ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා

ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ සාන්ත බෙනඩික් විද්‍යාලයේ හා පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේය. පරිගණක පිළිබඳ ඔහුගේ උනන්දුව ඇති වූයේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ශිෂ්‍යයෙක් ලෙස 1967 දී ප්‍රතිසම පරිගණකයක් භාවිතා කරමින් පැවරුමක් කිරීමට සිදු වූ අවස්ථාවේයි.

බෙල්ජියන් රජයෙන් පිරිනැමුණු ශිෂ්‍යත්වයක් යටතේ 1979/80 දී ප්‍රනාන්දු මහතා තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ දී (AIT) පරිගණක යෙදුම් හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේ ය. ඔහුගේ නිබන්ධයේ මාතෘකාව වූයේ “ශ්‍රී ලංකාවේ පරිගණක යෙදුම් සඳහා ඇති සම්පත් පිළිබඳ සමික්ෂණය“ යන්නයි. මෙහි ක්ෂේත්‍ර කටයුතු සඳහා අරමුදල් සපයන ලද්දේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අයිබීඑම් වර්ල්ඩ් ට්‍රේඩ් කෝපරේෂන් මගිනි. මෙම උපාධිය ලබා ගැනීමෙන් පසු ප්‍රනාන්දු මහතා 1980 අග භාගයේ දී ශ්‍රී ලංකාවේ අයිබීඑම් (IBM) සමාගමට බැදුණි. විවිධ තනතුරු දරමින් 2012 දක්වා අවුරුදු 32ක් ඔහු ඉන්දියාව, හොංකොං, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ අයිබීඑම් සමාගමේ සේවය කර තිබේ. අවසාන අවුරුදු හතරේ දී ප්‍රනාන්දු මහතා අයිබීඑම් (IBM) සමාගමේ කාර්ය මණ්ඩල පුහුණු කරුවෙක් ලෙස ලෝකයේ විවිධ ස්ථානවලට සංචාරය කර තිබේ.

ප්‍රනාන්දු මහතා කියා සිටින්නේ ඔහුගේ ජීවිතය, 1968 වසරේ සිට ශ්‍රී ලංකාවේ පරිගණක ඉතිහාසයට සමාන්තරව දිව යන බවයි. ඔහු ලංකාවේ මුලින් ම ක්‍රියාත්මක වූ අයිසීඑල් (ICL) පරිගණක වල සිට වෑන් මධ්‍ය (WANG Mini) පරිගණක හරහා අයිබීඑම් (IBM) පරිගණක දක්වා ලංකාවේත් පිටරටත් කටයුතු කර තිබේ. 

ප්‍රනාන්දු මහතා 1967 සිට 1973 දක්වා කාලය තුළ ආධුනික පරිගණක ඉන්ජිනේරුවෙක්, පරිගණක ඉන්ජිනේරුවෙක් හා අයිසිඑල් (ICL) ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන පරිගණක ඉන්ජිනේරු ලෙසත් සේවය කර ඇත. 1973 සිට 1976 දක්වා කාල තුළ ඉන්දුනීසියාවේ අයිසීඑල් (ICL) සමාගමේ පරිගණක ඉන්ජිනේරු කළමනාකරු ලෙස සේවය කළේය. අයිබීඑම් (IBM) ශ්‍රී ලංකා ආයතනයේ ආධුනික නියෝජිතයෙක්, නියෝජිතයෙක් හා 1980 සිට 1985 දක්වා අලෙවි කළමනාකරු ලෙස ද 1988-90 කාලයේ පාරිභෝගික මෙහෙයුම් කළමනාකරු ලෙසද 1995 සිට 1998 දක්වා සාමාන්‍යාධිකාරී ලෙසද කටයුතු කර තිබේ. 1986 සිට 1988 දක්වා අයිබීඑම් (IBM) සමාගමේ අග්නිදිග ආසියානු කලාපයේ ව්‍යාපාර සැලසුම් කළමනාකරු ලෙස ද 1993 සිට 1995 දක්වා අයිබීඑම් ආසියාන් (IBM ASEAN) හි සන්නාම කළමනාකරු ලෙසද 1998 සිට 2008 දක්වා අයිබීඑම් ආසියා පැසිෆික් හි පොදු ව්‍යාපාර කළමනාකරු ලෙසද 2009 සිට 2012 දක්වා අයිබීඑම් වර්ල්ඩ්වයිඩ් (IBM World Wide) හි අලෙවි හා ඉගෙනුම් පහසුකරුවෙක් ලෙසද සේවය කර තිබේ.

2004 වර්ෂයේ සිට ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරයි. ඔහු ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ආරම්භක අධ්‍යක්ෂවරයෙක් මෙන් ම හිටපු මහ මණ්ඩල සාමාජිකයෙක් වේ. වෘත්තිය වශයෙන් ප්‍රනාන්දු මහතා වරලත් ඉන්ජිනේරුවෙක්, පරිගණක සංගමයේ අධි සාමාජිකයෙක් හා සිංගප්පූරුවේ බේරුම්කරුවන්ගේ ආයතනයේ අධි සාමාජිකයෙක් ද වේ. ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයේ සහතික ලත් කුසලතා ඇගයුම් කරුවකු ද වන ප්‍රනාන්දු මහතා රටවල් 8ක ජීවත් වෙමින් වැඩ කර ඇති බැවින් තමා ලෝක පුරවැසියෙක් ලෙස සලකයි.

 කෙටි විඩියෝව

සම්පූර්ණ විඩියෝව


පරිගණක පිළිබඳ ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතාගේ උනන්දුව ඇති වුයේ පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ ඉන්ජිනේරු ශිෂ්‍යයෙකු ලෙස 1967 දී පැවරුම් ව්‍යාපෘතියක් සඳහා ප්‍රතිසම පරිගණකයක් භාවිතා කිරීමට සිදුවු අවස්ථාවේයි. ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා අධ්‍යාපනය ලැබුවේ කොළඹ කොටහේනේ සාන්ත බෙනඩික් විද්‍යාලයේ හා පේරාදෙණියේ ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයේය.

පාසලේ නම වැනි වසරේ දී ඔහු ගණිත අංශයට යොමු කළේ එක්සත් රාජධානියේ හා ශ්‍රී ලංකාවේ විදුලි ඉන්ජිනේරුවෙක් ලෙස වැඩ කර ඇති ඔහුගේ පියා වූ පී. සී. ප්‍රනාන්දු මහතා විසිනි. ඔහුට ඉන්ජිනේරුවෙක් වීමට මග පෑදුවේ එය යි.

