ජනක ද සිල්වා මහතා

ජනක ද සිල්වා මහතා පේරාදෙණියේ ලංකා විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව හා ගණිතය හදාරා 1966 දී උපාධිය ලබා ගත්තේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිය ලබා ඇති ඔහු ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ (CA Sri Lanka), වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ සහ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙකි. ජනක ද සිල්වා මහතාගේ පරිගණක ඇසුර ආරම්භ වූයේ 1978 දී ලංකා බැංකුවේ මෙහෙයුම් පරිගණක ගත කිරීමේ කාර්යය ඔහුට පැවරීමත් සමගයි. පසුව ජනක ද සිල්වා මහතා ආරම්භක සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සම්පත් බැංකුවට සම්බන්ධ වූ අතර එහිදී බහු-ස්ථාන ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය ස්ථාපිත කිරීම සහ බැංකු ගණුදෙනු කාලය දීර්ඝ කිරීම වැනි වැදගත් ජයග්‍රහණ කරා ළඟා වීමේ වගකීම පැවරී තිබුණේ ඔහුටයි. 1995 දී ඔහු සම්බන්ධ වූ යුනියන් බැංකුවේ ද මෙහෙයුම් ආරම්භ කිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අතර බොහෝ වැදගත් සන්ධිස්ථාන කරා ළඟා වීමට හැකි වූයේය. බැංකු ශාඛා පිළිබඳ සංකල්පය තුරන් කරන ලදී, දුරකථන බැංකුකරණය හඳුන්වා දෙන ලද අතර තමන්ගේම වෙබ් අඩවියක් සමඟ අන්තර්ජාලයට පිවිසි පළමු බැංකුව යුනියන් බැංකුව වේ. අන්තර්ජාල බැංකුකරණය හඳුන්වා දුන් පළමු බැංකුව ද එය විය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

 

ලංකා බැංකුව
ජනක ද සිල්වා මහතාගේ  පරිගණක සමඟ ඇසුර ආරම්භ වූයේ 1978 දී ලංකා බැංකුවේ මෙහෙයුම් පරිගණක ගත කිරීමේ කාර්යය ඔහුට පැවරීමත් සමගයි. 1970 සිට 1972 දක්වා කාලය තුළ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී . ජනක ද සිල්වා මහතා පරිගණකවලින් කටයුතු කළ‍ පරිසරයකට යොමු  වී සිටියේය. ජනක ද සිල්වා මහතා ලංකා බැංකුවේ පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිය භාර ගන්නා විට, කිලෝබයිට 128ක සසම්භාවී ප්‍රවේශ මතකයක් (128K RAM) සහ  මෙගා බයිට 128ක (128 MB) තැටි ඉඩක් සහිත IBM System / 34 පරිගණක පද්ධතියක් සඳහා ද ඇණවුම් කර තිබුණි. මෙහිදී වැඩි අවධානයක්  යොමු කර තිබුණේ මූල්‍ය වාර්තා උත්පාදනය කිරීම සඳහා වූ මූල්‍ය කටයුතු  මෙන්ම මහ බැංකුවට යැවිය යුතු වාර්තා පිළියෙළ කිරීමට අවශ්‍ය සහාය ලබා ගැනීම ගැනයි.

වැඩි කල් යන්නට මත්තෙන්, අයිබීඑම් (IBM) සමාගම විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගී වීම සඳහා ජනක ද සිල්වා මහතාට හොංකොං වෙත යාමට අවස්ථාව ලැබුණි. මෙහිදී පසු-කාර්යාල මෙවලමක් ලෙස යොදා ගැනීමට  වඩා, වැඩි දියුණු කළ පාරිභෝගික සේවාවක් කවුන්ටර හරහා සැපයීමට පරිගණක භාවිතා කරන ආකාරය නිරීක්ෂණය කිරීමට ඔහුට හැකි විය. ගනුදෙනුකරුවන්ට සේවා සැපයීම සඳහා පරිගණක භාවිතා කළ යුතු බව ජනක ද සිල්වා මහතා දිගටම විශ්වාස කළේය. මූල්‍ය වාර්තාකරණය සහ ගිණුම්කරණය සඳහා දත්ත නැවත ඇතුල් නො කර, ගනුදෙනු  කටයුතුවලදී ග්‍රහණය කරගත් දත්ත,  අවශ්‍ය වාර්තා ජනනය කිරීමට භාවිතා කළ යුතුය යන්න ඔහුගේ අදහස විය.

