නිරන්ජන් ද සිල්වා මහතා

නිරන්ජන් ද සිල්වා මහතා මෙට්‍රොපොලිටන් කම්පියුටර්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා වන අතර ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඔහුගේ පළමු උපාධිය එක්සත් රාජධානියෙන් ලබා ගත්තේය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ශාස්ත්‍රපති (MBA) උපාධියක් ලබා ඇත. නිරන්ජන් 1981 පෙබරවාරි මාසයේදී ඉංජිනේරුවෙකු ලෙස මෙට්‍රොපොලිටන් සමූහයට සම්බන්ධ විය.
නිරන්ජන් මෙට්‍රොපොලිටන් සමාගමට සම්බන්ධ වන විට, බැංකු උපකරණ ලෙජර් කාඩ් සහ මුද්‍රණ යන්ත්‍ර සැපයීමේ ඒකාධිකාරිය තිබුණේ මෙට්‍රොපොලිටන් සමාගමටයි. 1982 දී ලංකා බැංකුව (BOC) ස්වයංකෘත (automate) කිරීමට තීරණය කිරීමෙන් පසුව ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් සහිත පරිගණකයක් ලබා ගැනීමට 1983 මුල් භාගයේදී ටෙන්ඩරයක් කැඳවූයේය. මෙට්‍රොපොලිටන් සමාගම මේ සඳහා ෆුජිට්සු ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් සමග කැනන් ඒඑස්-100 පරිගණකයක් ඉදිරිපත් කළේය. නිරන්ජන් ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම මෙට්‍රොපොලිටන් සමාගම සඳහා මෙම ටෙන්ඩරය දිනා ගැනීමට සමත් වුවද, ඔවුන් ඉදිරිපත් කරන විසඳුම ප්‍රායෝගිකව පෙන්වීම සඳහා ලංකා බැංකුව ලබා දුන්නේ සතියක කාලයක් පමණි. මෙය ආරම්භක ඉදිරි පියවරක් වූ අතර එය ලංකා බැංකුව සහ අනෙකුත් බැංකු පරිගණක ගත කිරීමේ ආරම්භය ද විය.
නිරන්ජන් ද සිල්වා මහතා ආරම්භ කළ තවත් අභියෝගාත්මක ව්‍යාපෘතියක් වූයේ විදුලි බිල්පත් සඳහා වූ “මාර්ගගත බිල්පත් ක්‍රමය” යි. මෙම ව්‍යාපෘතිය හරහා ලංකා විදුලිබල පුද්ගලික සමාගමේ (ලෙකෝ) පාරිභෝගිකයෙකුට විදුලි බිල ලබා දීමේ ක්‍රියාවලිය වෙනස් කරන ලද අතර එමඟින් බිල්පත තැපැල් කිරීම වෙනුවට මීටර කියවන්නා පාරිභෝගිකයාගේ නිවසට ගිය අවස්ථාවේම පාරිභෝගිකයාට බිල්පත ලැබුණි. නිරන්ජන් ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම මෙම ටෙන්ඩරයද මෙට්ට්‍රොපොලිටන් සමාගමට ලබා ගත්තේය.
නිරන්ජන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) ලේකම්වරයා ලෙස කටයුතු කර ඇති අතර ඔහු භාණ්ඩාගාරික, උප සභාපති සහ අවසානයේ එහි සභාපතිවරයා ද විය. ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) යටතේ නිරන්ජන් සම්බන්ධ වූ වඩාත්ම අභියෝගාත්මක කාර්යය වූයේ 1995 දී අග්නිදිග ආසියානු කලාපීය පරිගණක සම්මේලනය (SEARCC) සංවිධානය කිරීමයි.
නිරන්ජන් ද සිල්වා මහතා පවසන්නේ මෙට්‍රොපොලිටන් සමූහයේ සාමාජිකයෙකු වීමට ලැබීම සතුටට කරුණක් බවත් එය නව තාක්‍ෂණය හා නව විසඳුම් කෙරෙහි අවධානය යොමු කළ සමාගමක් බවත්ය. නිරන්ජන් මේ වන විට ජපන් සමාගමක් වන ‘ඇඩම් ඉනවේෂන්’ සමාගම සමග කටයුතු කරන අතර ජපානයේ පළමු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ උද්‍යානය ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ සමාගම් කිහිපයක් ද දැනටමත් එහි ක්‍රියාත්මක වේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

