එස්.ටී. නන්දසාර මහතා

එස්.ටී. නන්දසාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් කථිකාචාර්යවරයෙක් මෙන්ම එහි උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ද වේ. නන්දසාර මහතා 1979 දී ප්‍රථම උපාධිය ලබා ගත්තේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. 1989 සිට එක්සත් රාජධානියේ රෙඩින් හා එසෙක්ස් විශ්ව විද්‍යාලවල සංඛ්‍යානය, පරිගණක යෙදුම් හා පරිගණක විද්‍යාව පිළිබඳ ඔහු තුන් අවුරුදු පශ්චාත් උපාධි පුහුණුවක් ලැබුවේය. බ්‍රිතාන්‍ය රජයේ කාර්මික සහයෝගිතා වැඩසටහනක් යටතේ ඔහු “පරිගණක යෙදුම් හා සංඛ්‍යානය හා පරිගණක විද්‍යාව” පිළිබඳ පාඨමාලාවක් ද හැදෑරුවේය.

නන්දසාර මහතාගේ වෘත්තිය ජීවිතයේ විශාල ජයග්‍රහණයක් වූයේ 1982 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිරිසැකසුමට කොළඹ විශ්ව විද්‍යාලය සමග මැතිවරණ කොමසාරිස්ට සහාය වීමයි. පළමු වරට පරිගණක ආධාරයෙන් සජීවී ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම හා පරිගණක ආධාරයෙන් සජීවී ලෙස 1982 ජාතික ජනමත විමසුමේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතුවල දී නන්දසාර මහතා ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය.

දේශීය භාෂා පරිගණන ක්ෂේත්‍රයටද නන්දසාර මහතා විශාල දායකත්වයක් සපයා තිබේ. ත්‍රි-භාෂා පද සකසනයක් වූ “වදන් තරුව” ඔහු නිර්මාණය කළ අතර 1994 දී වෙන්චුරා පබ්ලිෂර් සඳහා ත්‍රි-භාෂා සහාය සහිත “අත්වැල” නම් වර්ණයෝජක මෘදුකාංගය එලි දැක්වූයේය. කලින් මේ අංශයේ ඉහළ ම රජයේ ආයතනය වූ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) පරිගණකවල සිංහල හා දෙමළ අක්ෂර භාවිතය සඳහා ප්‍රමිති නිර්දේශ කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයෙක් ලෙස ද නන්දසාර මහතා කටයුතු කර තිබේ. 1997 දී ග්‍රීසියේ ක්‍රීට් නගරයේ පැවති යුනිකෝඩ් කොන්සෝටියමේ තීරණාත්මක රැස්වීමට ද ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි විය. මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කළ සිංහල ආකේතන යෝජනාව තියුණු සාකච්ඡාවකින් පසු සුළු සංශෝධන සහිත ව අනුමත කරන ලදී.

නන්දසාර මහතා ආයතනික සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මහාචාර්ය වි.කේ. සමරනායක මහතාට සහාය වූයේය. කොළඹ විශ්ව විද්‍යාලය යටතේ පරිගණක තාක්ෂණ ආයතනය පිහිටුවීමට ඔහු සම්බන්ධ විය. මේ කටයුතු සඳහා 1988 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි ජපන් දූත මණ්ඩලවලට අවශ්‍ය සහාය ඔහු ලබා දුන්නේය. උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට ද සම්බන්ධ වූ නන්දසාර මහතා එහි සම්බන්ධීකාරක ලෙස කටයුතු කරයි. පරිගණක තාක්ෂණ ආයතනය හා විද්‍යා පීඨය යටතේ තිබූ පරිගණක විද්‍යා අංශය එක් කරමින් ස්ථාපිත කළ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය (UCSC) පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය. 2017 වර්ෂයේ දී මෙම අධ්‍යයනායතනය පරිගණනයේ 50 වසරක් සැමරුවේ මහාචාර්ය වී.කේ. සමරනායක මහතාට බුහුමන් පුද කරමිනි.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝ

 

එස්.ටී. නන්දසාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ (UCSC) කථිකාචාර්යවරයෙක් මෙන් ම එහි උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක ද වේ.

