රොහාන් මානමුදලි මහතා

රොහාන් මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතා සමඟ 1994 දී සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් (පුද්) සමාගම ආරම්භ කරන ලද අතර එය දේශීය භාෂා පරිගණකකරණය සඳහාම කැප වූ සමාගමක් විය. ශ්‍රී ලංකාවේ දේශීය භාෂා පරිගණකකරණයට විශාල බලපෑමක් කළ ත්‍රිභාෂා වචන සකසනය වන ‘තිබස්’ පැකජයේ සම-සංවර්ධකයින් වූයේ මානමුදලි මහතා සහ සම්පත් ගොඩමුන්න මහතායි. මෙය ඉංග්‍රීසි බස නො දැනීම නිසා බොහෝ දෙනෙක් පරිගණක භාවිතා කිරීමට මැලි වූ කාලයක් විය. ශ්‍රී ලංකාවේ ජනයාට පරිගණක භාවිතා කිරීමට විශාල බාධාවක් වූයේ භාෂාවයි. ‘තිබස්’ මෙම හිඩැස පිරවූ අතර මේ නිසා සිංහල පමණක් දත් අයට පද සකසන භාවිතා කිරීමට හැකි වූයේය. රොහාන් මානමුදාලි මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

රොහාන් මානමුදලි පරිගණක ලෝකයට අවතීර්ණ වීම ලෙස සැලකිය හැක්කේ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ පාසල් සිසුවෙකු ලෙස සිටි කාලයේ සින්ක්ලෙයාර් පරිගණකයක් දකින්නට ලැබීමයි. 1987 දී විශ්ව විද්‍යාල වසා දැමූ බැවින් රොහාන්ට නියමිත පරිදි එම වසරේ විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට නොහැකි විය. මේ කාලයේ රොහාන් මානමුදලි තම මිතුරන්වන ධම්මික විජේරත්න, සම්පත් ගොඩමුන්න සහ පසුව විපුල ජයම්පතී සමග පොත් වලින් ඉගෙන ගනිමින් පරිගණකයක් එකලස් කර සිංහල භාෂාවෙන් පරිගණකයේ වැඩ කිරීමට උත්සාහ කළෝය.

වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය තුළ ක්‍රියාත්මක කළ හැකි යතුරුපුවරු ධාවකයක් හා සිංහල සහ දෙමළ ෆොන්ට කිහිපයක් 1995 දී සයන්ස් ලෑන්ඩ් සමාගම විසින් එළි දක්වන ලදී. 1997 දී ඔවුන් සිංහල අකුරු නිදොස්කුරුවක් සහ තේරීමේ පද්ධතියක් ඉදිරිපත් කළෝය. රොහාන් මානමුදලි මහතා ප්‍රකාශ කළේ පළමු සිංහල විද්‍යුත් ශබ්ද කෝෂය ලෙස සැලකිය හැකි “තිබස් පද පරිවර්තකය” ඔවුන් 2000 වර්ෂයේදී නිකුත් කළ බවයි. මේ අතර දේශීය වෙළඳපොල සඳහා සිංහල මෘදුකාංග සංවර්ධනය කිරීමේද ඔවුන් නිරත විය. 2006/2007 දී මෙම කණ්ඩායම ජංගම උපාංග සඳහා සිංහල කෙටි පණිවුඩ මෘදුකාංගයක්ද, ජංගම දුරකථන සඳහා සිංහල / දෙමළ ශබ්දකෝෂ මෘදුකාංගයක්ද නිර්මාණය කළේය.

2005 දී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) යුනිකෝඩ් ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිපැදීම ප්‍රවර්ධනය කරමින් සිටියේය. මේ අනුව ඔවුන්ගේ ‘තිබස්’ පැකේජය යුනිකෝඩ් අනුකූල මෘදුකාංගයක් බවට පරිවර්තනය කරන ලදී.

