මංජු හත්තොටුව මහතා

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබු මංජු හත්තොටුව මහතා ලන්ඩන් ඉම්පීරියල් විද්‍යාලයෙන් විද්‍යාවේදී (BSc) ගෞරව උපාධියක් ලබා ඇති අතර ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධියක්ද ද ලබා ගෙන තිබේ. කොටස් හුවමාරු මෘදුකාංග කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන මිලේනියම් අයිටී (MIT) හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී / විධායක අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඔහු මිලේනියම් අයිටී (MIT) ආයතනයේ තොරතුරු තාක්‍ෂණයට සම්බන්ධ වීම තුළින් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය දියුණු කිරීම සඳහා වූ ඔහුගේ උනන්දුව වැඩිවූ බව හත්තොටුව මහතා පවසයි.

ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) ආරම්භක කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරියා විය. මෙම නව ආයතනය 2003 ජූලි 01 දින කොළඹ 05 කිරිමණ්ඩල මාවතේදී එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මුලින් ම මෙහෙයුම් ආරම්භ කරන විට ඒ සඳහා එක් කර ගත් අයගේ පසුබිම සලකා බැලීම අවශ්‍ය වූ බව හත්තොටුව මහතා සඳහන් කළේ ය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ආරම්භයේ දී එය ගොඩනැගීමට මූලික වශයෙන් එකතු වූ අය එහි සංස්කෘතියට බලපෑමක් කළේ ය. 2002 දී ලෝක බැංකුව, මෙම අංශය දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දීමට උනන්දුවක් දැක්වීය. ඒ වන විට ඉන්දියාවේ මෘදුකාංග කර්මාන්තය, මෘදුකාංග සේවා වෙළෙඳපොළේ ප්‍රමුඛයා බවට පත්වී තිබුණි. නමුත් කුඩා ජාතියක් වශයෙන් ශ්‍රී ලංකාවට වඩාත් ගැළපෙන යමක් දියුණු කළ යුතු බවටත් එය අනිවාර්යයෙන් ම මෘදුකාංග සේවාවන් සැපයීම නොවන බවටත් එකඟත්වයක් විය. ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැකි එක් ක්‍රමයක් නිෂ්පාදන මෘදුකාංග විය හැකිය. මේ අනුව, ලෝක බැංකුව මේ පිළිබඳ ව උනන්දුවක් දැක්වීම ආරම්භ කරන විට, අහම්බෙන් මෙන්, රජය, රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ පරිසර පද්ධතිය යන සියලු අංශ අතර මේ සම්බන්ධයෙන් එකඟතාවක් තිබූ බැවින් එහි ප්‍රතිඵලය වූයේ ඉ-ශ්‍රී ලංකා වැඩසටහන බිහි වීමයි.

මෙවැනි ජාතික වැඩ සටහනක් දියත් කිරීමේ දී මෙය ඉතා වැදගත් සාධකයක් වූයේ ය. භූගෝලීය වශයෙන් සහ ආයතනික වශයෙන් මුළු ලංකාව පුරා ව්‍යාප්ත කිරීම සඳහා වූ ජාතික වැඩ සටහනක් සඳහා දේශපාලන එකඟතාවක් සහිත දැක්මක් වැදගත් විය. මෙම (ICTA) ආයතනය පිහිටුවීමට පෙර ම නවීන, ඉදිරි දැක්මක් සහිත පනතක් වූ -2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ (ICT) පනත සම්මත වී තිබීම නිසා ඒ යටතේ මෙම ආයතනය පිහිටුවන ලදී. රජය විශේෂයෙන්ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් අපේක්ෂා කළේ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුවට අවශ්‍ය නියාමන හා ප්‍රතිපත්ති රාමුව අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කිරීමත් ය. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහනේ පරමාර්ථය වූයේ තොරතුරු තාක්‍ෂණය එහි සෑම අංශයකින් ම ශ්‍රී ලංකාවේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා භාවිතා කිරීම සහ ජාතියේ සමාජ ආර්ථික සංවර්ධනය වැඩිදියුණු කිරීමට එය යොදා ගැනීමත් ය.

රජය වැඩ කළ යුතු ආකාරය පිළිබඳ ව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආදර්ශයක් වනු ඇතයි අපේක්ෂා කෙරුණි. ආරම්භක කණ්ඩායම කුඩා විය යුතු මෙන් ම, බලවත් විය යුතු අතර සංවිධානයේ අරමුණ වන ඉ-ශ්‍රී ලංකා මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළ ප්‍රතිචාරාත්මක ආකාරයකින් වැඩ කිරීමට හැකි විය යුතුය. රාජ්‍ය අංශයෙන්, පෞද්ගලික අංශයෙන්, රාජ්‍ය නොවන සංවිධාන ආදියෙන් මෙන් ම නාගරික හා ග්‍රාමීය පාසල් වලින් අධ්‍යාපනය ලැබු කණ්ඩායමක් තෝරා ගැනීමට නියමිතව තිබුණි. මෙම කණ්ඩායම, “සදහටම” තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සිටිනු ඇතැයි බලාපොරොත්තු නොවීය. මෙයට හේතුව ඔවුන් කොන්ත්‍රාත් පදනම මත රැකියාවේ නියුක්ත වූ නිසා පමණක් නොව, කාලයත් සමඟ ආයතනයේ කාර්යභාරයට නව කුසලතා අවශ්‍ය වනු ඇතයි අපේක්ෂා කළ නිසායි. එම නිසා මෙම නව කාර්යයන් සඳහා සේවකයින් නැවත පුහුණු කිරීම හෝ අලුතෙන් සුදුසු පුද්ගලයින් බඳවා ගැනීමට බලාපොරොත්තු විය.

