මහාචාර්ය අභය ඉඳුරුව

මහාචාර්ය අභය ඉඳුරුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1973 වර්ෂයේ, දැන් මොරටුව විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වන එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ශිෂ්‍යයෙක් ව සිටි අවදියේයි. පසුව ඔහු ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය.

මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පියා“ ලෙසයි. ඔහු විසින් හඳුනා ගෙන ඇති, උත්සාහ දරා ඇති හා ක්‍රියාත්මක කර ඇති කටයුතු, ශ්‍රි ලංකාවේ අන්තර්ජාල කේෂ්ත්‍රය තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. අනූවේ දශකයේ දී “ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය“ (LEARN) ස්ථාපිත කිරීම එක් ප්‍රධාන පියවරක් වේ. ලබා ගත හැකි සීමිත සම්පත් යොදා ගනිමින් 1990 දී මහාචාර්ය ඉඳුරුව ලර්න්මේල් (LEARNmail) ස්ථාපිත කළේය. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යයන හා පර්යේෂණ ආයතන සඳහා වූ පළමුවැනි අන්තර්ජාල ඉ-තැපල් පද්ධතිය විය. මෙම ඉ-තැපැල් පද්ධතිය හඳුන්වා දීමේ ඊළඟ පියවර වූයේ ශ්‍රී ලංකාවේ දේශික කේත ඉහළ මට්ටමේ වසම (.LK) ලියාපදිංචි කිරීමයි. මෙහි තාක්ෂණික කටයුතු මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඉටු කළ අතර මහාචාර්ය ඉඳුරුව පරිපාලන කටයුතු කළේය.

ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භක මහ මණ්ඩල සාමාජිකයෙක් වූ මහාචාර්ය ඉඳුරුව 1998 වන තුරු ම එම මණ්ඩලයේ සේවය කළේය.

ශ්‍රී ලංකාවට ජාලකරණය හා අන්තර්ජාලය හඳුන්වා දීමෙන් හා ඉන් පසුව ලබා ගත් ජයග්‍රහණ තුළින් අද ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතයට ගන්නා සියලු දෙනාට කර ඇති සේවය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය අභය ඉඳුරුවට අන්තර්ජාල සමාජය විසින් ජීවිත කාල ජයග්‍රහණ සම්මානයක් ප්‍රදානය කරන ලදී. 2014 දී මහාචාර්ය අභය ඉඳුරුව අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරනු ලැබීය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

2016 අගෝස්තු 8 වන දින 34 වන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය පැවැත්වූ ශ්‍රී ලංකා පරිගණක සංගමය පිහිටුවන ලද්දේ ඔහු ඇතුළු තවත් විද්‍යාර්ථීයන් ගණනාවක් විසිනි. මේ සඳහා තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නියැලී වෘත්තිකයන් හා අයිබීඑම් හා අයිසීඑල් වැනි පරිගණක සැපයුම්කරුවන් ද සහයෝගය දැක්වූහ. 1976 වර්ෂයේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා පරිගණක සංගමය, තොරතුරු තාක්ෂණ වෘත්තිය නියෝජනය කළ අතර ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ කටයුතුවල ද නිරත වූයේය.

මහාචාර්ය අභය ඉඳුරුවගේ වෘත්තිය ජීවිතය තුළ ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ සංවර්ධනයට බලපෑමක් කළ බොහෝ ජයග්‍රහණ අතුරෙන් මෙය එකක් පමණි.

මහාචාර්ය අභය ඉඳුරුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1973 වර්ෂයේ දැන් මොරටුව විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වන එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ශිෂ්‍යයෙක් වූ අවදියේයි. විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් ව සිටි කාලයේ ඔහුට ෆෝට්‍රාන් ක්‍රමලේඛනය ඉගැන්වුයේ ශ්‍රි ලංකාවේ පළමුවැනි දත්ත සැකසුම් කළමනාකරු වූ මහාචාර්ය සෑම් කරුණාරත්නයි. “අපේ ක්‍රමලේඛන ක්‍රියාත්මක කිරීමට අපට එවකට ICL 1903 පරිගණකයක් තිබු රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට යෑමට සිදු වූයේය” යි මහාචාර්ය ඉඳුරුව කියා සිටියේය. ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ප්‍රථම සභාපති වූ ආචාර්ය ආර්.බී. ඒකනායක එවකට ඉන්ජිනේරු සංස්ථාවේ දත්ත සැකසුම් කළමනාකරු විය.