වරලත් සහතිකය ලබා ගැනීමට පිළිගත් ඉන්ජිනේරු ආයතනයක වැඩ කිරීම අවශ්‍ය විය. මේ නිසා ශ්‍රී ලංකාවේ පිළිගත් ඉන්ජිනේරු ආයතනයක් වන වෝකර් සන්ස් (Walker Sons & Company) සමාගමේ ගණකාධිකාරීවරයෙක් වූ ඇන්ටන් සමරසිංහ මහතාගෙන් ඒ ගැන විමසා සිටියේය. සමරසිංහ මහතා ඔහු යොමු කළේ සීමාසහිත ඔෆිස් ඉක්විප්මන්ට් (OEL) සමාගමටයි. එය එක්සත් රාජධානියේ ඉන්ටර්නැෂනල් කොම්පියුටර්ස් ඇනඩ් ටැබියුලේටර්ස් සමාගමේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා විය. වෝකර්ස් සමාගමේ පාලිත සමාගමක් වූ සිමාසහිත කොම්පියුටර් සිස්ටම්ස් (CSL) සමාගම අයිසිඑල් (ICL) පරිගණකයක් ඇණවුම් කර තිබූ බැවින් ඔෆිස් ඉක්විප්මන්ට් සමාගම ආධුනික ඉන්ජිනේරුවන් බඳවා ගැනිමට බලාපොරොත්තු විය. එක්සත් රාජධානියේ අයිසිඑල් සමාගම විසින් පැවැත්වූ අභියෝග්‍යතා පරීක්ෂාවකින් ප්‍රනාන්දු මහතා ඉහළම ලකුණු ලබා තිබූ බැවින් ඔහුට ආධුනික පරිගණක ඉන්ජිනේරුවෙක් ලෙස පත්වීමක් ලැබුණි.

අයිසිඑල් (ICL) සිලෝන්

පුහුණුව සඳහා එංගලන්තයට යවන ලද ප්‍රනාන්දු මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණියේ 1968 දී ය. ඉන් පසු ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරුවෙකු වූ බ්‍රයන් පිටවල මහතා සමග ඔහු රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ තිබු අයිසිඑල් පරිගණකයත් (ICL 1901S), වෝකර්ස් සමාගමේ අයිසිඑල් (ICL 1901) පරිගණකයත් නඩත්තු කලේය. ෆොර්ඩ් රෝඩ්ස් සමාගමේ පාලිත සමාගමක් වූ සිමාසහිත ඒම්එස් ඩේටා සර්විසස් (AMS Data Services) සමාගම මිලදි ගත් අයිසිඑල් පරිගණකය (ICL 1901A) කොළඹ කොල්ලුපිටියේ ඔවුන්ගේ කාර්යාලයේ සවි කරන ලද්දේ ප්‍රනාන්දු මහතා විසිනි.

විශාල හා තීරණාත්මක සැකසුම්

මුල් පරිගණක යොදා ගන්නා ලද්දේ විශාල හා තීරණාත්මක දත්ත පරිමාවන් සැකසීම සඳහායි.

“ශල්‍ය කර්මය සාර්ථක වුවත් රෝගියා මිය ගියේය“ යි වෛද්‍යවරයෙකුට කිව හැකි වුවත් පරිගණක ඉන්ජිනේරුවෙක් හැම විටම පද්ධතිය ක්‍රියාත්මක ව පවත්වා ගත යුතු බව ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. එසේ නොවුණ හොත් වැටුප් ලේඛනය මුද්‍රණය කර ගැනීමට නො හැකි වීමෙන් කම්කරු වැඩවර්ජනයක් හෝ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට නො හැකි වුව හොත් රටේ විශාල අවුලක් ඇති වනු නොඅනුමානයි. තේ අපනයන ලේඛන නියම වේලාවට මුද්‍රණය කර ගත නො හැකි වුවහොත් එය ආර්ථික අවුලකට හේතු වන ඇත. මෙය පැහැදිලි කිරීමට ඔහු සිද්ධීන් දෙකක් සඳහන් කරයි. වරක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ වැටුප් ලේඛනය මුද්‍රණය කරන යන්ත්‍රය ක්‍රියා විරහිත විය. වරද තිබුණේ ක්ෂුද්‍ර ජියර් පෙට්ටියකයි. මරදානේ ඩීන්ස් පාරේ ටැක්සි මීටර සාදන ස්ථානයකට එය ගෙන ගිය විට ඔවුන් එය වහාම සාදා දුන්නේය. මේ නිසා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයන් දහස් ගණනකගේ වැටුප් පත්‍රිකා නියම වේලාවට මුද්‍රණය කර ගත හැකි විය. ඒඑම්එස් (AMS) සමාගම මිලදි ගත් පරිගණකය සවි කරද්දී එහි ප්‍රධාන මතකය දෝෂ සහිත බව පෙනුණි. ඒ වෙනුවට තවත් මතක ගබඩාවක් එක්සත් රාජධානියේ අයිසිඑල් සමාගම ගුවනින් එවා තිබු අතර ඔවුන් එහි අගය බ්‍රිතාන්‍ය පවුම් හාර දහසක් බව ප්‍රකාශ කර තිබුණි. ශ්‍රී ලංකා රේගුව මෙය නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මෙය මර්සිඩීස් බෙන්ස් රථයකටත් වඩා මිල අධික බැවින් මේ සඳහා විශේෂ ආනයන බලපත්‍රයක් අවශ්‍ය බවයි. ඉහළ බලධාරීන්ට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු මේ සඳහා විදේශ විනිමය යැවීමක් සිදුවී නැති බැවින් එය නිදහස් කරන ලදී.

ඉන්දුනිසියාවේ අයිසීඑල් සිලෝන්

ගනුදෙනුකරුවන්ගේ පැමිණිලිවලින් තොර ව ශ්‍රී ලංකාවේ පරිගණක සාර්ථක ලෙස නඩත්තු කිරීම පිළිබඳ ඉතා හොඳ වාර්තාවක් අයිසීඑල් සිලෝන් සමාගමට තිබුණි. මේ නිසා ජකර්තාවේ මධ්‍යම සංඛ්‍යාලේඛන කාර්යාංශයේ අයිසිඑල් පරිගණක නඩත්තු කිරීම ශ්‍රී ලංකාවේ ආයතනයට පවරන ලදී. මිලියන 100 ක් පමණ වු ජනගහණයේ සංගණන පත්‍ර කියවිය හැකි අධිවේගී ලේඛන කියවනයක් එහි තිබුණි. එවකට අයිසිඑල් සිලෝන් හි ප්‍රධාන පරිගණක ඉන්ජිනේරු පදවිය දැරූ ප්‍රනාන්දු මහතා වැඩිදුර පුහුණුව සඳහා 1973 වර්ෂයේ දී එංගලන්තයට යවන ලදී. ඉන් පසු 1974-1976 දක්වා ඔහු ඉන්දුනීසියාවේ පරිගණක ඉන්ජිනේරු කළමනාකරු ලෙස සේවය කළේය. පරිගණක ක්ෂේත්‍රයේ ආසියාවේ සමහර රටවලට වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාව සිටි බවට මෙය එක් උදාහරණයකි.

ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම්ස් සමාගම (DMS)

වෑන් මධ්‍ය (WANG Mini) පරිගණක සඳහා ශ්‍රී ලංකාවේ එකම නියෝජිතයා වූයේ මෙම සමාගමයි. ශ්‍රී ලංකාවේ පළමුවැනි අන්තර් ක්‍රියාකාරී පරිගණකය වූ වෑන් (WANG) 2200 T යන්ත්‍රයක් සතිපතා තේ වෙන්දේසියේ ලේඛන සකස් කිරීමට ජැෆර්ජී බ්‍රදර්ස් සමාගමට අලෙවි කළේය. ප්‍රනාන්දු මහතාට වෑන් පරිගණක පිළිබඳ පුහුණුවක් හොංකෙංවලදී ලබා දෙන ලදී.

