ආචාර්ය රානී ජයමහ මහත්මිය

 පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් 1970 වර්ෂයේදී මුදල් හා බැංකුකරණය පිළිබඳ පළමු උපාධිය (ගෞරව) ලබා ගත් ජයමහ මහත්මිය වර්ෂයක් පමණ කාලයක් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ කථිකාචාර්යවරියක ලෙස සේවය කර පසුව 1971 දී මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවට (ERD) ආර්ථික විද්‍යාඥයෙක් ලෙස සම්බන්ධ විය. ඉන්පසුව බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් ලබා ගත් ඇය ශාස්ත්‍රපති උපාධිය සඳහා එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ස්ටර්ලින් විශ්ව විද්‍යාලයේ වසර දෙකක (1975-1976) කාලයක් ගත කළාය.

1976 දී ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත් ඇය මහ බැංකුවට නැවත පැමිණීමෙන් පසු මුදල් හා බැංකුකරණ අංශයේ ආර්ථික විද්‍යාඥවරියක් ලෙස පත් කරන ලද අතර පසුව ඇය ආර්ථික පර්යේෂණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට උසස් කරන ලදී. 1987 දී ආචාර්ය උපාධියට හැදෑරීම සඳහා එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ගිය ජයමහ මහත්මිය 1989 දී මුල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු බැංකු සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට උසස් කරන ලදී.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


මුදල් හා බැංකු පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ (PCFB) ලේකම් ලෙස කටයුතු කිරීම සඳහා ආචාර්ය රානී ජයමහ 1992 දී ජනාධිපති ලේකම් කාර්යාලයට නිදහස් කරන ලදී. මෙම කොමිසමේ මෙම වසර තුනක් සේවය කළ ඇය ඉන්පසුව එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයට (MOF) නිදහස් කරන ලදී. මේ අනුව 1993-95 කාලය තුළ ආචාර්ය ජයමහ මුදල් අමාත්‍යංශයේ මූල්‍ය අංශ ප්‍රතිසංස්කරණ කමිටුවේ උපදේශකයෙකු ලෙස සේවය කළාය. මෙම කාර්යය අවසන් වූ පසු ආචාර්ය ජයමහට එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ (COMSEC) උපදේශක තනතුරක් පිරිනමන ලදී. මේ සඳහා මහ බැංකුවෙන් නිදහස් කරන ලද ඇය 1995- 1998 කාලයේ එහි උපදේශකවරියක් (ආර්ථික) ලෙස සේවය කළාය. පසුව ඇය පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ (COMSEC) විශේෂ උපදේශක (ආර්ථික) ශ්‍රේණියට උසස් කරන ලදී.

පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේදී (COMSEC) ආචාර්ය ජයමහට නව රැකියා අංශ ගැන ඉගෙන ගැනීමටත් පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවලට උපදෙස් දීමටත් සිදුවිය. එවැනි එක් ක්ෂේත්‍රයක් වූයේ ගෙවීම් හා නිරාකරණ පද්ධති ප්‍රතිසංස්කරණයි. ආචාර්ය ජයමහට අනුව, එවකට ඇය ගෙවීම් හා නිරාකරණ පද්ධතිවල මූලික කරුණු පමණක් දැන සිටි බැවින් ගෙවීම් හා පියවීම් ප්‍රතිසංස්කරණවලට අදාළ සංකල්ප සහ මෙහෙයුම් ගැටළු තේරුම් ගැනීමට දැඩි ලෙස ඒවා අධ්‍යයනය කිරීමට සිදුවිය. මුලදී, ඇය කටයුතු කළේ කැරිබියානු කුඩා දූපත් අටක මධ්‍යම බැංකු මෙහෙයුම් ආවරණය කරන නැගෙනහිර කැරිබියානු මහ බැංකුවේ (ECCB) ගෙවීම් හා පියවීම් පද්ධති ප්‍රතිසංස්කරණ සඳහායි. මෙහිදී ඉතා ඉහළ මට්ටමේ වෘත්තීය කණ්ඩායමක සාමාජිකාවක් ලෙස තමා කටයුතු කළ බවත් රැකියාව පිළිබඳව බොහෝ දේ ඉගෙන ගත් බවත් ඇය සිහිපත් කරයි. ගෙවීම් ප්‍රතිසංස්කරණ කමිටුව එම විෂය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර විශේෂඥයින්ගෙන් සමන්විත විය. ඒ අතර (එංගලන්ත බැංකුවෙන් විශ්‍රාම ගෙන සිටි) ලෝක බැංකුවේ ගෙවීම් පද්ධති විශේෂඥයෙක් හා කර්මාන්ත පිළිබඳ විශේෂඥයෙක් ද විය. ආචාර්ය ජයමහ විසින් නැගෙනහිර කැරිබියානු මහ බැංකුවේ (ECCB) ගෙවීම් හා නිරාකරණ පද්ධති ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රායෝගික යෝජනා ගණනාවක් ඉදිරිපත් කරන ලද අතර බලධාරීන් විසින් ඒවා අදියර කීපයකින් ක්‍රියාත්මක කරන ලදී. ගෙවීම් සහ නිරාකරණ ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ආචාර්ය ජයමහගේ පළමු අත්දැකීම වූයේ මෙයයි. 2000 දී, ශ්‍රී ලංකා මහ බැංකුව එහි ගෙවීම් හා නිරාකරණ පද්ධති සමාලෝචනය කිරීමට හා ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයෙන් (COMSEC) තාක්ෂණික සහාය ඉල්ලා සිටියේය. ඒ සඳහා එකම විශේෂඥ කණ්ඩායම ලබා ගැනීමට ආචාර්ය ජයමහ සමත් වූ අතර එම කණ්ඩායම මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් මහ බැංකුවට ඉදිරිපත් කළේය. මුදල් මණ්ඩලය විසින් වාර්තාවේ සියලුම නිර්දේශයන් පිළිගනිමින් ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ නිරාකරණ පද්ධති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට උසස් කිරීම සඳහා මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු යැයි යෝජනා කළේය.

ආචාර්ය ජයමහ 2001 දී මහ බැංකුවේ ඇගේ තනතුරට නැවත පැමිණි අතර එහි තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක් භාර සහකාර අධිපති ලෙස උසස් කරන ලදී. ඒ වන විට, මහ බැංකුව නවීකරණ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබූ අතර ඒ යටතේ ගෙවීම් හා පියවීම් පද්ධති ප්‍රතිසංස්කරණද ඇතුළත් කර තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවීකරණ වැඩසටහනට අරමුදල් සපයන ලද්දේ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට (GOSL) ලබා දුන් ණය මුදලක් මගිනි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ නිරාකරණ පද්ධතිය:

රටේ ප්‍රධාන ගෙවීම් ක්‍රම දෙක (පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති – SIPS)වන්නේ : විශාල අගයන් ගෙවීමේ ක්‍රමය (මුදල්, විදේශ විනිමය, අන්තර් බැංකු හා කාල කීරණාත්මක ගෙවීම්) සහ සිල්ලර අගයන් (චෙක්පත්, SLIPS, සීමිත මුදල ජාත්‍යන්තර කාඩ්පත් ගෙවීම් සහ රට තුළ නිකුත් කළ එක්සත් ජනපද ඩොලර් චෙක්පත්) ගෙවීමේ ක්‍රමයයි. මෙම ගෙවීම් ක්‍රම දෙකම මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලදී. ඉහළ වටිනාකමකින් යුත් (විශාල වටිනාකමකින් යුත්) ගෙවීම් සහ නිරාකරණ කටයුතු බැංකු දෙපාර්තමේන්තුව මගින්ද සිල්ලර වටිනාකම් ගෙවීම් සහ නිරාකරණ කටයුතු ශ්‍රී ලංකා මහබැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ස්වයංක්‍රීය නිෂ්කාසන මන්දිරය (SLACH) විසින්ද මෙහෙයවනු ලැබීය.