මොවුන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ කටයුතු කිරීමට නියමිත විවිධ පාර්ශවකරුවන් සමඟ වැඩ කළ හැකි කණ්ඩායමක් වීම නිසා ඉතා ඉක්මනින් එම වැඩ සටහන ආරම්භ කිරීමට හැකි වූයේ ය. මෙම ආයතනයේ පාලක මණ්ඩලයේ සංයුතිය ද සමාන සංවිධාන වලට වඩා වෙනස් විය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක නොවන සභාපතිවරයෙකු සිටි අතර විධායක කාර්යභාරය පැවරී තිබුණේ ප්‍රධාන විධායක නිලධාරි/කළමනාකාර අධ්‍යක්‍ෂවරයාටයි. මේ අනුව ප්‍රධාන විධායක නිලධාරි යටතේ ස්ථාවර කණ්ඩායමක් ස්ථාපිත කිරීමට හැකි විය. ගෙවීම් සිදු කරන ලද්දේ ප්‍රතිඵල මත පදනම් වයි. ආයතනයේ කටයුතු අවසන් කිරීමේ වගන්තියක් ද තිබුණි. ඒ අනුව කාලය දීර්ඝ කිරීමක් ලබා නොදුනහොත් වසර පහකින් එය වසා දමනු ඇත. මේ නිසා ආයතනය පවත්වා ගැනීම සඳහා තමන්ගේ කාර්යභාරය ඉටු කළ යුතු බව කාර්ය මණ්ඩලය දැන සිටි අතර, ඒ අනුව විධායක නිලධාරියා ඇතුළු සියල්ලන් ම සීමිත කාල ගිවිසුම් යටතේ වැඩ කළ අතර වැටුප් වර්ධක, කාර්ය සාධනය හා සම්බන්ධ විය.

මෙහෙයුම් ආරම්භ කිරීම:

ප්‍රධාන අරමුදල් ලබා දීමට පෙර ලෝක බැංකුව මඟින් සුළු මුදල් ප්‍රමාණයක් ලබා දුන් බව මංජු හත්තොටුව මහතා පැහැදිලි කරයි. එම නිසා, ආයතනික ව්‍යුහය සහ මෙහෙයුම් පිළිබඳ නවීන සංකල්ප අනුගමනය කරමින් පරිගණක, වාහන ආදිය මිලදී නො ගෙන කල්බදු ක්‍රමයට ලබා ගැනීමට තීරණය කෙරුණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පිහිටුවීමට පෙර එහි පූර්වගාමියා වූ පරිගණක හා තොරතුරු තාක්‍ෂණවේද සභාව (CINTEC) විසින් සිදු කරන ලද අදාළ කටයුතු පරීක්‍ෂා කරන ලදී. කලින් සිදු කර ඇති දේ නැවතත් කිරීමට කාලය වැය නො කර දැනට කර ඇති යහපත් වැඩ කටයුතු මත අනාගතය ගොඩ නැගීමට තීරණය කළ බව හත්තොටුව මහතා සඳහන් කරයි. මේ සඳහා අභාවප්‍රාප්ත මහාචාර්ය වී කේ සමරනායක මහතා ඇතුළු බොහෝ දෙනෙකුගෙන් ලැබුණු දායකත්වය හත්තොටුව මහතා සිහිපත් කරයි.

ලාංඡනය සහ ආයතනික සැලසුම:

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ලාංඡනය සැලසුම් කිරීමේ දී ඒ පිළිබඳ ව දැක්වූ සවිස්තරාත්මක අධ්‍යයනය ගැන හත්තොටුව මහතා අවධාරණය කරයි. මෙම ලාංඡනයෙන්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් කිරීමට උත්සාහ කරන කාර්යයන්හි හරය පිළිබිඹු විය. ආරම්භක වැඩසටහනේ ක්ෂේත්‍ර හතර නිරූපණය කිරීමට කොටු හතරක් තිබුණි. (පසුව, වැඩසටහන් ක්ෂේත්‍ර හයක් විය). ලාංඡනය පුරා ඇති බෑවුම් සහිත තිත්වලින් වැඩ සටහන් ක්ෂේත්‍රවල කාර්යයන් වැඩි වීම සහ එය පුරා විහිදී ඇති තිත් වලින් හවුල්කාරීත්වය නිරූපණය විය. එය පූර්ණ පද්ධතිය නිරූපණය කරන ලාංඡනයක් විය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), සක්‍රීය කරන්නෙකු පමණක් වු බව ඔහු පැහැදිලි කරයි. සංවිධානයේ අභ්‍යන්තර ව්‍යුහය සකස් කරන ලද්දේ නිර්මාණාත්මක බව ශක්තිමත් කිරීමට හා උත්තේජනය කිරීමට යි. මාළඹේ මිලේනියම් අයිටී තොරතුරු තාක්‍ෂණ මණ්ඩපය සැලසුම් කිරීමේ දී මංජු හත්තොටුව මහතා මෙම අදහස් ගැන පර්යේෂණ හා අධ්‍යයනයන් කර තිබුණි. සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) විවෘත කාර්යාල සැලැස්මක් තිබූ අතර එමඟින් කාර්ය මණ්ඩලය තමන්ගේ ක්ෂේත්‍රයන්ට පමණක් සීමා වීම වැලකුණි. ඔහු පැහැදිලි කරන පරිදි සියලු ම වැඩ සටහන් ඒකාබද්ධ කරන ලද අතර පුද්ගලයන් වෙන වෙනම කාමරවල සිටීමෙන් ඒවා ඒකාබද්ධ ව ක්‍රියාත්මක කිරීම අපහසු වනු ඇත. මේ කාලයේ රාජ්‍ය අංශය තුළ විවෘත කාර්යාල පරිසරය අසාමාන්‍ය දෙයක් වූ බැවින් මේ අවධියේ දී වෙනත් සංවිධාන වලින් බොහෝ දෙනෙක් මෙම විවෘත සැලසුම දැක බලා ගැනීමට එහි පැමිණියෝය. රැස්වීම් සඳහා වෙන් කළ කාමර කිහිපයක් තිබුණි. මූලික කණ්ඩායම කුඩා ලෙස තබා ගැනීම සඳහා, ආරක්‍ෂාව සහ ආහාර සැපයීම වැනි කටයුතු කිහිපයක් බාහිර ආයතනවලට පවරන ලදී.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වැඩ ආරම්භ කිරීමෙන් පසුව ඉතා ඉක්මනින් ම වැඩ සටහන් හය සඳහා අදාළ පාර්ශවකරුවන්ගෙන් සමන්විත කණ්ඩායම් පිහිටුවා ගත් බව මංජු හත්තොටුව මහතා තවදුරටත් පැහැදිලි කරයි. මෙය ඇත්ත වශයෙන් ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කුඩා කණ්ඩායම් වලට බාහිර පාර්ශවවලින් අදහස් එක්රැස් කිරීමේ ක්‍රමයක් වූ බව ද ඔහු පෙන්වා දෙයි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) කණ්ඩායම කුඩා වූ බැවින් හවුල්කාරිත්වයන් අවශ්‍ය වූ අතර කේන්ද්‍රීය කණ්ඩායම් පිහිටුවීම තුළින් බාහිරින් අදහස් ලබා ගත හැකි වූයේය. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මූලික සැලසුමේ සහ ව්‍යුහයේ කොටසක් විය. මහාචාර්ය ගිහාන් ඩයස් සහ රෙෂාන් දේවපුර මහතා වැනි ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරුන් වැඩසටහන කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ අතර ඔවුන්ගේ ස්වාධීන අදහස් තිබූ බව ද හත්තොටුව මහතා පවසයි. දැඩි ධූරාවලියක් නොමැතිව මෙම කණ්ඩායම වැඩ කළ අතර ආයතනයේ කිසිවෙකුටත් “සර්” ලෙස ආමන්ත්‍රණය කිරීමේ සම්ප්‍රදාය බැහැර කරන ලදී. තත්ත්වය පිළිබඳ එවැනි හැඟීම් සාර්ථක සන්නිවේදනයට බාධාවක් වේ. වැඩ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා (ICTA) ආයතනයේ “විශාල රැස්වීම් ශාලාවේ” නිතිපතා රැස්වීම් පැවැත්වූ බව හත්තොටුව මහතා සිහිපත් කරයි. ප්‍රතිඵල පදනම් කර ගත් වැඩ කටයුතුවල ප්‍රගතිය අධීක්ෂණය කිරීම ඉතා වැදගත් වේ. මෙය ද ආයතනික සංස්කෘතියේ කොටසක් විය. කාර්ය මණ්ඩලයට මෙන් ම පාලක මණ්ඩලය සඳහා ද රාජ්‍ය අංශයේ සුදුසු පුද්ගලයින්ගේ සේවය ලබා ගන්නා ලදී; ලලිත් වීරතුංග මහතා ඉ-රාජ්‍ය අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස එක් විය. වසන්ත දේශප්‍රිය මහතා රාජ්‍ය පරිපාලනය තුළ පමණක් නොව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ද පළපුරුද්දක් ඇති අයෙක් විය. ලොයිඩ් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී. රාජ්‍ය කටයුතු ස්වයංක්‍රීය කිරීම පමණක් නොව, එය සහමුලින්ම වෙනස් කිරීම සහ නැවත සකස් කිරීම සඳහා වූ වැඩසටහනකට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගනිමින් සිටියේය. එම නිසා රජයේ හා රාජ්‍ය ක්‍රියාවලීන්ගේ සංස්කෘතිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය විය.