ලංකා බැංකුව පරිගණක පද්ධතියක් සඳහා ඇණවුමක් ලබා දී තිබුණද, කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට හෝ පරිගණකය ස්ථාපනය  කිරීම සඳහා යටිතල පහසුකම් සකස් කිරීමට හෝ කිසිදු සූදානමක් නොතිබුණි. එබැවින් ජනක ද සිල්වා මහතාගේ පළමු පියවර වූයේ දක්ෂ දත්ත සැකසුම් කළමනාකරුවෙකු බඳවා ගැනීමයි. ඉතා දක්ෂ පරිගණක වෘත්තිකයෙකු වන ආචාර්ය ආර්.බී. ඒකනායක මහතා එම තනතුරට පත් කර ගැනීමට හැකිවීම බැංකුවට අතිශයින්ම වාසනාවක් වූ බව ජනක ද සිල්වා මහතා පවසයි. ඉන්පසු ඔවුන් වෙනත් කාර්ය මණ්ඩල බඳවා ගෙන පරිගණක ගත කිරීමේ කටයුතු ආරම්භ කළෝය. පළමු කාර්යය වූයේ විදේශ වෙළඳාම් අංශය පරිගණක ගත කිරීමයි. විදේශ වෙළඳ මෙහෙයුම් එක් ස්ථානයක එනම් යෝක් වීදියේ ප්‍රධාන කාර්යාලයේ කේන්ද්‍රගත වී තිබුණි. එබැවින් බාහිර ස්ථාන සමඟ සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවයක් නොවීය. මෙම කාලයේ  ආයතනයකට පරිගණක පද්ධතියක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වූ විට, පළමුවෙන් ම ක්‍රමලේඛක විශ්ලේෂකයන් බඳවා ගනු ලැබීය. ඔවුන්  පරිගණක සමාගම්වල  පුහුණුව ලැබූ උපාධිධාරීන් ය. මෙය දීර්ඝ ක්‍රියාවලියක් විය. පළමුවෙන්ම, පද්ධතිය විශ්ලේෂණය කළ යුතුව තිබූ අතර, ඒ අනුව විශේෂිත අන්ත පරිශීලකයාගේ හෝ අන්ත පරිශීලක දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා ජනනය කළ හැකි වාර්තා වර්ගය පිළිබඳ අදහසක් ද සමග  පරිගණක පද්ධතියක් නිර්දේශ කරන ලදී. මෙය පුනර්කරණ ක්‍රියාවලියක් විය. ඉන්පසු කේතන කටයුතු ආරම්භ  වූ අතර ඒ සඳහා  භාවිතා කළේ වාර්තා වැඩසටහන්  ජනකය (RPG2) නම් පරිගණක භාෂාවයි.  S34 පරිගණක පද්ධතියේ භාවිතා කිරීමට අයිබීඑම් (IBM) සමාගම විසින් නිර්දේශ කරන ලද භාෂාව මෙයයි.

ජනක ද සිල්වා මහතා සහ කණ්ඩායම ණයවර ලිපි ක්‍රියාවලිය සාර්ථකව  පරිගණකගත කළහ. මෙය සැබෑ ඉදිරි පියටරක් විය. ණය ලිපි ක්‍රියාවලිය ස්වයංකෘතව සිදු වන බව දැනගත් ලංකා බැංකුවේ වෙනත් ව්‍යාපෘතියක වැඩ කරමින් සිටි ඉන්දීය උපදේශකයින් පුදුමයට පත් විය. ඔවුන් මීට පෙර කවදාවත් වෙනත් තැනක ස්වයංකෘත  ( automate) ණයවර ලිපි ක්‍රියාවලියක් දැක තිබුණේ නැත.

පසුව, වෙනත් බැංකු වෙත යවන  ටෙලෙක්ස් පණිවිඩ ජනනය කිරීම වැනි වෙනත් කටයුතු සඳහා ද ස්වයංකෘත ක්‍රියාවලිය  ව්‍යාප්ත කරන ලදී. මෙම සියලු කටයුතු සිදු කරන ලද්දේ ආචාර්ය ආර්.බී. ඒකනායකගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ බව ජනක ද සිල්වා මහතා අවධාරණය කරයි.

