “භාෂිත” සඳහා රීති ඇය සකස් කළ අතර එය නිමා කරණ ලද්දේ පේමසිරි මහතා විසින් සැලසුම් කල සංකේත යොදා ගෙනයි. මෙම ෆොන්ටය “භාෂිත” ලෙස නම් කරන ලද්දේ එදිරිවීර මහත්මියගේ යෝජනාවක් අනුවයි. “භාෂිත” නම් මෙම සෞන්දර්යාත්මක ව නිවැරදි සිංහල ෆොන්ටය මට්ටම් තුනකින් වන අතර ඒ සෑම මට්ටමක ම එය ෆොන්ට පවුලක් වේ (serif & sans serif with bold and regular). මොසිල්ලා ෆයර්ෆොක්ස් (Mozilla Firefox) මෙය ඉල්ලා සිටි අතර එහි ලුහු අනුවාදයක් වන භාෂිතස්ක්‍රීන් (BhashithaScreen) ඔවුන්ට ලබා දුන්නේය. කුඩා දරුවන්ගේ ඉගැන්වීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවර්ධනය කළ “හෝඩිපොත” නම් ෆොන්ටය සඳහා ෆොන්ට රීති සකස් කළේ ද ඇයයි.

සිංහල වචනවල මූලයන්හි හා ව්‍යාකරණයේ පුදුමාකාර ව්‍යුහයක් ඇතැයි ප්‍රකාශ කළ ඇය මෙම ව්‍යුහයන් විශ්ලේෂණය කර දේශීයකරණ මෘදුකාංග සඳහා ලබා දීමට අපේක්ෂා කරයි.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

 

දීනිෂා එදිරිවීර මහත්මිය වර්තමානයේ සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ජ්‍යෙෂ්ඨ පද්ධති ඉන්ජිනේරුවෙක් වේ. ඈ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයට තෝරා ගනු ලැබුවේ 1980 මැද භාගයේ දී ය. විශ්ව විද්‍යාලයට ඇතුළු වන විට ඈ පරිගණකයක් දැක තිබුණේ වත් නැතැයි එදිරිවීර මහත්මිය කියා සිටියාය. විශ්ව විද්‍යාලයේ දී ඇයට “බහු ස්තර මතක විඩම්බනය” (Multi level memory simulation) නම් කණ්ඩායම් ව්‍යාපෘතියකට සහභාගි වීමට සිදුවූ අතර ඇය එය සැලසුම් කිරීමට හා කේතනයට සම්බන්ධ වූවාය. මෙය “සී” භාෂාවෙන් ලියන ලද අතර ඇයට මෘදුකාංග ඉන්ජිනේරු කටයුතු පිළිබඳ ව විශ්වාසයක් ඇති කළේ මෙම ව්‍යාපෘතියයි.

එදිරිවීර මහත්මිය උපාධිය ලබා ගන්නා කාලයේ රටේ ක්‍රියාකාරී මෘදුකාංග කර්මාන්තයක් නොවීය. “ලේක්හවුස්” ලෙස හඳුන්වන සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට බැඳුණේ ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවෙක් ලෙසයි. මෙම සමාගම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පුවත්පත් පළ කරන අතර ඒ සඳහා වර්ණ සංයෝජන ජාලයක් (typesetting network) තිබුණි. ඒ කාලයේ ඇගේ ප්‍රධාන ම කාර්යය වූයේ නඩත්තුව හා දෝෂ නිවැරදි කිරීමයි. පසුව විවෘත පද්ධති භාවිතයට ගැනීමේ ප්‍රවණතාවක් ඇති වූ බැවින් යන්ත්‍ර සූත්‍ර වෙනස් කළ යුතු විය. අලුත් යන්ත්‍ර, විවෘත පද්ධතිවලට අනුකූල විය යුතුය. නිෂ්පාදන කටයුතු ප්‍රතිස්ථාපනය කිරීමට සිදු වූයේ සමාන්තර ධාවනයක් සමගයි. මේ නිසා අලුත් යන්ත්‍රවලට පරිවර්තනය සිදු වූයේ අනුක්‍රමණිකවයි. මෙම කාලය තුළ එදිරිවීර මහත්මියට පැවරුණු වගකීම වූයේ හිමිකාර පද්ධතිවලින් විවෘත පද්ධතිවලට කේතනය පරිවර්තනය කිරීමයි. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පසු අන්තය පමණක් නොව පෙර අන්තය ද වෙනස් කළේය. එනම් වර්ණසංයෝජන පද්ධතිය ද වෙනස් කිරීමට සිදු විය. මේ අවස්ථාවේ සමාගම සිංහල යතුරුපුවරු ධාවකයක් හා සිංහල ෆොන්ට ගණනාවක් ලබා ගත්තේය. නමුත් මේ සියල්ල හිමිකාර නිෂ්පාදන විය. මෙම පරිවර්තනය නිම කිරීමෙන් පසු ඊළඟ කර්තව්‍යය වූයේ හිමිකාර වර්ගීකෘත දැන්වීම් පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමයි. ප්‍රතිස්ථාපනය සඳහා නව පද්ධතියක් සකස් කිරීමේ වගකීම පැවරුණේ ද එදිරිවීර මහත්මියටයි.