“ඉ”සංකල්පය:

ඉ-ශ්‍රී ලංකා වැඩසටහනේ “ඉ” යනු “සක්‍රීය කිරීම” හෝ “සවිබල ගැන්වීම” යැයි මිනිසුන් සිතන්නට පුරුදු වී සිටි බව මංජු හත්තොටුව මහතා කියා සිටී. නමුත් ඔහු පවසන්නේ “ඉ” යන්න දිරිගැන්වීම, ශක්තිය ලබා දීම, සවිබල ගැන්වීම, සක්‍රීය කිරීම, වැඩි දියුණු කිරීම, අධ්‍යාපනය ලබා දීම වැනි බොහෝ දේ සඳහා වූ බවයි. උදාහරණයක් වශයෙන් මෙයින් අපනයන, රැකියා හා සාධාරණත්වය යනාදිය ද නියෝජනය වූයේ ය. එහි අදහස වූයේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය අපනයන ඉලක්ක කර ගත් කර්මාන්තයක් විය යුතු බවයි. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය රැකියා උත්පාදනය කිරීමේ ප්‍රබල ක්‍රමයක් බව ද ප්‍රසිද්ධ කරුණකි. සමාජීය බෙදීම් අවම කිරීමට ද තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගත හැකි වේ.

නියමු ව්‍යාපෘති:

මුලදී බොහෝ විවේචන තිබූ බව මංජු හත්තොටුව මහතා සිහිපත් කරයි. නිසි සන්නිවේදන උපාය මාර්ගයක් තුළින් මේවාට මුහුණ දීමට සිදු විය. සංවර්ධන වැඩ සටහනක ප්‍රතිඵල ලබා ගැනීමට කාලයක් ගත වේ. එම නිසා නියමු ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීමටත් ඒවායින් කෙටි කාලීන ප්‍රතිඵල ලබා ගැනීමටත් තීරණය කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) රාජ්‍ය හා පෞද්ගලික අංශයෙන් සහ රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉක්මන් මිල ගණන් කැඳවන ලදී. ක්‍ෂණිකව ගැටලු ඇති බව තහවුරු වූ අංශ පිළිබඳ ව සිත් ගන්නා සුළු යෝජනා 22 ක් පමණ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ආයතනයට ලැබුණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට කෙටි කාලීන ව ප්‍රතිඵල පෙන්නුම් කළ නොහැකිය යන විවේචනයට පිළිතුරු දීමට මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළින් හැකි වූවා පමණක් නොව ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහනේ අවසාන සැලසුම සකස් කිරීමට ද ඒවා ප්‍රයෝජනවත් විය. ඇත්ත වශයෙන් ම සාර්ථක නියමු ව්‍යාපෘති ගණනාවක් තිබූ අතර ඒවා කීපයක් පහත දැක්වේ.

  • යුනිකෝඩ් සම්මතයට ගැළපෙන සිංහල ෆොන්ට දියුණු කිරීම.
  • තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය යොදා ගනිමින් පැරණි සංකල්පයක් නවීකරණය කළ හැකි ආකාරය නිරූපණය කළ ඉ-මුදල් ඇණවුම; එනම් යම් යම් දේ කිරීමට මිනිසුන් හුරු පුරුදු වී ඇති ආකාරයක් තිබේ. එබැවින්, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ස්තරය එකතු කිරීම අවශ්‍ය වූ නමුත් දශක ගණනාවක් තිස්සේ මෙරට තුළ පැවති මුදල් ඇණවුම් සංකල්පය දිගටම තබා ගත යුතු විය.
  • තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නිපුණතා සමඟ සේවා ස්ථාන සවිබල ගැන්වීම – මෙම කාලය වන විට තොරතුරු තාක්‍ෂණයේ ප්‍රතිලාභ ගැන ග්‍රාමීය ප්‍රජාවන් දැන සිටියේ නැත. එම නිසා දැනුවත් කිරීම, ධාරිතා වර්ධනය, නිපුණතා වර්ධනය සහ පුහුණුව පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය විය. මෙම ව්‍යාපෘතිය වැනි සමහර මුල් නියමු ව්‍යාපෘති වලට මෙම අංග ඇතුළත් විය. පසුකාලීන ව ක්‍රියාත්මක කරන ලද ඉ-සමාජ වැඩසටහනට තොරතුරු ලබා ගැනීමට මේවා උපකාරී විය.
  • ජාතික මෙහෙයුම් මැදිරිය, එක් තැනක සිට ව්‍යාපෘති අධීක්‍ෂණය සඳහා වූ පුවරුවකි.
  • දුරස්ථ සහ ඉ-ඉගෙනීම; විවිධ ඉලක්කගත කණ්ඩායම් සඳහා අන්තර්ගතය සහ පාඨමාලා ලබා දීම සඳහා රට පුරා මධ්‍යස්ථාන පහක් පිහිටුවීම මෙයට ඇතුළත් විය.
  • අභ්‍යන්තරව අවතැන් වූවන්ගේ (IDP) ලේඛන කාර්යාලය: අවතැන් වූවන්ගේ චලනයන් නිරීක්ෂණය කිරීම සහ අධීක්ෂණය කිරීම සඳහා රෙජිස්ටරයක් පවත්වාගෙන යාම සඳහා මෙය ස්ථාපිත කරන ලදී.
  • විශ්ව ඥාන කේන්ද්‍රය; මෙම ව්‍යායාමය අවසානයේ එය නැණසල මධ්‍යස්ථාන ලෙස ඉතා ජනප්‍රිය හා ප්‍රසිද්ධ වැඩසටහනක් බවට පරිණාමය විය.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර පොර්ටලය: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකයේ කොඳු නාරටිය වේ. මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දියුණු කිරීම සහ ඵලදායිතාව වැඩි කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයට කළ හැකි කාර්යභාරය පිළිබඳ ව ඔවුන් දැනුවත් කිරීම සහ ගෝලීය වශයෙන් ඔවුන් වඩාත් තරගකාරී කර වීමයි.

