නයනි ප්‍රනාන්දු මහත්මිය

ලංකා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරිනියක් වන නයනි ප්‍රනාන්දු මිය, ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සමාජ හා ආර්ථික සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගෙන තිබේ. ඇය ශ්‍රී ලංකා පරිගණක වෘත්තිකයන්ගේ සංගමයේ (CSSL) අධිසාමාජිකාවක් ද වේ. 1993 වර්ෂයේ සොන්ටා (Zonta) සමාජය විසින් ජයග්‍රාහක කාන්තා සම්මානය පිරිනැමීමෙන් ඇගේ හැකියාවන් පිළිගැනිමට ලක් කරන ලදී.

ඇය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිය ජීවිතය ආරම්භ කළේ 1971 වර්ෂයේ ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක ක්‍රමලේඛිකාවක් ලෙසයි. ඉන් පසු 1978 සිට 2000 වර්ෂය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ඇය 1988 ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ස්වයංකෘත නිෂ්කාශන කාර්යාලය (SLACH) සම්බන්ධ වගකීම දරමින් අවුරුදු හයක් එහි කළමනාකරු ලෙස සේවය කළාය. 1993 දී අරමුදල් හුවමාරු පද්ධතියක් (ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය -SLIPS) හඳුන්වා දීමට නායකත්වය ගත්තේත් ඇයයි. 1994 සිට 2000 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ ඇය 1996 මහ බැංකුවට එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පරිගණක පද්ධති විනාශ වීමෙන් පසු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව යථා තත්වයට ගෙන ඒමට දැඩි පරිශ්‍රමයක් දැරුවාය. 2000 වර්ෂයේ සහස්‍රක වෙනසට (Y2K) සූදානම් කිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මූල්‍ය අංශයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේ ඇයයි. 2000 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඇය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශ්‍රාම ගත්තාය.

වර්ෂ 2000 සිට 2002 දක්වා කාලය තුළ ඇය ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ උපදේශක ලෙස කටයුතු කළ අතර 2002 සිට 2008 දක්වා පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ උපදේශකයෙක් ලෙස සේවය කළාය. 2008 වර්ෂයේ සිට 2011 දක්වා බංගලාදේශයේ සේවය කළ ඇය එහි මහ බැංකුවේ ඉලෙක්ට්‍රොනික චෙක් නිෂ්කාශන පද්ධතිය හා ඉලෙක්ට්‍රොනික මුදල් මාරු කිරීමේ ජාලය 2010 දි සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් වූවාය. පරිගණක වෘත්තිකයන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකාවක් වන නයනි ප්‍රනාන්දු මිය 1993 සිට 1995 දක්වා එහි උප සභාපති ලෙස මහ මණ්ඩලයේ ද සේවය කළාය.

නයනි ප්‍රනාන්දුගේ නම ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශය මෙන් ම බැංකු ක්ෂේත්‍රය සමග බැඳී පැවතියේය. පසුගිය අවුරුදු 20 තුළ මෙම අංශයේ ලබා ඇති ජයග්‍රහණ සියල්ල පසුපස සිටි චරිතයක් වන්නේ ඇය යි.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

 

අධ්‍යාපනය

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු ලෙස ඇයට “ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා“ ලෙස හඳුන්වන මහාචාර්ය වී. කේ. සමරනායක මහතා යටතේ ඉගෙන ගැනීමට ලැබීම වාසනාවකි. ඇගේ අධ්‍යාපනය තුළ තර්කානුකූලව සිතීමට ලැබූ පුහුණුව විශ්ලේෂක ක්‍රමලේඛකයෙකු ලෙස මෙන් ම ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස කටයුතු කිරීමට ඇයට බෙහෙවින් උපකාරී විය.

ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

නයනී ප්‍රනාන්දු මිය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට ඇතුල්වීම සැලසුම් කරන ලද්දක් නොවේ. ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් පළ කරන ලද දැන්වීමකට ප්‍රතිචාර දැක්වීමට ඇය පොලඹවන ලද්දේ මිතුරෙක් විසිනි. ඒ සඳහා ඉල්ලුම් කළ අයදුම්කරුවන් 400ක් අතරෙන් තෝරා ගත් හය දෙනාට ඇයද ඇතුළත් වූවාය. මේ 1971 වර්ෂයේයි. නයනි ප්‍රනාන්දුට ක්‍රමලේඛනය හෝ දත්ත සැකසීම පිළිබඳ දැනුමක් නො තිබුණි. ජන සංගණන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් බඳවා ගත් ක්‍රමලේඛකයන් හය දෙනා RPG පරිගණක භාෂාවෙන් කේතනය ඉගෙන ගැනීමට පෙරවරුවේ IBM සමාගමට යවන ලදී. ඔවුන් මෙහිදී කළේ 1971 ජන සංගණන නියදිය සඳහා ක්‍රමලේඛන කේතනය කිරීමත් ඒවා පරීක්ෂාවට භාජනය කිරීමත් ය.

ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක අංශය සමන්විත වූයේ IBM/360 නම් මධ්‍යම ප්‍රමාණයේ පරිගණකයකිනි. එහි සසම්භාවී ප්‍රවේශ ධාරණය (RAM) කිලෝබයිට 24ක් පමණක් විය. එහි තිබුණේ පටි මෙහෙයුම් පද්ධතියක් වන අතර ක්‍රමලේඛන ඇතුළු කළ යුතු වූයේ සිදුරු පත් වලිනි. මෙය පසුව ඩිස්ක මෙහෙයුම් පද්ධතියකට (DOS) වැඩි දියුණු කරන ලදී. මෙම අංශයේ ප්‍රධාන කාර්යය වූයේ දෙපාර්තමේන්තුව පවත්වන ජන සංගණන හා සමීක්ෂණවල දත්ත සැකසීම සඳහා ක්‍රමලේඛන ලිවීමයි. මේ සඳහා ප්‍රධාන වශයෙන් RPG භාෂාව යොදා ගන්නා ලද අතර කොබෝල්. ෆෝර්ට්‍රාන් හා ඇසෙම්බලර් (COBOL, FORTRAN and ASSEMBLER) යන පරිගණක භාෂාවන්ද භාවිතා කරන ලදී.

ශ්‍රි ලංකා මහ බැංකුව

1978 වර්ෂයේදි නයනි ප්‍රනාන්දු මිය ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වූයේ විශ්ලේෂක ක්‍රමලේඛකයෙකු ලෙසයි. බැංකුවේ දත්ත සැකසුම් අංශයට බඳවා ගන්නා ලද ප්‍රථම බාහිර පුද්ගලයා ඇය වූ අතර ප්‍රථම කාන්තා විශ්ලේෂක ක්‍රමලේඛකයාද විය. මෙහිදී මුලින් ම ඇයට පැවරුණ කාර්යය වූයේ මහ බැංකුවේ රජයේ ගිණුම් අංශය (GAB) පරිගණකගත කිරීමයි. බැංකුවේ දත්ත ඇතුළු කිරීමේ අංශයේ වැං පරිගණක (Wang PCII) යන්ත්‍ර 25ත් තිබූ අතර බේසික් (BASIC) පරිගණක භාෂාව යොදා ගෙන රජයේ ගිණුම් අංශය සඳහා නවතම විසඳුමක් ඉදිරිපත් කිරීමට නයනි ප්‍රනාන්දු මිය සමත් වූවාය. මේ මගින් වැඩ කටයුතු වේගවත් වූවා පමණක් නොව වඩාත් විස්තරාත්මක හා කාලීන දත්ත ලබාගැනීමට ද හැකි වූයේය.

ශ්‍රී ලංකා ස්වයංකෘත චෙක්පත් නිෂ්කාශන කාර්යාලය (SLACH)