තෘතීය අධ්‍යාපනය

බෙල්ජියන් රජයේ ශිෂ්‍යත්වයක් යටතේ ප්‍රනාන්දු මහතා 1979/80 දී තායිලන්තයේ ආසියානු තාක්ෂණික ආයතනයෙන් (AIT) පරිගණක යෙදුම් හා කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තේය. ඔහුගේ අවසන් වසරේ ශාස්ත්‍රපති නිබන්ධය වූයේ “ශ්‍රී ලංකාවේ පරිගණක යෙදුම් සඳහා සම්පත් පිළිබඳ සමීක්ෂණය“ යන්නයි. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා අයිබීඑම් වර්ල්ඩ් ට්‍රේඩ් කෝපරේශන් හි ශ්‍රී ලංකා ශාඛාව විසින් ක්ෂේත්‍ර කටයුතු සඳහා අරමුදල් සපයන ලදී. ශ්‍රී ලංකාවේ පරිගණක භාවිතයේ මුල් කාලය පිළිබඳ කරුණු මෙම නිබන්ධය මත පදනම් වේ.

අයිබීඑම් වර්ලඩ් ට්‍රේඩ් කෝපරේෂන්

ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් පසු 1980 අග භාගයේදී ප්‍රනාන්දු මහතා අයිබීඑම් ශ්‍රී ලංකා සමාගමට බැඳුණේය. ඉන්දියාව, හොංකොං, සිංගප්පූරුව හා ශ්‍රී ලංකාවේ විවිධ තනතුරු දරමින් 2012 වන තුරු ඔහු අවුරුදු 32ක් අයිබීඑම් සමාගමේ සේවය කර තිබේ.

වෘත්තීය ඉතිහාසය

මුලින්ම අයිසීඑල් සමාගමේත් ඉන් පසු ඩීඑම්එස් සමාගමේත් අවසානයේ අයිබීඑම් සමාගමේත් ගතවූ ඔහුගේ ජීවිතය ශ්‍රී ලංකාවේ පරිගණක ඉතිහාසයට සමාන්තරව යන බව ප්‍රනාන්දු මහතා කියා සිටී.

අයිසීඑල් සිලෝන් : ආධුනික පරිගණක ඉන්ජිනේරු, පරිගණක ඉන්ජිනේරු හා ප්‍රධාන පරිගණක
ඉන්ජිනේරු (1967-1973)

ඉන්දුනීසියාවේ අයිසිඑල් සිලෝන් : පරිගණක ඉන්ජිනේරු කළමනාකරු 1973-1976

AIT ශාස්ත්‍රපති උපාධිය : “ශ්‍රී ලංකාවේ පරිගණක යෙදුම් සඳහා ඇති සම්පත් පිළිබඳ සමීක්ෂණය”
1979-1980

අයිබීඑම්, ශ්‍රී ලංකා : ආධුනික නියෝජිත, නියෝජිත, අලෙවි කළමනාකරු 1980-1985
පාරිභෝගික මෙහෙයුම් කළමනාකරු 1988-90; දේශීය අධ්‍යක්ෂ 1995-98

විදේශවල දරු තනතුරු: අයිබීඑම් දකුණු ආසියා කලාපයේ ව්‍යාපාර සැලසුම් කළමනාකරු 1986-88
අයිබීඑම් ආසියාන් – AS/400 සන්නාම කළමනාකරු 1993-95
අයිබිඑම් ආසියා පැසිෆික් – පොදු ව්‍යාපාර- සන්නාම නියෝජිත 1998-2008
අයිබීඑම් වර්ලඩ් වයිඩ් – අලෙවි ඉගෙනුම් පහසුකාරක 2009-12

අනිකුත් තනතුරු ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශාස්ත්‍රපති පාඨමාලාවේ බාහිර කථිකාචාර්ය

ශ්‍රී ලංකා පරිගණක සංගමයේ ආරම්භක අධ්‍යක්ෂ හා මහාමණ්ඩල සාමාජික
ඕස්ට්‍රේලියානු පරිගණක සංගමයේ වරලත් ඇගයුම්කරු
අයිබීඑම්, ඉන්දියා -අයිබීඑම් සමාගම නැවත ඉන්දියාවට ගෙන ගිය කණ්ඩායමේ
අක්වෙරළ ගිණුම් කළමනාකරු 1991
අයිබීඑම් සිංගප්පූරුව -AS/400 සන්නාම කළමනාකරු 1992

ආරම්භය – ICT 558

ලංකාවේ පළමුවෙන්ම ඉලෙක්ට්‍රොනික පරිගණකයක් භාවිතයට ගත්තේ වෝකර් ඇන්ඩ් සන්ස් සමාගම
බව ප්‍රනාන්දු මහතා සිහිපත් කරයි. ICT 558 පද්ධතියක් වූ මෙය එම සමාගමේ වැටුප් හා ඉන්වෙන්ටරි පාලනය සඳහා යොදා ගැනුණි. එය ක්‍රියාත්මක වූයේ ප්‍රධාන මූල්‍ය නිලධාරියා මෙන් ම බ්‍රිතාන්‍ය ජාතිකයෙක් වූ හේහර්ට්ස් හා ගණකාධිකාරී වු ඇන්ටන් සමරසිංහ යන මහතුන් යටතේයි. මෙම පද්ධතිය කපාට හා ට්‍රාන්සිස්ටර්වලින් සමන්විත වූ අතර දත්ත හා ක්‍රමලේඛන සඳහා මතක ගබඩා තිබුණි. එහි තීරු 40 කාඩ්පත් ආදාන ප්‍රතිදාන යන්ත්‍රණයක් හා සැකසූ ප්‍රතිඵල මුද්‍රණය කිරීමට මුද්‍රකයක්ද විය. මෙම යන්ත්‍රය නඩත්තු කරන ලද්දේ පොලිසියේ රේඩියෝ ඒකකයේ ඉන්ජිනේරුවෙක් වූ රෙන්ගනාදන් මහතා විසිනි. පසුව ඔෆිස් ඉක්විප්මන්ට් සමාගමේ සේවය කළ රෙන්ගනාදන් මහතා ශ්‍රී ලංකාවේ පළමුවැනි පරිගණක දෘඪාංග ඉන්ජිනේරුවා ලෙස සැලකිය හැකියි.

දෙවැනි පරම්පරාවේ පරිගණක – ICL 1901

දෙවැනි පරම්පරාවේ පරිගණකයක් වූ විද්‍යාත්මක කාර්ය දෘඪාංග සහිත ICL 1901S පරිගණකයක් 1967 දී රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සවි කරන ලදී. මෙම පද්ධතිය ට්‍රාන්සිස්ටර් තර්ක පරිපථ, චුම්බක පටි ධාවක, තේරීම් හා අධිලේඛන පහසුකම් හා විශාල මුද්‍රිත ලබා ගත හැකි අධි වේගී මුද්‍රකයකින්ද සමන්විත විය. මෙය එවකට සංස්ථාවේ සභාපති වූ ඒ එන් එස් කුලසිංහ මහතාගේ අනුග්‍රහයෙන් කෙරුණු අතර දත්ත සැකසුම් කළමනාකරු වූයේ මහාචාර්ය සෑම් කරුණාරත්නයි. ඉන්ජිනේරු සංස්ථාවේ සියලුම ගිණුම් කටයුතු (PLAN Assembler), ව්‍යාපෘති පාලන කටයුතු (PERT) හා ඉන්ජිනේරු සැලසුම් කටයුතු (FORTRAN) ආදි සියල්ල සඳහා මෙම පරිගණකය භාවිතා කරන ලදී. ප්‍රධාන පරිගණක කණ්ඩායම වූයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාත්මක විශ්ලේෂණ ක්‍රමලේඛක නිමල් අමරසිංහ මහතා හා විශ්ලේෂණ ක්‍රමලේඛකයන් වූ ආචාර්ය ආර් බී. ඒකනායක, රන්ජන් පෙරේරා මහතා, විජේ මහතා හා එෆ් ජේ ද සිල්වා මහතා යන අයයි. ශ්‍රී ලංකාවේ ආරම්භක පරිගණක වෘත්තිකයන් වූයේ ඔවුන් ය. මෙම පද්ධතියේ අමතර ධාරිතාවක් තිබූ බැවින් හා දක්ෂ හා කුසලතා සහිත කාර්ය මණ්ඩලයක් සිටි බැවින් අනිකුත් රජයේ ආයතනවලට සේවා සැපයීම ආරම්භ විය. මෙම කාර්යන්ට 1968 සිට අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැකසීම, අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැකසීම හා විවිධ රජයේ ආයතනවල කටයුතුවලට සහාය වීම ආදිය ඇතුළත් විය.