1987 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා ස්වයංක්‍රීය නිෂ්කාසන මන්දිරය (SLACH) මගින් සිල්ලර වටිනාකම් චෙක්පත් සහ අන්තර් බැංකු ගෙවීම් (SLIPS) කටයුතු සිදු කරන ලදී. මේ දෙකම කඩදාසි මත පදනම් වූ ගෙවීම් ක්‍රම විය. ශ්‍රී ලංකා ස්වයංක්‍රීය නිෂ්කාසන මන්දිරය (SLACH), (අර්ධ ස්වයංක්‍රීය) කියවන-තෝරන යන්ත්‍ර මගින් බැංකු වශයෙන් චෙක්පත් වර්ග කර නිෂ්කාශිත ශුද්ධ ශේෂයන් එදිනම රාත්‍රියේ මහබැංකුව වෙත යවන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව එහි පොදු ලෙජරයේ (GL) ඇති ගිණුම් හරහා බැංකුවලට ශුද්ධ නිෂ්කාසන ශේෂයන් පියවන ලදී. එය “දිනය අවසානයේ ශුද්ධ නිරාකරණ ක්‍රියාවලියක්” ලෙස හැඳින්වූ අතර මෙහිදී බැංකු අතර අලාභ බෙදා ගැනීමේ ගිවිසුමක් නොතිබූ බැවින් ඒ ඒ බැංකුවලට මෙන්ම මහබැකුවටද නිරාකරණ අවදානමකට මුහුණ දීමට සිදු විය. බැංකුවක් ඈවර කිරීමට හෝ ව්‍යාපාර නැවැත්වීමට අධිකරණ නියෝගයක් තිබුනේ නම්, මහ බැංකුවේ පෙර දින අයිරා මුදල්, අදාළ බැංකුවෙන් අයකර ගැනීමට නොහැකි වනු ඇත. බැංකු කටයුතු අවසන් කිරීමෙන් පසු සෑම ව්‍යාපාරික දිනයකම මධ්‍යම රාත්‍රිය වන තෙක් මහ බැංකුවේ පොදු ලෙජරය අතින් යාවත් කාලීන කරන ලදී. කිසියම් බැංකුවකට නිරාකරණය සඳහා අරමුදල් හිඟ වූයේ නම්, මහ බැංකුව විසින් එම බැංකුවට ගෙවීම් පියවා ගැනීමට හැකි වන පරිදි එක රැයක අයිරා පහසුකම් ලබා දුණි. දැනුවත්ව හෝ නොදැනුවත්ව තනි බැංකු වල ගෙවීම් වගකීම් සපුරාලන බවට මහබැංකුව පොරොන්දුවක් ලබා දී නොතිබුණද, බැංකුවල ගෙවීම් සහ නිරාකරණ බැඳීම් මහ බැංකුව විසින් අන්තර්ග්‍රහණය කරන ලදී. ප්‍රායෝගික දෘෂ්ටි කෝණයකින් බලන කල, මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව උදෙසා ඌනතා සහිත බැංකුවලට ඉඩ දීම හැර වෙනත් විකල්පයක් මහ බැංකුවට තිබුණේ නැත. ප්‍රතිසංස්කරණ වලට පෙර, ගෙවීම් සහ නිරාකරණ කටයුතු සිදු කරක ලද්දේ අතින් හෝ අර්ධ වශයෙන් ස්වයංක්‍රීය යල් පැනගිය යටිතල පහසුකම් සහ ක්‍රියාවලීන් මගිනි. මහබැංකුව තුළ ද දෙපාර්තමේන්තු කිහිපයක් අතර ගෙවීම් කටයුතු විසිරී තිබුණි. මහ බැංකුවේ පොත්වල පවත්වා ගෙන යනු ලබන ගිණුම් හරහා බැංකු වල ඉහළ වටිනාකම් ගෙවීම් අතින් සකස් කරන ලදී. සිල්ලර ගෙවීම් සඳහා, බැංකු අතර පාඩු බෙදා ගැනීමේ විධිවිධානයක් හෝ සියලුම බැංකු ඔවුන්ගේ ගෙවීම් වගකීම් පියවන බවට සහතිකයක් නොතිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, තෙවන පාර්ශවයන්ගේ ගෙවීම් බැඳීම්වලට මහබැංකුව නිරාවරණය විය. එබැවින් ඉහළ වටිනාකමකින් යුත් ගෙවීම් සහ සිල්ලර ගෙවීම් ප්‍රතිසංස්කරණය කිරීමත්, ගෙවීම් සහ නිරාකරණ ගනුදෙනු සඳහා පහසුකම් සැපයීමත් සඳහා ඒවා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කිරීම අවශ්‍ය විය.

තථ්‍ය කාලීන දළ නිරාකරණ පද්ධතිය (RTGS):

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ඉහළ වටිනාකම් ගෙවීමේ ක්‍රම ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළේ දිනය අවසානයේ ශුද්ධ බේරුම්කරණ පද්ධතිය වෙනුවට තථ්‍ය කාලීන දළ නිරාකරණ පද්ධතියක් ප්‍රතිස්ථාපනය කිරීමෙනි. දිනය අවසානයේ ශුද්ධ බේරුම්කරණ පද්ධතිය යටතේ, සියළුම ගෙවීම් ගනුදෙනු මහ බැංකුවේ පොදු ලෙජරයේ ඇති විවිධ බැංකුවල ගිණුම්වලට යවන ලදි. සියලුම බැංකුවලට අලුත් (RTGS) පද්ධතියේ තැනක් ලබා දුන් අතර බැංකු විසින් තත් ප්‍රදේශ ජාල පද්ධති භාවිතා කරමින් මහබැංකුවට මාර්ගගතව ගෙවීම් උපදෙස් ඉදිරිපත් කරන ලදී. බැංකුවලින් ගෙවීම් උපදෙස් ලැබුණු විට, ඔවුන්ගේ බැංකු ගිණුම්වල අරමුදල් තිබේ නම්, මෙම (RTGS) පද්ධතිය පුනඃකාරී ක්‍රියාවලියක් තුළින් ගෙවීම් ක්ෂණිකව කිරාකරණය කරයි.

