හර්ෂ විජයවර්ධන මහතා

හර්ෂ විජයවර්ධන මහතා තීක්ෂණ ආයතනයේ (කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පාලනය වන සමාගමකි) ප්‍රධාන මෙහෙයුම් නිලධාරි මෙන් ම ශ්‍රී ලංකාවේ සියල්ල ඇතුළත් අන්තර්ජාලය (IOT) පිළිබඳ ආරම්භක සමාගමක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ද වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විජයවර්ධන මහතාට තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අවුරුදු 25කට වැඩි අත්දැකීම් තිබේ. විජයවර්ධන මහතා බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ අධිසාමාක සාමාජිකයෙකි (Fellow Member). කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ (UCSC) මෘදුකාංග සංවර්ධන ඒකකය (SDU) පිහිටුවීමට ද ඔහු සම්බන්ධ විය. ඔහු සහ මෙම ඒකකයේ ඔහුගේ කණ්ඩායම ශ්‍රී ලංකා රජයේ කටයුතුවලට අවශ්‍ය මෘදුකාංග නිපදවීමෙහි ලා අඛණ්ඩ සේවයක් ලබා දෙති.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හා ඉ-රාජ්‍ය කටයුතු වෙනුවෙන් ද විජයවර්ධන මහතා විශාල දායකත්වයක් සපයා තිබේ. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුවේ සාමාජිකයෙක් වූ විජයවර්ධන මහතා සිංහල යුනිකෝඩ් ක්‍රියාත්මක කිරීමට ද ආරම්භයේ පටන් ම දායක විය. සිංහල යුනිකෝඩ් වෙනුවෙන් දැඩිව පෙනී සිටි ඔහුගේ විද්‍යාගාරයෙහි සිංහල යුනිකෝඩ් ෆොන්ට නිපදවා තිබේ. ශ්‍රී ලංකා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතාතනයේ (ICTA) දේශිය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ සමාජිකයෙක් වන විජයවර්ධන මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශ කමිටුවේ සාමාජිකයෙක්ද වේ. අන්තර්ජාල සමාජයේ දේශීය ශාඛාවේ ආරම්භක සභාපති වූයේ ද විජයවර්ධන මහතායි. LK වසම් අධිකාරියේ (LK Domain Registry) ආරම්භයේ සිට ම ඔහු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් විය. 2015 පැවැත්වූ ශ්‍රී ලංකාව වාණිජ අන්තර්ජාලයට සම්බන්ධ වීමේ 20වන සංවත්සරයේ දි ශ්‍රී ලංකා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය, LK වසම් අධිකාරිය හා අන්තර්ජාල සමාජය විසින් ඔහු අන්තර්ජාල පුරෝගාමියෙක් ලෙස පිළිගන්නා ලදී.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේහි මියාමි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු හර්ෂ විජයවර්ධන මහතා තොරතුරු තාක්ෂණ උපදේශකයෙක් බවට පත් වු ජෛව රසායන විද්‍යාඥයෙකි. 1996 සිට 2002 දක්වා ඔහු ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය හා ඉ-රාජ්‍ය කටයුතු දියුණු කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දුන්නේය. ශ්‍රී ලංකා රජයේ වෙබ් පෝර්ටලය වූ www.lk හි පරිපාලකයාවු ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති, පර්යේෂණ හා තොරතුරු ඒකකයේ නිල වෙබ් අඩවිය වූ www.priu.gov.lk ද නිර්මාණය කළේය. අවසානයේ ශ්‍රී ලංකා ජනාධිපතිගේ නිල මාධ්‍ය අඩවිය වූයේ මෙයයි. මෙයට අමතරව ඔහු ශ්‍රි ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයට www.formin.gov.lk නම් වෙබ් අඩවිය ද පසුව www.mfa.gov.lk වෙබ් අඩවිය ද නිර්මාණය කළේය. මේ අතරම එම අමාත්‍යංශයේ තත් ප්‍රදේශ හා පුළුල් ප්‍රදේශ ජාලද ඔහු විසින් සංවර්ධනය කරන ලදී.