ගොවි ඥාන පද්ධතිය: එළවළු ද්‍රව්‍යවල මිලෙහි ඒකාකාරී බව සහතික කිරීම සඳහා මේ මගින් තථ්‍ය කාලීනව සියලුම වෙළඳ මධ්‍යස්ථානවල එළවළු මිල ලබාගෙන එම තොරතුරු බෙදා හරින ලදි ගොවීන්ට තම නිෂ්පාදන විකිණීමට අවශ්‍ය ස්ථානය තෝරා ගැනීමේ හැකියාව ලබා දීම සඳහා දඹුල්ල හා මීගොඩ යන මධ්‍යස්ථාන දෙකම ඉලෙක්ට්‍රොනික ව සම්බන්ධ කරන ලදී.

ඉ-පාර්ලිමේන්තුව: පාර්ලිමේන්තුවට ඩිජිටල් තොරතුරු ලබා දීම සහ සැලසුම සහ අන්තර්ගතය අතින් එහි වෙබ් අඩවිය වැඩි දියුණු කිරීම මෙහි අරමුණ විය.

නියමු ව්‍යාපෘති සඳහා මෙවැනි නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් ගණනාවක් ලැබී තිබුණි. මෙම නියමු ව්‍යාපෘති හරහා ප්‍රධාන වැඩසටහන් සඳහා තොරතුරු ලබා ගන්නා ලදී.

සන්නිවේදන:

ඕනෑම ජාතික සංවර්ධන වැඩ සටහනක, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට අලුත් අත්දැකීමක් වන වැඩ සටහනක දී එය සැම දෙනාට ම තේරුම් ගත හැකි අයුරින් පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව හත්තොටුව මහතා පැහැදිලි කරයි. මේ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) බොහෝ නිර්මාණාත්මක ක්‍රම යොදා ගත්තේ ය. සෑම අංශයක් සඳහා ම මෙම සන්නිවේදනය සිදු කිරීම වැදගත් ය. මාධ්‍යයට සන්නිවේදනය කිරීම අවශ්‍ය විය. මාධ්‍ය කෙරෙහි අවධානය යොමු කළ උපාය මාර්ගික සන්නිවේදන වැඩසටහනක් තිබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් විවේචකයන් “ඔල්වර නායකයින්” බවට පත් විය. සමහර විවේචකයන් ආයතනය තුළ වැඩ කිරීමට බඳවා ගන්නා ලදී. මෙය ඉතා නිර්මාණාත්මක උපාය මාර්ගයක් විය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මේ සඳහා ගන්නා වෙහෙසත්, ආයතනය සාක්‍ෂාත් කර ගැනීමට උත්සාහ කරන දේත් ඔවුන් තේරුම් ගත්හ. එම නිසා මෙය ලංකාව පරිවර්තනය කිරීමට උත්සාහ කරන වැඩපිළිවෙළක් බව අන් අයටත් පහදා දීමට ඔවුන්ට හැකි වූයේය. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ බලය ජනතාව තේරුම් ගැනීමට පටන් ගත්තේ මේ වැඩසටහන හේතු වෙනි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ඉතා බලවත් වන අතර එහි හදවත වූයේ ආර්ථික සංවර්ධනය වූ නමුත් පොදු ජනතාවට නො තේරෙන බොහෝ මානයන් එහි තිබුණි. එබැවින් උපායමාර්ගික සන්නිවේදන වැඩසටහන ඉතාමත් වැදගත් විය. ඔවුන්ට තේරුම් ගත හැකි භාෂාවකින් සහ ස්වරයකින් ඉලක්ක ගත විවිධ පාර්ශවකරුවන් ඇමතීම ඉතා වැදගත් විය. විවිධ ගම්මානවල බස් නැවතුම් හෝ දුම්රිය ස්ථාන වැනි මිනිසුන් ගැවසෙන තැන් වල රඟ දක්වන ලද වීදි නාට්‍ය මෙයට එක් උදාහරණයකි. මේ සඳහා ගෙවීම් කර නළු නිළියන් යොදා ගත් අතර ඔවුන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයෙන් මිනිසුන්ගේ ජීවිත වල වෙනසක් කළ හැකි ආකාරය විස්තර කළෝය.