මේවා අවසාන සහ ආපසු හැරවිය නොහැකි නිරාකරණයන් වේ. මෙයින් අදහස් කළේ නිරාකරණ කටයුතු සඳහා සියලුම බැංකු විසින් මහ බැංකුවේ සංචිත ගිණුම්වල ප්‍රමාණවත් ශේෂයක් තබා ගැනීම අවශ්‍ය වූ බවයි. අරමුදල් හෝ ප්‍රමාණවත් අරමුදල් නොතිබුණේ නම්, මෙම (RTGS) පද්ධතිය එවැනි ගනුදෙනු උපදෙස් පෝලිමක තබා අදාළ බැංකුවට තම ගිණුමට අරමුදල් සැපයීමට කාලය ලබා දෙනු ඇත. දළ පදනමක් මත ගනුදෙනු ක්ෂණිකව සිදු කිරීමට බැංකුවලට පහසුකම් සැලසීම සඳහා, මහ බැංකුව විසින් ඒ ඒ බැංකුවලට සම පාර්ශවීය අන්තර්දින ද්‍රවශීලතා පහසුකමක් (ILF) ලබා දී තිබූ අතර ව්‍යාපාරික දිනය අවසානයේදී එය ආපසු ගෙවිය යුතු විය. එබැවින් දළ නිරාකරණ හේතුවෙන් බැංකු අපහසුතාවයට පත් නොවූ නමුත් පොලී රහිත පහසුකමක් වන අන්තර්දින ද්‍රවශීලතා පහසුකමක් (ILF) යටතේ ණය ලබා ගැනීම සඳහා ඇපකරයක් සොයා ගැනීම අවශ්‍ය විය. මෙම (RTGS) ක්‍රමය යටතේ, බැංකු ඔවුන්ගේ ගෙවීම් වගකීම් සඳහා පූර්ණ වගකීම දරන අතර කිසිදු බැංකුවක් වෙනත් බැංකුවකට නිරාවරණය නොවේ. මහ බැංකුවද කිසිදු බැංකුවකට නිරාවරණය නොවේ. මේ අනුව මෙම නව (RTGS) ක්‍රමය මගින් රටේ තිබු පැරණි ඉහළ වටිනාකම් ගෙවීම් සහ නිරාකරණ පද්ධතිය නවීකරණය කර ඩිජිටල්කරණය කරන ලදි.

තථ්‍ය කාලීන දළ නිරාකරණ පද්ධතිය (RTGS) ක්‍රියාත්මක කිරීම සඳහා මහ බැංකුව ලංසු කැඳවූ අතර ඒ සඳහා ලංසු 13 ක් ලැබුණි. අවසානයේදී, මහ බැංකුවේ පිරිවිතරයන්ට හා ලෝක බැංකු මාර්ගෝපදේශයන්ට අනුකූලව, මෙම (RTGS) පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානියේ ලොජිකා ආයතනය තෝරා ගන්නා ලදී. මෙම (RTG) පද්ධතිය හඳුන්වාදීමත් සමඟ ක්‍රියාවලි හා ක්‍රියා පටිපාටි කිහිපයක් වෙනස් කිරීමට සිදුවිය. මීට පෙර නිෂ්කාසනය සඳහා ඒ ඒ බැංකු විසින් විශාල වටිනාකම් චෙක්පත් මහ බැංකුවට ගෙන ඒමේ ක්‍රමයක් භාවිතා වූ නමුත් මෙම (RTGS) ක්‍රමය ක්‍රියාත්මක වීමත් සමඟ බැංකුවලට ඔවුන්ගේ සංචිත ගිණුම් වලට මාර්ගගත ප්‍රවේශයක් ලබා දුන් බැවින් උපදෙස් නිවැරදි නම් සහ ඔවුන්ගේ ගිණුම්වල අරමුදල් තිබේ නම් ගනුදෙනු ක්ෂණිකව නිෂ්කාසනය විය. මෙම තථ්‍ය කාලීන දළ නිරාකරණ පද්ධතිය (RTGS) යනු අන්තර් ක්‍රියාකාරී පද්ධතියකි. එයට බැංකුවේ හර හෝ ණය ශේෂයන් පරීක්ෂා කර අරමුදල් ලබා ගත හැකිදැයි සොයා බැලිය හැකිය. අරමුදල් නොතිබුනේ නම්, අදාළ බැංකුවේ/ප්‍රාථමික වෙළෙඳුන්ගේ ගිණුමට අරමුදල් ලැබෙන තුරු හෝ ව්‍යාපාරික දිනය අවසානයේදී ප්‍රතික්ෂේප වන තෙක් ගනුදෙනුව පෝලිමේ තබා ගනී. ගනුදෙනුව සිදු නොවන්නේ නම්, ප්‍රමාණවත් අරමුදල් සොයා ගැනීම අදාළ බැංකුවේ ගැටලුවක් මිස මුදල් ලැබෙන බැංකුවේ හෝ මහබැංකුවේ ගැටලුවක් නොවේ. මෙය වේගවත්, කාර්යක්ෂම හා සාපේක්ෂව අවදානම් රහිත පද්ධතියකි.

මෙම තථ්‍ය කාලීන දළ නිරාකරණ පද්ධතිය (RTGS) ක්‍රියාත්මක කිරීම සඳහා මහබැංකුවට වසර දෙකක් – 2001 මැද සිට 2003 දක්වා- ගත විය. ගෙවීම් නිරවුල් කිරීම තථ්‍ය කාලීනව සිදු කරන ලද අතර සියලුම බැංකු මෙම (RTGS) පද්ධතියට සම්බන්ධ කරන ලදී. බිලියන ගණනක් මුදල් සහ විදේශ විනිමය වෙළෙඳපොළ ගනුදෙනු මෙම (RTGS) පද්ධතිය හරහා ක්ෂණිකව හා ආරක්ෂිතව ශුන්‍ය අවදානමකින් යුතුව සංසරණය වූයේය. මුලදී බැංකු විසින් විරෝධතා දැක්වූ බැවින් මෙම පද්ධතියට බැඳීම අනිවාර්ය කිරීමට මහ බැංකුවට සිදුවිය. 2003 සැප්තැම්බර් 8 වන දින හඳුන්වා දුන් මෙම (RTGS) පද්ධතිය, පැහැදිලිවම ගෙවීම් ඉතිහාසයේ සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ඩිජිටල්කරණයේ සුවිශේෂී පියවරක් ලෙස සැලකිය හැකිවේ.

ඊට සමගාමීව, ශ්‍රී ලංකා මහබැංකුවේ අලුතින් පිහිටුවන ලද මුදල් දෙපාර්තමේන්තුව ස්වයංකෘත කරන ලද අතර එම දෙපාර්තමේන්තුවේ සියලුම ගෙවීම් සහ නිරාකරණයන් කේන්ද්‍රගත කළේය.