අධ්‍යාපනය:

1975 දී කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයට ඇතුළු වූ නන්දසාර මහතා විද්‍යා පීඨයේ ගණිත අංශය විසින් සැලසුම් කළ සංඛ්‍යානය පිළිබඳ විශේෂ උපාධි පාඨමාලාවට තෝරා ගන්නා ලදී. මෙම පාඨමාලාව සැලසුම් කර තිබුණේ එම උපාධිධාරීන්ට තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ රැකියා ලබා ගත හැකි ආකාරයටයි. පළමු අවුරුද්දේ සංඛ්‍යානය හා පරිගණක ක්‍රමලේඛනය පිළිබඳ ඔහුගේ කථිකාචාර්යවරයා වූයේ මහාචාර්ය වි.කේ සමරනායකයි. මෙම පාඨමාලාව පුරාම ශිෂ්‍යයන් විසින් ක්ෂේත්‍රයේ සමීක්ෂණ පවත්වා දත්ත රැස් කර ගෙන සංඛ්‍යාන විශ්ලේෂණ කළ යුතු විය. මේ කාලයේ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පහසුකම් නො තිබුණි. නමුත් සිවිවැනි වසරේ ශිෂ්‍යයන්ට විශ්ලේෂණ කටයුතු සඳහා පරිගණකයක් අවශ්‍ය විය. මේ නිසා ශිෂ්‍යයන්ට දත්ත සැකසීමට ජනසංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තිබූ අයිබීඑම් පරිගණකය භාවිතා කිරීමට මහාචාර්ය සමරනායක මහතා පහසුකම් ලබා ගත්තේය.

පරිගණනය හඳුන්වාදීම:

ගණිත අංශයේ කුඩා සිදුරු පත් යන්ත්‍රයක් තිබූ අතර ශිෂ්‍යයෝ දත්ත හා ක්‍රමලේඛන පියවරෙන් පියවර මෙම සිදුරු පත් වලට ඇතුල් කළෝය. ඉන් පසු මෙම සිදුරු පත් ජනසංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට ගෙන යන ලදී. නන්දසාර මහතා පරිගණන කටයුතු ආරම්භ කළේ මේ ආකාරයටයි. කෙසේ වෙතත් ඔහුගේ පාඨමාලා කාලය තුළ ෆොර්ට්‍රාන් ක්‍රමලේඛනය ඉගෙනීමේ අවස්ථාව ලැබුණි.

1978 වර්ෂයේ දී කොළඹ විශ්ව විද්‍යාලයට ෆොර්ට්‍රාන් සම්පාදකයක් සහිත එචිපි (HP) පරිගණකයක් ලැබුණි. නන්දසාර මහතාට දැන් කෙළින්ම යන්ත්‍රයට ෆොර්ට්‍රාන් කේත ඇතුල් කළ හැකි වූ අතර කුඩා තාප මුද්‍රකයක් තිබූ බැවින් ඒවා මුද්‍රණය කර ගැනීමට ද හැකි විය. මෙම පරිගණකයේ දර්ශනය වූයේ එක් පේළියක් පමණි. නන්දසාර මහතාගේ ශික්ෂකයා වූ ආචාර්ය කෙවින් සෙනෙවිරත්න ඔහුට පරිගණක භාවිතය පුහුණු කළේය. පාඨමාලාවේ අවසාන වර්ෂයේ දී විවිධ ප්‍රජාවන්ගේ නිවාස තත්වය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණයක් කිරීමට නන්දසාර මහතාට සිදු විය. මෙහි දත්ත විශාල ප්‍රමාණයක් අඩංගු වූ බැවින් ඔහුට දිනපතා ම පරිගණකය භාවිතා කිරීමට සිදු වූයේය.