සයන්ස් ලෑන්ඩ් සමාගම විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි සය ආකාර අක්ෂර පරිවර්තන පද්ධතියක් ද සකස් කරන ලදී. වින්ඩෝස් විස්ටා සහ මයික්‍රොසොෆට් ඔෆිස් 2007 හි පරිශීලක අතුරුමුහුණත් දේශීයකරණය කිරීම සඳහාත්, පසුව වින්ඩෝස් 7 සහ මයික්‍රොසොෆට් ඔෆිස් 2010 හි පරිශීලක අතුරුමුහුණත් දේශීයකරණය කිරීම සඳහාත් සයන්ස් ලෑන්ඩ් සමාගම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ තවත් ගිවිසුමක් අත්සන් කළේය. මෙය ක්‍රියාත්මක වූයේ සයනස් ලෑන්ඩ් සමාගම හා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) හවුල් ව්‍යාපෘතියක් ලෙසයි. මෙයට අමතරව, සයන්ස් ලෑන්ඩ් සමාගම විසින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහා මූල්‍ය කළමනාකරණ හා වාර්තාකරණ පද්ධතියක් ද සකස් කරන ලදී.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

 

රොහාන් මානමුදලි මුලින්ම පරිගණකයක් දුටුවේ හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ පාසල් සිසුවෙකු ලෙස සිටි සමයේදීය. එය සින්ක්ලෙයාර් පරිගණකයක් විය. නමුත් පරිගණක පිළිබඳව ඉගැන්වීමේ පහසුකම් පාසලේ නොතිබුණි. රොහාන් මානමුදලි 1986 දී උසස් පෙළ විභාගයට පෙනී සිටියේය. ඔහු 1987 දී විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට නියමිතව තිබුණි. එහෙත් එවකට රටේ පැවති අයහපත් තත්ත්වය හේතුවෙන් විශ්ව විද්‍යාල වසා  තිබූ අතර නැවත ආරම්භ කරන දිනයක් කිසිවෙක් දැන සිටියේ නැත.

පරිගණකවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන රොහාන් මානමුදලී පසු වූයේ දැඩි කුතුහලයකිනි.  ඒ නිසා ඇපල් ගෘහස්ථ පරිගණකයක් තිබූ රොහාන්ගේ මිතුරා වන ධම්මික විජේරත්න, සමග එක්වී පරිගණක  නිර්මාණය සහ ක්ෂුද්‍ර සකසන ගැන පොත් වලින් ඉගෙන ගැනීමට උත්සාහ කළෝය.

ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීම

ගොඩනැගිල්ලකට ඇතුළු වන පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා ආරක්ෂක පද්ධතියක් ගොඩනැගීමට ඔවුන් උත්සාහ කළහ. දෘඪාංග සංරචක, මෘදුකාංග සමඟ සම්බන්ධ කරමින් ඒවා අධෝරක්ත සංවේදක සමග ඒකාබද්ධ කිරීමට උත්සාහයක් දරන ලදී. මෙය සිදු කිරීම සඳහා ඔවුන් අයිබීඑම් පරිගණක හා සම්බන්ධ දෘඪාංග සංරචක එකතු කර පසුව එම කොටස් යොදා ගනිමින් අයිබීඑම් අනුකූල පරිගණකයක්  තැනීමට උත්සාහ කළහ. ධම්මික විජේරත්නට ඉලෙක්ට්‍රොනික විද්‍යාව  ගැන අවබෝධයක් තිබූ නිසා පරිගණකයක් එකලස් කර ගැනීමට ඔවුන් සමත් වූහ..