ප්‍රධාන වැඩසටහන

ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහනට ලෝක බැංකුව, කොරියාවේ එක්සිම් බැංකුව, ස්වීඩනය සහ ජපානය ද ඇතුළත් පරිත්‍යාගශීලීන් විශාල පිරිසකගේ සහයෝගය ලැබුණි. ඔවුන් එයට සහයෝගය දුන්නේ මෙය ජනතාව වෙනස් කිරීමට හැකියාවක් ඇති ගතික වැඩ සටහනක් ලෙස ඔවුන් දුටු බැවිනි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ පූර්ණ ශක්‍යතාව ළඟා කර ගැනීමට බාධා කරන දුර්වල අංශවල ගැටලු විසඳීම සඳහා වැඩසටහන් හය සැලසුම් කර තිබුණි. එවැනි එක් අංශයක් වූයේ සම්බන්ධතා පිළිබඳ ගැටලුවයි. 2002/2003 කාලයේ රටේ පැවතුණු තත්වය 2020 දී මෙන් නොවීය. මූලික අන්තර්ජාල පහසුකම්වත් ලබා ගත නො හැකි බොහෝ ප්‍රදේශ රටේ තිබුණි. එම නිසා, ගම්වල ජීවත්වන අනාගත පරිශීලකයින්ට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයට ප්‍රවේශ විය හැකි සහ දැරිය හැකි මිලකට එය ලබා ගත හැකි ක්‍රම සෙවීම අවශ්‍ය විය.

මෙහිදී ඉදිරිපත් වූ එක් අදහසක් නම්, වෙළඳපොළ බලවේග විසින් ලාභදායී යැයි නො සිතන ස්ථාන වලට සම්බන්ධතාව ලබා දීම සඳහා විදුලි සංදේශ ක්‍රියාකරුවන්ට සහනාධාර ලබා දීමයි. රජයේ ආධාර නොමැතිව ටෙලිකොම් ක්‍රියාකරුවන් වහාම මෙම ගම්මාන වෙත සම්බන්ධතාව ලබා දුන් හෙයින් සහනාධාර ලබා දීම අවශ්‍ය නො වූ බව හත්තොටුව මහතා සිහිපත් කරයි. මෙය හොඳ ආරම්භයක් විය.

ඉන් පසුව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නැණසල වැඩසටහන ක්‍රියාත්මක කළේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ජනයාට පරිගණක හෝ අන්තර්ජාල පහසුකම් සහිත දුරකථන නො තිබූ බැවිනි. නැණසල මධ්‍යස්ථාන විදුලි සංදේශ කුටියකට (e-kiosk) සමාන විය. ඒවා මෙහෙයවනු ලැබුවේ පෞද්ගලික ක්‍රියාකරුවන් විසිනි. පෞද්ගලික ක්‍රියාකරුවෙකු සොයා ගැනීමට අපහසු වූ අවස්ථාවල දී රාජ්‍ය අංශය මේවාට සහයෝගය දැක්වූවේ ය. මෙම මධ්‍යස්ථානවලට සහන මිලකට අන්තර්ජාල සම්බන්ධතා මෙන් ම ඒ පිළිබඳ පුහුණුවක් ලබා දුන් අතර, රජයේ තොරතුරු හා සේවාවන් ඒ තුළින් ලබා ගත හැකි විය. මෙය ඉතා ප්‍රබල වැඩ සටහනක් විය. පුළුල් ලෙස ප්‍රසිද්ධියට පත් වූ මෙම වැඩසටහන, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ගමට ගෙන ගිය සම්බන්ධීකරණ වැඩසටහනේ කොටසක් විය.

මෙයට සමාන්තරව ජනයාගේ කුසලතා හා හැකියාවන් ගොඩ නැංවීම අවශ්‍ය විය. එය ගම්වල, රජයේ ආයතනවල, දේශපාලන නායකත්වය තුළ මෙන් ම පාසල් වල ක්‍රියාත්මක කළ යුතු විය. මෙම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) මානව සම්පත් ධාරිතා වර්ධන වැඩසටහන මඟින් රජයේ නිලධාරීන් සඳහා ප්‍රධාන නවීකරණ නිලධාරී (CIO) වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. මෙහි අරමුණ වූයේ රජයේ දෙපාර්තමේන්තු වලට තමන්ගේ ම තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ වැඩසටහන් මෙම නිලධාරියා හරහා ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දීමයි. මෙම වැඩසටහනට පුහුණුව හා නායකත්වය ආදි වශයෙන් බොහෝ මානයන් තිබුණි.

ඉ-නීති- ක්‍රියාත්මක කිරීමේ නීති ; මෙම කටයුතු පහසු කරවන නීති සම්පාදනය කිරීම ඇතුළු කර්මාන්තයට තරගකාරී වීමට කළ යුතු බොහෝ දේ තිබුණි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සිය ඊ-නීති වැඩසටහන තුළින් මෙම අවශ්‍යතාව සපුරාලීමට කටයුතු කළේ ය.. මේ යටතේ පරිගණක හා තාක්ෂණවේද සභාව (CINTEC) විසින් සිදු කරන ලද වැඩ කටයුතු ඉදිරියට ගෙන ගිය අතර අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) නිශ්චිත විධානයක් ලබා දුන්නේ ය.