මෙම පද්ධතියට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවලින් ඇති වර්ගීකෘත දැන්වීම් හැසිරවිය හැකි වීම අවශ්‍ය විය. දැන්වීම් පළමු ව වර්ගීකරණ කේතය අනුව තෝරන ලදී. ඉන් පසු වර්ගීකරණ කේතය තුළ පරිතුලන අනුක්‍රමයට අනුව තෝරන ලදී. ඉංග්‍රීසි භාෂාවෙන් මෙම කටයුතු කිරීමේ අපහසුවක් නොවීය. නමුත් වර්ගීකෘත සිංහල දැන්වීම් තේරීම පහසු නොවීය. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම භාවිතා කල පරිතුලන අනුක්‍රමය, ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය සම්මත කළ සිංහල පරිතුලන අනුක්‍රමය ම වේ. එය තොරතුරු හුවමාරුව සඳහා වු සිංහල අක්ෂර කේත නම් ශ්‍රී ලංකා ප්‍රමිතියේ (ශ්‍රීලංප්‍ර 1134 : 2004) 1වන කොටසේ දැක්වේ. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නිර්මාණය කළ “දිනමිණ” නම් ෆොන්ටය නිදහසේ භාවිතයට ගැනීම සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට භාර දෙන ලදී. මෙය සිංහලෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතුවලට විශාල බලපෑමක් කළේය. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ඇගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වූ අනුර තිසේරා මහතා, තමාට හැම විටම මග පෙන්වූ බව එදිරිවීර මහත්මිය ප්‍රකාශ කළාය.

තිසේරා මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා ක්‍රියාකාරි කණ්ඩායමේ (LLWG) සාමාජිකයෙක් විය. මෙම ආයතනයේ පූර්වගාමියා වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ෆොන්ට කමිටුවේ ද සාමාජිකයෙක් ලෙස ඔහු කටයුතු කළේය. මෙම කණ්ඩායම තොරතුරු තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති ශ්‍රීලංප්‍ර 1134 : 2004 හා ශ්‍රීලංප්‍ර 1134 : 2011 පිළියෙල කිරීමේ කටයුතුවල නියැලුණේ ය. පසුව නිකුත් කළ ප්‍රමිතියේ සිංහල සංඛ්‍යා සඳහා ද ආකේතනය ඇතුළත් විය. දේශීය භාෂා කණ්ඩායම විසින් තොරතුරු හුවමාරුව සඳහා දෙමළ අක්ෂර කේතය ද (ශ්‍රීලංප්‍ර: 1326 : 2008) සකස් කරන ලදී.

දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම, යුනිකෝඩ් අනුකූල සිංහල ෆොන්ට දියුණු කිරීමට කටයුතු කළ අතර ඒ මගින් සිංහලෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතු, පූර්ණ විප්ලවයකට භාජනය කළේය. මේ නිසා ඉංග්‍රීසියෙන් කටයුතු කරන ආකාරයට ම සිංහලෙන් ද කටයුතු කළ හැකි වූ අතර සිංහලෙන් සෙවීම හා තේරීම ද කළ හැකි වූයේය. 2000 දශකයේ මුල් භාගයේ මයික්‍රොසොෆ්ට් සමාගම “පොත” නම් සිංහල යුනිකෝඩ් ෆොන්ටයක් හඳුන්වා දුන් අතර එය ජනප්‍රිය “ස්කෝලපොත” නම් ෆොන්ටයේ මුල් අනුවාදයක් විය.