සන්නිවේදන ක්ෂේත්‍රයේ තවත් ඉදිරි පියවරක් තබන ලදී. මෙම කාල පරිච්ඡේදය තුළ නිරන්තරයෙන් විදුලි සංදේශ මාර්ග බිඳවැටීම්, ඒවායේ ගුණාත්මකභාවයේ දුර්වලතා හා  සම්පත් හිඟයක් දැකිය හැකි විය. භාණ්ඩාගාරයට තම  පරිගණක සම්බන්ධ කිරීම සඳහා විදුලි සංදේශ  මාර්ග භාවිතා කළ තවත් ආයතනයක් අසාර්ථක වූ අතර මේ නිසා විදුලි සංදේශ මාර්ග භාවිතා කළ නොහැකි බවට අදහසක් තිබුණි. කෙසේ වෙතත්, ජනක ද සිල්වා මහතා සහ ආචාර්ය ඒකනායක මහතා මේ පිළිබඳව  පැවති සාකච්ඡාවලදී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන්ගෙන් විමසා සිටියේ පරිගණක සමඟ භාවිතා කිරීමට ප්‍රමාණවත් ගුණාත්මකභාවයක් ලබා දිය හැකිද යන්නයි. ඉංජිනේරුවන් ප්‍රකාශ කර ඇත්තේ අනෙක් ආයතනයේ අසාර්ථකත්වයට හේතුව  අර්ධ වශයෙන් තාක්ෂණික දෝෂයක්  බවත් එය විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ වරදක් නොවන බවත්ය. බැංකුවට ප්‍රමාණවත් ගුණාත්මක බවකින් යුත් විදුලි සංදේශ මාර්ග ලබා දිය හැකි බවට ඔවුන් සහතික විය. මේ අනුව, බැංකුවේ නව ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල විදුලි සංදේශ මාර්ග යොදා ගනිමින්  යෝර්ක් වීදියේ පැරණි ගොඩනැගිල්ල සමග සම්බන්ධ කරන ලදී.

ගනුදෙනුකරුවන් සමඟ කටයුතු කිරීම සඳහා පරිගණක ඉදිරිපස කාර්යාලවලට ගෙන ඒමට තීරණය කළ විට, අයිබිඑම් සමාගම  බැංකු ශාඛා සඳහා IBM 4331 සකසනයක් සහ  N3600 පර්යන්ත  උපකරණ නිර්දේශ කළේය. පරිගණක අලෙවිකරුවන් සාමාන්‍යයෙන් යෙදුම් මෘදුකාංග ලබා දුන්නේ නැත. නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා  යෙදුම් පැකේජයක් (Application Package) මිලදී ගත යුතු බවට තීරණය විය.  අයිබීඑම් සමාගම විසින් නිපදවා තිබූ  සේෆ් (SAFe) පැකේජය දකුණු ඇමරිකාවේ සහ ගිනිකොනදිග ආසියානු කලාපයේ බහුලව භාවිතා විය.  මෙම (SAFe) පැකේජය  එසෙම්බ්ලි භාෂාවෙන්  ලියා තිබූ අතර, ආචාර්ය ආර්.බී. ඒකනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ එය තමාට හමු වූ ඉතාම කාර්යක්ෂම  ක්‍රමලේඛයක් බවයි. දත්ත හසුරුවනු ලැබුවේ බිටු මට්ටමෙනි. නිදසුනක් ලෙස, චෙක් පොතක් නිකුත් කරන විට, චෙක්පත් අංකය බිටු මට්ටමින් දක්වා තිබු අතර, ආචාර්ය ඒකනායකට අනුව, සමස්ත වැඩසටහන තුළම කිසිදු උපදෙස් පේළියක් පුනරාවර්තනය වී නොමැත. මෙම කාලය තුළ තත්පරයට බිටු 2400 ක විදුලි සංදේශ සම්බන්ධතාවක් භාවිතා කරන ලදී. හොංකොංහි  තත්පරයට බිටු 1200  මාර්ග භාවිතා කරමින් වැඩ කරන බව ජනක ද සිල්වා මහතා දැන ගත්තේ පසුවයි.

