එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්)

එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්) ‍පසුගිය වසර 19 ක් තිස්සේ මෘදුකාංග කර්මාන්තයේ නියැලී සිටින ප්‍රවීණ තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙකි.  ජංගම දුරකථන තාක්‍ෂණය පිළිබඳ විශේෂඥයෙකු වන  ඔහු පසුගිය දශකය තුළම අවධානය යොමු කර ඇත්තේ එයටයි.  ඇන්ඩ්‍රොයිඩ්, අයිඕඑස් .නෙට්, ජාවා සහ මිඩ්ල්වෙයාර් ආදියේ නිපුණතාව ඇති ඔහුට විදුලි සංදේශ මෘදුකාංග සංවර්ධනය පිළිබඳ මනා දැනුමක් තිබේ. ඉන්දියාවේ ට්‍රිචි හි භාරතීදාසන් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධියක් ලබා ඇති ඔහු දැනට “එම්බ්‍රේන් ටෙක්නොලොජීස් (mBrain Technologies) සමාගමේ ප්‍රධාන විධායක සහ ප්‍රධාන නිර්මාණ ශිල්පියාද වේ.

ෂාන් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)  තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ දේශිය භාෂා යොදා ගැනීම පිළිබඳ බාහිර උපදේශකයෙකු විය. වින්ඩෝස් සඳහා යතුරුපුවරු ධාවක සංවර්ධනය කිරීමට ඔහු දායක වූ අතර එමගින් සිංහල භාෂාව සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය වන ශ්‍රීලංප්‍ර 1134: 2004 සහ දෙමළ භාෂාව සඳහා ශ්‍රී ලංකා  ප්‍රමිතිය වන ශ්‍රීලංප්‍ර 1326: 2008 ට අනුව යතුරු ලියනය කිරීමට හැකි විය. ප්‍රමිතීන්ට අනුකූලව සිංහල හා දෙමළ භාෂාවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය භාවිතා කිරීමට බොහෝ පරිශිලකයන්ට හැකියාව ලබාදුන් මෙම මෘදුකාංග ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA)  වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වූයේය.  මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා ආයතනයේ බාහිර උපදේශකයෙකු ලෙස ද ෂාන් කටයුතු කර ඇත. 2010/2011 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුවේදී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හරහා ෂාන් එම්බිලියන්ත් (mBillionth) සම්මාන මහා ජූරියේ ද සේවය කර තිබේ. 1998 දී ඔහු සම්බන්ධ වූ මයික්‍රොඉමේජ් ආයතනයේදී, සිංහල යතුරු ලියනය කිරීම සඳහා යතුරුපුවරු ධාවක සංවර්ධනය කිරීමට ෂාන් දායක විය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

එස්. ෂන්මුගරාජා මහතා (ෂාන්) කුඩා කල සිටම ඉංජිනේරු විද්‍යාව කෙරෙහි උනන්දුවක් දැක්වීය. ඔහු පාසලේ 9 ‍ශ්‍රේණිය ඉගෙනුම ලබන විට ඔහුගේ පාසලේ පරිගණක විද්‍යාගාරයක් ආරම්භ කළේය. එවිට ෂාන්ගේ අදහස වූයේ මෙම විද්‍යාගාරය භාවිතා කර ඔහුට පරිගණක ක්ෂේත්‍රයට පිවිසිය හැකි බවයි. එහෙත්, අවාසනාවකට මෙන්, පරිගණක විද්‍යාගාරය භාරව සිටි ගුරුවරයාට මෙම විෂය පිළිබඳව එතරම් දැනුමක් නොවීය. මෙහි ඉගැන්වීම ආරම්භ කිරීමට පෙර ගුරුවරයාට ලැබී තිබුණේ පරිගණක විද්‍යාව පිළිබඳ සති දෙකක පුහුණුවක් පමණි. මෙම ක්ෂේත්‍රය කෙරෙහි ආසාවක් ඇතිවූ නිසා ෂාන්, පරිගණකයක් ක්‍රියා කරන ආකාරය අවබෝධ කර ගැනීමට උත්සාහ කළේය. පසුව, ඉන්දියාවේ ට්‍රිචි හි භාරතීදාසන් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳ ඉංජිනේරු උපාධිය සඳහා හදාරමින් සිටියදීත් එහි පරිගණක විද්‍යාගාරයේ දී ෂාන්ට යළිත් දැනුම ලබා ගැනීමේ උත්සාහයට බාධා ඇති විය.  විශ්ව විද්‍යාලයේ විද්‍යාගාර සහායකයා, පරිගණක විද්‍යාගාරය සහ සිසුන්ට ලබා දෙන ප්‍රවේශය පාලනය කළේය. මෙය 1993 යි. එවකට පරිගණකවල මිල අධික වූ අතර නිවසක පරිගණකයක් තිබුණේ කලාතුරකිනි. නමුත් ෂාන් තම පියාගෙන් ඇසුවේ පරිගණකයක් මිලදී ගත හැකිද යන්නයි. ඔහුට ලැබුණු පළමු පරිගණකය i386 යන්ත්‍රයක් වූ අතර එය තම කාමරයේ  සවි කර ඔහු විෂුවල් බේසික් සමඟ කේතනය කිරීමට පටන් ගත්තේය. 1997 දී පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් ෂාන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේය.