1979 දී උපාධිය ලබා ගැනීමෙන් පසු රැකියාවක් සොයමින් සිටි නන්දසාර මහතාට කථා කළ මහාචාර්ය වි.කේ. සමරනායක මහතා වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය එන්.ඩී.ඩබ්ලිව් ලයනල් මහතා හමු වන ලෙස දැනුම් දුන්නේය. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ව්‍යාපෘතියක් සම්බන්ධයෙනි. මේ අනුව ඖෂධවේද අංශයේ ඉතා ප්‍රියජනක ව්‍යාපෘතියක වැඩ කිරීමට නන්දසාර මහතා තෝරා ගන්නා ලදී. මහාචාර්ය ලයනල්ට අවශ්‍ය වූයේ කොළඹ මහ රෝහලේ රෝගීන්ට නියම කරන ඖෂධ පිළිබඳ දත්ත විශ්ලේෂණයෙන් රටට ආනයනය කළ යුතු ඖෂධ ප්‍රමාණය තීරණය කිරීමයි. මෙහි දී දත්ත විශාල ප්‍රමාණයක් සැකසිය යුතු වූ බැවින් ඒ සඳහා පරිගණකයක් අවශ්‍ය විය. කොළඹ ක්‍රමය යටතේ එක්සත් රාජධානියෙන් ලැබුණ පරිත්‍යාගයක් වු ඩේටා ජෙනරල් NOVA/4 මධ්‍යම පරිගණකය 1981 දී විද්‍යා පීඨයේ ගණිත අංශයට ලැබෙන තුරු නන්දසාර මහතා සිදුරු පත් භාවිතා කළේය. ටර්මිනල 16ක් සහිත මෙම බහු පරිශීලක පරිගණකයේ කොබෝල් සම්පාදකයන්, ෆොර්ට්‍රාන් සම්පාදකයක් හා ආර්පිජී සම්පාදකයක් ද තිබුණි. නන්දසාර මහතා ඔහුගේ දත්ත සැකසීම සඳහා මෙම යන්ත්‍රය යොදා ගත්තේය. අවුරුදු දෙකකට පමණ පසු මහාචාර්ය ලයනල් මහතා මිය යෑමෙන් පසු මහාචාර්ය සමරනායක මහතා පළමුවෙන් නන්දසාර මහතා පර්යේෂණ සහකරුවෙක් ලෙසත් පසුව සංඛ්‍යාන නිලධාරියෙක් ලෙසත් පත් කළේය. කොළඹ විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාන ඒකකයේ ඩේටා ජෙනරල් පරිගණකය පරිහරණය කළ ප්‍රධාන පුද්ගලයා වූයේ නන්දසාර මහතායි. කලා පීඨයේ සංඛ්‍යානය හා පරිගණක ක්‍රමලේඛනය ගැන සිංහලෙන් දේශන පවත්වන ලෙස මහාචාර්ය සමරනායක ඔහුගෙන් ඉල්ලා සිටියේය.
ඒ යුගයේ බහු-මාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍ර නො තිබු බැවින් පාරදෘශ්‍ය පත් හා උඩිස් ප්‍රක්ෂේපණ භාවිතා කළ ආකාරය නන්දසාර මහතා සිහිපත් කරයි.

පරිගණක යොදා ගනිමින් ජාතික මැතිවරණ ප්‍රතිඵල සැකසීම:

1982 නොවැම්බරයේ පැවැත් වු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සැකසීම සඳහා පරිගණක භාවිතයට ගැනීම ගැන මහාචාර්ය සමරනායකගේ අවධානය යොමු වි කිබුණි. මේ කාලයේම එක්සත් රාජධානියේ රෙඩින් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රොජර් ස්ටර්න් බීබීසි පරිගණයක් සමග ලංකාවට පැමිණියේ ය. එය කිලෝබයිට 32ක මතකයක් සහිත දෘඪ ඩිස්කයක් නැති නම්‍ය ඩිස්ක ධාවකයක් සහිත යන්ත්‍රයක් විය. නමුත් එහි වර්ණ හැකියාව තිබුණි. මෙම යන්ත්‍රය යොදා ගනිමින් රූපවාහිනියෙන් මැතිවරණ ප්‍රතිඵල දැක්වීමට තීරණය කරන ලදී. 1982 නොවැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සැකසීමට කොළඹ විශ්ව විද්‍යාලය සහාය වූයේ මේ පරිගණකය යොදා ගනිමිනි. ප්‍රතිඵල විකාශනය කිරීම සඳහා අවශ්‍ය තිර සැලසුම් කිරීම නන්දසාර මහතාත්, ගණිත අංශයේ කාර්ය මණ්ඩලයත් බාර ගත්තේය. මේ අනුව පරිගණක ආධාරයෙන් සජීවී ලෙස ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම හා පරිගණක ආධාරයෙන් සජීවී ලෙස 1982 ජාතික ජනමත විමසුමේ ප්‍රතිඵල නිකුත් කිරීමේ කටයුතුවල නන්දසාර මහතා ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළේය. මැතිවරණ ප්‍රතිඵල සැකසීම හා චිත්‍රක දර්ශන ලෙස ප්‍රතිඵල දැක්වීමට පරිගණක යොදා ගත හැකි බව රටේ ජනතාව දැන ගත්තේ ජාතික රූපවාහිනියේ මැතිවරණ ප්‍රතිඵල විකාශනය මගිනි.