ලංකාවට ගෙන ආ තුන්වැනි පරිණකය වූයේ වෝකර්ස් සමාගමේ පරිපාලිත ආයතනයක් වූ කොම්පියුටර් සර්විසස් ලිමිටඩ් සමාගම 1968 වසරේ ගෙන ආ ICL1901 පද්ධතියයි. දෙවැනි පරම්පරාවේ පරිගණකයක් වු මෙය ද ට්‍රාන්සිස්ටර් තර්ක පරිපථ හා කඩදාසි පටිවලින් සමන්විත විය. සේවා දායකයන් විසින් ටෙලෙක්ස් මගින් දත්ත එවනු ඇතැයි අපේක්ෂා කරන ලදී. දත්ත සැකසුම් කාර්යාංශයක් වූ මෙම ආයතනය වෝකර්ස් සමාගමේ තිබූ පැරණි ICT 558 පරිගණකයේ කටයුතු ද ඉටු කලේය.

හතරවැනි පරිගණකය, (ICL 1901A) සවි කරන ලද්දේ කොල්ලුපිටියේ ඒඑම්එස් ඩේටා සර්විසස් (AMS Data Services) හි වන අතර එය භාරව සිටියේ ෆොර්ඩ් රෝඩ්ස් සමාගමේ වරලත් ගණකාධිකාරි ඩී.සී. විජේසේකර මහතායි. ඒකාබද්ධ තර්ක පරිපථ (ICs) සහිත මෙම පරිගණකයේ හුවමාරු කළ හැකි චුම්බක තැටි ධාවක තිබුණි. මෙම AMS සමාගම සේවා සැපයුම් ආයතකයක් වූ අතර, එය විවිධ ගණකාධිකරණ කටයුතු, තේ වෙන්දේසි කටයුතු ආදිය භාර ගත්තේය. ජෝන් එන් එල් සී ප්‍රනාන්දු ප්‍රකාශ කලේ මේ වන විට වෝකර්ස් සමාගමේ තිබු ICT 558 පරිගණකය ඉවත් කර තිබූ බවයි.

තුන්වැනි පරම්පරාවේ පරිගණක

1969 න් ඇරඹුණු ඊළඟ අදියරේ දී තුන්වැනි පරම්පරාවේ පරිගණකයක් වූ අයිබීඑම් 360 පද්ධති ගණනාවක් ම ලංකාවේ භාවිතයට ගන්නා ලදි. මේවා අතර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව (එල්.එස්.ඒ. ප්‍රනාන්දු මහතා හා එල්.බී. ඒකනායක මහතා), ලංකා ඛනිජ තෙල් සංස්ථාව (යසා කරුණාරත්න මහතා හා බන්දු රණසිංහ මහතා), සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (විතාන මහතා හා ඒ අත්තනායක මහතා), සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු සඳහා පරිගණකය යොදා ගත් ශ්‍රී ලංකා මහ බැංකුව (අජිත් කනකසුන්දරම් මහතා හා ටියුඩර් සුරවිර මහතා) ආදිය වේ. පසුව විභාග දෙපාර්තමේන්තුව ද අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ප්‍රතිඵල සකස් කිරීමට IBM 360 පරිගණකයක් යොදා ගත්තේය. (මෙය භාරව සිටියේ නානායක්කාර මහතා වන අතර බන්දු රණසිංහ මහතා විශ්ලේෂණ ක්‍රමලේඛක විය).

විද්‍යාත්මක පරිගණක

ජෝන් එන් එල් සී ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා සිටියේ ඉන් පසු ආයතන ගණනාවක් ම IBM 1130 පරිගණක මිල දී ගත් බවයි. මේ අතර ආචාර්ය ගුණවර්ධන යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය, ආචාර්ය අභය ඉඳුරුව යටතේ මොරටුව විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු දෙපාර්තමේන්තුව ආදිය විය. මේ කාලයේ ම සංඛ්‍යාත්මක කටයුතු සඳහා ෆොර්ට්‍රාන් ක්‍රමලේඛනය සහිත HP විද්‍යාත්මක යන්ත්‍ර තුනක් ද භාවිතයට ගෙන තිබුණි. මෙයින් එකක් මහාචාර්ය වි කේ සමරනායක විසින් කොළඹ විශ්ව විද්‍යාලයට ලබා ගෙන තිබූ අතර තවත් යන්ත්‍රයක් ගොවිජන හා කෘෂි පර්යේෂණ පුහුණු ආයතනය (ARTI) ලබා ගෙන තිබුණි.

ශ්‍රී ලංකාවේ දත්ත සැකසුම් යුග

1වන යුගය – පරිගණක නොවන යන්ත්‍ර මත පදනම් දත්ත සැකසීම 1946-1964 හොලරිත් යන්ත්‍ර
2වන යුගය – ඉලෙක්ට්‍රොනික පරිගණක යන්ත්‍ර 1964-1967 ICT 558
3වන යුගය – දෙවැනි පරම්පරාවේ ඩිජිටල් පරිගණක 1967-1968 ICL 1901
4වන යුගය – තුන්වැනි පරම්පරාවේ ඩිජිටල් පරිගණක 1969-1970 IBM 360
5වන යුගය – අතරමං පරම්පරාව 1970-1977 IBM1130
6වන යුගය – මේස, කුඩා ව්‍යාපාර හා මහ පරිගණක හා මුල් පුද්ගලික පරිගණක 1977 සිට
HP9825A; IBM 5110; IBM S/34; IBM 4331; ICL1501; ICL1503; ICL 2903
RADIO SHACK; WANG 2200; WANG PCs – 1977 සිට
7වන යුගය – IBM අනුරූප පරිගණක; විශේෂයෙන්ම 1982 චාලිචැප්ලින් ප්‍රචාරණ ව්‍යාපාරය සමග ආ
IBM පුද්ගලික පරිගණක; IBM S/36; IBM AS/400; IBM 4361; IBM 4381;
NIXDORF; UNISYS – 1981 සිට

1964 සිට 1967 දක්වා ශ්‍රී ලංකාවේ තිබුණේ එක පරිගණකයක් පමණක් බවත්, 1967-68 කාලයේ තවත් ICL පරිගණක තුනක් ගෙන ආ බවත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය. 1969-70 කාලය තුළ තවත් IBM පරිගණක හතරක් ගෙන ඒම නිසා 1970 අවසානය වන විට ලංකාවේ ක්‍රියාත්මක වූ මුළු පරිගණක සංඛ්‍යාව 8 ක් විය. 1970 සිට 1977 දක්වා විදේශ විනිමය ලබා ගැනිම අපහසු වූ බැවින් අලුත් පරිගණක ආනයනය කිරීමක් සිදු නොවීය. නමුත් විශ්ව විද්‍යාල සඳහා පරිගණක දෙකක් පමණක් ආනයනය කරන ලදී. ප්‍රනාන්දු මහතා මේ කාලය සලකන්නේ ශ්‍රී ලංකාවේ පරිගණක ඉතිහාසයේ අතරමං වූ යුගය ලෙසයි.