වෙබ් සංවර්ධනය පිළිබඳ කෙටි පාඨ මාලාවක් හැදෑරීම සඳහා ඔහු නැවතත් 1999 දී ඉන්දියාවට ගියේය. එවකට වෙබ් පිටු ස්ථිතික ඒවා විය. නමුත් ෂාන්ට අවශ්‍ය වූයේ ගතික වෙබ් අඩවියක් නිර්මාණය කිරීමටයි. මේ නිසා වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා ඒඑස්පී (ASP) පරිගණක භාෂාව  ඉගෙන ගැනීමට ඔහු පටන් ගත්තේය. එමඟින් දත්ත වඩාත් ගතික බවට පත් කිරීම සඳහා සේවාදායකයාගේ පාර්ශවයෙන් සප්‍රමාණ කෙරෙන දත්ත සමුදායකට දත්ත ඉදිරිපත් කළ හැකි කුඩා අන්තර්ක්‍රියාකාරී වෙබ් පිටුවක් ෂාන් නිර්මාණය කළේය. අනතුරුව ඩොට් නෙට් (.NET) ලබා ගැනීමට හැකිවීමෙන් පසුව එම ආයතනයේ සමස්ත මානව සම්පත් යෙදුම ඩෙස්ක්ටොප් යෙදුමක සිට වෙබ් පාදක යෙදුමක් බවට පරිවර්තනය කරන ලදි.

ආපසු ශ්‍රී ලංකාවට පැමිණි  ෂන්මුගරාජා මහතා මයික්‍රොඉමෙජ් සමාගමට බැඳුණි. මෙම සමාගමේ දී ෂාන්ට පැවරුණු  පළමු කාර්යය වූයේ සිංහල භාෂාව සඳහා යතුරුපුවරු ධාවකයක් ලිවීමයි. යතුරුපුවරු ධාවකයක් යනු කුමක්ද යන්න හෝ ජනප්‍රිය යතුරුපුවරු පිරිසැලසුම් මොනවාද යන්න හෝ පිළිබඳව දැනුමක් ඔහුට නොතිබුණි. පසුව මිතුරෙකු වූ හිරාන් ඔහුට පැහැදිලි කර දුන්නේ පුළුල් ලෙස භාවිතා වෙන යතුරුපුවරු පිරිසැලසුමට අනුව ඉංග්‍රීසි යතුර J එබූ විට එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල අකුර ච දර්ශනය විය යුතු බවත්, S යතුර සිංහල ඇලපිල සඳහා බවත්, දෙකම එබූ විට ප්‍රතිඵලය චි විය යුතු බවත්ය.