ශ්‍රී ලංකා ස්වයංකෘත චෙක්පත් නිෂ්කාශන කාර්යාලය (SLACH) ක්‍රියාත්මක කිරීම තවත් වැදගත් සන්ධිස්ථානයක් වේ. ශ්‍රී ලංකාවේ ස්වයංකෘත චෙක්පත් නිෂ්කාශනාගාරය (SLACH) පිහිටුවීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස 1985 වර්ෂයේ දී නයනි ප්‍රනාන්දු මිය පත් කරන ලදී. ඒ වන තුරු චෙක්පත් නිෂ්කාශනය, නිලධාරීන් අතින් සිදු වූ ඉතා වෙහෙසකර කාලය ගත වන ක්‍රියාදාමයක් විය. මහ බැංකුව විසින් නයනි ප්‍රනාන්දු මිය සිංගප්පූරුවේ චෙක්පත් නිෂ්කාශන කාර්යාලයේ පුහුණුව සඳහා යවනු ලැබීය. මෙය සිංගප්පූරුවේ මූල්‍ය අධිකාරිය වෙනුවෙන් බෑන්කින් කොම්පියුටර් සර්විසස් (පුද්) සමාගම (Banking Computer Services (Pvt) Ltd) විසින් ක්‍රියාත්මක කෙරේ. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු නයනි ප්‍රනාන්දු මිය තම කණ්ඩායම සමග එම ක්‍රියාදාමය මෙහි ද ක්‍රියාත්මක කිරීමට පියවර ගත්තාය. මෙම කණ්ඩායමේ ජස්ටින් වික්‍රමසිංහ මයා හා පී. යු. ආරියවංශ මයා නම් මෙහෙයුම් කළමනාකරුවන් දෙදෙනෙක් ද සී.බි. පත්බේරිය මයා හා බී. කේ. ඒ. සුනිමල් මයා නම් විශ්ලේෂක ක්‍රමලේඛකයන් දෙදෙනෙක් ද විය. මේ අනුව මෙම ස්වයංකෘත චෙක්පත් නිෂ්කාශන වැඩපිළිවෙළ 1988 මාර්තු 2වැනිදා සිට ක්‍රියාත්මක කරන ලදී.

මෙම (SLACH) වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීමත් සමග බැංකුවල චෙක්පත් නිෂ්කාශන දෙපාර්තමේන්තුවල කටයුතු බෙහෙවින් අඩූ වූයේ ය. චෙක්පත් නිෂ්කාශනය සඳහා ගත වූ කාලය ද අඩු විය. ත්‍රස්තවාදී ක්‍රියා පැවති ප්‍රදේශ හැර වර්ෂයක් තුළ රටේ සෑම ප්‍රදේශයකම චෙක්පත් දින 1-3 දක්වා වූ කාලයක් තුළ නිෂ්කාශනය කළ හැකි වූයේය. මෙම (SLACH) කාර්යාලයේ ආරම්භයේ සිට 1994 දක්වා එහි කළමනාකරු ලෙස කටයුතු කළේ ඇයයි.

ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය (SLIPS)

නයනී ප්‍රනාන්දු මිය මූලිකත්වය ගෙන ක්‍රියාත්මක කළ තවත් වැදගත් ව්‍යාපෘතියක් වන්නේ 1993 දී හඳුන්වා දෙන ලද ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියයි (SLIPS). අඩු වටිනාකමක් ඇති තොග ගෙවීම් සඳහා වූ අරමුදල් හුවමාරු ක්‍රමයක් ලෙස 1993 වර්ෂයේ මෙය ආරම්භ කරන ලද්දේ මාර්ග අපගත ක්‍රමයක් (offline funds transfer system) ලෙසයි. විශේෂයෙන්ම වැටුප් ගෙවීම් සඳහා මෙය ඉතා පහසුවක් විය. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට එවකට ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සිවගණනාදන් මහතාගේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා බැංකු කරුවන්ගේ සංගමය එකඟ වීම නිසා මහ බැංකුවට අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක කළ හැකි වූයේය. මුල් දිනයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ වූයේ මූල්‍ය වෙළදපොලේ ගනුදෙනු හයක් මාර්ගගත කිරීමෙනි. වර්ෂයක් තුළ ඒ තුළින් සිදු කළ ගනුදෙනු ප්‍රමාණය වැඩිවීම නිසා දෘඪාංග වැඩි දියුණු කිරීමක් අවශ්‍ය විය. අද මෙය කවුරුත් දන්නා දෙයක් බවට පත්වී තිබේ. මහ බැංකු කණ්ඩායම හා විසඳුම් සපයන්නාවූ බී.සි. කොම්පියුටර්ස් සමාගම දැක්වූ සහයෝගය නයනී ප්‍රනාන්දු මිය ඉතා අගය කරයි. බැංකු ගණනාවක නියෝජිතයන්ගෙන් සමන්විත වූ අන්තර් බැංකු ගෙවීම් පද්ධති කමිටුවේ කාර්යභාරිය ද ඇගේ පැසසුමට ලක්වේ.