දේශීය භාෂා පරිගණනය:

එතෙක් පරිගණකවලට හැසිරවිය හැකි වූයේ ඉංග්‍රීසි අක්ෂර පමණි. පරිගණකයේ භාවිතයට සිංහල අක්ෂර නිපදවීම ගැන පළමුවෙන් ම සිත යොමු කළේ ආචාර්ය කෙවින් සෙනෙවිරත්න මහතායි. මේ අනුව කාර්ය මණ්ඩලය විසින් සිංහල අක්ෂර මාලාවක් නිර්මාණය කරන ලද අතර ස්වාධීන රූපවාහිනි සේවයේ වැඩසටහන් විස්තර දැක්වීමට මෙම අක්ෂර යොදා ගන්නා ලදී. ඒ 1983 වර්ෂයේයි.

1983 ජුලි මාසයේ නන්දසාර මහතාට ඇමරිකා එක්සත් ජනපදයේ ඩේටා ජෙනරල් කෝපරේෂන් හි පද්ධති ඉන්ජිනේරුවෙක් ලෙස රැකියාවක් ලැබුණි. මේ ගැන මහාචාර්ය සමරනායක සමග සාකච්ඡා කළ විට ඔහුගේ උපදෙස වූයේ එම රැකියාවට නො ගොස් ශ්‍රී ලංකාවේ නතර වන ලෙසයි. මහාචාර්ය සමරනායක මහතාගේ උපදෙස පිළිගත් නන්දසාර මහතා, තමා එම රැකියාව බාර නො ගන්නා බව එම සමාගමට දන්වා සිටියේය. ඉන් පසු උසස් අධ්‍යාපන කටයුතු සඳහා නන්දසාර මහතා එක්සත් රාජධානියට යවන ලදී. එක්සත් රාජධානියේ රෙඩින් විශ්ව විද්‍යාලයේ හා එසෙක්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යානය, පරිගණක යෙදුම් හා පරිගණක විද්‍යාව පිළිබඳ ඔහු තුන් අවුරුදු පශ්චාත් උපාධි පුහුණුවක් ලැබුවේය. මෙය ඔහුගේ වෘත්තීය ජීවිතයේ සන්ධි ස්ථානයක් විය. මේ වන විටත් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව හැදෑරීමට පහසුකම් නො තිබුණි. නන්දසාර මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ 1996 වර්ෂයේයි. අයිබිඑම් පුද්ගලික පරිගණක වු XT හා AT යන්ත්‍ර වෙළඳපොළට නිකුත් වූයේත් මේ කාලයේ යි. මහාචාර්ය සමරනායක මහතාගේ උපදෙස් මත නන්දසාර මහතා අයිබීඑම් පුද්ගලික පරිගණකයේ මූලික ආදාන/ප්‍රතිදාන පද්ධතිය (BIOS) සිංහල අක්ෂර භාවිතය සඳහා ප්‍රතික්‍රමලේඛනය කිරීම ආරම්භ කළේය. ඔහුගේ අරමුණ වූයේ සංදර්ශනය ඉංග්‍රීසියෙන් සිංහලට වෙනස් කිරීමයි. තායිලන්තයේ තම්මසත් විශ්ව විද්‍යාලයේ ආචාර්ය තවිසක් කොනන්තකූල් මහතා තායි භාෂාව තොරතුරු තාක්ෂණයට යොදා ගැනීම ගැන කටයුතු කරන බව දැන ගැනීමට ලැබුණි. මේ නිසා නන්දසාර මහතා තායිලන්තයේ තම්මසත් විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණයට දේශීය භාෂා යොදා ගන්න ආකාරය අධ්‍යයනය කළේ සිංහල භාෂාව සඳහා ද එවැනි ම ක්‍රියා මාර්ගයක් ගැනීමේ අපේක්ෂාවෙනි. අයිබිඑම් පුද්ගලික පරිගණකවල, (IBM PC XT), තායි භාෂාව යොදා ගන්නා ආකාරය අවබෝධ කර ගත් නන්දසාර මහතා ශ්‍රී ලංකාවට පැමිණ පරිගණකවල සිංහල භාෂාව භාවිතා කිරීමේ කටයුතු ආරම්භ කළේය. මෙහි දී පැන නැගුණ එක් ගැටලුවක් වූයේ සිංහල අක්ෂර සඳහා මෙම (IBM PC XT) පරිගණකයේ ප්‍රමාණවත් විභේදනයක් නො තිබීමයි. නමුත් අයිබීඑම් සමාගම ඉක්මනින්ම ඉතා ඉහළ විභේදනයක් සහිත විඩියෝ චිත්‍රක අරා (VGA) කාඩ්පතක් නිකුත් කළේය. මේ නිසා සිංහල අක්ෂර පරිගණක තිරයේ නිවැරදිව දැක්විය හැකි විය. තම්මසත් විශ්ව විද්‍යාලය සමග (ශ්‍රී ලංකාවේ සිට) සහයෝගයෙන් කටයුතු කරමින් සිංහල හා දෙමළ යන භාෂා දෙක ම හැසිරවිය හැකි ආකාරයට එම කාඩ්පත නැවත ක්‍රමලේඛනය කිරීමට ඔහුට හැකි විය. ඒ 1989 වර්ෂයේයි.