මෙය මනසේ තබා ගනිමින් ෂන්මුගරාජා මහතා සිංහල විජේසේකර යතුරුපුවරු පිරිසැලසුම සඳහා යතුරුපුවරු ධාවකයක් ලිවීම ආරම්භ කළේය. ඉන්පසුව ඔහු ශාබ්දික යතුරුපුවරු ධාවකයක් සහ දෙමළ යතුරුපුවරු ධාවකයක්ද නිර්මාණය කළ අතර 1998 දී මෙම යතුරුපුවරු ධාවක සියල්ලම ඇතුළත් ‘හෙලවදන’ පැකේජය දියත් කළේය. ‘හෙලවදන’ අතිශයින් ජනප්‍රිය විය. මේ අනුව දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සක්‍රීය කිරීමට ෂාන් විශාල දායකත්වයක් ලබා දී ඇත.

බොහෝ දෙනෙක්  නොකියා (Nokia) දුරකථන භාවිතා කළ අතර මුලදී මෙම දුරකථන වලට බාහිර යෙදුම් හඳුන්වා දීමට හැකියාවක් නො තිබුණි.. 2003 දී ෂාන් ඉන්දියාවේ සිටියදී ජාවා සංකේතයක් තිබූ නොකියා (Nokia 8910i) දුරකථනයක් භාවිතා කරන මිතුරෙකු දුටුවේය. ඔහු මෙම දුරකථනය ඉල්ලා ගත්තේ සිංහල හා දෙමළ භාෂා එහි සක්‍රීය කිරීමේ අදහසිනි. ඔහු උත්සාහ කළේ දේශීය භාෂා ක්ෂේත්‍රයේ  කටයුතු ආරම්භ කරන විට ඔහු කළ පළමු දෙය වන ‘චි’ අකුර තිරයට ගැනීමටයි. නමුත් නොකියා දුරකථනයේ සිංහල අකුරු ස්ථාපිත කර තිබුණේ නැත. මේ නිසා  ව හා ඇලපිල්ල සඳහා රූප නිර්මාණය කර කෙසේ හෝ ජංගම දුරකථනයෙන් වි ලබා ගැනීමට ෂාන් සමත් විය. ඔහු පවසන්නේ එය හරියට ‘වි’ ලෙස පෙනුණු බවයි! ජංගම උපාංග සම්බන්ධයෙන් ෂාන් මුහුණ දුන් තවත් දුෂ්කරතාවයක් වූයේ එක් අක්ෂරයක් සඳහා යතුරු 3 ක් යොදා ගැනිමට සිදු වීමයි. කෙසේ හෝ මේ සියලු අභියෝග ජයගෙන යතුරැ පුවරුව මතට සමස්ත සිංහල අක්ෂර මාලාවම ගෙන ඒසට ඔහු සමත් විය. මේ කාලයේ නොකියා සමාගම  J2mv දුරකථන ලෙස හඳුන්වන ජාවා දුරකථන නිෂ්පාදනය ආරම්භ කළේය. මේ අනුම ජංගම දුරකථන සඳහා සිංහල භාවිතා කළ හැකි බව ෂන්මුගරාජා මහතා සිය ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ පුරසිංහ මහතාට දන්වා සිටි විට ඔහු අතිශයින් සතුටට පත්  විය. ඔවුන් ඩයලොග් සමාගමේ හාන්ස් විජේසුරිය මහතා හමුවී මෙය දියත් කළ යුතු යැයි යෝජනා කළ අතර එය 2004 හෝ 2005 දී එය දියත් කරන ලදී. මෙය බෙහෙවින් ජනප්‍රිය වූ අතර බොහෝ පරිශීලකයින් විසින් මෙම පැකේජය බාගත කර ගන්නා ලදී. මෙම මෘදුකාංගය සඳහා මයික්‍රොඉමෙජ් සමාගම රුපියල් 150/00 අය කළේය. නමුත් මෙය යුනිකෝඩ් අනුකූල නොවීය. ඔවුන් ඉංග්‍රීසි ෆොන්ට මත සිංහල අක්ෂර රූප ආරෝපණය කර තිබුණි. ඇන්ඩ්‍රොයිඩ් සහ අයිඕඑස් (iOS) ජංගම උපාංග සඳහාද ඔහු  ආදාන පද්ධති දියුණු කර තිබේ.