මුල් පරිගණක යෙදුම්

ජන සංගණනය පුද්ගලයන් මිලියන 12.7 කුටුම්බ මිලියන 2.2
ජාතික අර්ථ සාධක අරමුදල සේවකයන් මිලියන 3.0
විභාග අයදුම්කරුවන් 350,000
රක්ෂණ ඔප්පු හිමිකරුවන් 200 K
විදුලි බිල්පත් පාරිභෝගිකයන් 175,000
දුරකථන බිල්පත් ග්‍රාහකයන් 35,000
තොග පාලනය රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව අයිතම 20,000
සතොස අයිතම 50,000
වැටුප් ලේඛන සේවකයන් 12,000
අයවැය පාලනය ගිණුම් 600
ඉන්ජිනේරු සැලසුම්
ඉන්ජිනේරු අධ්‍යාපනය
ආනයන/අපනයන වාර්තා
සේවා කාර්යාංශ මෙහෙයුම්

පරිගණක හා දළ දේශිය නිෂ්පාදනය

රටක දළ දේශීය නිෂ්පාදනය හා පරිගණක පැතිරීම අතර සම්බන්ධතාවක් ඇතැයි ප්‍රනාන්දු මහතා කියා සිටී. 1977 දි ශ්‍රී ලංකාවේ විවෘත ආර්ථිකයක් ආරම්භ වීමත් සමග පරිගණක ඇතුළු ප්‍රාග්ධන උපකරණ සඳහා සාධාරණ රේගු බදු සහිත දිරිගැන්විම් ලබා දුන් බැවින් පුද්ගලික අංශයේ බොහෝ ආයතන තම කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා පරිගණක මිලදී ගත්තේය. 1979 වර්ෂය වන විට ලංකාවේ ක්‍රියාත්මක වු පරිගණක ඒකක ගණන 33 ක් දක්වා වැඩිවි තිබුණි. මේ වන විට වෝකර්ස් සමාගම හා පරිපාලිත සමාගමේ තිබූ මුල් පරිගණක දෙක ක්‍රියා විරහිත වී තිබුණි.

තේ අපනයන කටයුතු

ජෝන් එන් එල් සී ප්‍රනාන්දු සමාරම්භක සාමාන්‍යාධිකාරී වූ ඩේටා මැනෙජ්මන්ට් සිස්ටම්ස් සමාගම (DMS-WANG) වෑන් මධ්‍ය පරිගණක සඳහා ලංකාවේ එකම නියෝජිතයා විය. ඔහුගේ මැදහත් වීමෙන් පළමුවැනි අන්තර් ක්‍රියාකාරි පරිගණකය වූ Wang 2200T යන්ත්‍රයක් තේ වෙන්දේසි දත්ත සැකසීම සඳහා සීමාසහිත ජැෆර්ජි බ්‍රදර්ස් ආයතනයේ සවි කරන ලදී. 1977 වන විට ලංකාවේ වැඩිම අපනයන ආදායම ලැබුණේ තේ වලිනි. පසුව රුවන් රත්නතුංග මහතා හා ඔහුගේ කණ්ඩායම විසින් අනිත් තේ අපනයන සාමාගම්වලට ද වෑන් පරිගණක අලෙවි කරන ලදී. මේ මගින් වැදගත් අපනයන අංශයක ඵලදායීතාව මෙන් ම කාර්යක්ෂමතාව වැඩි කිරීමට හැකි විය.

ආර්ථිකයේ අනිකුත් වැදගත් අංශවල පරිගණක භාවිතය

වේගවත් මහවැලි සංවර්ධන වැඩසටහන

ගංගව හැරවීමේ ව්‍යාපෘතියකි – රුපියල් බිලියන 37 (ඩොලර් බිලියන 2.3) මුලින් අවුරුදු 30කට සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය අවුරුදු 5කින් සම්පූර්ණ කිරීමට තීරණය කරන ලදී.
වගා කරන ඉඩම් හෙක්ටයාර් 125,000; පදිංචි කරන ජනගහණය මිලියන 1;
විදුලි නිෂ්පාදනය -මෙගා වොට් 400
• ICL 2903 පරිගණකය – ඉඩම් මිනුම් කටයුතු සඳහා මිනුම් දෙපාර්තමේන්තුව විසින් භාවිතා කරන ලදී.
• WANG 220T පරිගණකය- සැලසුම්වල ගණනය කිරීම් සඳහා උපදේශකයන් වූ මධ්‍යම ඉන්ජිනේරු උපදේශක කාර්යාංශය විසින් භාවිතා කරන ලදී.
• IBM 4331 මහ පරිගණකය CIDA ආධාරයක් ලෙස ලබා ගන්නා ලද අතර ෆොර්ට්‍රාන් භාෂාව යොදා ගත් මෙයින් ජලාශ ප්‍රශස්තකරණ කටයුතු සිදු කරන ලදී.
• IBM/S34 පරිගණකය එහි කොන්ත්‍රාත්කරු වූ බැල්ෆර් බීටි නටල් සමාගම විසින් බැම්මේ විවිධ ස්ථානවල කොන්ක්‍රීට් අවශ්‍යතා ගණනය කිරීමට භාවිතා කරන ලදී.

වෙළඳ අංශයේ පරිගණක

මුලින්ම පරිගණක භාවිතයට යොමු වූ වෙළඳ සමාගම් පහත දැක්වේ
• කෙමනෙකස් සමාගම (CIC/ICI) IBM S/34 ගිණුම් කටයුතු සඳහා
• ද සිල්වා, අබේවර්ධන හා පීරිස් ICL1501 තේ වෙළදාම
• ෆ්‍රී ලංකා ට්‍රේඩින් සමාගම IBM S/34 ගිණුම කටයුතු
• හෙප්තුල්ලාබෝයි සමාගම WANG 2200T තේ වෙන්දේසිය
• ජේ කේ කොම්පියුටර්ස් IBM S/34 තේ වෙන්දේසි හා ගිණුම් කටයුතු
• කේ ජී ඉන්ඩස්ට්‍රීස් IBM 5110 ගිණුම් කටයුතු APL ක්‍රමලේඛන භාෂාව
• ලිවර් බ්‍රදර්ස්-යුනිලීවර් IBM S/34 ගිණුම් කටයුතු
• පියෝ බෙවරෙජස් සමාගම IBM S/34 ගිණුම් කටයුතු
• ශ්‍රී ක්‍රිෂ්ණ කෝපරේෂන් IBM S/34 ගිණුම් කටයුතු
• සෙනට් ඇන්තනීස් ඉන්ඩස්ට්‍රීස් IBM S/34 ගිණුම් කටයුතු
• ස්ටැෆර්ඩ් මෝටර්ස්-හොන්ඩා WANG PCSII පාරිභෝගික ඇණවුම් අධීක්ෂණය

මුල් කාලයේ පරිගණක භාවිතයට ගත් වෙනත් ආයතන

• පවුල් සෞඛ්‍ය කාර්යාංශය ICL1503
• වෛද්‍ය පීඨය, කොළඹ විශ්ව විද්‍යාලය ICL1503
• එම්එස්එල් කොම්පියුටර්ස් -සේවා IBM S/34
• ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය IBM S/34
බස් රථ 6000ක් මෙහෙයවන මෙම ආයතනයේ සේවක අර්ථ සාධක අරමුදල්, තොග පාලනය හා වැටුප් සකස් කිරීම ආදිය සඳහා මෙම පරිගණකය භාවිතා කරන ලදී.