ස්ක්‍රිප්රහිත සුරැකුම්පත් නිරාකරණ පද්ධතිය (SSSS):

සුරැකුම්පත් ගනුදෙනු ද අවදානම් රහිත, වේගවත් හා කාර්යක්ෂම බවට පත් කිරීම සහතික කිරීම සඳහා මහබැංකුව විසින් තෝරාගත් වෙළෙඳුන් මෙම (RTGS & SSSS) සංරචක දෙකම භාවිතා කිරීමත් එම පද්ධති දෙකම සම්බන්ධ කිරීමත් අවශ්‍ය විය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහබැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබේ. 2004 ට පෙර, භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර විකිණීම හා මාරු කිරීම අතින් සිදු කරන ලද අතර මුල් බිල්පතේ වෙනස් කිරීම් භෞතිකව අනුමත කළ යුතු විය. මේ නිසා බිල්පත් සහ බැඳුම්කරවල අයිතිය පැවරීම ගැන මිලදී ගන්නා පාරිභෝගිකයාට දැනුම් දීමට දින කිහිපයක් ගත වූයේය. එක් එක් වෙළඳාම හෝ හුවමාරුව පිළිබඳ භෞතික අනුමත කිරීම් හේතුවෙන් අතින් පොත්වල සටහන් කිරීමේ ක්‍රමය යටතේ වෙළඳාම ඉතා දුෂ්කර විය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයාසකර ගෙවීම් සහ නිරාකරණ පද්ධතිය සහ වෙළඳාම් හෝ මාරුවීම් පිළිබඳ ක්ෂණික නිමාවක් නොතිබීමේ අවදානම හේතුවෙන් වෙළඳපල වර්ධනය නොවුණි.

මෙම පද්ධති දෙකම එකවිට  සංවර්ධනය කරන ලද නමුත් අදාළ නීති සම්මත කිරීම ප්‍රමාද වීම සහ බලයලත් ප්‍රාථමික වෙළෙඳුන් පද්ධතියට සම්බන්ධ කිරීම ආදිය  නිසා පද්ධති දෙකම එකවර ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. සුරැකුම්පත් ගනුදෙනුවක් අවසන් කිරීම සඳහා පියවර  දෙකක් තිබේ: ඒවා නම් ප්‍රාථමික වෙළෙන්දන් විසින් තමන් වෙනුවෙන් හෝ ඔවුන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් සුරැකුම්පත් මිලදී ගැනීම සහ එම සුරැකුම්පත් වෙළඳාම් කිරීම/මාරු කිරීම සහ පසුව එවැනි සුරැකුම්පත් සඳහා ගෙවීම සහ නිරාකරණය කිරීමයි. වෙළඳාම/හුවමාරුව සඳහා හිමිකාරිත්ව වෙනසක් ඇතුළත් වන අතර එය ප්‍රාථමික අලෙවිකරුවන්ට සහ ඔවුන්ගේ ප්‍රතිලාභීන් සඳහා නව ගිණුම් නිර්මාණය කිරීමෙන් මධ්‍යගත තැන්පතුවක සිදු විය යුතුය. බැංකු සහ බැංකු නොවන ප්‍රාථමික වෙළෙඳුන් ඇතුළු ප්‍රාථමික වෙළෙඳුන්ට මහබැංකුව විසින් බලපත්‍ර ලබා දී ඇති අතර ඔවුන්ගේ සේවාදායකයින් වෙනුවෙන් ප්‍රතිලාභී ගිණුම් පවත්වාගෙන යා හැකි වේ. සෑම වෙළෙන්දෙකුටම මෙම (SSS සහ RTGS) පද්ධතිවල සාමාජිකත්වයක් ලබා දී ඇත. අනෙක් පියවර වන්නේ මිලදී ගැනීමේදී හෝ වෙළඳාම් කිරීමේදී හෝ මාරු කිරීමේදී ගෙවීම් නිරාකරණය කිරීමයි. ගෙවීම් පියවර සහ  නිරාකරණ පියවර එකිනෙකට  සම්බන්ධ වේ. ප්‍රාථමික වෙළෙන්දන්ගේ අදාළ ගිණුම්වල ඇති අරමුදල් මත පදනම්ව ගෙවීම් ක්ෂණිකව සිදු කරනු ලබන්නේ අදාළ හා වෙළඳාම් කළ හැකි සුරැකුම්පත් තිබේ නම් පමණි. ප්‍රාථමික වෙළෙඳුන්ට නිරාකරණය සඳහා අරමුදල් හිඟ නම්, දිනයේ ව්‍යාපාරික කාලය අවසන් වන තුරු ඔවුන්ට අන්තර්දින ද්‍රවශීලතා පහසුකමක් (ILF)  ලබා දෙනු ලැබේ. ව්‍යාපාරික දිනය අවසන් වන විට එය නිරාකරණය නොකළ හොත් මහබැංකුව, බැංකුවලට මෙන්ම ප්‍රාථමික වෙළෙන්දුන්ට දඩ මුදලක් නියම කරයි. මහබැංකුවේ නිත්‍ය සේවාදායකයින් නොවන බැංකු නොවන ප්‍රාථමික වෙළෙඳුන් සමඟද ගනුදෙනු කිරීමට සිදු වූ බැවින් මෙම පද්ධතිය ස්ථාපනය කිරීම වඩාත් සංකීර්ණ විය. ඔවුන්ටත් මහබැංකුව සමග ගිණුම් ආරම්භ කිරීමෙන් පද්ධති දෙකටම සහභාගීවීමේ හැකියාව ලබා දිය යුතු වූ අතර ඔවුන්ට බොහෝ විට  අන්තර්දින ද්‍රවශීලතා පහසුකම (ILF)  සඳහා ඉදිරිපත් කළ හැකි ඇපකර නොතිබුණි. ස්ක්‍රිප්රහිත සුරැකුම්පත් නිරාකරණ පද්ධතිය  හඳුන්වා දුන් විට, ප්‍රාථමික හා ද්විතීයික භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ගනුදෙනු සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ අතර වේගවත්, ආරක්ෂිත, අවදානම් රහිත හා කාර්යක්ෂම ලෙස භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ගනුදෙනු සිදු වීම නිසා වෙළඳපල වැඩිදියුණු විය.