2004 දී ශන්මුගරාජා මහතා යුනිකෝඩ් ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් සංවිධානය කරන ලද වැඩමුළුවකට සහභාගී විය. සෑම අක්ෂරයක් සඳහාම අනූපම කේතයක් ඇති බවත්, සියලු සිංහල අක්ෂර සඳහා වූ සංකේත යතුරු පුවරුවට ගෙන ඒමට හැකි බවත් ඔහු තේරුම් ගත්තේය. 2004 දී සුනාමි ව්‍යසනයෙන් පසු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සන්නිවේදනය, තොරතුරු බෙදාහැරීම සහ අතුරුදහන් වූවන්ගේ ලැයිස්තු සිංහලෙන් සකස් කිරීම සඳහා. වින්ඩෝස් එක්ස්පී සහ ඔෆිස් 2003 සඳහා සිංහල සක්‍රීය කිරීමේ පැකේජයක් ලබා දී තිබුණි. මේ වන විට මහාචාර්ය ගිහාන් ඩයස් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දේශීය භාෂා ව්‍යාපෘතියේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සිංහල ප්‍රමිතිය වන ශ්‍රීලංප්‍ර. 1134: 2004 ට අනුකූලව සිංහල යතුරුපුවරු ධාවකයක් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ෂාන් සමඟ ගිවිසුමකට එළඹුණි.. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අඩවියේ පළ කර ඇත. මීට සමගාමීව, ෆොන්ට් සංවර්ධකයින් සහ රජයේ ආයතනනවල පරිශීලකයින් ඇතුළු සාමාන්‍ය පරිශීලකයින් ඉලක්ක කරගත් යුනිකෝඩ් ප්‍රමිතියට අනුගත වීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය පුළුල් දැනුවත් කිරීමේ සැසි පැවැත්වීය. මේ නිසා රටේ ජනතාව ක්‍රමයෙන් යුනිකෝඩ් අනුකූල දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතා කිරීමට පටන් ගත්හ. මෙය ඉතා වැදගත් ඉදිරි පියවරක් විය.

ෂාන් ඔහුගේ කටයුතු මෙයින් නතර කළේ නැත. හින්දි, මලයාලම්, තෙළිඟු, කන්නඩ සහ දිවේහි වැනි වෙනත් භාෂා සඳහා යතුරුපුවරු ආදාන පද්ධති දියුණු කිරීම කිරීම ඔහු දිගටම කරගෙන ගියේය. දේශීය භාෂා අකුරු තෝරා ගැනීම ගැන කරදර නොවී, බාධාවකින් තොරව ටයිප් කළ හැකි යුගයක අප දැන් සිටින බව ෂාන් පවසයි.

අවසාන වශයෙන්, ෂාන් පවසන්නේ ඔහු ආයතන ගණනාවක (IIT සහ CICRA) ඇන්ඩ්‍රොයිඩ් වැඩසටහන් සහ යෙදුම්වල ආරක්ෂාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ බවයි. ඔහු තරුණ පරම්පරාවට උගන්වන්නේ සීමා ඉක්මවායමින් සිතීමටත්, තාක්ෂණය සැබෑ ජීවිත අත්දැකීම්වලට සම්බන්ධ කිරීමට මෙන්ම නවීකරණය කිරීමටත්ය. ඔහු පවසන්නේ යෞවනයන් දැන් වැඩි වශයෙන් නියැලී සිටින්නේ දැනටමත් සංවර්ධනය කර ඇති දේ කිරීමට බවයි. මෙය තරඟකාරිත්වයක් ඇති කරන නමුත් නව්‍යකරණයට හේතු නොවන බව ෂාන් අවධාරණය කරයි. තරුණ පරම්පරාවට ඔහු දෙන අවවාදය නම් රටට හා ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ගැටලුවක් විසඳීමට උත්සාහ කරන ලෙසයි. අප අලුතෙන් නිර්මාණය කරන සෑම දෙයකින්ම අවසාන වශයෙන් ජනතාවගේ ජීවිත නඟාලීමට දායකත්වයක් සැපයිය යුතුය.