පරිගණක භාවිතයට ගැනීමේ ආරම්භක ප්‍රයත්නයන්

බැංකු කර්මාන්තය පරිගණකගත කිරීම

බැංකු ක්ෂේත්‍රය පරිගණකවලට යොමු වූයේ 1980 න් පසුව යයි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය. මහජන බැංකුව ණය කටයුතු සඳහා IBM System/34 යන්ත්‍රයක් භාවිතා කළ අතර ලංකා බැංකුව ඔවුන්ගේ නගර ශාඛාවේ අනේවාසික විදේශ මුදල් (NRFC) ගිණුම් සඳහා IBM S/34 පරිගණකයක් යොදා ගත්තේය. ඉන් පසුව ලංකා බැංකුව ශාඛා තුනක් පරිගණක ගත කිරීම සඳහා IBM 4331 මහ පරිගණකයක් මිලදී ගත්තේය. ඒ වන විට මේවා සම්බන්ධ කළ හැකි දුරකථන මාර්ග නො තිබූ බැවින් ලංකා බැංකුවට ඔවුන්ගේ පුද්ගලික රේඩියෝ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සිදු විය. මේ සඳහා සහාය වූයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු උපාධිධරයෙක් වූ ඉලෙක්ට්‍රොටෙක්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බී.ඒ.සී. අබේවර්ධන මහතායි. පසුව ලංකා බැංකුව මෙම පහසුකම ශාඛා 10කට ව්‍යාප්ත කළේය.

බැංකු කර්මාන්තයට පරිගණක හඳුන්වා දීමේ පුරෝගාමීන් ලෙස ප්‍රනාන්දු මහතා දකින්නේ මුලින් ලංකා බැංකුවේත් පසුව සම්පත් බැංකුවේත් සේවය කළ ආචාර්ය ආර්.බී. ඒකනායක හා ජානක ද සිල්වා මහතා යි. ජානක ද සිල්වා මහතා සාමාන්‍යාධිකාරී ලෙසත් ආචාර්ය ආර්.බී. ඒකනායක දත්ත සැකසුම් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙසත් කටයුතු කල සම්පත් බැංකුව මේ අංශයේ පුරෝගාමි කාර්ය භාරයක් ඉටු කළේය. සම්පත් බැංකුවේ දර්ශනය වූයේ ගනුදෙනු කරුවෙක් බැංකුවේ ගනුදෙනුකරුවෙක් මිස ශාඛාවක ගනුදෙනුකරුවෙක් නොවන බවයි. මේ නිසා සම්පත් බැංකුවේ විශ්වාසය වූයේ ගනුදෙනුකරුවෙකුට ඕනෑම ශාඛාවකින් අවශ්‍ය සේවා ලබා ගත හැකි විය යුතුය යන්නයි. මුලින් IBM S/36 යන්ත්‍රයක් යොදා ගන්නා ලද අතර ශාඛා සම්බන්ධ කිරීමට රේඩියෝ සබඳතා භාවිතා කෙරණි. පසුව IBM 4381 මහ පරිගණකයක IBM SAFE බැංකු යෙදුම් රාමුවක් භාවිතා කරන ලදී. ශාඛා සම්බන්ධ කිරීමට රේඩියෝ සබඳතා සහිත IBM මොඩෙම යොදා ගැනුණි. මුලදී මේවායේ වේගය 1200 bps වුවත් පසුව සම්බන්ධ කළ ශාඛා ගණනාවත්, දත්ත පරිමාවත් වැඩි වීම නිසා අවසානයේ 9600 bps දක්වා වැඩි කරන ලදී. ආචාර්ය ආර්.බී. ඒකනායක යටතේ කටයුතු කළ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් විශාල කණ්ඩායමක් විසින් සියලුම යෙදුම් ක්‍රමලේඛනය කරන ලදී. මේ සමගම සෑම ශාඛාවකම ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ද සවි කරනු ලැබීය. බැංකු අංශය පරිගණකගත කිරීමට නායකත්වය දුන්නේ සම්පත් බැංකුව බව ප්‍රකාශ කළ ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් කියා සිටියේ මේ නිසා පැරණි බැංකු සමග සාර්ථක ලෙස තරග කිරීමට හැකිවූ බවයි. මෙය තරගකාරී වාසියක් ලබා ගැනීමට පරිගණක තාක්ෂණය යොදා ගත් කදිම අවස්ථාවක් ලෙස දැක්විය හැකියි. මේ නිසා අනිත් බැංකුවලට ද ඉක්මනින් ම තම කටයුතු පරිගණක ගත කිරීමට සිදු විය. මුලින් ම මෙම ප්‍රවණතාවට එක්වු ආයතන වන්නේ ලංකා බැංකුව (IBM, Nixdorf, Unisys) කොමර්ෂල් බැංකුව (IBM) මහජන බැංකුව (IBM, Burroughs) හා හැටන් නැෂනල් බැංකුවයි (NCR & IBM)

එයාර් ලංකා/ශ්‍රී ලංකන් ගුවන් සේවය

එවකට එයාර් ලංකා ලෙස හැඳින්වූ මෙම ආයතනයේ IBM S/34 පරිගණකයක් ක්‍රියාත්මක විය. පසුව බොහෝ මෙහෙයුම් කටයුතු කටුනායකට ගෙන යෑමෙන් පසු IBM 4361 මහ පරිගණකයක් භාවිතයට ගන්නා ලදී. මෙම පරිගණකය ගුවන් යානා අමතර කොටස්වල (Landing Gear, Gear Boxes and Engines) තොග පාලනයටත් නඩත්තු කටයුතුවලටත් ආරක්ෂාව පිලිබඳ ලිපිලේඛන පවත්වා ගැනීමටත් යොදා ගන්නා ලදී. මෙම කටයුතුවලට නායකත්වය දුන්නේ ඒ. අත්තනායක මහතායි.

වරාය අධිකාරිය

වාණිජ මෙහෙයුම් පරිගණකගත කිරීම සඳහා ප්‍රධාන ගණකාධිකාරී හා ප්‍රධාන ඉන්ජිනේරු වූ ප්‍රසන්න වීරසිංහ මහතා යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය IBM 4361 මහ පරිගණකයක් යොදා ගත්තේය. පසුව IBM RS6000 UNIX පරිගණකයක් භාවිතා කරමින් වරායේ කන්ටේනර් මෙහෙයුම් සම්පූර්ණයෙන්ම ස්වයංකෘත කරන ලදී. මේ කාලය වන විට සියලුම කටයතුවලට පරිගණක යොදා ගැනීම අතින් කොළඹ වරාය ඉතා ම ඉහළ මට්ටමක තිබුණි.