“පොත” නම් ෆොන්ටය භාවිතා කරමින් සිංහල බැඳී අකුරු ලිවීමට හැකි වුවත් ඒ මගින් සියලු ම බැඳී අතුරු ටයිප් කළ නොහැකි විය. මේ නිසා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දේශීය භාෂා කණ්ඩායම තීරණය කළේ දැනට ඇති සියලු ම සිංහල අක්ෂර භාවිතයට ගත හැකි ෆොන්ටයක් නිපදවීමටයි.

දේශීය භාෂා කණ්ඩායමට අවශ්‍ය වූයේ ශ්‍රීලංප්‍ර 1134 : 2004 දී ඇති සියලු ම අක්ෂරවලට ඉඩ සලසන සිංහල ෆොන්ටයක් නිර්මාණය කිරීමටයි. තවත් අවශ්‍යතාවක් වූයේ (සිංහල අකුරෙන් ලියා ඇති) පාලි හා පැරණි සිංහල ලිවීමට හැකි වීමයි. මේ අනුව එය ශ්‍රී ලංකා ප්‍රමිතියේ සඳහන් 3වැනි මට්ටමේ ෆොන්ටයක් විය යුතුය. මෙම ෆොන්ටයේ රීති සකස් කිරීමටත්, පේමසිරි මහතා විසින් සැලසුම් කළ සංකේත යොදා ගනිමින් එය නිමා කිරීමටත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එදිරිවීර මහත්මියට භාර දුන්නේය. මෙම ෆොන්ටය “භාෂිත” ලෙස නම් කරන ලද්දේ ඇගේ යෝජනාවකට අනුවයි. “භාෂිත” නම් මෙම සෞන්දර්යාත්මක ව නිවැරදි සිංහල ෆොන්ටය මට්ටම් තුනකින් වන අතර ඒ සෑම මට්ටමක ම එය ෆොන්ට පවුලක් වේ. (serif and sans serif with bold and regular) ක්‍රියේටිව් කොමන්ස් ආරෝපණය යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම ෆොන්ටය භාවිතය සඳහා නොමිලේ ලබා දෙයි. මොසිල්ලා ෆයර්ෆොක්ස් මෙය ඉල්ලා සිටි අතර එහි ලුහු අනුවාදයක් වන “භාෂිතස්ක්‍රීන්” ඔවුන්ට ලබා දුන්නේය. “හෝඩිපොත” නම් ෆොන්ටය සඳහා රීති සකස් කළේ ද එදිරිවීර මහත්මියයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම ෆොන්ටය සැකසුවේ කළේ 1 හා 2 ශ්‍රේණිවල කුඩා දරුවන්ගේ පොත්වල භාවිතා කිරීම සඳහා ජාතික අධ්‍යාපන කොමිසමට යි. පසුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් සංවිධානය කර, කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ පැවැත්වූ ෆොන්ට සංවර්ධකයන් සඳහා වු පුහුණු වැඩසටහන්වල එදිරිවීර මහත්මිය සම්පත් දායකයෙක් ලෙස සහභාගි වූවාය. ඇය දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස අවුරුදු 8ක් සේවය කර තිබේ. යුනිකෝඩ් අනුකූල ආකාරයට සිංහල භාෂාව යොදා ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵල අද දක්නට ඇති වෙබ් අඩවි හා බ්ලොග් වලින් පෙනී යයි.

දිනීෂා එදිරිවීර වඩාත් ම උනන්දු වී ඇත්තේ දේශීයකරණය සඳහා මෘදුකාංග දියුණු කිරීමටයි. ඒ නිසා ඇය විද්‍යාපති (M.Sc.) උපාධිය සඳහා තෝරා ගත්තේ ද මේ ක්ෂේත්‍රයයි. මහාචාර්ය ගිහාන් ඩයස් මහතාගේ මග පෙන්වීම යටතේ කරන ලද මෙම පර්යේෂණයේ අරමුණ වූයේ පශ්චාත් සැකසුම් ශිල්පීය ක්‍රම යොදා ගනිමින් සිංහල දෘශ්‍යාක්ෂර සංජානනය (Optical Character Recognition) වැඩි දියුණු කිරීමයි. සිංහල වචනවල මූලයන් හි හා ව්‍යාකරණයේ පුදුමාකාර ව්‍යුහයක් ඇතැයි ප්‍රකාශ කළ දිනීෂා එදිරිවීර මහත්මිය, මෙම ව්‍යුහයන් විශ්ලේෂණය කර දේශීයකරණ මෘදුකාංග සඳහා ලබා දීමට අපේක්ෂා කරයි.