ස්ක්‍රිප්රහිත සුරැකුම්පත් නිරාකරණ පද්ධතිය ක්‍රියාත්මකවීම 2004 දී ආරම්භ විය. මේ සඳහා මෙතෙක් නිකුත් කරන ලද සහ ඉතිරිව ඇති සියලුම ස්ක්‍රිප්ට් පදනම් කරගත් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර අවලංගු කිරීමට මහබැංකුවට සිදු වූ අතර ඒ සඳහා යම් කාලයක් ගත විය. මෙම සියලුම බිල්පත් සහ බැඳුම්කර නව (SSSS) පද්ධතියට ඇතුළත් කළ යුතුව තිබුණි. ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සංශෝධනය කිරීමට ද රජයට සිදු විය. මෙම (SSSS) ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් පසුව, ස්වයංක්‍රීය වෙළඳ වේදිකාවක කඩදාසි නොමැතිව එවැනි බිල්පත් නිකුත් කිරීම සහ වෙළඳාම් කිරීම ඩිජිටල් ආකාරයට සිදු කිරීමට හැකි වූයේය. ගෙවීම් සඳහා තථ්‍ය කාලීන දළ නිරාකරණ පද්ධතිය (RTGS) ප්‍රතිසංස්කරණය කිරීමත් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ස්ක්‍රිප්රහිත සුරැකුම්පත් නිරාකරණ පද්ධතිය (SSSS) ක්‍රියාත්මක කිරීමත් පාරිභෝගිකයින්ට සහ ප්‍රාථමික වෙළෙඳුන්ට ඉමහත් ප්‍රතිලාභ අත් කර දුන්නේය. ස්ක්‍රිප්රහිත සුරැකුම්පත් නිරාකරණ පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ නිරාකරණ සහ සුරැකුම්පත් වෙළඳපල සංවර්ධන ඉතිහාසයේ තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

සිල්ලර ගෙවීම් සහ ලංකා ක්ලියර්

ශ්‍රී ලංකා මහපැංකුවේ මග පෙන්වීම සහ අධීක්ෂණය යටතේ සහ බලපත්‍රලාභී බැංකු සහ මහබැංකුව අතර හවුල් ව්‍යාපාරයක් ලෙස ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම 2002 පෙබරවාරි මාසයේදී සංස්ථාගත කරන ලදී. ලංකා ක්ලියර් යනු මහබැංකුවේ බලයලත් නිෂ්කාසන නියෝජිතයා වන අතර එය අඩු වටිනාකමක් ඇති සිල්ලර හා තොග ගෙවීම් නිරාකරණය කිරීමට පහසුකම් සපයයි. මහබැංකුවේ තොරතුරු තාක්‍ෂණ දෙපාර්තමේන්තුව චෙක්පත් නිෂ්කාසනය හා පසුව අන්තර් බැංකු ගෙවීම් (SLIPS) සඳහා දිවා කාලයේදී රීඩර්-සෝර්ටර් යන්ත්‍ර භාවිතා කිරීම සහ සමස්ත ශුද්ධ නිෂ්කාශන ශේෂයන් මහබැංකුව වෙත ඉදිරිපත් කිරීම මගින් 1987 සිට ශ්‍රී ලංකා ස්වයංක්‍රීය නිශ්කාසන මන්දිරයට (SLACH) සහ 2006 දක්වා ලංකා ක්ලියර් ආයතනයට සහාය විය. මෙම ගෙවීම් පහසු කිරීම සඳහා එවැනි දත්ත සත්‍යාපනය කර ආකෘතිකරණය කිරීමෙන් පසුව තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහබැංකුවේ එවකට බැංකු දෙපාර්තමේන්තුවට (2002 න් පසු ගෙවීම් හා බේරුම්කරණ දෙපාර්තමේන්තුවට) ශේෂයන් ඉදිරිපත් කරන ලදී. කලින් සඳහන් කළ පරිදි, මෙම (RTGS) පද්ධතිය ක්‍රියාත්මක කිරීමට පෙර, මහබැංකුවේ ඇති ගිණුම් හරහා බැංකු වල ශුද්ධ නිෂ්කාසන ශේෂයන් අතින් සකස් කරන ලදී. චෙක්පත් නිෂ්කාසන කාලය දින 1-7 අතර වූ බැවින් සමහර බැංකු එක් රැයකින් හෝ කෙටි කාලීන ණය ලබා දීමට ‘‘පාවෙන චෙක්පත්’’ භාවිතා කිරීමෙන් කෙටිකාලීන ප්‍රතිලාභයක් හිමි කර ගත්තේය. ත්‍රස්තවාදී යුධ සමයේදී, භෞතික වශයෙන් චෙක්පත් උතුරට හා නැගෙනහිරට යැවීමට දින 4-5 ක් හෝ ඊටත් වැඩි කාලයක් ගත විය.

ශ්‍රී ලංකාවේ බැංකු අතර අලාභ බෙදා ගැනීමේ විධිවිධාන නොතිබූ හෙයින්, එක රැයකින් දේශීය බැංකුවක් හෝ විදේශීය බැංකු ශාඛාවක බිඳවැටීමක් සිදුවූයේ නම්, යම් ආකාරයක  විධිවිධාන ක්‍රියාත්මක කරන තෙක් ගෙවීම් සහ නිරාකරණයන් සිදු කළ නොහැකි බැවින් අනෙකුත් සියලුම බැංකුවලට බරපතල ප්‍රතිවිපාක අත්වීමට ඉඩ තිබුණි.  අනෙක් අතට,  අරමුදල් හිඟ වූ බැංකුවට මහබැංකුවද නිරාවරණය වනු ඇත. තෙවන පාර්ශවීය ගෙවීම් වගකීම් සපුරාලීමට බැඳීමක් නොමැති වුවද, කෙසේ වෙතත් මහබැංකුව අවසන් පිළිසරණ ලෙස ණය දෙන්නා වේ.

ශ්‍රී ලංකා ස්වයංක්‍රීය නිශ්කාසන මන්දිරය (SLACH) අර්ධ වශයෙන් ස්වයංක්‍රීය කර තිබූ අතර, චෙක්පත් වල නිරූපිත ශේෂයන් ඉවත් කිරීමට හෝ මාර්ගගත නිෂ්කාසන සේවා සැපයීමට එයට හැකියාවක් නොතිබුණි. එබැවින් ඉහළ වටිනාකම් සහිත නිරාකරණයන් ස්වයංක්‍රීය කිරීමෙන් පසුව, රට තුළ ජාතික ස්විචයක් ස්ථාපිත කිරීමෙන් සිල්ලර ගෙවීම් සහ නිෂ්කාසන කටයුතු ස්වයංක්‍රීය කර ගනුදෙනු ඩිජිටල්කරණය කිරීමට මහබැංකුව තීරණය කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෙළෙන්දන්ගෙන් මිල කැඳවීම් ඉල්ලා සිටි අතර දෘඪාංග හා මෘදුකාංග ඇතුළත් නව යටිතල පහසුකම් මගින් එය ප්‍රතිස්ථාපනය කරන ලදී. මෙම ජාතික ස්විචය හරහා රූපගත කරන ලද සහ ලෝපනය කරන ලද චෙක්පත් නිරාකරණය කිරීමට හැකි වූ අතර අන්තර් බැංකු ගෙවීම් (SLIPS), කාඩ්පත්, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ශේෂයන්, ජංගම නිෂ්කාසන සහ ඉලෙක්ට්‍රොනික ලෙස  අරමුදල් මාරු කිරීම් වැනි වෙනත් ගෙවීම්ද සිදු කළ හැකි විය.