පරිගණක අධ්‍යාපනය

ආරම්භයේ දි යම් කිසි ආයතනයක් පරිගණකයක් මිලදි ගත් විට එහි මෙහෙයුම් කටයුතු හා ක්‍රමලේඛනය පිළිබඳ ව කාර්ය මණ්ඩලය පුහුණු කරන ලද්දේ පරිගණක සැපයුම්කරු විසිනි. මේ නිසා මේ යුගයේ දී දැනුම් ලැබුණේ ප්‍රධාන වශයෙන් පරිගණක වෙළදුන්ගෙනි.

පසුව ආචාර්ය එන් ඩබ්ලිව් එන් ජයසිරි මහතාගේ නායකත්වය යටතේ ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ (NIBM) පරිගණක පුහුණුව ආරම්භ කරන ලදී. මෙහිදී යොදා ගත්තේ WANG 2200 VS පරිගණකයකි. එහි ආරම්භ කළ ඩිප්ලෝමා වැඩසටහනට ඉතා ඉහළ පිළිගැනීමක් ලැබුණි. සිංගප්පූරුවේ ආගමන අංශය මෙය එහි රැකියා කිරීමට සුදුසුකමක් ලෙස පිළි ගත්තේ ය. මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වි.කේ. සමරනායක මහතා යටතේ FORTRAN භාෂා පුහුණු පංති පැවැත්වුණි. මුල් යුගයේ පරිගණක පුහුණුව ලබා දුන් ප්‍රධාන පෙළේ පුද්ගලික අංශයේ ආයතන තුන වූයේ ඩීපී ඒඩ්ස් (BCS), පත්මනාදන් මහතා යටතේ ක්‍රියාත්මක වූ ග්ලෝබල් කොම්පියුටර්ස් (IBM S/34) හා බන්දු රණසිංහ මහතා යටතේ තිබූ IDM අයිඩීඑම් (පරිගණක IBM/ACS) ආයතනයයි.

මේ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉන්ජිනේරු පීඨය හා මොරටුව විශ්ව විද්‍යාලය පරිගණක ඉන්ජිනේරු උපාධි පාඨමාලා ආරම්භ කළේය. මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ මග පෙන්වීම යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ද (SLIIT) උපාධි පාඨමාලා ආරම්භ කළේය.

පරිගණක භාෂා

මුල් කාලයේ බෙහෙවින්ම භාවිතා කළ ක්‍රමලේඛන භාෂාව වූයේ PLAN/Assembler යයි ප්‍රනාන්දු මහතා කියා සිටියේය. පසුව IBM කුඩා පරිගණකවල මෙන් ම මහ පරිගණකවල RPG භාෂාව යොදා ගැනුණි. COBOL භාෂාව ද භාවිතයට ගැනුණු අතර විශ්ව විද්‍යාල යොදා ගත්තේ FORTRAN භාෂාවයි. BASIC පරිගණක භාෂාවද භාවිතා කරන ලදී.

පරිගණක සැපයුම්කරුවෝ

ප්‍රනාන්දු මහතා වැඩ කළ අයිසීඑල්, වෑන්-ඩීඑම්එස් හා අයිබීඑම් යන සමාගම්වලට අමතරව තවත් ආයතන කීපයක් ශ්‍රී ලංකාවේ පරිගණක කටයුතුවලට දායක වූහ. එන්සීආර් සමාගම හැටන් නැෂනල් බැංකුවට දත්ත සැකසුම් යන්ත්‍ර ද, හොකොං ඇන්ඩ් ෂැංහයි බැංකුවට හා කොමර්ෂල් බැංකුවට ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ද සැපයුවේය. මුලින් රේඩියෝ ෂැක් පරිගණක හා පසුව යුනිසීස් පරිගණක අලෙවි කළ බාර්ට්ලීට්ස් සමාගම විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට පරිගණක සපයන ලදී. මෙට්‍රොපොලිටන් සමාගම එච්පී (HP) හා කැනන් පරිගණක සැපයු අතර ආචාර්ය ගාමිණි වික්‍රමසිංහගේ දූර්දර්ශී නායකත්වය යටතේ ඉන්ෆොමැටික්ස් ආයතනය ජර්මනියෙන් ආනයනය කළ නික්ස්ඩෝෆ් පරිගණක අලෙවි කළේය.

පරිගණක ක්ෂේත්‍රයට සම්බන්ධ අනිකුත් ආයතන

ශ්‍රී ලංකාවේ පරිගණක ඉතිහාසය ගැන ලිවීමේ දි සඳහන් කළ යුතුම ආයතනයක් වන්නේ ඒ ටු ඉසෙඩ් (A-Z) කොම්පියුටර් සමාගමයි. ආචාර්ය මායා සිත්තම්පලම් රේන්ෆෝඩ් හා රේන්ෆෝඩ් මහතා යටතේ ක්‍රියාත්මක වූ මෙම සමාගම බරෝස් පරිගණක සඳහා මෘදුකාග සකස් කළ අතර අපනයනය සඳහා මවු පුවරු එකලස් කළේය. ජගත් රණවක මහතාගේ ජගත් රොබටික්ස් ආයතනය ද මෙහිලා සඳහන් කළ යුතුය. ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වු රෙජී කන්දප්පා මහතාගේ බෑණා වූ සරූක් මරික්කාර්ගේ කොම්පියුටර් ලින්ක් ආයතනයත්, ශ්‍රී ලංකාවේ මෘදුකාංග සංවර්ධන කටයුතුවල නිරත වූ මොහාන් විජේකෝන් මහතාගේ ඊඩීඑස් (EDS) ඉන්ටර්නැෂල් සමාගමත් මෙම ක්ෂේත්‍රයට සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්නේය. අග්නිදිග ආසියාවේ ඔවුන්ගේ මෙහෙයුම්වලට ශ්‍රි ලාංකික තොරතුරු තාක්ෂණ හැකියාවන් යොදා ගත් ජොන් සැල්මන් හා කාර්ලයිල් එඩ්වඩ්ස් යන මහතුන් ගැන ද සඳහන් කළ යුතුවේ. බැංකු වැනි විශාල ආයතනවල ශාඛා සම්බන්ධ කිරීමට දුරකථන මාර්ග නො තිබූ එම යුගයේ මෙම සබඳතාව ලබා දුන්නේ සීමාසහිත ඉලෙක්ට්‍රොටෙක්ස් සමාගමේ බී.ඒ.සී අබේවර්ධන මහතා විසිනි. සෑම පරිගණකයක් සඳහාම වෝලටියතා ස්ථායිකාරක හා බාධාවකින් තොරව බලශක්තිය සපයන උපකරණද තිබුණි. වඩාත් තීරණාත්මක යෙදුම් ක්‍රියාත්මක කළ පරිගණක සඳහා විදුලි බල ජනන යන්ත්‍ර පවා සවි කරන ලදී.