ඉන් පසු ඉඳුරුව මහතා තම ආචාර්ය උපාධියේ කටයුතු සඳහා ලන්ඩන් ඉම්පීරියල් කොලෙජ් ආයතනයට ඇතුළු විය. මෙහිදි මුල් කාලයේ සිදුරු පත් ‍යොදා ගත් ආකාරයත් පසුව CDC7600 මහ පරිගණකයක දුරස්ථ ව වැඩ කල ආකාරයත් ඔහු සිහිපත් කරයි.

මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක කටයුතු

1980 වන විට මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය භාරව සිටියේ මහාචාර්ය ඉඳුරුවයි. මෙහි 1974 දි සවි කරන ලද IBM 1130 පරිගණක පද්ධතියක් තිබුණි. ඔහුගේ නායකත්වය යටතේ එහි කාර්ය මණ්ඩලය මොරටුව විශ්ව විද්‍යාලයේ වැටුප් ලේඛනය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහා විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල පරිගණක ගත කිරීමේ කටයුතු වල නිරක වූහ. මේ සඳහා පද්ධති විශ්ලේෂකයන් හා ක්‍රමලේඛකයන් බඳවා ගන්නා ලද අතර RPG II ක්‍රමලේඛන භාෂාව යොදා ගැනුණි. මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක කටයුතුවල දෙවැනි යුගය ආරම්භ වූයේ 1984 දී පරිගණක පුස්තකාලය හා පරිගණක විද්‍යාගාරය පිහිටුවීමත් සමගයි. පුස්තකාලයකින් පොතක් ලබා ගන්නා ආකාරයට මෙම පුස්තකාලයෙන් ශිෂ්‍යයන්ට (Sinclair ZX Spectrum) පරිගණක ලබා ගත හැකි විය. විද්‍යාගාරයේ වඩා ප්‍රබල පරිගණක තිබූ අතර ඉගැන්වීමේ කටයුතුවලට අමතරව මෙම යන්ත්‍ර, පර්යේෂකයන්ගේ හා ආචාර්ය මණ්ඩලයේ ක්‍රමලේඛන අවශ්‍යතා සඳහා ද යොදා ගන්නා ලදී. ඉගැන්වීමේ කටයුතුවලට පදනම් වූයේ බේසික් හා පැස්කල් වැනි නවීන ක්‍රමලේඛන භාෂායි. මෙම අවස්ථාව සැමරීම සඳහා සම්මන්ත්‍රණයක් හා ප්‍රදර්ශනයක් ද සංවිධානය කරන ලදී.

විශ්ව විද්‍යාල තුනක එනම් කොළඹ, මොරටුව හා පේරාදෙණිය විශ්ව විද්‍යාලවල පරිගණක අංශ පිහිටුවීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමැතිය ලබා දීමත් සමග 1985 ජනවාරි 29 දින මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශය ආරම්භ කරන ලදී. මහාචාර්ය ඉඳුරුව මෙම අංශයේ ආරම්භක ප්‍රධානියා වූ අතර 1986 දී එම අංශයට පළමු ශිෂ්‍ය කණ්ඩායම ඇතුළත් කර ගන්නා ලදී. කර්මාන්තයේ ප්‍රගතිය අනුගමනය කරමින් TRS 80 (16 bit) SORD (32 bit) වැනි බහු පරිශීලක පරිගණක භාවිතයට ගැනුණී. 1986 වර්ෂයේ දි මොරටුව විශ්ව විද්‍යාලයේ TRS 80 පරිගණකයකින් කොළඹ විශ්ව විද්‍යාලයේ එවැනි ම පරිගණකයකට දුරකථන මාර්ගයක් හා තත්පරයට බිටු 300 වේගයක් ඇති මෝඩමකකින් සම්බන්ධ වෙමින් දුරස්ථ පරිගණකයකට සම්බන්ධ විය හැකි බව පෙන්නුම් කළේය. “එය ඓතිහාසික වශයෙන් වැදගත් සිද්ධියක් වූ නමුත් එය ශ්‍රී ලංකාවේ පරිගණක ජාලකරණයේ ආරම්භය බව අපට අවබෝධ වූයේ නැත” යි මහාචාර්ය ඉඳුරුව පැවසීය.