නිරන්ජන් ද සිල්වා මහතා අධ්‍යාපනය ලැබුවේ ශ්‍රී ලංකාවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ය. ඔහු එක්සත් රාජධානියෙන් ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ පළමු උපාධිය ලබා ගත් අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ශාස්ත්‍රපති (MBA) උපාධියක් ද ලබා ඇත. නිරන්ජන් එක්සත් රාජධානියේ උපාධිය ලබා ගැනීමෙන් පසු නැවත ශ්‍රී ලංකාවට පැමිණියේ “මව් බිම වැනි වෙනත් ස්ථානයක් නොමැති” බැවින් යයි කියා සිටී.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු නිරන්ජන් ද සිල්වා මහතා පවසන්නේ කුමන ක්ෂේත්‍රයට ඇතුළු විය යුතු ද යන්න ගැන අදහසක් නොතිබූ බවත්, තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත්‍රයට වැඩි කැමැත්තක් තිබුණත් වෙනත් විකල්ප ගැනද සලතා බැලූ බවයි.. ඔහු බොහෝ ආයතනවලටවලට අයදුම් කළ අතර බොහෝ දෙනෙක් ඔහු බඳවා ගැනීමට කැමති විය. මේවායින් සමහරක් තොරතුරු තාක්ෂණ සමාගම් වූ අතර සමහරක් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ නැති සමාගම් විය. 1981 පෙබරවාරියේදී ඔහු ඉංජිනේරුවෙකු ලෙස මෙට්‍රොපොලිටන් සමාගමට එක් විය. මෙම සමාගම එවකට හැඳින්වූයේ මෙට්‍රොපොලිටන් ඒජන්සිය ලෙසයි. මේ කාලයේ සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය වූයේ කාර්යාල උපකරණ සැපයීමයි. නිරංජන් මෙම සමාගම තෝරා ගැනිමට හේතු වූයේ සමූහය තුළ පරිගණක සමාගමක් ආරම්භ කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි බැවිනි.

මෙම කාලයේ පරිගණක එතරම් සුලබ නොවීය. ලංකාවේ දැකිය හැකි වූයේ අයිබීඑම්, වැන්ග්, එන්සීආර් සහ බරෝස් වැනි පරිගණක වර්ග කීපයක් පමණි. පුද්ගලික පරිගණක තිබුණේම නැත. වසර කිහිපයකට පසු සින්ක්ලෙයාර් නම් කුඩා පරිගණකයක් තිබී ඇති අතර එය පුද්ගලික පරිගණක භාවිතයේ පළමු පියවර විය.

නිරංජන් මෙට්‍රොපොලිටන් සමාගමට සම්බන්ධ වන විට, බැංකු උපකරණ එනම්, ලෙජර් කාඩ් සහ මුද්‍රණ යන්ත්‍ර ආදියේ ඒකාධිකාරී සැපයුම්කරු වූයේ මෙම සමාගමයි. මේ කාලයේ ගනුදෙනුකරුවකුගේ ගිණුම් විස්තර තිබුණේ ලෙජර කාඩ්පතකයි. අද බොත්තමක් එබීමෙන් බැංකුවකට ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරව ගනුදෙනුකරුවන්ගේ ගිණුම් තොරතුරු ක්ෂණිකව ලබා ගත හැකි නිසා මේ අතින් ලබා ඇති දියුණුව නිරන්ජන් අවධාරණය කරයි.