ආරම්භක විධානයේ (command prompt) සිංහලෙන් ටයිප් කිරීම හා පාලන හා තැන්මාරු (control+shift) යතුරු එක්ව භාවිතා කරමින් සිංහල හා දෙමළ සඳහා මූලික ආදාන/ප්‍රතිදාන පද්ධතිය (BIOS) වෙනස් කිරීමට ඔහු සමත් විය. ඒ කාලයේ පරිගණක යතුරු පුවරුවේ Alt යතුරක් නොවීය. දැන් පරිගණකයේ භාෂාව වෙනස් කිරීමට භාවිතා කරන්නේ Alt+shift යතුරුයි. මෙහෙයුම් පද්ධතිය ද ප්‍රතික්‍රමලේඛනය කරන ලද අතර එය සිංහල සඳහා S-BIOS ලෙසද දෙමළ සඳහා T-BIOS ලෙසද නම් කරන ලදී. ඉන් පසුව නන්දසාර මහතා “සී” ක්‍රමලේඛන භාෂාව යොදා ගනිමින් ත්‍රි-භාෂා පද සකසනයක් වූ “වදන් තරුව” නිර්මාණය කළේය. මෙම නම දුන්නේ මහාචාර්ය සමරනායකයි. මෙම නිෂ්පාදනය ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, සීබීඒ (පුද්) සමාගම, ෆෙන්ටන් කම්පියුටර්ස් සමාගම ආදී සමාගම් ගණනාවක් විසින් අලෙවි කරන ලදී.

1994 දී නන්දසාර මහතා වර්ණ සංයෝජන මෘදුකාංගයක් වූ “අත්වැල” සකස් කළේය. මෙය මුල් ප්‍රකාශන පැකේජයක් වූ “වෙන්චුරා පබ්ලිෂර්” සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම වර්ණසංයෝජනය සඳහා යොදා ගත හැකි මෘදුකාංගයක් විය. මෙය කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණ ආයතනයේ පරිගණක සේවා මධ්‍යස්ථානය මගින් අලෙවි කරන ලදී. මේ මගින් ඉතා සංකීර්ණ ලේඛන නිර්මාණය කළ හැකි විය. 1995 දී නන්දසාර මහතා වින්ඩෝස් 95/98 සඳහා “සරසවි” පැකේජය එළි දැක්වු අතර පසුව “වින්මාස් සරසවි” (WinMASS Sarasavi) යන නමින් යුනිකෝඩ් අනුකූල අනුවාදයක් නිකුත් කළේය.

1996 සැප්තැම්බර් 15 දින දියත් කරන ලද ත්‍රි-භාෂා ජාතික වෙබ් අඩවිය වූ www.lk සංවර්ධනය සඳහා ද නන්දසාර මහතා දායක විය.