මහාචාර්ය ඉඳුරුව විසින් සකස් කළ මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක ප්‍රතිපත්තියේ ප්‍රධාන ලක්ෂණය නම් විශ්ව විද්‍යාල සංවර්ධනයේ ප්‍රධාන තේමාවක් විය යුත්තේ පරිගණක ජාල හා දත්ත සන්නිවේදනය බවයි. මෙම ප්‍රතිපත්තිය අනුව යමින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයක ක්‍රියාත්මක වූ පළමුවැනි තත් ප්‍රදේශ ජාලය (LAN) ක්‍රියාත්මක කරන ලද්දේ මොරටුව විශ්ව විද්‍යාලයේ යි. 1988-89 දී ස්ථාපිත කළ මෙම ජාලය Ultrix-32 බහු පරිශීලක මෙහෙයුම් පද්ධතියක් සහිත MicroVAX 3600 මධ්‍ය පරිගණකයකට සම්බන්ධ කරන ලද පුද්ගලික පරිගණක 50 සමන්විත විය.

පාසල්වල පරිගණක

1984 වර්ෂයේ මහාචාර්ය ඉඳුරුව සම්බන්ධ වූ තවත් ව්‍යාපෘතියක් නම් පාසල්වලට පරිගණක හඳුන්වා දීමයි. අධ්‍යාපන අමාත්‍යංශයට මෙම ව්‍යාපෘතිය සඳහා තිබුණේ රුපියල් 100,000ක් පමණි. උසස් පෙළ විද්‍යා අංශයක් තිබූ පාසල්වල Sinclair ZX Spectrum පරිගණක යොදා ගනිමින් පරිගණක විද්‍යාගාර පිහිටුවන ලදී. දෘඪාංග සම්පත්වල සීමාවන් නිසා පාසල් සිසුන්ට උගන්වන ලද්දේ BASIC ක්‍රමලේඛනය පමණි. මෙම ව්‍යාපෘතිය යටතේ ගුරුවරුන් 200ක් පමණ පුහුණු කරන ලද අතර එයින් හතරෙන් පංගුවක් ම පුහුණු වූයේ මහාචාර්ය ඉඳුරුව මහතාගේ අධීක්ෂණය යටතේයි. මෙම ව්‍යාපෘතියෙන් විශේෂ බලපෑමක් සිදු නොවූ නමුත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පැහැදිලි වූයේ ඒ අවස්ථාවේ දී පවා පාසල්වලට පරිගණක හඳුන්වා දීමේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන තිබූ බවයි. එය ආරම්භයක් විය. පසුව ආනන්ද, නාලන්ද. රාජකීය විද්‍යාල වැනි ප්‍රධාන පෙළේ පාසල් පමණක් නොව දියතලාවේ කහගොල්ල මධ්‍ය මහා විද්‍යාලය වැනි ඈත පාසල් වල පවා වඩා හොඳ සම්පත් සහිත කලාපීය පරිගණක මධ්‍යස්ථාන පිහිටුවන ලදී. “මම ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ වැඩබලන සභාපති ලෙස කටයුතු කරද්දී කහගොල්ල මධ්‍ය මහා විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට ආරාධනයක් ලැබුණි. මගේ කථාවේ දී මම රහසක් හෙළි කළෙමි. ඒ 1954 වර්ෂයේ මම පාසල් දිවිය ආරම්භ කළේ මේ පාසලෙන් බවයි. එහි සිටි ප්‍රවීණ දේශපාලනඥයෙක් වූ විජමු ලොකුබණ්ඩාර මහතා ඇතුළු සියලු දෙනාට ම එය ප්‍රසන්න විස්මයක් වූ බවට සැක නැත” යි මහාචාර්ය ඉඳුරුව කියා සිටියේය.