සිංහලෙන් පරිගණකයේ  වැඩ කිරීම

මේ කාලයේ තවත් මිතුරෙකු වූ අටාරි ගෘහ පරිගණකයක් තිබූ සම්පත් ගොඩමුන්න ද සිංහලෙන් පරිගණකයේ වැඩ කිරීමට උත්සාහ කරමින් සිටියේය. සම්පත්ගේ අභිප්‍රාය වූයේ  පරිගණකය භාවිතයෙන් ඔහුගේ පෙම්වතියට  සිංහලෙන් ලිපි ලිවීමයි. මෙම පරමාර්ථය සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් ඩිස්ක මෙහෙයුම් පද්ධතිය (DOS)  මත ධාවනය වන අයිබීඑම් අනුකූල වචන සකසනයක් සකස් කිරීමට උත්සාහ කළහ. මේ වන විට තිබූ තවත් දුෂ්කරතාවක් වූයේ  සිංහල අක්ෂර පරිගණක තිර මත නිවැරදිව  සංදර්ශනය කිරීමයි. මේ කාලයේ ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම්ස් (DMS)  සමාගම මේ සම්බන්ධයෙන් ගෙන ඇති උත්සාහයන් පිළිබඳවද මෙම කණ්ඩායම දැන සිටියේය. ඉන්පසු ඔවුන් ග්‍රැෆික් කාඩ්පත් අත්හදා බැලූ අතර අවසානයේදී සිංහල අක්ෂර පරිගණක තිරවල මෙන්ම මුද්‍රණයෙන් පවා නිසි ලෙස ඉදිරිපත් කිරීමට සමත් විය. මේ කාලයේ වඩාත් ජනප්‍රිය වචන සකසනය වූයේ ‘වර්ඩ්ස්ටාර්’ ය. වර්ඩ්ස්ටාර් අනුගමනය කිරීමෙන් ඔවුන් සිංහල වචන සකසනයක් නිර්මාණය කළ අතර එමගින් සිංහල භාෂාවෙන් සංස්කරණය කිරීමට, සුරැකීමට සහ මුද්‍රණය කිරීමට හැකි විය. තවත් මිතුරෙකු වන විපුල ජයම්පතී ඔවුන් හා එක් වූ විට මෙම කණ්ඩායම සිව්දෙනෙකු බවට පත්විය.

1989 අප්‍රියෙල් මාසයේදී මෙම කණ්ඩායම විසින් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ (IFS) සභාපති මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමට සිංහල වචන සකසනය ක්‍රියාත්මක කර පෙන්වන ලදී. මහාචාර්ය පොන්නම්පෙරුම විමසා සිටියේ මෙම වචන සකසනයට දෙමළ භාෂාවත්  ඇතුළත් කළ හැකිද යන්නයි.

යතුරුපුවරු පිරිසැලසුම සහ ආදානය

පරිශීලකයින් අතර, විශේෂයෙන්ම රජයේ අංශයේ පරිශීලකයින් අතර වඩාත් ජනප්‍රිය සිංහල විජේසේකර යතුරුපුවරු පිරිසැලසුම  බව මෙම කණ්ඩායමට පෙනී ගියේය. එය පරිගණක යතුරු පුවරුවට  ගෙන ඒම  දුෂ්කර කාර්යයක් වූ බව කිව යුතු නොවේ. මුලදී ආදාන ක්‍රමය වූයේ  “අ” අක්ෂරය සඳහා “A” යතුරත් “බ” අක්ෂරය සඳහා  “B” යතුරත් යනාදිය යොදා ගනිමින්  පරිගණකයේ සිංහල අකුරු ටයිප් කිරීම යි. නමුත් අවසානයේදී  විජේසේකර යතුරුපුවරු පිරිසැලසුමට අනුකූලව පරිගණක යතුරුපුවරු ආදානය සක්‍රීය කිරීමට ඔවුන් සමත් විය. ද්‍රවිඩ භාෂාව ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය පොන්නම්පෙරුම මහතා දුන් අභියෝගය ද කණ්ඩායම භාර ගත්තේය. ඔවුන් මුලින්ම වචන සකසනය තුළ “ශාබ්දික” යතුරුපුවරු ආදාන පද්ධතියක් ක්‍රියාත්මක කළ අතර පසුව රෙන්ගනාදන් ආදාන පද්ධතිය ඇතුළත් කිරීමට සමත් විය. දෙමළ යතුරු ලියනය භාවිතා කරන්නන් අතර වඩාත් ජනප්‍රිය පිරිසැලසුම “රෙන්ගනාදන්” යතුරුපුවරු සැකැස්ම බව ඔවුන් සොයාගෙන තිබුණි. මේ අනුව, 1989 වන විට ඔවුන් ත්‍රිභාෂා වචන සකසනයක් නිර්මාණය කර තිබුණි.