නැගෙනහිර ජර්මනියෙන් ආනයනය කරන ලද ‘රොබෝට්‍රොන්’ නම් යන්ත්‍රයක් මෙට්‍රොපොලිටන් සතුව තිබූ අතර ඒ යන්ත්‍ර සඳහා මෙට්‍රොපොලිටන් එකම සැපයුම්කරු විය. එකම තරඟකරුවා වූයේ ‘එන්.සී.ආර්. මිකැනිකල්’ යන්ත්‍රයයි.

ජාත්‍යන්තරව බැංකු ස්වයංකෘත කිරීම දෙසට ගමන් කරමින් සිටින බවත් ලෙජර් කාඩ්පත් භාවිතය ඉක්මනින්ම යල්පැන ගිය සංකල්පයක් විය හැකි බවත් 1982 දී, ලංකා බැංකුවට (BOC) අවබෝධ විය. මෙම නවීකරණ සැලසුම් වල පෙරමුණ ගෙන කටයුතු කළ ඉතා දක්ෂ පුද්ගලයින් දෙදෙනෙක් ලංකා බැංකුවේ සිටියහ. ඒ අභාවප්‍රාප්ත ආචාර්ය ආර්. බී. ඒකනායක සහ ජනක ද සිල්වා යන අයයි. ආචාර්ය ආර්. බී. ඒකනායක තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා වූ අතර ජනක ද සිල්වා මහතා ලංකා බැංකුවේ උපාය මාර්ග අංශ ප්‍රධානී ලෙස කටයුතු කළේය. ලංකා බැංකුව එක්වරම ස්වයංකෘත කළ නොහැකි බව ඔවුන් තේරුම් ගෙන තිබුණි. එවැන්නක් සිදු කළේ නම් වෘත්තීය සමිතිවල විරෝධය එල්ල වීමට ඉඩ තිබුණි. ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ පද්ධති හඳුන්වා දුන්නොත්, ඔවුන්ගේ “අතිකාල ගෙවීම්” අහිමි වනු ඇතැයි යන්න වෘත්තීය සමිති සාමාජිකයින්ගේ අදහස විය. ගනුදෙනුකරුවන් සඳහා බැංකුව ප.ව. 2.00 න් පසු වසා තැබූ අතර එතැන් සිට ප.ව. 6.00 හෝ 7.00 දක්වා බැංකු සේවකයන් විසින් ලෙජර කාඩ්පත් යාවත්කාලීන කරන ලදී. එක් අතකින් බැංකුව ස්වයංකෘත කිරීම අවශ්‍ය වූ අතර අනෙක් පැත්තෙන් වෘත්තීය සමිතිවලින් විශාල විරෝධයක් එල්ල වීම නිසා මෙය බරපතළ ප්‍රශ්නයක් විය.

මෙයට විසඳුමක් ලෙස, ආචාර්ය ආර්. බී. ඒකනායකගේ සහ ජනක ද සිල්වාගේ සැලසුම වූයේ අදියර කිහිපයකින් ස්වයංකෘත කිරීමයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 1983 මුල් භාගයේදී, ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් සහිත පරිගණකයක් ලබා ගැනීම සඳහා ලංකා බැංකුව විසින් ටෙන්ඩරයක් කැඳවන ලදී. ඔවුනට අවශ්‍ය වූයේ සියලුම වාර්තා පරිගණක ගත කර ලෙජර කාඩ්පත් මුද්‍රණ යන්ත්‍රයක් හරහා තොරතුරු යාවත්කාලීන කිරීම යී. මේ අනුව තොරතුරු තාක්ෂණය යොදා ගැනීමෙන් පසුවත් ලෙජරි කාඩ් භාවිතයට ගැනෙන බව වෘත්තීය සමිති සාමාජිකයන්ට සහතික කළ හැකි විය.