එවකට රජයේ ඉහළ ම තොරතුරු තාක්ෂණ ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) විසින් පරිගණක තාක්ෂණයේ සිංහල හා දෙමළ අක්ෂර භාවිතය සඳහා ප්‍රමිති නිර්දේශ කිරීමට ක්‍රියාකාරි කමිටුවක් පිහිටුවන ලදී. මෙම කමිටුව තොරතුරු තාක්ෂණයේ භාවිතය සඳහා සිංහල අනු ලක්ෂණ මාලාවක් සකස් කරන ලදුව එම කෙටුම්පත තොරතුරු තාක්ෂණවේද සභාවේ මහ මණ්ඩලය විසින් අනුමත කරන ලදී. සම්මත සිංහල ආකේතනය වූ “තොරතුරු හුවමාරුව සඳහා සිංහල අක්ෂර කේතය” (SLASCII) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කිරීමෙන් පසු ශ්‍රී ලංකා ප්‍රමිති 1134 ලෙස පළ කරන ලදී. (ශ්‍රීලංප්‍ර 1134 : 1996). මෙම ප්‍රමිතිය, අංශ ගණනාවකින් 1998 දී අනුමත කරන ලද යුනිකෝඩ් සිංහලට වෙනස් විය. නන්දසාර මහතා සිංහල ආකේතන ප්‍රමිති සංවර්ධනය පිළිබඳ ව කටයුතු කළේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශ කමිටුවේ සාමාජිකයෙක් වූ නන්දසාර මහතා යුනිකෝඩ් කොන්සෝටියමේ සිදු වන කටයුතු ද ඉතා සමීප ව අධ්‍යයනය කළේය. ග්‍රීසියේ ක්‍රීට් නුවර පැවති යුනිකෝඩ් කොන්සෝටියමේ රැස්වීමට ඔහු මහාචාර්ය ජේ.බී. දිසානායක සමග සහභාගි විය. යුනිකෝඩ් කොන්සෝටියමේ කටයුතුවලට ප්‍රධාන දායකත්වයක් සපයා තිබුණේ මයිකල් එවර්සන් මහතායි. මෙම රැස්වීමේ දී සිංහල කේත පිටුව ගැන සාකච්ඡා කරන ලදී. තියුණු සාකච්ඡාවකින් පසුව ශ්‍රී ලංකාවේ නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනාව සුළු සංශෝධන කීපයක් සහිත ව අනුමත කරන ලදී.

1998 මාර්තු මාසයේ නන්දසාර මහතා ඇමරිකා එක්සත් ජනපදයේ රෙඩ්මන්ඩ් හි පිහිටි මයික්‍රොසොෆ්ට් සමාගමට ගියේ NT මෙහෙයුම් පද්ධතියේ සිංහල භාෂාවේ සංකීර්ණ අක්ෂර ක්‍රියාත්මක කිරීම පිළිබඳ ව මයික්‍රොසොෆ්ට් NT සංවර්ධන කණ්ඩායම සමග සාකච්ඡා කිරීමටයි. මෙයට සමාන්තරව ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ සිංහල භාවිතය සම්බන්ධව කටයුතු කළ ජපන් කණ්ඩායමක් ද සිටි බව ඔහු කියා සිටී.

මහාචාර්ය වි.කේ. සමරනායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ දේශීය භාෂා සංවර්ධනය පිළිබඳ කළ කටයුතු, මහාචාර්ය ගිහාන් ඩයස් මහතා යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ද දිගටම සිදු විය. මෙම ආයතනයේ ආරම්භයේ සිට ම එම වැඩසටහන් අධ්‍යක්ෂ වූයේ මහාචාර්ය ගිහාන් ඩයස්ය. ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ ආරම්භ කරන ලද පරිගණක තාක්ෂණයේ සිංහල හා දෙමළ අක්ෂර භාවිතය සඳහා ප්‍රමිති නිර්දේශ කිරීමට පිහිටුවන ලද ක්‍රියාකාරි කමිටුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතයතනයේ දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම (LLWG) ලෙස දිගටම එම කටයුතුවල නිරත වූයේ ය.

ආයතනික සංවර්ධනය:

විද්‍යා පීඨයේ පරිගණක විද්‍යා අංශයක් ස්ථාපිත කිරීමේ සිහිනයක් මහාචාර්ය වී.කේ සමරනායක මහතාට තිබූ බව නන්දසාර මහතා සිහිපත් කළේය. එය යථාර්ථයක් බවට පත් වූයේ 1985 වර්ෂයේ දීයි. ඉන් පසු මූල්‍ය හා පරිපාලන ස්වාධීනත්වය සහිත ආයතනයක් විශ්ව විද්‍යාලය යටතේ පිහිටුවීම සඳහා වූ යෝජනාවක් මහාචාර්ය සමරනායක විසින් ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (JICA) මගින් ජපන් රජයට ඉදිරිපත් කරන ලදී. මේ ගැන සාකච්ඡා කිරීමට ජපන් දූත පිරිස් ගණනාවක් ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ද මැලේසියාවේ ද යන්න ගැන තීරණයක් ගැනීමට 1986 නොවැම්බර් මාසයේ රැස්වීමක් පවත්වන ලදී. මෙවැනි ආයතනයක් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් බව ජපන් දූත පිරිසට ඒත්තු ගැන්වීම අවශ්‍ය විය. මෙහි දී ශ්‍රී ලාංකික කණ්ඩායමේ ප්‍රයත්නය සාර්ථක වූ අතර කොළඹ විශ්ව විද්‍යාලය යටතේ පරිගණක තාක්ෂණ ආයතනය පිහිටුවන ලදී. 1988 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවට පැමිණි අන්‍යෝන්‍ය විචාරන සමීක්ෂණ කණ්ඩායම, තාක්ෂණික උපදේශක කණ්ඩායම හා ව්‍යාපෘති ඇගයීමේ කණ්ඩායම ආදී විවිධ දූත මණ්ඩලවලට සහාය වූයේ නන්දසාර මහතායි.

“බහු-මාධ්‍ය තාක්ෂණ පුහුණු හා සංවර්ධන මධ්‍යස්ථානයක්“ පිහිටුවීමට ද නන්දසාර මහතා කටයුතු කළේය. මෙහි ප්‍රතිඵලය වූයේ උසස් ඩිජිටල් මාධ්‍ය තාක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමයි. මෙය ද ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අතර තාක්ෂණ සහයෝගිතා වැඩසටහනේ ව්‍යාපෘතියක් ලෙස ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයෙන් ක්‍රියාත්මක කරන ලදී.
පරිගණක තාක්ෂණ ආයතනය අවධානය යොමු කළේ කර්මාන්තයට අවශ්‍ය පුද්ගලයන් බිහි කිරීමට මිස විද්‍යාඥයින් බිහි කිරීමට නොවේ. විද්‍යා පීඨය යටතේ ද පරිගණක විද්‍යා අංශයක් තිබුණූ අතර මේ දෙකේ ම විශේෂඥ දැනුමෙන් යුත් අය සිටියහ. මේ නිසා මහාචාර්ය සමරනායකගේ අරමුණ වූයේ එකට වැඩ කිරීම සඳහා මෙම ආයතන දෙක එක් කිරීමයි.

මේ අනුව 2002 දී කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය ස්ථාපිත කරන ලදී. නන්දසාර මහතා ප්‍රකාශ කළේ දැන් එහි අධ්‍යයන කාර්ය මණ්ඩලය 50 දෙනෙකුට වැඩි පිරිසකින් සමන්විත වන අතර එය ශ්‍රී ලංකාවේ ඉහළ ම ශික්ෂණ හැකියාවක් ඇති ආයතනයක් බවයි. මෙම (UCSC) ආයතනය 2017 දී අවුරුදු 50ක පරිගණනය සැමරුවේ මහාචාර්ය වී.කේ. සමරනායක මහතාට බුහුමන් දැක් වීමෙනි. නන්දසාර මහතා වැඩි දුරටත් කියා සිටියේ 1967 වර්ෂයේ දි මහාචාර්ය සමරනායක ශිෂ්‍යයන් කණ්ඩායමකට ක්‍රමලේඛනය ඉගැන්වීම ආරම්භ කිරීම ඉතා වැදගත් පියවරක් වූ බවයි. එය ඉතා සාර්ථක ගමනක් විය. නන්දසාර මහතා අවසාන වශයෙන් මෙසේ කියා සිටියේය. “මෙම තත්වය ළඟා කර ගැනීමට අපි එක් ව වැඩ කළෙමු. අපි දිවා රෑ නො බලා, සමහර දිනවල විද්‍යාගාරයේ ම නිදා ගනිමින් වැඩ කළෙමු. අපි රජයට මෙන් ම ජනතාවටත් වැඩ කළෙමු. අපි ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ආදිය පැවැත් වූයෙමු. අද කවුරුත් දකින්නේ අපේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයි”.

විඩියෝ සම්පත්

50 Years of Computing at University of Colombo

ICT Documentary, University of Colombo

AN INVESTMENT PARADISE FOR THE IT INDUSTRY

Dr. Arthur C. Clarke – TeleFest

පියවර 2000

වසන්තය ස්වාධීන රූපවාහිනි වැඩසටහන

Apegama – Rupavahini TV Programe

සියබස්අලංකාරය

Sameepa Dasuna MTV Sinhala 4