ගෙවීම් හා නිරාකරණ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ, මහබැංකුව විසින් 2006 දී චෙක්පත් අනුරූපණ සහ ලෝපන ක්‍රමය (CIT) හඳුන්වා දෙන ලදී. ඒ අනුව, ගෙවීම් සඳහා බැංකු විසින් පිළිගත් සියලුම චෙක්පත්, ශාඛා මට්ටමින් ලෝපනය කළ යුතු අතර බැංකුවල හර සහ ණය ශේෂයන් අඩංගු සංයුක්ත තැටියක් නිෂ්කාසනය  සඳහා ලංකා ක්ලියර් වෙත යොමු කරන ලදී. යෙදුම් ක්‍රියාවලි අතුරුමුහුණත් (API) භාවිතා කරන ලෙසත්, ලෝපිත සහ නිරූපිත චෙක්පත් පිළිබඳ විස්තර සහ ඒවායේ ශේෂයන් අන්තර්ජාලය හරහා ලංකා ක්ලෙයාර් වෙත එවන ලෙසත් බැංකුවලට නියම කරන ලදී. ලංකා ක්ලෙයාර් ආයතනය විසින් මෙම හර සහ ණය ශේෂයන් ඉවත් කර, එක් එක් බැංකුවේ සමස්ත ශුද්ධ ශේෂයන් සකස් කර, බැංකු හරහා අවසන් නිරාකරණය සඳහා මහබැංකුවේ ගෙවීම් හා බේරුම්කරණ දෙපාර්තමේන්තුවට යොමු කරයි. කලින් සඳහන් කළ පරිදි, අදාළ බැංකු / ගිණුම්වල අරමුදල් තිබේ නම්, RTGS ක්‍රමය මඟින් බැංකු වල ශේෂයන් ඔවුන්ගේ ගිණුම් හරහා නිරාකරණය කරන අතර සෑම ව්‍යාපාරික දිනයකම උදේ 8.30 වන විට ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ නිෂ්කාසන ශේෂයන් දැන ගැනීමට බැංකුවලට හැකියාව ලැබේ. ඩිජිටල් ක්‍රමයට සිල්ලර ගෙවීම් සහ නිරාකරණ පහසුකම් සපයන ආසියාවේ පළමු වැන්නා වන්නේ  ශ්‍රී ලංකාවේ  චෙක්පත් අනුරූපණ සහ ලෝපන (CIT) ක්‍රමයයි.

මෙම (CIT) පද්ධතියෙන්  චෙක්පත් නිෂ්කාසනය කිරීමට අමතරව, ලංකා ක්ලියර් ආයතනය  විසින් සිදු කරන ලද පළමු කාර්යයන්ගෙන් එකක් වූයේ විවිධ බැංකුවල සියලුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සම්බන්ධ කිරීමයි. බැංකු මුලින් විරෝධය දැක්වූයේ ඔවුන්ගේම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර  පවත්වා ගැනීමට  අවශ්‍ය වූ නිසාය. ක්‍රමයෙන් බොහෝ බැංකු ජාතික ස්විචයට සම්බන්ධ වූ අතර එය වේගවත් හා ආරක්ෂිත යැයි සැලකේ. අද, ලංකා ක්ලියර් ස්විචය මගින් චෙක්පත්, අන්තර් බැංකු ගෙවීම්, දේශීයව නිකුත් කළ එක්සත් ජනපද ඩොලර් චෙක්පත්, බැංකු හා බැංකු නොවන ක්‍රියාකරුවන්ගේ ජංගම ගෙවීම්, ලංකාපේ කාඩ්පත් ශේෂයන්, ලංකා ක්ලෙයාර් සාමාජිකයන් අතර ඉලෙක්ට්‍රෙනික අරමුදල් හුවමාරුව යනාදී වශයෙන්  පුළුල් පරාසයක සේවාවන් ලබා දෙයි.

ලංකාසයින්:

ආරක්ෂක ලියකියවිලි සඳහා ඩිජිටල් අත්සන් සහතික කිරීම, ණයවර ලිපි නිෂ්කාසනය කිරීම ආදිය සඳහා බලයලත්  ආයතනයක් ශ්‍රී ලංකාවේ  නොතිබුණි. ඒ සඳහා බලයලත් විදේශීය ආයතනයකින් ඩිජිටල් අත්සන් ලබා ගත යුතු විය. මෙම ක්‍රියා පටිපාටිය සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් වැය කරන ලදී. බොහෝ ඉල්ලීම් හා සූදානම් වීමේ කටයුතු වලින් පසුව, ඩිජිටල් අත්සන් සහතික කිරීමට ලංකා ක්ලියර් ආයතනයට බලය ලැබුණි. ලංකා ක්ලියර්, දැන් මූල්‍ය අංශයේ සහතික කිරීමේ සේවා සපයන්නා වේ. දේශීය හා දේශසීමා හරහා ගනුදෙනු සඳහා වේගවත් හා ආරක්ෂිත ඩිජිටල් අත්සන් සහතික කිරීමේ සේවාවක් සපයන අතරම, මේ මගින් රටේ  විදේශ විනිමය ඉතිරි කර ගැනීමටද  ලංකා ක්ලියර් දායක වී තිබේ.

ලංකා ක්ලියර් ආයතනය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ඔසවා තැබීමට දායක වූ අතීත සහ වර්තමාන  පාලක මණ්ඩල, කළමනාකරණ සහ කාර්ය මණ්ඩලයේ කටයුතු ආචාර්ය රානී ජයමහ බෙහෙවින් අගය කරයි.

ගෙවීම් සහ නිරාකරණ කටයුතු පිළිබඳ නෛතික හා නියාමන රාමුව.

2005 ගෙවීම් හා බේරුම්කරණ පනත

පෙර පැවති පද්ධති හා යටිතල පහසුකම් යටතේ, ගෙවීම්, සුරැකුම්පත් නිෂ්කාසනය සහ නිරාකරණය සඳහා නෛතික සහාය ලබා ගත්තේ මුදල් නීති පනත, බැංකු පනත, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත සහ ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥාපනතේ අදාළ අංශ මගිනි. ඊට අමතරව විනිමය ආඥාපනත සහ සාක්ෂි නීතියේද චෙක්පත් ගනුදෙනු සඳහා අදාළ වගන්ති ද තිබුණි.

ගෙවීම් සහ නිරාකරණ ස්වයංක්‍රීය කර ඩිජිටල්කරණය කළ විට, පනත් කිහිපයක් යටතේ කටයුතු කිරීම දුෂ්කර විය. එසේම, ඩිජිටල්කරණයට සහ අනුරූපණ ගෙවීම්  ක්‍රමවලට නීතිමය ආවරණයක් නොතිබුණි. එබැවින් පවත්නා පනතේ අදාළ කොටස් සංශෝධනය කිරීමට සහ ස්වයංක්‍රීය හා ඩිජිටල්කරණය කරන ලද නව ගෙවීම් සහ නිරාකරණ පද්ධති සඳහා පහසුකම් සපයන නව පනත් හඳුන්වා දීමට මහබැංකුව තීරණය කළේය. 2005 ගෙවීම් හා බේරුම්කරණ පනත යනු ගෙවීම් හා නිරාකරණ කටයුතු පිළිබඳ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ විශේෂිත පනතක් වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී වෙනත් පනත් පිළිබඳව හරස් යොමු කිරීම්ද ඇතුළත් කරන ලදී. සිංගප්පූරුව හා ඕස්ට්‍රේලියාවට පසු ආසියාවේ සහ පැසිෆික් කලාපයේ ගෙවීම් සහ නිරාකරණ කටයුතු සම්බන්ධයෙන් මෙවැනි පරිපූර්ණ නීතියක් ක්‍රියාත්මක කළ තුන්වන රට ශ්‍රී ලංකාවයි.