රටේ ප්‍රතිපත්ති රාමුව

1984 වර්ෂයේ දී එවකට ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය යටතේ ජාතික පරිගණක ප්‍රතිපත්තියක් සකස් කරන ලදී. මේ සඳහා නායකත්වය දුන්නේ මහාචාර්ය මොහාන් මුණසිංහයි. මෙම පරිගණක ප්‍රතිපත්තිය (COMPOL) මත 1984 අංක 10 දරණ පරිගණක හා තොරතුරු තාක්ෂණ පනත සම්මත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව (CINTEC) පිහිටුවන ලදී. තොරතුරු තාක්ෂණය පිළිබඳ රජයේ ඉහළ ම ආයතනය වූයේ එයයි. මහාචාර්ය අභය ඉඳුරුව මෙහි පළමු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වූ අතර 1998 වන තුරුම එම මණ්ඩලවල සේවය කළේය. ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව එහි කටයුතු කළේ ව්‍යවස්ථාපිත කමිටු ගණනාවකිනි. මේ අතර රාජ්‍ය අංශය පරිගණකගත කිරීමේ කමිටුව, පරිගණක අධ්‍යාපන කමිටුව හා ජාතික භාෂා කමිටුව ආදිය විය. මහාචාර්ය ඉඳුරුව දත්ත සන්නිවේදන කමිටුවේ ඉතා ක්‍රියාකාරී සාමාජිකයෙක් විය. මෙය පසුව අන්තර්ජාල කමිටුව බවට පත් විය.

ලංකා අධ්‍යාපනික අධ්‍යයන හා පර්යේෂණ ජාලය (LEARN)

අනූවේ දශකයේ පිහිටුවනු ලැබූ මෙම ජාලය මුලින් හඳුන්වන ලද්දේ “ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය” ලෙසයි. ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍යයන්ගේ අධ්‍යයන හා පර්යේෂණ හැකියාවන් වැඩි දියුණු කිරීමට පරිගණක ජාලවලට විශාල කාර්ය භාරයක් ඉටු කළ හැකි බව මහාචාර්ය ඉඳුරුවට පෙනී ගියේය. මෙම (LEARN) ජාලය බිහි වුයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල, උසස් අධ්‍යාපන ආයතන හා පර්යේෂණ ආයතන සම්බන්ධ කිරීමට එවකට උසස් අධ්‍යාපන අමාත්‍යංශයට 1989 දී මහාචාර්ය ඉඳුරුව ඉදිරිපත් කළ යෝජනාවක ප්‍රතිඵලයක් වශයෙනි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙම යෝජනාව අනුමත කළ නමුත් ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම ගැටලුවක් විය. මේ නිසා මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ ආචාර්ය මණ්ඩලයෙන් හා කැනඩාවේ, එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ගේ ආධාරයෙන් මහාචාර්ය ඉඳුරුව 1990 දි LEARNmail ස්ථාපිත කළේය. ශ්‍රී ලංකාවේ අධ්‍යයන හා පර්යේෂණ ආයතන සඳහා වූ පළමුවැනි අන්තර්ජාල ඉ-තැපැල වූ මෙය විශාල ඉදිරි පියවරක් විය. අවුරුදු කීපයක් තුළ එය භාවිතා කළ සංඛ්‍යාව බෙහෙවින් වැඩි වූ නිසා ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවෙන් ලැබුණු රුපියල් 15,000 ක ආධාරයෙන් මෙම පද්ධතිය ගෝලීය අන්තර්ජාලයට සම්බන්ධ කළ හැකි අධිවේගී මොඩෙමක් මිලදි ගන්නා ලදී.

එයින් නො නැවතුණු මහාචාර්ය ඉඳුරුව මෙම (LEARN) ජාලය ශ්‍රී ලංකාව තුළ තව දුරටත් දියුණු කිරීමට 1992 දී යෝජනාවක් ඉදිරිපත් කළේය. ඔහුගේ අපේක්ෂාව වූයේ ආරම්භයේ දී කොළඹ විශ්ව විද්‍යාලය, විවෘත විශ්ව විද්‍යාලය හා මොරටුව විශ්ව විද්‍යාලය IP ජාලයක් ලෙස සම්බන්ධ කිරීමයි. ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගම තුළින් අවශ්‍ය සබඳතාව ලබා ගැනීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම රුපියල් මිලියන තුනක් ලබා දුන්නේය.

ඒ වන විට ප්‍රකාශ තන්තු සබඳතා මෙහි නො තිබූ බැවින් මහාචාර්ය ඉඳුරුව හා ඔහුගේ කණ්ඩායම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් 64 Kbps රේඩියෝ සබඳතා ලබා ගත්තේය. මෙම සබඳතා ක්‍රියාත්මක වීමත් සමග මෙම (LEARN) ජාලය ශ්‍රී ලංකාවේ ප්‍රථම පුළුල් ප්‍රදේශ ජාලය (WAN) බවට පත් වූයේය.