නයනීගේ ප්‍රනාන්දු මිය වෘත්තීය ජීවිතයේ තවත් වැදගත් අවස්ථාවක් වූයේ 1994 වර්ෂයේ දී ඇයට ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීමයි. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට නායකත්වය සැපයිය යුත්තේ අදාළ පසුබිමක් ඇති පුද්ගලයෙක් විසින් යයි බැංකුව තීරණය කර තිබුණි. මෙය වැදගත් තීරණයක් වූයේ ඉන්පසුව තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවට නායකත්වය දුන් අය අවශ්‍ය පසුබිමක් ඇති අය වූ අතර මේ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ කටයුතු ක්‍රියාත්මක කළ ආකාරය වෙනස් විය.

ත්‍රස්තවාදී ක්‍රියාවලින් සිදුවූ විනාශය හා රටේ සේවක අර්ථසාධක අරමුදල් පද්ධතියේ ප්‍රතිසාධනය

මෙය රටේ ඉතිහාසයේ අමතක කළ නොහැකි සිද්ධියකි. 1996 ජනවාරි 31, ශ්‍රී ලංකා මහ බැංකුවට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයෙන් බොහෝ දෙනෙක් මියගිය අතර විශාල සංඛ්‍යාවකට තුවාල සිදු විය. බොහෝ දෙනෙකුට ඇස් පෙනීම අහිමි විය. මෙම ප්‍රහාරයෙන් ශ්‍රී ලංකා මහ බංකුවේ පරිගණක පද්ධති ද සම්පූර්ණයෙන්ම විනාශ විය. IBM 4300 පරිගණක පද්ධතිය ස්ථාපිත කර තිබූ ගොඩනැගිල්ලත් දත්ත ඇතුල් කිරීමේ අංශයත් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණි. තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයන්ගේ ජීවිත අහිමි වී නො තිබුණත් බොහෝ දෙනෙකුට තුවාල වී තිබුණි. පරිගණක පද්ධති නැවත ගොඩ නගා ගැනීමේත් රටේ සියලුම සේවකයන්ට වැදගත් වන සේවක අර්ථ සාධක අරමුදලේ යෙදුම් ක්‍රියාත්මක කිරීමේත් තීරණාත්මක කාර්යයට නායකත්වය සැපයුවේ නයනි ප්‍රනාන්දුයි.

රටේ සේවක අර්ථ සාධක අරමුදල් පද්ධතිය පවත්වා ගෙන යෑමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ඒ කාලයේ මාර්ගගත උපස්ථනයක් (online backups) නොවීය. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජගිරියේ පුහුණු පාසලේ දත්ත පටි ගබඩා කර තිබුණි. නයනි ප්‍රනාන්දු මිය මුහුණ දුන් ප්‍රධාන අභියෝගය වූයේ අර්ථසාධක තොරතුරු පද්ධතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක තත්වයට ගෙන ඒමයි. මේ අනුව AS/400 පරිගණක පද්ධතියක් ඇණවුම් කරන ලද අතර පද්ධතිය නැවත සැලසුම් කිරීමේ කටයුතු මහ බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්. එම්. ජයසේකර මහතාට පවරන ලදී. නව පරිගණක පද්ධතියේ යෙදුම ක්‍රියාත්මක කිරීම සඳහාවූ කේතන කටයුතු වල වගකීම පැවරුණේ ජානකි මාම්පිටිය මියට හා සී.බී. පත්බේරියට මහතාටයි.