2006 අංක 19 දරණ -ගනුදෙනු පනත

මෙම පනත පදනම් වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ කොමිසමේ (UNCITRAL) ඉ-වාණිජ්‍යය පිළිබඳ ආදර්ශ නීතිය, (1996) සහ ඉ-අත්සන් පිළිබඳ ආදර්ශ නීතිය (2001) පදනම් වූ ප්‍රමිතීන් මත ය. නෛතික බාධක ඉවත් කර නෛතික නිශ්චිතභාවයක් ඇති කරමින් දේශීය හා ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යයට එය පහසුකම් සපයමින් විද්‍යුත් වාණිජ්‍යයේ විශ්වාසදායක ආකෘති භාවිතා කිරීම දිරිමත් කරයි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් කෙටුම්පත් පනත අවසන් කිරීමට පෙර මහබැංකුව වෙත යවන ලදි. දේශසීමා  හරහා ඉ-වාණිජ්‍ය කොන්ත්‍රාත්තු භාවිතා කිරීම පිළිබඳ එකම ජාත්‍යන්තර ගිවිසුම වන එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අනුමත කරන ලදී. මෙම කටයුතු මෙහෙයවනු ලැබුවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසිනි.

අනිකුත් අදාළ නීති අතර ගෙවීම් උපාංග වංචා පනත; මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත; මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත සහ ත්‍රස්තවාදී මූල්‍ය සම්මුතිය අනුමත කිරීම ආදිය විය.

මෙම නීතිය කෙටුම්පත් කිරීමේදී  මහබැංකුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ලංකා ක්ලියර්  ආයතනය එක්ව කටයුතු කළ බව ආචාර්ය ජයමහ සිහිපත් කරයි. ශ්‍රී ලංකාවේ ගෙවීම් සහ නිරාකරණය කිරීමේ නීති සහ රෙගුලාසි ජාත්‍යන්තරව පිළිගෙන ඇති හෙයින් ගත් වෙහෙස වෙනුවෙන් සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ආචාර්ය ජයමහ පවසයි.

ණය තොරතුරු කාර්යාංශය:

මූල්‍ය පද්ධති ස්ථායිතාව භාර මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ලෙස ආචාර්ය රානී ජයමහ කටයුතු කරන විට ඇය ණය තොරතුරු කාර්යාංශයේ ද (CRIB) සභාපතිනිය වූවාය.  ඒ වන විට එම කාර්යාංශයේ සියළුම වාර්තා අතින් සකස්  කරමින් සිටි අතර එම වාර්තා එතරම් නිවැරදි නොවන බවට බොහෝ පැමිණිලි තිබුණි. මෙය සැලකිල්ලට ගනිමින්, (CRIB) කාර්යාංශය  සිය මෙහෙයුම් ස්වයංක්‍රීය කර ඩිජිටල්කරණය කිරීමට තීරණය කළ අතර ඒ නිසා අන්තර්ජාලය හරහා වේගවත් හා නිවැරදි ණය වාර්තා ඉදිරිපත් කිරීමට හැකි විය. සෑම බැංකුවකටම තම ගනුදෙනුකරුවන්ගේ නොගෙවූ හා අක්‍රීය ණය පිලිබඳ තොරතුරු ඔවුන්ගේම නිලධාරීන් ලවා ඇතුළත් කරන ලෙස උපදෙස් දෙන ලදී. අදාළ සියලුම බැංකු වලින් ගනුදෙනුකරුවන්ගේ  තොරතුරු ලැබුණු පසු, (CRIB) කාර්යාංශය එවැනි තොරතුරු එක් කරමින් ගනුදෙනුකරුවන්ගේ සමස්ත ණය වාර්තා සකස් කරයි. ඉල්ලුමට අනුව, (CRIB) කාර්යාංශය එම වාර්තා අදාළ පාරිභෝගිකයින්ට හෝ (CRIB) කාර්යාංශයේ  සාමාජිකයන් වන බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ලබා දෙනු ඇත. ගනුදෙනුකරුවන්ගේ ණය වාර්තා පිළිබඳ රහස්‍යභාවය පවත්වා ගැනීම සියළුම බැංකු සහ මූල්‍ය ආයතනවලින් අපේක්ෂා කරන අතර ණය තොරතුරු කාර්යාංශය (CRIB) කිසිදු සමාලෝචනයක් හෝ අදහස් දැක්වීමකින් තොරව ගනුදෙනුකරුවන්  පිළිබඳ දත්ත සහ තොරතුරු පමණක් සපයයි.

ණය තොරතුරු කාර්යාංශයේ (CRIB)  පැරණි යටිතල පහසුකම් 2006-08 කාලය තුළ ප්‍රතිස්ථාපනය කරන ලද අතර එම ආයතනය දැන් ගනුදෙනුකරුවන්  පිළිබඳ  වේගවත් හා විශ්වාසදායක ණය වාර්තා සපයයි.

මහ බැංකුවේ වසර ගණනාවක වටිනා හා ප්‍රයෝජනවත් සේවාව දෙස ආපසු හැරී බලන ආචාර්ය ජයමහ පවසන්නේ වැඩිදියුණු කළ, වේගවත් හා වඩා සුරක්‍ෂිත සේවාවක් සැපයීම සඳහා පද්ධති, ව්‍යුහය සහ නෛතික හා නියාමන ගැටලු විසඳීම සඳහා ඇය සැමවිටම කැමැත්තක් දැක්වූ බවයි.

හැටන් නැෂනල් බැංකුවේ කටයුතු (HNB):

මහබැංකුවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු ආචාර්ය ජයමහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ අතර 2011 දී ඇය හැටන් නැෂනල් බැංකුවේ සභාපතිනිය ලෙස පත් කරන ලදී. හැටන් නැෂනල් බැංකුවේ කටයුතු අනෙකුත් බැංකුවලට අනුකූල වන බවටත්, ලංකා ක්ලියර් විසින් මෙහෙයවනු ලබන ජාතික ස්විචයට සම්බන්ධ කිරීමටත්, ඩිජිටල් විසඳුම් සමඟ ඉදිරියට යාමට බැංකුව දිරිමත් කිරීමටත්, කඩදාසි මත පදනම් වූ චෙක්පත් වැනි අකාර්යක්ෂම  ගෙවීම් ක්‍රම ඉවත් කිරීමටත් ඇය කටයුතු කළාය. ආචාර්ය ජයමහ හැටන් නැෂනල් බැංකුවේ වසර හතරක් සේවය කළාය.