1995 වන විට මෙම (LEARN) ජාලයත් (LEARNmail) තැපැලත් බොහෝ ජනප්‍රිය වී තිබුණි. මේ නිසා මහාචාර්ය ඉඳුරුව අදහස් කලේ අන්තර්ජාලයට ස්ථිර සබඳතාවක් ලබා ගැනීමට කාලය පැමිණ ඇති බවයි. මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාණිජ මට්ටමෙන් අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි විය. ශ්‍රී ලංකාවේ මෙම (ISP) සේවා ලබා දුන් පළමු සමාගම වූයේ ලංකා ඉන්ටර්නෙට් සමාගම වන අතර ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කැපවූ බදු මාර්ගයක් තුළින් ශ්‍රී ලංකාව, ගෝලීය අන්තර්ජාලයට සම්බන්ධ කළේය. මේ අනුව (LEARN) ජාලයට ද කැපවූ සබඳතාවක් ලබා දෙන ලද අතර 1995 දි එය ගෝලීය අන්තර්ජාලයට සම්බන්ධ කරන ලදී. අන්තර්ජාලයට සම්බන්ධ වීම සනිටුහන් කිරීමත්, පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ දහවැනි සංවත්සරය සැමරීමත් සඳහා නියෝජිතයන් 300ක් පමණ සහභාගී වූ තුන් දින සම්මන්ත්‍රණයක් (NetCon 95) සංවිධානය කරන ලදී. මහාචාර්ය ඉඳුරුව කියා සිටියේ “ක්ලෙමන්ට් ඇඩම්ස් මහතා, මහාචාර්ය ගිහාන් ඩයස්, මහාචාර්ය ලලිත් ගමගේ හා දිවංගත මහාචාර්ය සර්දා විජේසෝම වැනි මගේ ඉතා ක්‍රියාශූර ශිෂ්‍යයන් පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයට සම්බන්ධ කර ගැනීමට ලැබීම වාසනාවක්“ බවයි. මෙම ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූයේ ඔවුන්ගේ කැපවීම හා උත්සාහය නිසා බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

.LK වසම

ඉ-තැපැල් පද්ධතිය (LEARNmail) හඳුන්වා දීමේ ඊළඟ පියවර වූයේ ශ්‍රී ලංකාවේ දේශික කේත ඉහළ මට්ටමේ වසම (.LK) ලියාපදිංචි කිරීමයි. මෙහි තාක්ෂණික කටයුතු මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඉටු කළ අතර මහාචාර්ය ඉඳුරුව පරිපාලන කටයුතු සිදු කළේය. මෙම ලියාපදිංචියෙන් පසු විවිධ ආයතන සඳහා ධුරාවලික ඉ-තැපැල් ලිපින පටිපාටියක් අනුගමනය කරන ලදී. .LK යටතේ ඇති වසම් නාම දැන් .LK වසම් නාම අධිකාරියේ ලියා පදිංචි කෙරේ.

අන්තර්ජාල සමාජය

ජපානයේ කෝබේ නගරයේ පවත්වන ලද අන්තර්ජාල සමාජයේ අනුග්‍රහය යටතේ සංවිධානය කළ දෙවැනි (INET) සම්මන්ත්‍රණය 1992 ජුනි මාසයේ පවත්වන ලද අතර මහාචාර්ය අභය ඉඳුරුව එහි මුල්ම සාමාජිකයෙක් විය.

ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL)

ශ්‍රී ලංකා පරිගණක සංගමයේ මහ මණ්ඩලයේ 1990 සිට 1996 දක්වා සේවය කළ මහාචාර්ය ඉඳුරුව එම කාලය තුළ සංගමයේ වාර්ෂික සම්මන්ත්‍රණයේ කාර්ය වාර්තා කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කළේය. 1995 වර්ෂයේ කොළඹ පැවැත්වූ හා ශ්‍රී ලංකා පරිගණක සංගමය සත්කාරක සේවා සැපයූ (SEARCC ’95) අන්තර්ජාතික සම්මේලනයේ කාර්ය වාර්තා කමිටුවේ සභාපති ලෙස කටයුතු කළේ මහාචාර්ය ඉඳුරුවයි. තාක්ෂණික ලිපි 51 සමන්විත මෙම වාර්තාව ඔහු විසින් සංස්කරණය කර පළ කරන ලදී.