මෙම දුෂ්කර කාල පරිච්ඡෙදය තුළ ආධාර කළ බොහෝ දෙනෙක් වූහ. එවකට අයි.බී.එම්. (IBM) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාවු ජෝන් ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීමෙන් විනාශවු පරිගණකයට සමාන පරණ පරිගණක පද්ධතියක් ලබා දෙන ලදී. මෙම පරිගණක පද්ධතිය ස්ථාපිත කිරීමට කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩ පහසුකම් ලබා දෙමින් මහාචාර්ය වි.කේ. සමරනායක මහතා ආධාර කළේය. අමු දත්ත පටිවලින් දත්ත ලබාගෙන නව IBM AS 400 පරිගණක පද්ධතියට ඒවා ඇතුල් කළ හැකි ආකාරයට සකස් කරන ලද්දේ මෙහිදී ය. අන්තර්ජාතික සංවර්ධනය සඳහා වු එක්සත් ජනපද ආයතනයෙන් ලබා දුන් ආධාර මුදලකින් මිල දී ගත් නව පරිගණක පද්ධතිය 1996 අගෝස්තු මාසය වන විට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තාවකාලිකව ස්ථාපිත කර අර්ථ සාධක අරමුදලේ කටයුතු ක්‍රියාත්මක කිරීමට හැකි වූයේය. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ ශ්‍රී ලංකාවේ 50 වැනි නිදහස් සැමරුම් උත්සවයේ දී මහජනතාවට ඔවුන්ගේ අර්ථසාධක අරමුදලේ ශේෂ පිළිබඳ තොරතුරු ලබා දීමට නයනි ප්‍රනාන්දු මිය හා ඇගේ කණ්ඩායම සමත් වූයේය.

ක්‍රියාත්මක කළ නොහැකි වූ ව්‍යාපෘති

සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය පිළිබඳ එවකට රජයේ ප්‍රධාන ආයතනය වූ තොරතුරු තාක්ෂණෙව්ද සභාව (CINTEC) විසින් මූල්‍ය අංශය සඳහා ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපනය කරන ලද අතර එයට පැවරුණ ප්‍රධාන කාර්යයක් වූයේ බාහිර ස්විචයක් තුළින් නො ගොස් රට තුළ ගනුදෙනු සඳහා පොදු ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ස්විචයක් (ATM switch) ස්ථාපිත කිරීමයි. මෙම ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ වගකීම පැවරුණේ නයනි ප්‍රනාන්දු ටයි. මේ මගින් රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉඩ තිබුණත් සමහර බැංකු මෙයට සහභාගී වීමට එකඟ නො වීම නිසා මෙම වැදගත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නො හැකි විය. පොදු ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ස්විචයක් රටේ ස්ථාපිත කිරීමට හැකි වූයේ අවුරුදු ගණනාවකට පසුවයි.

සහශ්‍රක ගැටලුව (Y2K)

1999 සිට 2000 වර්ෂයට යෑමේ දී අංක දෙකේ දින ආකෘතිය යොදා ගෙන ඇති සියලුම ක්‍රමලේඛන දුෂ්කාරි වනු ඇතැයි විශ්වාස කරන ලදී. නයනි ප්‍රනාන්දු මිය හා ඇගේ කණ්ඩායම 1997/98 කාලයේ ඔවුන්ගේ ක්‍රමලේඛන වෙනස් කළත් මෙය ලොව පුරා ප්‍රශ්නයක් බවට පත්වී තිබූ බැවින් මහාචාර්ය වි.කේ. සමරනායකගේ නායකත්වය යටතේ මේ සඳහා කමිටුවක් පිහිටුවීමට ශ්‍රි ලංකා මහ බැංකුවේ අධිපති තුමා උපදෙස් දුන්නේය. නයනි ප්‍රනාන්දු ට පැවරුණේ මූල්‍ය අංශයේ මේ සඳහා ඇති සුදානම ගැන සොයා බැලිමටයි. අනවශ්‍ය ආන්දෝලනයක් තිබූ නමුත් 2000 වර්ෂයට අවතීර්ණ වීමේ දී ශ්‍රී ලංකාවේ කිසිම ගැටලුවක් පැන නැගුණේ නැත. මේ වන විට නයනි ප්‍රනාන්දු මිය ද විශ්‍රාම ගත හැකි වයසට එළඹ තිබුණු බැවින් මහ බැංකුවේ අවුරුදු 20ක් සේවය කිරීමෙන් පසු ඇය විශ්‍රාම ගැනීමට තීරණය කළාය.