වෙනත් කටයුතු:

ඉන් අනතුරුව ආචාර්ය ජයමහ දකුණු ආසියාවේ ලෝක බැංකු සමූහයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙස පත් කරන ලදී. මෙහිදී  ඇයට පැවරුණු  පළමු කාර්යය වූයේ මාලදිවයිනේ ගෙවීම් සහ නිරාකරණ  ක්‍රමය සමාලෝචනය කිරීමයි. 2015 වන විට මාලදිවයිනේ ඉහළ වටිනාකම් ගෙවීමේ ක්‍රමය  ඩිජිටල්කරණය කර තිබූ නමුත් මෙහෙයුම් ගැටළු කිහිපයක් තිබුණි. විශේෂයෙන්ම දූපත් 200ක් අතර පැතිර තිබීම නිසා සිල්ලර ගෙවීම් සහ නිරාකරණ ගනුදෙනු, අකාර්යක්ෂම වු අතර  ගනුදෙනුකරුවන්ට ඒ සඳහා අධික මිලක් ගෙවීමට සිදුවිය. මාලේහි පිහිටි මධ්‍යම නිෂ්කාසන ආයතනයට නියමිත වේලාවට චෙක්පත් ගෙන ඒම සහ දුර බැහැර දූපත් වල වෙසෙන ජනතාවට මුදල් ලබා දීම ඉතා අපහසු වූ බව ආචාර්ය ජයමහ සිහිපත් කරයි. එබැවින් බැංකු නොවන දුරකථන සමාගම් දෙකක් විසින් මෙහෙයවනු ලබන ජංගම ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දීමෙන් සිල්ලර ගෙවීම් ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට ලෝක බැංකු කණ්ඩායම තීරණය කළේය. ලෝක බැංකු කණ්ඩායම මාලදිවයින සඳහා ගෙවීම් හා නිරාකරණ පනතක් ද කෙටුම්පත් කළ නමුත් එම පනත තවමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කර නොමැත. මාලදිවයිනේ මුදල් අධිකාරිය සතු සහ ඒ මගින් ක්‍රියාත්මක වන ඉහළ වටිනාකමකින් යුත් ගෙවීම් පද්ධතිය සම්බන්ධයෙන්, අවශ්‍ය වෙනස් කිරීම් 2017-2018 කාලය තුළ සිදු කරන ලදී.

අනාගතය

ආචාර්ය රානී ජයමහ අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ අද වන විට  විලාස පදය වී ඇත්තේ මහ බැංකු විසින් නිකුත් කරන ක්‍රිප්ටෝ-මුදල් බවයි. සංවර්ධිත රටවල් කිහිපයක මහ බැංකු, පුළුල් පදනමකින් මේ පිළිබඳව කටයුතු කර ඇති අතර මහ බැංකු ඩිජිටල් මුදල් (CBDC) ඉක්මනින් නිකුත් කිරීමට සූදානම් වේ. ඉහළ ඩිජිටල්කරණයක් සහිත ස්කැන්ඩිනේවියානු රටවල් කිහිපයක කඩදාසි මුදල් සඳහා ඇති ඉල්ලුම පහත වැටෙමින් තිබේ. මිනිසුන්ගේ මනාපය වන්නේ මුදල් නොවන ගෙවීම් උපකරණ, ජංගම සහ කාඩ්පත් ගෙවීම් හරහා ගනුදෙනු කිරීමයි.

මේ දක්වා ලෝකයේ කිසිදු රටක  මහ බැංකු ඩිජිටල් මුදල් නිකුත් කර නොමැති නමුත් ඒවා නීත්‍යනුකූල මුදල් ලෙස නිකුත් කිරීමට මෙම රටවල් සැලසුම් කර තිබේ. ආසියානු කලාපයේ සිංගප්පූරුව ක්‍රිප්ටෝ මුදල් නිකුත් කිරීමට සූදානම් වෙමින් සිටී. මහ බැංකු ඩිජිටල් මුදල්  පිළිබඳ ගැටළුව පුළුල් උච්චාවචනයන්ට ලක්ව ඇත්තේ බිට්කොයින් වැනි බොහෝ පෞද්ගලික ගුප්තකේතන මුදල් මතුවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඒවා සමහර රටවල මූල්‍ය ස්ථායිතාවයට තර්ජනයක් වී තිබේ. ඩිජිටල් මුදල් නිකුත් කිරීමේ ප්‍රයෝජන හඳුනාගන්නා අතරම, සාපේක්ෂව අඩු ඩිජිටල්කරණය වූ රටවල මහ බැංකු එක්වරම මේවා නිකුත් නොකර, මෙම විෂය අධ්‍යයනය කර මෙහෙයුම් ගැටළු විසඳා ගන්නේ කෙසේද යන්න සොයා බැලීම වඩාත් සුදුසු වේ. මෙවැනි ඩිජිටල් මුදල් ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් ගැටළු රාශියක් ඇති බැවින් ඩිජිටල් මුදල් කැණීම හා නෛතික මුදල් ලෙස ඒවා බෙදා හැරීම සඳහා මහ බැංකු අවශ්‍ය වේ. අදාළ රටේ ඩිජිටල්කරණ ක්‍රියාවලිය දියුණු මට්ටමක පවතී නම්, මහ බැංකුවලට ඩිජිටල් මුදල් ක්‍රියාත්මක කිරීම පහසුය. ඩිජිටල්කරණය තවමත් මූලික හෝ නොදියුණු මට්ටමක පවතින රටවල, මෙම  (CBDC) මුදල් නෛතික මුදල් බවට පත් කිරීම පහසු නොවේ. සාපේක්ෂව ඩිජිටල්කරණය අඩු මට්ටමක පවතින රටවල මහ බැංකු විසින් කළ යුතු සූදානම් කිරීමේ කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් තිබේ. ඔවුන් රංචු ළැදියාවෙන් වැළකී ප්‍රතිපත්තිමය චින්තනයක් තුළින් ඒ සඳහා සූදානම් වීමේ කටයුතු ආරම්භ කළ යුතුය. ඩිජිටල් මුදල් නිකුත් කිරීම  පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඒවා නිකුත් කිරීමට පෙර සියලු මෙහෙයුම් ගැටළු අධ්‍යයනය කර විසඳා ගැනීමට ප්‍රමුඛත්වය දිය  යුතුය. ඩිජිටල් මුදල් බෙදා හැරීම සම්බන්ධයෙන් මහ බැංකු, වාණිජ බැංකු සමඟ තරඟ කළ යුතුද යන්නත් විවාදයට භාජනය කළ යුතුය.

අනාගතය සම්බන්ධයෙන් ගත් කල, ජාතික මුදල් ඩිජිටල්කරණය කිරීම අද  දවසේ  ප්‍රමුක කාර්යයක් වන බැවින් මහ බැංකුවේ ඩිජිටල් මුදල් ව්‍යාපෘතියක වැඩ කටයුතු කිරීමට ආචාර්ය ජයමහ උනන්දුවක් දක්වයි.

සම්පත්

Article by Ms. Janakie Mampitiya published in the Central Bank publication “60th Anniversary Commemorative Volume of the Central Bank of Sri Lanka, 1950 – 2010”.