පරිගණක ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය

ප්‍රනාන්දු මහතා මෙම ක්ෂේත්‍රයේ සිදුවු ඉතාම වැදගත් දෙයක් ලෙස සලකන්නේ පරිගණක වෘත්තිකයන්ට පිළිගැනීමක් ලබා දීමට ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL) පිහිටුවීමයි. පරිගණක අංශයේ රැකියා කළ හා පරිගණක අලෙවිකරුවන් අතර සිටි ඉන්ජිනේරුවන්, විද්‍යා උපාධිධාරීන්, ගණකාධිකාරීත් ආදීන් ගෙන් සමන්විත කුඩා කණ්ඩායමකින් මෙම සංගමය ඇරඹුණි. ආරම්භයේ මෙයට සහභාගිවූවන් අතර ආචාර්ය ආර්.බී. ඒකනායක (රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව), නානායක්කාර මහතා (විභාග දෙපාර්තමේන්තුව), විතාන මහතා (ජන සංගණන දෙපාර්තමේන්තුව), ඒ අත්තනායක මහතා (ජන සංගණන /ශ්‍රී ලංකන් ගුවන් සේවා) නයනි ප්‍රනාන්දු මිය (ජන සංගණන/මහ බැංකුව), පෙරේරා මිය (ජන සංගණන/ඒඑම්එස් (AMS)) යසා කරුණාරත්න මහතා (ඛනිජ තෙල් සංස්ථාව/EPF), බන්දු රණසිංහ මහතා (ඛනිජ තෙල් සංස්ථාව/ අයිඩීඑම්) රන්ජන් පෙරේරා මහතා (ඉන්ජිනේරු සංස්ථාව/ලංකා බැංකුව/වරාය අධිකාරිය), රුවන් රත්නතුංග මහතා (ඒඑම්එස්/ඩීඑම්එස්), කනිෂ්ක සුගතදාස මහතා (ලේක්හවුස්/මහවැලි), ආචාර්ය එන් ඩබ්ලිව් එන් ජයසිරි (කළමනාකරණ ආයතනය) ආදින් වූහ.

පරිගණක ක්ෂේත්‍රයේ කටයුතු කළ වෘත්තිකයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රි ලංකා පරිගණක සංගමය වාර්ෂික ජාතික පරිගණක සම්මන්ත්‍රණයක් පැවැත්වූයේ ය. මෙයට සමාන්තරව පරිගණක වෙළදුන්ගේ අනුග්‍රහයෙන් පරිගණක ප්‍රදර්ශනයක් ද සංවිධානය කරන ලදී. මෙය පාසල් සිසුන් අතර ඉතා ජනප්‍රිය වු අතර ඔවුන්ට එහි දී පරිගණක ක්ෂේත්‍රයේ රැකියා ආදිය ගැන අවබෝධයක් ද ලබා ගත හැකි විය. පසුව පරිගණක සංගමය විසින් පාසල් සිසුන් සඳහා පරිගණක මෘදුකාංග තරගයක් පවත්වන ලදී.

ඔස්ට්‍රේලියානු පරිගණක සංගමයට ඔවුන්ගේ විභාග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආරාධනය කිරීමෙන් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ට සම්මත පරිගණක අධ්‍යාපනයක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම ගැන ද ප්‍රනාන්දු මහතා සිහි කරයි. පරිගණක පුහුණු ආයතන අනුමත කිරීම සම්බන්ධයෙන් එම සංගමයේ නියෝජිතයෙකු යටතේ කටයුතු කල ප්‍රනාන්දු මහතා පසුව මෙම වගකීම භාරව කටයුතු කළේය.

ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC)

ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) (පසුව තොරතුරු තාක්ෂණ මණ්ඩලය ලෙස නම් කරන ලද) පරිගණක පිළිබඳ රජයේ ඉහළම ආයතනය ලෙස පිහිටුවන ලද්දේ ඒ පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහායි. එහි ආරම්භක සභාපති වූ මහාචාර්ය මොහාන් මුණසිංහ ගෙන් පසු සභාපති ධුරය දැරුවේ මහාචාර්ය වි.කේ. සමරනායක මහතායි. මහාචාර්ය සමරනායක පරිගණක ක්ෂේත්‍රෙය් විවිධ අංශ සඳහා සංගම් ගණනාවක්ම ස්ථාපිත කළේය. ශ්‍රී ලංකා පරිගණක වෙළදුන්ගේ සංගමයේ (SLCVA) ආරම්භක සභාපති වූයේ එවකට අයිබීඑම් සමාගම නියෝජනය කළ ප්‍රනාන්දු මහතාය. උප සභාපති වූයේ ජිත් වර්ණකුලසූරිය මහතායි. මෙම සංගමය මගින් තරු පහේ හෝටල්වල දිවා ආහාර කාලයේ මහජනතාව දැනුවත් කිරීමේ මාසික සම්මන්ත්‍රණ පවත්වන ලදී.

අතීත අභියෝග – අනාගත අවස්ථා

වර්තමානයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රෙයේ නියැලී සිටින අයට මුල් යුගයේ මුහුණ දීමට සිදු වූ අභියෝග හා බාධක ගැන අවබෝධයක් නැතැයි යන්න ප්‍රනාන්දු මහතාගේ අදහසයි. ඉහළ සාක්ෂරතාවක් මෙන් ම නව තාක්ෂණය අවබෝධ කර ගැනීමේ හැකියාව ඇති ශ්‍රී ලාංකිකයන්ට බොහෝ අභියෝග ජය ගැනීමට හැකිවී තිබේ.

ඔහු කියා සිටින්නේ ඊළඟ අදියර විශාල දත්ත හා විශ්ලේෂණ යුගය බවයි. සමාජ මාධ්‍ය ආදියෙන් ලබා ගත හැකි දත්ත විශාල ප්‍රමාණයකින් බුද්ධිමත් නිගමනවලට එළඹිය හැකි අතර ඒවා රජයට, පුද්ගලික අංශයට හා වාණිජ ආයතනවලට තීරණ ගැනීමට හා ප්‍රතිපත්ති සම්පාදනයට යොදා ගත හැකි වේ. අද ඒකාකාරී හා අකාරික රැකියා සඳහා මිනිසුන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බැවින් රොබෝ තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය වැදගත් වේ. අතිතයේ සෑම ආයතනයක ම පරිගණකයක් හා එය ක්‍රියාත්මක කළ හැකි තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් සිටියත් අනාගතයේ එය දුරකථනය හෝ ඉ-තැපෑල වැනි සේවාවක් වනු ඇත. ඒ ඒ අංශවල දැනුම ඇති වෘත්තිකයන්ගේ සේවය උපදේශක මට්ටමෙන් ලබා ගත හැකියි. රථ වාහන තදබදය මැද්දේ වැඩට යෑම වෙනුවට අන්තර්ජාලය තුළින් අවශ්‍ය කටයුතුවල නියැලෙන යුගයක් උදා වනු ඇත. මේ නිසා දෙමාපියන්ට ළමයින් බලා ගැනීමත්, වැඩිහිටි දෙමාපියන් බලා ගැනීමත් පහසු වනු ඇත. අතථ්‍ය පන්ති තුළින් ජීවිත කාලය පුරාම ඉගෙනීමට හැකි වනු ඇත. අපේ ග්‍රාමීය සමාජයේ යහපත සඳහා දුරස්ථ වෛද්‍ය චිකිත්සා ක්‍රම යොදා ගත හැකියි. තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ තරුණයන්ගේ අනාගතය සුබදායක වන අතර ජෝන් එන්එල්සී ප්‍රනාන්දු මහතාගේ අදහස වන්නේ ඔවුන් එදිනෙදා ජීවිතයේදීත් මේවා භාවිතයට ගත යුතු බවයි.

ගැලරිය