මෙට්‍රොපොලිටන් නියෝජනය කළේ කැනන් සමාගමයි. ලංකාවේ බැංකු ස්වයංකෘත කරන බව නිරන්ජන් ද සිල්වා සහ ඔහුගේ කණ්ඩායම කැනන් සමාගමට දැනුම් දුන්නේය. කැනන් සමාගම සතුව තිබූ මේ සඳහා එකම සුදුසු යන්ත්‍රය වූයේ ඒඑස් –100 පරිගණකයයි. කැනන් සමාගම ඔවුන්ට පරිගණකය සැපයිය හැකි නමුත් “ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක්” යනු කුමක්දැයි නොදන්නා බව නිරන්ජන් ද සිල්වා මහතාට දැනුම් දුන්නේය. කෙසේ හෝ මෙම ටෙන්ඩරය මෙට්‍රොපොලිටන් සමාගමට ලබා ගැනීම අවශ්‍ය වූ නිසා නිරන්ජන් ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායමේ උපදෙස් මත විශේෂිත ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් නිපදවන ලදී. ඔවුන්ගේ එකම තරඟකරුවා වූයේ ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් සහිත විශාල පරිගණකයක් තිබූ බරෝස් (ය. අවසානයේ, මෙම ටෙන්ඩරය සඳහා ෆුජිට්සු ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍රයක් සමග කැනන් ඒඑස් –100 පරිගණකයක් මෙට්‍රොපොලිටන් සමාගම ඉදිරිපත් කළේය. නිරන්ජන් ද සිල්වා මහතා සහ ඔහුගේ කණ්ඩායම ලංකා බැංකුවේ කණ්ඩායමට දන්වා සිටියේ මෙය විශේෂයෙන් ලංකා බැංකුව සඳහා නිර්මාණය කළ පද්ධතියක් බවයි. පසුව ලංකා බැංකුව මෙම පද්ධතිය ක්‍රියාත්මක කර පෙන්වන ලෙස ඉල්ලා සිටි අතර ඒ සඳහා නිරන්ජන්ට ලැබුණේ සතියක කාලයක් පමණි. මෙම යන්ත්‍ර ශ්‍රී ලංකාවේ නොතිබුණි. නිරන්ජන් තවත් සගයෙකු සමග හොංකොං නගරයට ගොස් යන්ත්‍රයක් ලබාගෙන එය ශ්‍රී ලංකාවට ගෙන ආවේය. මෙම ප්‍රායෝගික පරීක්ෂාව සඳහා ආචාර්ය ආර්. බී. ඒකනායක සහ ජනක ද සිල්වා මහතා නිරන්ජන් ද සිල්වා මහතාගේ කාර්යාලයට පැමිණෙන විට, සියල්ල සූදානම්ව තිබූ අතර පරීක්ෂාව ඉතා සාර්ථකව සිදු විය. ඒ අනුව මෙට්‍රොපොලිටන් සමාගම ටෙන්ඩරය දිනා ගත්තේය. මෙය ආරම්භක කඩඉමක් මෙන්ම වඩාත්ම අභියෝගාත්මක ව්‍යාපෘතියක් ද විය ලංකා බැංකුව සහ අනෙකුත් බැංකු පරිගණක ගත කිරීමේ ආරම්භක පියවර වූයේ එයයි.. කාලයාගේ ඇවෑමෙන්, ලංකා බැංකුව ලෙජර් කාඩ් මුද්‍රණ යන්ත්‍ර භාවිතය අතහැර දැමීය. පරිගණකගත කිරීමේ වාසි ඇති බව වෘත්තීය සමිති අවබෝධ කර ගත් අතර ඒ අනුව ලංකා බැංකුව සම්පූර්ණයෙන්ම ස්වයංකෘත පද්ධතියක් ස්ථාපිත කළේය.