නිෂ්පාදිතය අන් අයට ලබා දීම සඳහා ඔවුන් වචන සකසනයේ පිටපත් රට පුරා බෙදා හැරියේය, විශේෂයෙන් රජයේ ආයතනවලට එය ලබා දී නොමිලේ දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කළහ. එක් දිනක් මෙම වචන සකසනයේ පිටපතක් වෙනත් කෙනෙක් විසින් රොහාන්ට  ලබා දුන් විට, එය ඉතා පුළුල් ලෙස පැතිරී ඇති බව ඔහුට අවබෝධ විය..

මේ කාලය වන විට බොහෝ දෙනෙක් පරිගණක භාවිතා කිරීමට බිය වූයේ ඉංග්‍රීසි භාෂාව නො දැනීම නිසාය. ශ්‍රී ලංකාවේ පරිගණක භාවිතය ප්‍රචලිත කිරීමට විශාල බාධාවක් වූයේ භාෂාවයි. පසුව  මෙම කණ්ඩායම ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානය වෙත ගොස් එහි දී ආචාර්ය රොමේෂ් ඩයස් බණ්ඩාරනායක මහතා මුණගැසී මෙම නිෂ්පාදනය පෙන්වූ විට  එය රු. 17,500 / – කට මිල කර එය ඔවුන්ට ගෙවා පද සකසනයේ පිටපතක් ලබා ගත්තේය. කණ්ඩායම  පද සකසනය විකිණීමට පටන් ගත්තේ එලෙසයි. නිෂ්පාදිතය වාණිජ මට්ටම දක්වා වැඩිදියුණු කිරීමට සහ එය අලෙවි කිරීමට ඔවුන් ඩයිනමික් රැම් (පුද්ගලික) සමාගම සමඟ හවුල්කාරිත්වයක් ඇති කර ගත්හ.

තිබස්

1994 වර්ෂයේ දී විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් පසු ඔවුන්ට තවත් අභියෝගයකට මුහුණ දීමට සිදු විය. ඒ ආරම්භ කළ දේශීය භාෂා පරිගණක කටයුතු දිගටම කරගෙන යන්නේද, තව දුරටත් උසස් අධ්‍යාපනයට යොමු වන්නේද, එසේත් නැතිනම් රැකියාවක් ලබා ගන්නේද යන්නයි. ඔවුන් සමාගමක් පිහිටුවීමට තීරණය කළේ දේශීය භාෂා පරිගණක ක්ෂේත්‍රයේ දිගටම කටයුතු කිරීමටයි. ආචාර්ය රොමේෂ් ඩයස් බණ්ඩාරනායක මහතා  මේ සඳහා ආයෝජනයක් කිරීමට එකඟ වූ අතර ඒ අනුව ඔවුන් සයන්ස් ලෑන්ඩ් කෝපරේෂන් (පුද්ගලික) සමාගම පිහිටුවන ලදී. මෙම සමාගම තනිකරම දේශීය භාෂා පරිගණකකරණ කටයුතු සඳහා විය. 1995 දී ඔවුන් වින්ඩොස් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන යතුරුපුවරු ධාවකයක් හා සිංහල සහ දෙමළ ෆොන්ට කිහිපයක් ද නිර්මාණය කළහ. 1997 දී ඔවුන් සිංහල අකුරු නිදොස්කුරුවක් සහ තේරීමේ පද්ධතියක් ඉදිරිපත් කළෝය. රොහාන් මානමුදලි මහතා ප්‍රකාශ කළේ පළමු සිංහල විද්‍යුත් ශබ්ද කෝෂය ලෙස සැලකිය හැකි “තිබස් පද පරිවර්තකය” ඔවුන් 2000 වර්ෂයේදී නිකුත් කළ බවයි.  මේ අතර දේශීය වෙළඳපොල සඳහා සිංහල මෘදුකාංග සංවර්ධනය කිරීමේද ඔවුන් නිරත විය. 2006/2007 දී මෙම කණ්ඩායම ජංගම උපාංග සඳහා සිංහල කෙටි පණිවුඩ මෘදුකාංගයක්ද, ජංගම දුරකථන සඳහා සිංහල / දෙමළ ශබ්දකෝෂ මෘදුකාංගයක්ද නිර්මාණය කළේය.