  • 2006 අංක 19 දරන ඉ-ගනුදෙනු පනත පදනම් වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙළඳ නීතිය පිළිබඳ කොමිසම (UNCITRAL) ඉ-වාණිජ්‍යය පිළිබඳ ආදර්ශ නීතිය (1996) සහ ඉ-අත්සන් පිළිබඳ ආදර්ශ නීතිය (2001) විසින් ස්ථාපිත කරන ලද ප්‍රමිති මත ය.
  • 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත මගින් පරිගණක අපරාධ හඳුනා ගැනීම සහ එවැනි අපරාධ විමර්ශනය කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වූ ක්‍රියා පටිපාටිය ස්ථාපිත කර තිබේ. මෙම පනත් කෙටුම්පත 2005 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනුණු අතර පසුව එය 2007 මැයි මාසයේ දී නීතියක් ලෙස අනුමත කරන ලදී.

ඉ-රාජ්‍ය වැඩසටහනේ අරමුණ වූයේ රාජ්‍ය කටයුතු ස්වයංක්‍රීය කිරීම පමණක් නොවේ. ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන ලද්දේ රජයේ ක්‍රියාවලීන් නැවත සකස් කර සරල කිරීමට යි. සතියේ දින හතේ ම පැය විසිහතර පුරා (24/7) රජයේ තොරතුරුවලට ප්‍රවේශ විය හැකි පරිදි රාජ්‍ය ආයතන සඳහා ත්‍රි-භාෂා වෙබ් අඩවි නිර්මාණය කරන ලදී. විශේෂයෙන් 1919 අංකය ඇමතීමෙන් හා වෙනත් ක්‍රම මඟින් ජනතාවට නිවැරදි තොරතුරු ලබා ගත හැකි රජයේ තොරතුරු මධ්‍යස්ථානයක් (GIC) ස්ථාපිත කරන ලද අතර ඒ ඒ දෙපාර්තමේන්තුවලින් අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒවා යාවත්කාලීන ව තබා ගැනීමට යන්ත්‍රණයක් ද සකසා තිබුණි.

හත්තොටුව මහතා පවසන්නේ ඉ-සමාජ වැඩසටහන පිළිබඳ ව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) බෙහෙවින් උනන්දු වූ බවයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ ඩිජිටල් බෙදීම අවම කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ ප්‍රතිලාභ ගමට ගෙන යාම සඳහා ය. එය සැලසුම් කර තිබුණේ ග්‍රාමීය මට්ටමින් නවෝත්පාදනයන් ඇති කිරීමට සහ අඩු පහසුකම් සහිත සහ අඩු වරප්‍රසාද ලත් අයට අවස්ථා ලබා දීම සඳහා ය. ඉ-සමාජ වැඩසටහන ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධාන (INGOs), දේශීය රාජ්‍ය නොවන සංවිධාන (NGOs) සහ ප්‍රජා සංවිධාන (CBOs) සමඟ වැඩ කළ අතර ඒ තුළින් බොහෝ සාර්ථක නවෝත්පාදනයන් බිහිවුණි.

තවත් වැදගත් වැඩ සටහනක් වූයේ පෞද්ගලික අංශ සංවර්ධන වැඩසටහන ය. විශේෂයෙන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රය තුළ රැකියා උත්පාදනය, අපනයන, ව්‍යවසායකයින් බිහි කිරීම සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා එහිදී අවධානය යොමු කරන ලදී. මෙම වැඩසටහන පුද්ගලික අංශයේ නායකත්ව වර්ධනය සඳහා ඇති විවිධ අවස්ථාවන් සඳහා සහය වූ අතර එමඟින් ඔවුන්ට ඊළඟට කුමන තාක්‍ෂණයට යොමු විය යුතු ද, කුමන කුසලතා වර්ධනය කර ගත යුතු ද, විදේශයන්හි පිළිගත් හැකියා පරිණත මොඩල (CMM) වැනි මොඩල දියුණු කරන්නේ කෙසේ ද ආදිය ගැන අවබෝධයක් ලබා ගත හැකි විය. දේශීය තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සමාගම් වලට ව්‍යාපාර ලබා දිය හැකි බහුජාතික සමාගම් වලින් රැකියා ලබා ගැනීමට හෝ ව්‍යාපාර ලබා ගැනීමට හැකි කාර්ය මණ්ඩලයක් දියුණු කර ගත යුතු ආකාරය පිළිබඳව ද සහාය ලබා ගත හැකි විය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සක්‍රීය කිරීමේ වැඩ කටයුතුවලින් මේ සියල්ලට ම දායකත්වයක් ලැබුණි. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ රජය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන තුළින් වැඩි දියුණු කරන ලද ඉ-සේවාවන්ගෙන්ද දේශීය පෞද්ගලික අංශය දියුණු කිරීමේ අවස්ථා උදා වූයේ ය. වෙනත් වචන වලින් කිවහොත්, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට රජයේ වැඩ සටහන තුළ වූ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ව්‍යාපෘතිවලට ලංසු තැබීමට හැකි වූයේය. පුද්ගලික අංශයට ඔවුන්ගේ හැකියාවන් පිළිබඳ විශ්වාසය වර්ධනය කර ගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉ-රාජ්‍ය වැඩ සටහන සහ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන උත්ප්‍රේරකයක් විය.