පෞද්ගලික අංශයේ කටයුතු

අවුරුදු දෙකක් ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ උපදේශිකාවක් ලෙස සේවය කිරීමෙන් පසු නයනි ප්‍රනාන්දු මිය තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කටයුතු කරන ආයතනයක් වන ඉන්ෆෝමැටික්ස් (Informatics) ආයතනයට බැඳුනාය. මෙහි දී ඇය සම්බන්ධ වූ ප්‍රධාන ව්‍යාපෘතියක් වූයේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවකයන් සඳහා ඉන්ෆෝමැටික්ස් ආයතනය පැවැත්වූ තොරතුරු තාක්ෂණ පුහුණු කටයුතුයි. මෙය 2003 වර්ෂයේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ක්‍රියාත්මක කළ එක් නියමු ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම බාර වූයේ ඉන්ෆෝමැටික්ස් ෆියුචර් කිඩ්ස් (Informatics Future Kids) අංශයටයි. මෙහි වැදගත් ලක්ෂණයක් වූයේ පුහුණුවෙන් පසු ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා භාවිතා කළ හැකි යෙදුම් සහිත පුද්ගලික පරිගණක දෙකක් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ම ලැබීමයි. ඉන් පසු නයනි බී.සි. කොම්පියුටර්ස් සමාගමට එක් වූවාය. ඒ වන විට මෙම සමාගම බංගලාදේශයේ චෙක්පත් නිෂ්කාශන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘතියකට ලංසු තැබීමට බලාපොරොත්තු විය. බී.සි. කොම්පියුටර්ස් සමාගමට එම ව්‍යාපෘතිය ලබා ගත නොහැකි වූවත් බංගලාදේශයේ ස්වයංකෘත චෙක්පත් නිෂ්කාශන පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘති කළමනාකරු ලෙස කටයුතු කිරීමට නයනි ප්‍රනාන්දු ට ආරාධනය කෙරුණි. බංගලාදේශ බැංකුව මෙම ස්වයංකෘත චෙක්පත් නිෂ්කාශන පද්ධතිය 2010 ඔක්තෝබර් 10 වැනිදා සිට ක්‍රියාත්මක කළ අතර ඉන් පසුව ඉලෙක්ට්‍රොනික මුදල් හුවමාරු පද්ධතියක් ද ක්‍රියාත්මක කළේය.

ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL)

ශ්‍රී ලංකා පරිගණක සංගමය ආරම්භ කරන ලද්දේ 1976 වර්ෂයේදීය. නයනී ප්‍රනාන්දු මිය මෙම වෘත්තිය සංගමයේ ආරම්භක සාමාජිකාවක් වූ අතර වර්ෂ තුනක් එහි උප සභාපති තනතුරු ද හෙබවූවා ය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට හා ශ්‍රී ලංකා පරිගණක සංගමයට වැදගත් දායකත්වයක් සැපයු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ට පිරිනමන අධි සාමාජිකත්වයෙන් ද ඇය පිදුම් ලැබුවාය. ශ්‍රී ලංකා පරිගණක සංගමයට 1986 වර්ෂයේ අග්නිදිග ආසියා කලාපීය පරිගණක සන්ධානයේ (SEARCC) සාමාජිකත්වය ලැබුණු අතර පරිගණක සංගමය සමග තිබූ සම්බන්ධය නයනි ප්‍රනාන්දුට ඉතා ප්‍රයෝජනවත් විය.

නයනි ප්‍රනාන්දු මිය ඇගේ වෘත්තිය ජීවිතය තුළ විවිධ ජයග්‍රහණ අත්පත් කර ගෙන ඇති අතර ඇයට කාන්තාවක් ලෙස ඉහළ තනතුරුවලට යෑමට කිසිම බාධාවක් නොවීය. ඇයට ධනාත්මක වෙනස්කම් කිරීමට හැකි වූයේත් පිළිගැනීමට පාත්‍ර වූයේත් ඇගේ අධ්‍යාපනය, කුසලතා, කාර්යක්ෂම බව මෙන් ම ඇය තුළ තිබූ අන් අයගෙන් ඉගෙන ගැනිම හා ඔවුන් අගය කිරීමේ ලක්ෂණය නිසාය.

සම්පත්

The Untold Story of Nayeni Fernando – ReadMe

ගැලරිය