විදුලි බිල්පත්

නිරන්ජන් ද සිල්වා මහතා ආරම්භ කළ තවත් අභියෝගාත්මක කාර්යයක් වූයේ විදුලි බිල්පත් ව්‍යාපෘතියයි. ඒ කාලයේ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අනුගමනය කළ ක්‍රියාවලිය වූයේ, විදුලි මීටර කියවන්නා පාරිභෝගිකයාගේ නිවසට ගොස් මීටර කියවීම සටහන් කරගෙන කාර්යාලයට පැමිණ පසුව බිල්පත මුද්‍රණය කර පාරිභෝගිකයාට තැපැල් කිරීමයි. මෙය ඉතා දීර්ඝ ක්‍රියාවලියක් විය. තමන්ට විදුලි බිල්පත් නොලැබුණු බවට සමහර අවස්ථාවන්හි පාරිභෝගිකයෝ පැමිණිලි කළෝය.. මේ නිසා ලංකා විදුලිබල සමාගමට (LECO) මෙම ක්‍රියාවලිය වෙනස් කිරීමට අවශ්‍ය විය. ඔවුන්ට හඳුන්වා දීමට අවශ්‍ය වූ නව ක්‍රමයට අනුව, මීටර කියවන්නා පාරිභෝගිකයාගේ නිවසට පැමිණ, මීටර කියවීම සටහන් කර, පෙර කියවීම සමගසංසන්දනය කර, ගණනය කර බිල්පත එකවරම පාරිභෝගිකයාට භාර දෙනු ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩරයක් කැඳවන ලදී. ඇගයීමෙන් පසු, ලංකා විදුලිබල සමාගමේ (LECO) “මාර්ගගත බිල්පත් ක්‍රමය” සඳහා වූ ටෙන්ඩරය මෙට්‍රොපොලිටන් සමාගම විසින් දිනා ගන්නා ලදී. අද වන විට ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ලංකා විදුලිබල සමාගම (LECO) යන ආයතන දෙකම “එතැනම” බිල් ගණනය කිරීම් සිදු කරන අතර, මීටර කියවීම සිදුකරන අවස්ථාවේ දී බිල්පත පාරිභෝගිකයාට භාර දෙනු ලැබේ. මුදල් ගලනයේ විශාල දියුණුවක් ඇති කිරීමට මෙය හේතු වී තිබේ. ඉතා අභියෝගාත්මක ව්‍යාපෘතියක් වු මෙය නිරන්ජන් සහ ඔහුගේ කණ්ඩායම විසින් සාර්ථකව නිම කරන ලද අතර ජල බිල්පත් ඇතුළු සියලුම උපයෝගිතා බිල්පත් සම්බන්ධයෙන් අදටත් එය ඉතා හොඳින් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘතියේ කටයුතු කිරීමේදී නිරංජන් ද සිල්වා මහතාට ලංකා විදුලිබල සමාගමේ උපදේශකයෙකු වූ යසා කරුණාරත්න මහතා හමු වූ‍යේය. ඔවුන් හොඳ මිතුරන් බවට පත් වූ අතර, ඒ අනුව යසා කරුණාරත්න මහතා නිරංජන් ද සිල්වා මහතාට ශ්‍රී ලංකා පරිගණක සංගමයට බැඳෙන ලෙස ආරාධනා කළේය.

ශ්‍රී ලංකා පරිගණක සංගමය

නිරන්ජන් ද සිල්වා මහතා පසුව ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) මහා මණ්ඩලයේ සේවය කළ අතර එහි බොහෝ තනතුරු දැරුවේය. ඔහු එහි ලේකම් විය. පසුව භාණ්ඩාගාරික හා උප සභාපති වූ අතර ලාල් චන්ද්‍රනාත් මහතාගෙන් පසු ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සභාපතිවරයා ද විය. පරිගණක සංගමයට සම්බන්ධ වීම ගැන නිරන්ජන් සැබවින්ම සතුටු වන්නේ ඒ මගින් ඔහුට වෘත්තිකයන් සමග වැඩ කිරීමේ අවස්ථාව ලැබුණු බැවිනි.

කෙනෙකුගේ වෘත්තිය සංවර්ධනයේදී ජාලකරණයේ වැදගත්කම ඔහු අවධාරණය කරයි. ඔහු තරුණ පරම්පරාවට දෙන උපදෙස නම් තනිවම වෘත්තීය ඉණිමඟේ ඉහළට යා නොහැකි බවත්, ජාලගත කිරීම අවශ්‍ය බවත්, ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL), ඕස්ට්‍රේලියානු පරිගණක සංගමය (ACS) සහ බ්‍රිතාන්‍ය පරිගණක සංගමය (BCS) වැනි වෘත්තීය සංවිධානවලට සම්බන්ධ විය යුතු බවත්ය.

ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) යටතේ නිරංජන් සම්බන්ධ වූ වඩාත්ම අභියෝගාත්මක කාර්යයන්ගෙන් එකක් වූයේ 1995 දී අග්නිදිග ආසියානු කලාපීය පරිගණක සම්මේලන (SEARCC) සමුළුව සංවිධානය කිරීමයි. යසා කරුණාරත්න මහතාට අවශ්‍ය වූයේ මෙතෙක් පැවති හොඳම (SEARCC) සමුළුව සංවිධානය කිරීමටයි. නිරංජන් ද සිල්වා මහතා පවසන්නේ කරුණාරත්න මහතාට “විශාල සිහින හා විශාල දැක්මක්” තිබූ බවත් කෙසේ හෝ ඔහු ඒවා සාක්ෂාත් කර ගත් බවත්ය. ශ්‍රී ලංකා පරිගණක සංගමයේ මහා මණ්ඩල රැස්වීමකදී මෙම සමුළුවේ සත්කාරකත්වය සැපයිය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර ශ්‍රී ලංකාවේ ප්‍රවර්ධන කණ්ඩායමක් පාකිස්තානයට යැවිය යුතු බවට නිර්දේශයක් ඉදිරිපත් කරන ලදී. මෙම (SEARCC) සමුළුව පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ එය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට පෙර වර්ෂයේදී ය. නමුත් 1995 දී පවා පාකිස්තානයට ප්‍රවර්ධන කණ්ඩායමක් ගෙන යාම සඳහා රු. 300,000.00 ක් පමණ අවශ්‍ය වූ බව නිරංජන් පවසයි. මෙයට විසඳුමක් ලෙස නව්‍ය අදහසක් ඉදිරිපත් කරමින් නිරන්ජන් කියා සිටියේ පාකිස්තානයේ සංචාරය කරන සංගමයේ සාමාජිකයින් විසින් මෙම ප්‍රවර්ධනය සිදු කළ යුතු බවයි. මෙය මුලදී සාමාජිකයන් අතර නොසන්සුන්තාවයක් ඇති කළ නමුත් පසුව විධායක සභාව නිරන්ජන් ගේ සැලැස්ම ඒකමතිකව අනුමත කළේය. ආචාර්ය ආර්. බී. ඒකනායක, නයනී ප්‍රනාන්දු, කනිෂ්ක සුගතදාස, යසා කරුණාරත්න, පීටර් ද අල්මේදා සහ මහාචාර්ය අභය ඉන්දුරුව යන අය මෙයට සහභාගී වූ බව නිරන්ජන් සිහිපත් කරයි. මෙම ප්‍රවර්ධන වැඩසටහන පාකිස්තානයේ කරච්චි නගරයේ ජින්නා ක්‍රීඩාංගනයේ පැවැත්වූ අතර එය මෙතෙක් පැවති හොඳම (SEARCC) ප්‍රවර්ධන වැඩසටහන ලෙස ඇගයීමට ලක් වී තිබේ. මේ සඳහා නිරංජන් ද සිල්වා මහතා ධෛර්යමත් කළ පුද්ගලයා වුයේ යසා කරුණාරත්න මහතායි. තමාට ලැබුණු සියලු දිරිගැන්වීම් පිළිබඳව යසා කරුණාරත්න මහතාට කෘතඥතාව පළ කරන බව නිරන්ජන් ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

නිරන්ජන් ද සිල්වා පරිගණක සංගමයේ සභාපති වන විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් ප්‍රධාන ආයතන තුනක් තිබුණි.. ඒවා නම් තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරන රජයේ ඉහළම ආයතනය වූ පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC), වෘත්තීය සංවිධානය වූ ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) හා වාණිජ ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ කර්මාන්ත සම්මේලනයයි (FITIS) ඒ වන විට මෙම සංවිධාන තුන ක්‍රියාත්මක වුයේ සම්බන්ධීකරණයකින් තොරව වෙන් වෙන්වයි. නිරන්ජන් ද සිල්වා මහතාටමෙම සංවිධාන තුන එකට වැඩ කර වීමට අවශ්‍ය විය.