සම්පත් බැංකුව
ජනක ද සිල්වා මහතා  1987 දී ආරම්භක සාමාන්‍යාධිකාරී / ප්‍රධාන විධායක නිලධාරී ලෙස සම්පත් බැංකුවට සම්බන්ධ විය. ස්ථාපිත බැංකු සමඟ තරඟකාරිත්වය, තාක්‍ෂණය තුළින් සිදුවිය යුතු බව ඔහුගේ අදහස විය. එමනිසා,  තමා සමග  සම්පත් බැංකුවට එක්වීමට ඔහු  ආචාර්ය ඒකනායකට ඒත්තු ගැන්වීය. ආරම්භයේදී ඔවුන් කටයුතු කළේ IBM S / 36 පරිගණකයකයි. පසුකාලීනව  සමාන ව්‍යුහයක් සහිත IBM 4700 පරිගණකයක් භාවිතා කරන ලදී. ආචාර්ය ඒකනායක 1987 පෙබරවාරි 2 වන දින සම්පත් බැංකුවට සම්බන්ධ වූ අතර ඔහු සහ ඔහුගේ කණ්ඩායම 1987 මාර්තු 25 වන දින බැංකුවේ මූලික විවෘත කිරීම සඳහා පද්ධතිය සූදානම් කර තිබුණි. සති හතකින් මෙය සම්පූර්ණ කිරීම ප්‍රාතිහාර්යයක් බව ජනක ද සිල්වා මහතා පවසයි.

පළමු ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය එච්එස්බීසී (HSBC) බැංකුව  ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත පිහිටි ඔවුන්ගේ පරිශ්‍රයේ ස්ථාපනය කළ බව ජනක ද සිල්වා මහතා පවසයි.  නමුත් එය තනි ස්ථානයක  පිහිටි ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් පමණි.  ස්ථාන ගණනාවක  ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ස්ථාපනය කළ පළමු බැංකුව සම්පත් බැංකුව බව ඔහු පවසයි. කොළඹ හා ඒ අවට ශාඛා සඳහා ගුවන්විදුලි සන්නිවේදනය භාවිතා කරන ලදී. මේ කාලයේ ගුවන් විදුලි සන්නිවේදන සේවා සපයන්නන් සිටියේ නැත. එබැවින්  මේ සඳහා සැපයුම්කරුවන්  බිහි කර ගැනීමට සිදුවිය. විසඳුමක් ලබා දුන් සමාගම වූයේ බී.ඒ. සී. අබේවර්ධන මහතාගේ නායකත්වය  යටතේ තිබූ  ඉලෙක්ට්‍රෝටෙක්ස්  සමාගමයි.  ශාඛා 10 කට ආසන්න සංඛ්‍යාවක් මධ්‍යස්ථානයට සම්බන්ධ කිරීම සඳහා ජනක ද සිල්වා මහතා සහ කණ්ඩායම  මෙම සමාගම  සමඟ සාර්ථකව කටයුතු කළේය. මේ අතර මහනුවර, කුරුණෑගල සහ මාතර යන ප්‍රදේශවල බැංකු ශාඛා විවෘත විය. ජනක ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් සමඟ වැඩ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස  ඩිජිටල් සම්බන්ධතාවකින් කොළඹ කාර්යාලය මහනුවරට සම්බන්ධ කිරීමට හැකි විය. මහනුවර සිට කුරුණෑගල දක්වා තිබුණේ ඇනලොග් සම්බන්ධතාවකි. ගුණාත්මකභාවය ප්‍රමාණවත් වූ අතර  විදුලි සංදේශ මාර්ග සාර්ථකව ක්‍රියාත්මක විය. ඉන්පසු මාතර ශාඛාවද  සම්බන්ධ  කරන ලදී.

තවත් වැදගත් සන්ධිස්ථානයක් වූයේ පරිගණක ගත කිරීම නිසා බැංකුවේ ගනුදෙණු  කාලය දීර්ඝ කිරීමට හැකිවීම  බව ජනක ද සිල්වා මහතා සිහිපත් කරයි. මීට පෙර දිවයිනේ බැංකු කාලය  සඳුදා පෙ.ව. 9.00 සිට ප.ව 1.00 දක්වාත් සතියේ අනිත් දිනවල පෙ.ව. 9.00 සිට ප.ව 1.30 දක්වාත් විය. සම්පත් බැංකුව ගනුදෙණු කළ හැකි කාලය පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා දීර්ඝ කළේය.