සිංහල හා දෙමළ භාෂාවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය සක්‍රීය කිරීම සඳහා කටයුතු කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) දේශීය භාෂා මූලාරම්භය මෙහි ලා සඳහන් කළ යුතු ප්‍රධාන වැඩසටහනක් බව හත්තොටුව මහතා පවසයි. විශේෂයෙන්ම ලංකාවේ බොහෝ පුද්ගලයින් ඉංග්‍රීසි භාෂාව නො දන්නා බැවින් ග්‍රාමීය ප්‍රජාව වෙත තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ගෙන යෑමට මෙය අවශ්‍ය විය. මෙම කාර්යය, කලින් පරිගණක හා තාක්ෂණවේද සභාව (CINTEC) විසින් ආරම්භ කරන ලද නමුත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එය සතුටුදායක අවසානයකට ගෙන ආ අතර එමඟින් ජනතාවට සිංහල හා දෙමළ භාෂාවලින් තොරතුරු තාක්ෂණය භාවිතා කිරීමට හැකි වූ අතර දේශීය භාෂා වලින් ඇති අන්තර්ගතයට පුළුල් ලෙස ප්‍රවේශ විය හැකි වූයේ ය.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශයේ තිබූ දුර්වලතා පිළිබඳ ව මූලික වැඩසටහන් හය අවධානය යොමු කළ බව හත්තොටුව මහතා පවසයි. ඔහු කියා සිටියේ “දාමයක් එහි ඇති දුර්වල ම සම්බන්ධකය තරම් ම දුබල” බැවින් මෙම වැඩ සටහන් වලින් එකක හෝ පසු බැසීමක් තිබුණේ නම් එය සමස්ත වැඩසටහනේ ම දුර්වල සම්බන්ධකය වන බවයි. එම නිසා මේ සියල්ලටම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නායකත්වය විසින් සමාන අවධානයක් යොමු කර “ඉදිරියට ගෙන යන” ලදී. ඕනෑම පුරෝගාමී වැඩසටහනකදී මෙන්, මෙහිදීද බොහෝ බාධක හා දුෂ්කරතා වලට මුහුණ පෑමට සිදු වූ නමුත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) තුළ සෑම විටම “කළ හැකිය” යන ආකල්පය තිබූ බව ඔහු සිහිපත් කරයි. ආරම්භයේ සිට පැවති එම සංස්කෘතිය, වසර තුනක් වැනි කෙටි කාලයකදී කැපී පෙනෙන ජයග්‍රහණ ලැබීමට එක් හේතුවක් වූ බව ඔහු තවදුරටත් පැහැදිලි කරයි.

ඊළඟ අදියර:

අවසාන වශයෙන්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ඊළඟ පියවර දක්වා පරිණාමය වන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව මංජු හත්තොටුව මහතා අවසන් කරුණු කිහිපයක් ඉදිරිපත් කරයි. මෙම (ICTA) ආයතනය එහි ආරම්භයේ දීම සැලසුම් කරන ලද්දේ, පරිණාමය වීම අවශ්‍ය බව පිළිගැනීමිනි. එයට පැවරුණ බලය මෙන් ම කාර්ය මණ්ඩලය ද පරිණාමය විය යුතු අතර ක්‍රියාකාරකම් ද පරිණාමයට භාජනය විය යුතුය. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සේවය සැපයීමට තෝරා ගත් ප්‍රතිලාභීත්ට මෙන් ම විසඳීමට තෝරා ගත් ගැටලුවලට ද එය අදාළ විය යුතුය. මෙවැනි කටයුතු පෞද්ගලික අංශයේ සංවිධානයක සිදු කරන ආකාරයට ම රාජ්‍ය අංශයේ සංවිධානයක සිදු කිරීම වසර ගණනාවක් තිස්සේ අභියෝගයක් වු බව හත්තොටුව මහතාගේ අදහසයි.

පුද්ගලික අංශයට අවශ්‍ය කුමක් ද, රාජ්‍ය අංශය සොයන්නේ කුමක් ද යන්න මෙන් ම පුරවැසියන්ට , තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් (ICTA) අවශ්‍ය වන්නේ කුමක් ද යන්න අවබෝධ කර ගැනීමට සියලු දෙනා එකට එකතු විය යුතු බවත්, එයින් එහි වරම නිර්වචනය කෙරෙන බවත් මංජු පැහැදිලි කරයි. වරම කුමක් වුවත්, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ආරම්භ කළ අවස්ථාවේ තිබූ ආකාරයේ දැඩි උනන්දුවක් තිබීම අවශ්‍ය බව මංජු අවසාන වශයෙන් කියා සිටියේ ය.

“මා සම්බන්ධයෙන් කථා කරන්නේ නම, දැන් වසර 17 ක් ගතවී තිබුණත්, මම එක සමාන දැඩි උද්‍යෝගයකින්, එක සමාන සුබවාදී ආකල්පයකින් සිටින අතර සදාකාලික සුව කළ නොහැකි සුභවාදී විශ්වාසයකින් යුතුව මම මගේ කණ්ඩායමට එදා කී පරිදි අපි විස්මය ජනක දේ කරනු ඇති අතර එය අපේ මුනුපුරු මිනිපිරියන්ට කිව හැකි කතන්දරයක් ද වනු ඇත. සුභ පැතැම්!”