ඒවිට ඔවුන්ට තවත් බොහෝ දේ අත්කර ගත හැකි වන බව නිරන්ජන් ද සිල්වා මහතාට අවබෝධ විය. ශ්‍රී ලංකා පරිගණක සංගමයේ (CSSL) සභාපති ධුරය දැරූ පළමු වසර අවසානයේදී තොරතුරු සන්නිවේදන තාක්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා මෙම සංවිධාන තුන එක්ව වැඩ කරන තත්වයට ගෙන ඒමට සමත් වූ බව ඔහු පවසයි.

තාක්‍ෂණය සම්බන්ධයෙන් නිරන්ජන් ද සිල්වා මහතා පවසන්නේ 1981 දී ඔහු මෙට්‍රොපොලිටන් සමාගම හා සම්බන්ධ වන විට පුද්ගලික පරිගණක නොතිබූ නමුත් කුඩා සින්ක්ලෙයාර් පරිගණකයක් තිබූ බවත් ඉන් පසුව ‘රේඩියෝ ෂැක්’ පරිගණක වෙළදපොලට ආ බවත් මෙට්‍රොපොලිටන් සමාගම කැනන් පරිගණක අලෙවිය ආරම්භ කළ බවත්ය. කැනන් පරිගණක වෙළඳපොලෙන් ඉවතට යන විට මෙට්‍රොපොලිටන් සමාගමේ සභාපති ජේ. ජේ. අම්බානි මහතාගේ සහාය ඇතිව නිරංජන් ද සිල්වා මහතා ඒසර් (ACER) පරිගණක ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේය. ඒ මීට වසර 25 කට පමණ පෙරයි. වසර හතරක් ඇතුළත ශ්‍රී ලංකාවේ හොඳම වෙළඳ නාම තුනෙන් එකක් බවට ලත්වීමට ඒසර් (ACER) පරිගණකයට හැකි වූයේය.

නිරංජන් ද සිල්වා මහතා පවසන්නේ මෙට්‍රොපොලිටන් සමූහයේ සාමාජිකයෙකු වීමට ලැබීම ගැන තමා සතුටට පත්වන බවයි. මන්ද එය සෑම විටම නව තාක්‍ෂණය හා නව විසඳුම් කෙරෙහි අවධානය යොමු කළ සමාගමක් වූ බැවිනි. මෙය ඉතා අත්‍යවශ්‍ය වේ. ඔහු සංක්ෂිප්තව පවසන්නේ “ඔබට මෙතැනට ඒමට උපකාරී වූදේ ඔබ එතැනට ගෙන නොයනු ඇත!” යනුවෙනි. ශ්‍රී ලංකාව වඩා හොඳ ස්ථානයක් බවට පත් කිරීම සඳහා නව්‍යකරණය, වඩා හොඳ හා අලුත් දේ කිරීමේ ක්‍රම ගැන සිතීම සහ නව තාක්‍ෂණය උපයෝගී කර ගැනීම අවශ්‍ය වේ. නිරන්ජන් පවසන්නේ ශ්‍රී ලංකාවට හොඳ කුසලතාවන් ඇති බවයි. ඔහු මේ වන විට ‘ඇඩම් ඉනොවේෂන්’ නම් ජපන් සමාගමක් සමග වැඩ කරන අතර ජපානයේ පළමු ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ උද්‍යානය ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා සමාගම් කිහිපයක් දැනටමත් එහි ක්‍රියාත්මක වේ. අවසාන වශයෙන්, නිරන්ජන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ සෑම කෙනෙකුම වඩාත් ශුභවාදී විය යුතු බවත්, ධනාත්මකව සිතිය යුතු බවත්, මහා පරිමාණයෙන් සිතිය යුතු බවත් වේගයෙන් ඉදිරියට යා යුතු බවත්ය.