ජනක ද සිල්වා මහතා. ස්වයංකෘත නිෂ්කාසන කාර්යාලය (ACH) පිහිටුවීමේ මෙහෙයුම් කමිටුවේ සාමාජිකයෙක් විය.  මෙය ස්ථාපිත කිරීමට  පෙර ඔහු සහ කමිටුව අග්නිදිග ආසියාවේ  මෙවැනි මධ්‍යස්ථාන අධ්‍යයනය කිරීම සඳහා  ගියේය. මුළු කමිටුවම සිංගප්පූරුවට ගිය නමුත් ඉන් පසුව ලංකා බැංකුවේ නියෝජිතයින් දෙදෙනෙකු මැලේසියාව, පිලිපීනය සහ හොංකොං යන රටවල් ආවරණය වන පරිදි සංචාරය දීර්ඝ කළහ. මැලේසියාවේ  මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප්‍රධානියා වැදගත් ප්‍රකාශයක් කළේය. “මෙම කලාපයේ අපි කරන්නේ හස්තීය පද්ධති ස්වයංකෘත කිරීමයි. අපි පරිගණකවල හැකියාවන් පූර්ණ ලෙස භාවිතා නොකරමු. අපි හුදෙක් උත්සාහ කරන්නේ පරිගණක භාවිතයෙන්  හස්තීය පද්ධතිය අනුකරණය කිරීමට යී. එය ඉදිරියට යාමට වඩාත් සුදුසු ක්‍රමය නොවේ. ” ජනක ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායමේ සෙසු අය හොංකොං වෙත ගිය විට, පද්ධතියක් නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු ආකාරය අධ්‍යයනය කිරීමට ඔවුන්ට හැකි විය. වාර්තා ලබා ගැනීම අවශ්‍ය නොවීය. ගනුදෙනුවක් අවශ්‍ය සියලු පාලනයන් සමඟ සම්පූර්ණ කර ඇත්නම්, හස්තීය පද්ධතියක් මෙන් වාර්තා ජනනය කිරීමේ අවශ්‍යතාවයක් නොතිබුණි. එම අවස්ථාවේදී මෙය ඉතා වැදගත් විය.

රුපියල් 800,000 ක් ආපසු ගැනීම  පිළිබඳ සම්පත් බැංකුවේ සිදු වූ පරිපූර්ණ වංචාව කිසි විටෙකත් විසඳා ගත නොහැකි විය. මෙය සිදු වූයේ 1989 දී  ජනතා විමුක්ති පෙරමුණේ සටන්වල උච්චතම අවස්ථාවේයි. අඛණ්ඩව දින හතරක කාලයක් බැංකු වසා දැමීමට සිදුවී තිබුණි.  පස් වන දිනයේ  බැංකුව විවෘත කළ විට එය ඉතා කාර්යබහුල විය. මෙම දිනයේ  කෙනෙක්  බැංකු පොතක් ඉදිරිපත් කර ගිණුමකින් රුපියල් 400,000 / – ක් ලබා ගත්තේය. මෙම පුද්ගලයාම  පසුව වෙනත් ශාඛාවකට ගොස් එම පොතම ඉදිරිපත් කර තවත් රුපියල් 400,000 / – ක් ලබා ගෙන තිබේ. ගනුදෙනු දෙකම අවසන්  වීමෙන් පසුව, එම රාත්‍රියේම වංචාවක් සිදුවී ඇති බව බැංකුව තේරුම් ගත්තේය. නම, ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය වැනි අවශ්‍ය තොරතුරු තිබූ බැවින් පොලිසිය ජාතික හැඳුනුම්පතේ හිමිකරු අත්අඩංගුවට ගත් නමුක් මෙම  ජාතික හැඳුනුම්පත මීට පෙර  නැතිවූ එකක් බවත්, ඒ ගැන පොලිසියට වාර්තා කර ඇති බවත් පෙනී ගියේය. මේ ගැන නැවත සලකා බැලීමේදී ජනක ද සිල්වා මහතා පවසන්නේ ඒ වන විට ඔවුන් නොදැන සිටි පද්ධති දුර්වලතා පැවති බවයි.

මෙම කාලය තුළ ජනක ද සිල්වා මහතාට ලැප්ටොප් පරිගණකයක් තිබූ අතර එය ඩයල්-අප් සම්බන්ධතාවයක් හරහා පද්ධතිය සමඟ සම්බන්ධවීමට භාවිතා කළේය. ඔහුට නිවසේ සිට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල තත්වය නිරීක්ෂණය කළ හැකි විය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක්  පද්ධතියට සම්බන්ධවී නැත්නම් ඔහුට  නිවසේ සිට එය ක්‍රියාත්මක කළ හැකිවිය. මෙය  ඒ කාලයේ විශාල ඉදිරි පියවරක් ලෙස සැලකුණි.