මෙම සම්මන්ත්‍රණයේ එක් අංගයක් ලෙස වෛද්‍ය තොරතුරු පද්ධති පිලිබඳ සාකච්ඡාවක් සංවිධානය කරන ලද අතර වෛද්‍ය දත්ත සමුදාය පද්ධතිවලට මාර්ග ගත ව ප්‍රවේශ වන ආකාරය වෛද්‍ය වෘත්තිකයන්ට පැහැදිලි කරන ලදී. “දෘශ්‍ය මානව ව්‍යාපෘතියේ දර්ශන ඔවුන්ට පෙන්වු අතර තථ්‍ය කාල වර්ණ ප්‍රතිබිම්බ දැක ගැනීමට ලැබීම ඔවුන්ට විස්මයකාරී අත්දැකීමක් වූයේ ය” යි මහාචාර්ය ඉඳුරුව කියා සිටියේය. රටේ පරිගණක අධ්‍යාපනයට හා තොරතුරු තාක්ෂණ කර්මාන්තයට ඔහුගෙන් වූ සේවයට ගරු කිරීමක් ලෙස 2003 වර්ෂයේදි ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ගරු අධි සාමාජිකත්වය පිරිනමන ලදී.

අන්තර්ජාල විශිෂ්ටයෝ

ශ්‍රී ලංකාවට ජාලකරණය හා අන්තර්ජාලය හඳුන්වා දීමෙන් හා ඉන් පසුව ලබා ගත් ජයග්‍රහණ තුලින් අද ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතයට ගන්නා සියලු දෙනාට කර ඇති සේවය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය අභය ඉඳුරුවට අන්තර්ජාල සමාජය විසින් ජීවිත කාල ජයග්‍රහණ සම්මානයක් ප්‍රදානය කරන ලදී. 2014 දී මහාචාර්ය අභය ඉඳුරුව අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරනු ලැබීය.

සමාප්තිය

මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ අන්කර්ජාලයේ පියා“ ලෙසයි. ඔහු විසින් හඳුනා ගෙන ඇති, උත්සාහ දරා ඇති හා ක්‍රියාත්මක කර ඇති කටයුතු, ශ්‍රි ලංකාවේ අන්තර්ජාල ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු බලපෑමක් කර තිබේ.

අවසාන වශයෙන් මහාචාර්ය ඉඳුරුව ප්‍රකාශ කළේ ඕනෑම රටක අන්තර්ජාල අනාගතය වන්නේ -ඊළග අන්තර්ජාල පිපිරුම් තරංගය ලෙස ඔහු හඳුන්වන- සියලු දේ ඇතුළත් වන අන්තර් ජාලය බවයි. මෙම සියලු දේ ඇතුළත් වන අන්තර්ජාලය (Internet of Things) හඳුන්වා දීමට අවශ්‍ය තාක්ෂණය එතරම් මිල අධික නොවන බැවින් ශ්‍රී ලංකාව මෙම අවස්ථාව මග නො හැරිය යුතු බව ඔහුගේ උපදෙසයි. මේ සඳහා අවශ්‍ය වන්නේ ව්‍යාපාරික මොඩලයක් හා කර්මාන්තය විසින් මෙම අවශ්‍යතාව හඳුනා ගැනීමත් ඒ සඳහා විසඳුමක් සකස් කර ගැනීමත් ය. එවැනි විසඳුමකට ශ්‍රී ලාංකිකයන්ගෙන් පමණක් නොව මුළු ලෝකයෙන් ම ඉල්ලුමක් ඇති අතර එය ශ්‍රී ලංකාවට ආදායමක් ලබා දෙන මාර්ගයක් ද වනු ඇත. 2016 අගෝස්තු 9 දින අවසන් වූ 34 වන ජාතික තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයේ දි මහාචාර්ය ඉඳුරුව ප්‍රධාන දේශනය පැවැත්වූයේ මෙම තේමාව යටතේ යි.
“මගේ ඊළඟ සිහිනය වන්නේ සයිබර් අපරාධ හා ආරක්ෂාව පිළිබඳ අධ්‍යාපනය, පුහුණුව හා පර්යේෂණ සඳහා වු විශිෂ්ට මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම“ යයි මහාචාර්ය ඉඳුරුව ප්‍රකාශ කළේය.