මේ කාලයේ ම විජයවර්ධන මහතා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ මෘදුකාංග සංවර්ධන ඒකකය (SDU) දියුණු කිරීමට ද කටයුතු කළේය. ඔහු සහ මෙම ඒකකයේ ඔහුගේ කණ්ඩායම ශ්‍රී ලංකා රජයේ කටයුතුවලට අවශ්‍ය මෘදුකාංග නිපදවීමෙහි ලා අඛණ්ඩ සේවයක් ලබා දෙමින් මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, බස්නාහිර පළාත් සභාව හා පොලිස් දෙපාර්තමේන්තුවේ අපරාධ විමර්ශන අංශය (CID) ආදියටද මෘදුකාංග සකස් කර දුන්නෝය.

“අන්තර්ජාල සම්පත් භාවිතය” යනුවෙන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් සතිපතා ඉදිරිපත් කල ගුවන්විදුලි වැඩසටහන් මාලාවක් මෙහෙයවූ කණ්ඩායමේ විජයවර්ධන මහතා ප්‍රධාන සාමාජිකයෙක් විය. 1997 වර්ෂයේ ආරම්භ කරන ලද සිංහල වැඩසටහන 2016 දක්වා විකාශනය වූ බැවින් එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශිය සේවයේ විකාශනය වූ දීර්ඝ ම වැඩසටහනක් විය. www.lk වෙබ් අඩවියේ පරිපාලක ලෙස කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුවේ ප්‍රධාන සාමාජිකයෙක් විය. සිංහල යුනිකෝඩ් ක්‍රියාත්මක කිරීමේ ආරම්භය මෙයයි. 1998 දි හර්ෂ විජයවර්ධන මහතා, යුනස්කෝ සංවිධානයෙන් අරමුදල් සැපයූ කොත්මලේ ප්‍රජා ගුවන් විදුලි අන්තර්ජාල ව්‍යාපෘතියේ ජාල සැලසුම්කරු විය. මෙම ව්‍යාපෘතිය ලෝකයේ පළමු බහු-කාර්ය ටෙලි මධ්‍යස්ථානය බවට පත් වූ අතර ශ්‍රි ලංකාවේ ගතික මාර්ග ගත කිරීම (dynamic routing) භාවිතයට ගත් මුල් ම වෙබ් අඩවිය ද විය.

2002 වර්ෂයේ සිට සිංහල යුනිකෝඩ් වෙනුවෙන් දැඩිව පෙනී සිටි විජයවර්ධන මහතා ඔහුගේ විද්‍යාගාරයේ සිංහල යුනිකෝඩ් ෆොන්ට නිපදවා තිබේ. මෙම කාර්යයේ දී ඔහුගෙන් ලැබුණු ප්‍රධාන දායකත්වය වූයේ මෙතෙක් ශ්‍රි ලංකාවේ තොරතුරු තාක්ෂණ විශේෂඥයින් හරිහැටි අවබෝධ කර ගෙන නො තිබූ සිංහල යුනිකෝඩ් නිරූපණය පැහැදිලි කිරීමයි. ශ්‍රී ලංකා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායමේ (LLWG) සාමාජිකයෙක් හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශ කමිටුවේ සාමාජිකයෙක් ලෙස ඔහු සිංහල යුනිකෝඩ් සංවර්ධනයට මග පෙන්වූ ලේඛනය බවට පත්වූ ශ්‍රී ලංකා ප්‍රමිති අංක 1134 නම් සිංහල පරිගණක හා තොරතුරු තාක්ෂණ ප්‍රමිතියේ තෙවැනි සංශෝධනය කෙටුම්පත් කිරීමට ක්‍රියාකාරී ලෙස සහභාගි වූයේය. මේ අතර සිංහල සංඛ්‍යා හඳුනා ගැනිම හා ඒවා යුනිකෝඩ් පද්ධතියේ ආකේතනය කිරීම වැනි ව්‍යාපෘති ගණනාවක් ශ්‍රී ලංකා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් ඔහුට භාර දෙන ලදී. ආයතන දෙක අතර සංක්‍රාන්ති සමයේදී (CINTEC to ICTA) ඔහු www.fonts.lk වෙබ් අඩවිය නඩත්තු කළ අතර කැනඩාවේ (IDRC) ආයතනයෙන් අරමුදල් සැපයූ PAN Localization ව්‍යාපෘතියේ නියෝජ්‍ය සම්බන්ධීකාරක ලෙස ද කටයුතු කළේය. මෙයට අමතරව යුනිකෝඩ් ෆොන්ට නීති සමග අත්හදා බැලීම් කරමින් ඔහු “සරසවි” නමන් අලුත් ෆොන්ටයක් නිපදවූයේය. සිංහල සංඛ්‍යා මාලා කීපයක් හඳුනා ගත් විජයවර්ධන මහතා එයින් දෙකක් වන සිංහල ඉලක්කම් හා ලිත් ඉලක්කම් 2010 දි යුනිකෝඩ් පද්ධතියට ආකේතනය කිරීමට දායක වූ අතර ශ්‍රී ලංකා ප්‍රමිති 1134 : 2011 සංශෝධනයට ඒවා ඇතුළත් කළේය. අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ ක්‍රියාකාරී කණ්ඩායමක ශ්‍රී ලංකාව නියෝජනය කළ ඔහුට සිංහල සංඛ්‍යා යුනිකෝඩ් පද්ධතියට ආකේතනය කිරීමට හැකි විය.