යුනියන් බැංකුව
1995 දී ජනක ද සිල්වා මහතා යුනියන් බැංකුවට බැඳුණු අතර එහිදී ද ඔහු මෙහෙයුම් ආරම්භ කිරීමට ක්‍රියාකාරීව සම්බන්ධ විය. එහි ද පරිගණක  අංශයක් පිහිටුවන ලදී. ප්‍රධාන සන්ධිස්ථානයක් වූයේ බැංකු ශාඛා සංකල්පය තුරන් කිරීමයි. ගනුදෙනුකරුවන් සලකනු ලැබුවේ බැංකුවේ ගනුදෙනුකරුවන් ලෙස මිස කිසියම් විශේෂිත ශාඛාවක ගනුදෙනුකරුවන් ලෙස නොවේ. ශාඛා, සේවා සපයන ස්ථාන ලෙස හැඳින්වූ අතර ගනුදෙනුකරුවන්ට ජාලයේ ඕනෑම ස්ථානයකින් තම ගනුදෙනු සිදු කළ හැකි විය.

දුරකථන බැංකුකරණයද ඔහු යුනියන් බැංකුවට එක් කළේය. නමුත් දුරකථන බැංකුකරණය හඳුන්වා දුන් පළමු බැංකුව, යුනියන් බැංකුව නොවේ. ආචාර්ය ආර්.බී. ඒකනායකගේ මඟ පෙන්වීම යටතේ දුරකථන බැංකුකරණය මුලින්ම හඳුන්වා දුන්නේ කොමර්ෂල් බැංකුවයි. යුනියන් බැංකුව දෙවන බැංකුව විය. එහෙත් තමන්ගේම වෙබ් අඩවියක් සමඟ අන්තර්ජාලයට පිවිසි පළමු බැංකුව  යුනියන් බැංකුවයි. අන්තර්ජාල බැංකුකරණය හඳුන්වා දුන් පළමු බැංකුවද එය විය. මෙම කටයුතු සඳහා අවශ්‍ය වූ මෘදුකාංග ගෘහස්ථව සංවර්ධනය කරන ලදී. ශ්‍රී ලංකාවේ සකස්  කරන ලද හොඳම මෘදුකාංග සඳහා යුනියන් බැංකුවට බ්‍රිතාන්‍ය පරිගණක සංගමය විසින් ත්‍යාගයක් පිරිනමන ලදී.

මෙම බැංකුවේ තවත් නවෝත්පාදනයක් වූයේ ඉ-තැපැල් බැංකුකරණයයි.  සුජීව දිසානායක මහතා  ප්‍රමුඛ ක්‍රමලේඛක ලෙස ශ්‍රී ලංකාවේ අයිබීඑම් (IBM) සමාගම විසින් සකස් කරන ලද පැකේජයක් මේ සඳහා භාවිතා කරන ලදී.

ඩීඑම්එස් සොෆ්ට්වෙයාර් ටෙක්නෙලොජීස් (DMS Software Technologies)  සහ එන්.සී.ආර්. කෝපරේෂන් (NCR Corporation) වැනි  ශ්‍රී ලංකික සමාගම්  විසින් නිපදවන  ලද වෙනත් බැංකු පැකේජ ඇති බව ජනක ද සිල්වා මහතා පවසයි. ජනක ද සිල්වා මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව එවැනි මෘදුකාංග තවදුරටත් දියුණු කර ප්‍රබල ලෙස වෙනත් බැංකුවලට අලෙවි කළ යුතු බවත්, එමඟින් විදේශ විනිමය ඉතිරි කර ගත යුතු බවත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ නියුතු පුද්ගලයින්ට ඔවුන්ගේ කුසලතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත්ය. මෙම ආකාරයට  සිතීමට සහ බැංකු කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේම මෘදුකාංග සංවර්ධනය කිරීමට දැන් වුවත් ප්‍රමාද නොවන බව ඔහු කියා සිටී.

සම්පත්

Dr. RB Ekanayake – perfect gentleman and technocrat of highest integrity – A tribute
www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=97034