2005 දී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) යුනිකෝඩ් ජාත්‍යන්තර ප්‍රමිතිය පිළිපැදීම ප්‍රවර්ධනය කරමින් සිටියේය. මේ අනුව ඔවුන්ගේ ‘තිබස්’ පැකේජය යුනිකෝඩ් අනුකූල මෘදුකාංගයක් බවට  පරිවර්තනය කරන ලදී.

අක්ෂරාන්තරණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ  අත්සන් කළ තවත් ගිවිසුමක් යටතේ, සයන්ස් ලෑන්ඩ් සමාගම, ශ්‍රී ලංකාවේ භාවිතා කරන නම් හැසිරවීමේ රටාවන් සහ නීති රීති සැලකිල්ලට ගනිමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි සඳහා සය ආකාර අන්තර් ක්‍රියාකාරී පරිවර්තන ක්‍රමයක් සකස් කර ක්‍රියාත්මක කරන ලදී. මෙය අවශ්‍ය වූයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ රජය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන යටතේ රාජ්‍ය ආයතනවල භාෂා තුනෙන්ම දත්ත සමුදාය පද්ධති පිහිටුවා ඇති බැවිනි. මේ සඳහා එක් භාෂාවකින් ලියා ඇති මිනිසුන්ගේ නම් සහ ස්ථාන නාම  වෙනත් භාෂාවකින් ලිවීමේ (අක්ෂරාන්තරණය) අවශ්‍යතාවක් තිබුණි.

පරිශීලක අතුරුමුහුණත් දේශීයකරණය කිරීම

වින්ඩෝස් විස්ටා සහ මයික්‍රොසොෆට් ඔෆිස් 2007 හි පරිශීලක අතුරුමුහුණත් දේශීයකරණය කිරීම සඳහාත්, පසුව වින්ඩෝස් 7 සහ මයික්‍රොසොෆට් ඔෆිස් 2010 හි පරිශීලක අතුරුමුහුණත් දේශීයකරණය කිරීම සඳහාත් සයන්ස් ලෑන්ඩ් සමාගම,  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමඟ තවත් ගිවිසුමක් අත්සන් කළේය. මෙම කාර්යය සිදු කරනු ලැබුවේ  සයන්ස් ලෑන්ඩ් සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යායතනයේ (UCSC) .හවුල් ව්‍යාපෘතියක්  ලෙසයි. මේ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය. මයික්‍රොසොෆ්ට් කෝපරේෂන් සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණි.

අවසාන වශයෙන්, දේශීය භාෂා පරිගණකකරණය සඳහා දිගු ගමනක් යෑමට සිදුවූ බව රොහාන් මානමුදලි මහතා සිහිපත් කළේය. නමුත් ශ්‍රී ලංකාවේ පරිගණකවල දේශීය භාෂා භාවිතා කරන්නන්ට ‘තිබස්’ නිසැකවම විශාල බලපෑමක් කළ බව කවුරුත් පිළිගන්නා කරුණකි..

ගැලරිය