හර්ෂ විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවේ ටෙලි මධ්‍යස්ථාන වැඩසටහනට වයි-ෆයි භාවිතයට ගැනීමේ ප්‍රධාන විමර්ශකයෙක් ලෙස කටයුතු කළේය. අතථ්‍ය ගම් ව්‍යාපෘතිය සඳහා කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයට (UCSC) හා සර්වෝදය ආයතනට, කැනේඩියානු (IDRC) ආයතනයෙන් අරමුදල් ලබා දුන් අතර විජයවර්ධන මහතා මේ සඳහා ගම්පහ හා හැටන්හි වයි-ෆයි කලාප දෙකක් ස්ථාපිත කළේය.

අන්තර්ජාල සමාජයේ දේශීය ශාඛාවේ ආරම්භක සභාපති වූ හර්ෂ විජයවර්ධන මහතා 2010 සිට 2015 දක්වා අතිගරු ජනාධිපති තුමාගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපදේශක ලෙස ද ක්‍රියා කළේය. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) තොරතුරු තාක්ෂණ උපදේශක ලෙස කටයුතු කර ඇති ඒ මහතා LK වසම් අධිකාරියේ (LK Domain Registry) ආරම්භයේ සිට ම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබේ. හර්ෂ විජයවර්ධන මහතා තීක්ෂණ ආයතනයේ (කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පාලනය වන සමාගමකි) ආරම්භයේ සිටම ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස කටයුතු කර තිබේ. 2015 පැවැත්වූ ශ්‍රී ලංකාව වාණිජ අන්තර්ජාලයට සම්බන්ධ වීමේ 20වන සංවත්සරයේ දී ශ්‍රී ලංකා පරිගණක හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතාතනය (ICTA), LK වසම් අධිකාරිය හා අන්තර්ජාල සමාජය විසින් ඔහු අන්තර්ජාල පුරෝගාමියෙක් ලෙස පිළිගන්නා ලදී. මෙම ක්ෂේත්‍රයේ අලුත් සමාගම් ගණනාවක් පිහිටුවීමට උර දුන් විජයවර්ධන මහතා සියල්ලේ අන්තර්ජාලය පිළිබඳ ආරම්භක සමාගමක අධ්‍යක්ෂ /ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරයි. ඔහු පොත් දෙකක් හා ප්‍රකාශන ගණනාවක්ද පළ කර තිබේ.

ගැලරිය

සම්පත්

Telecentre-Academy-V-village