ජයන්ත ප්‍රනාන්දු මහතා

නීතිඥයෙක් වන ජයන්ත ප්‍රනාන්දු මහතා අවුරුදු 20ක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් කටයුතු කර තිබේ. තොරතුරු තාක්ෂණය හා සන්නිවේදන නීති පිළිබඳ ව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් විශේෂ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇති ඔහු බුඩාපෙස්ට් සයිබර් අපරාධ ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව එක් කිරීමට හා එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අපරානුමත කීරීම ආදි කටයුතුවලට නායකත්වය දුන්නේය. මේ දෙක ම දකුණු ආසියානු රටවල් අතරින් පළමු වරට සිදු වූයේ ශ්‍රී ලංකාවේයි.

ජයන්ත ප්‍රනාන්දු මහතාගේ විශේෂඥ දැනුම පුළුල් පරාසයක විහිදෙයි. ඒවා අතර තොරතුරු සුරක්ෂිතතාව, සයිබර් අපරාධ, බුද්ධිමය දේපළ අයිතිය හා මෘදුකාංග බලපත්, පෞද්ගලිකත්වය, ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හා ජංගම බැංකු කටයුතු, අන්තර්ජාල පාලනය හා සංකීර්ණ තොරතුරු තාක්ෂණ පද්ධති ගිවිසුම් කෙටුම්පත් කිරීම/සාකච්ඡා කිරීම ආදිය වේ. රටවල් ගණනාවක තොරතුරු තාක්ෂණ නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ අත්දැකීම් ඇති ඔහු අන්තර්ජාතික වෙළඳ නීති පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමේ (UNCITRAL) හා යුරෝපීය මණ්ඩලයේ විශේෂඥයෙකු ලෙස කටයුතු කරයි. ප්‍රනාන්දු මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ, ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ හා විශ්ව විද්‍යාල ගණනාවක බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස ද සේවය කරයි.

සයිබර් ආරක්ෂාව පිළිබඳ ජාතික ආයතනය (Sri Lanka CERT) ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල ගණනාවක සාමාජිකයෙකු වන ඔහු ලංකා වසම් රෙජිස්ටරයේ (.LK) අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ද වේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අධ්‍යක්ෂ/නීති උපදේශක ලෙස ද ඔහු කටයුතු කරයි.

ජයන්ත ප්‍රනාන්දු මහතා පැවරූ නම් හා අංක පිළිබඳ ජාත්‍යන්තර සංස්ථාවේ (ICANN) හි රාජ්‍ය උපදේශක කමිටුවේ (GAC) උප සභාපති පදවියට පත්වූ පළමුවැනි දකුණු ආසියාතිකයා වේ. ඔහු එහි නාම යෝජනා කමිටුවේ ද සහායක සභාපති (2005-07) ලෙස ද කටයුතු කර ඇති අතර 2016 ජුනි මාසයේදී ස්ට්‍රැස්බර්ග් හි යුරෝපීය මණ්ඩලයේ සයිබර් අපරාධ ප්‍රඥප්ති කමිටුවේ සාමාජිකයන් 9 දෙනෙකුගෙන් සමන්විත ගෝලීය කාර්යාංශයට පත්වූ පළමුවැනි දකුණු ආසියාතියා ද විය. මෙම (T-CY) කමිටුව ගෝලීය මට්ටමෙන් බුඩාපෙස්ට් සයිබර් අපරාධ ගිවිසුම ක්‍රියාත්මක කරයි.

ජයන්ත ප්‍රනාන්දු මහතා එක්සත් රාජධානියේ චෙවනින් ශිෂ්‍යත්වධාරියෙක් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ අයිසෙන්හවර් අධිශිෂ්‍යත්වලාභියෙක් ද වේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

 

ජයන්ත ප්‍රනාන්දු මහතා මෙම ක්ෂේත්‍රයට ඇතුල් වූයේ සැලසුමකට අනුව නොවේ. 1995 වර්ෂය වන විට ජයන්ත ප්‍රනාන්දූ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවෙකු වූ ගරු මාක් ප්‍රනාන්දු විනිශ්චයකාරතුමාගේ නීති ආධුනිකයෙකු ලෙස කටයුතු කළේය. මෙම ජ්‍යෙෂ්ඨ විනිසුරුතුමා කියා සිටියේ නීති වෘත්තියට ඇතුළු වන නවකයන් නීතියේ නව අංශවලට යොමු විය යුතු බවයි. මේ අනුව නව අවස්ථා සොයමින් සිටි ජයන්ත ප්‍රනාන්දු මහතාට ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ පර්යේෂණ සහකාර තනතුරු ඇති බව දැන ගැනීමට ලැබුණි. මෙම ව්‍යාපෘතිය වූයේ පරිගණක අපරාධ සම්බන්ධ නීති සඳහා යෝජනා සකස් කිරීමයි. මේ සඳහා පවතින නීතියේ ඇති හිදැස් හඳුනා ගැනීමත් පරිගණක සම්බන්ධ අපරාධ පිළිබඳ නව මූලධර්ම සකස් කිරීමත් අවශ්‍ය විය. නීතිපති දෙපාර්තමේන්තුවේ යසන්ත කෝදාගොඩ මහතාව හඳුනා ගැනීමෙන් පසු එවකට ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥයෙක් වූ කෝලිත ධර්මවර්ධන මහතාට ජයන්ත ප්‍රනාන්දු මහතාව හඳුන්වා දෙන ලදී. ජයන්ත ප්‍රනාන්දු මහතාට දිගටම මග පෙන්වූයේ කෝලිත ධර්මවර්ධන මහතායි.

ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව එහි කටයුතු කළේ විශාල කාර්ය මණ්ඩලයක් සමග නොව ක්‍රියාකාරි කමිටු ගණනාවක් මගිනි. එහි නීතිය හා පරිගණක කමිටුව 1986 වර්ෂයේ දී ස්ථාපිත කරන ලදී. 1986 පෙබරවාරි මාසයේ පැවැත්වු මෙම කමිටුවේ පළමු රැස්වීමේ දී එම කමිටුව ස්ථාපිත කිරීමට හේතු දක්වන ලද්දේ මෙසේය. “තව අවුරුදු කීපයක දී පරිගණක හා සම්බන්ධ කරුණු ප්‍රධාන නීති ප්‍රශ්න වනු ඇත. පුළුල් ලෙස පරිගණක භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා පරිගණක හා තොරතුරු තාක්ෂණයට අදාළ කරුණු සම්බන්ධයෙන් රටේ නීති පද්ධතියේ කළ යුතු වෙනස්කම් සකස් කිරීම හා ඒවා නීති පද්ධතියට ඇතුළත් කිරීම සොයා බැලීම මෙම කමිටුව ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වේ.“

මෙම ක්‍රියාකාරි කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ අය අතර ජාතික බුද්ධීමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ආචාර්ය ඩී. එම්. කරුණාරත්න, සොලිසිටර් ජෙනරාල් උපවංශ යාපා මහතා, අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරුන්වූ පි.බී. හේරත් මහතා හා ධාරා විජයතිලක මහත්මිය, නීති පීඨයේ පීඨාධිපති ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නලීන් අබයසේකර මහතා හා තිරීස් පෙරේරා මහත්මිය, කෝලිත ධර්මවර්ධන මහතා, බැංකු අංශය නියෝජනය කළ ලාල් ඩයස් මහතා, සුරකුම්පත් විනිමය කොමිසම නියෝජනය කළ ජනාධිපති නීතිඥ කනගීස්වරන් මහතා හා නීතිපති වූ සුනිල් ද සිල්වා මහතා යන මහත්ම මහත්මීන් විය. මෙය නීතිඥයෙක් නොවූ මහාචාර්ය වී. කේ. සමරනායක සභාපති ලෙස කටයුතු කළ සුවිශේෂි කමිටුවක් විය. මුලින්ම මෙම කමිටුව ගෙන ආ යෝජනා වල ප්‍රතිථලයක් වූයේ 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතයි. මෙම නීතිය සම්මත වීමත් සමග සිවිල් හා අපරාධ නඩු වලදී ශ්‍රව්‍ය-දෘෂ්ඨි වාර්තා හා පරිගණකවලින් නිපදවු ප්‍රකාශනවල අඩංගු තොරතුරු උසාවිවල ඉදිරිපත් කිරීමට අවසර ලැබුණි.

1995 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ (CINTEC) නීතිය හා පරිගණක පිළිබඳ කමිටුවේ රැස්වීමකට සහභාගි වු ජයන්ත ප්‍රනාන්දු මහතාට ක්‍රියාකාරි කමිටුවේ කාර්ය භාරය, එහි විෂය පථය හා බලපෑම ගැන අවබෝධයක් ලබා ගත හැකි විය. මෙහිදි සාකච්ඡාවට භාජනය වූ මාතෘකා අතර බුද්ධිමය දේපළ අයිතිය, සාක්ෂි පිළිබඳ ගැට‍ළු, පරිගණක අපරාධ පිළිබඳ ප්‍රශ්න, දත්ත අන්තර් හුවමාරුව, දත්ත ආරක්ෂාව හා පෞද්ගලිකත්වය පිළිබඳ ගැට‍ළු ආදිය විය. තමා රැකියාව අතින් ගත යුතු හොඳ ම මාර්ගය කුමක් ද යන්න ඔහුට අවබෝධ වුයේ මෙම කමිටු රැස්වීමේ දිය.

කෝලිත ධර්මවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ පළමුවෙන් ම ඔහු කළේ පරිගණක අපරාධ සම්බන්ධ පර්යේෂණයක් කිරීමයි. මෙහි අරමුණ වූයේ පරිගණක තුළින් නිර්මාණය කරන හා ඒවාට එල්ල වන තර්ජන පිළිබඳ කටයුතු කිරීමට පවතින අපරාධ නීති ප්‍රමාණවත් ද යන්න සොයා බැලීමයි. ඉ-වාණිජ කටයුතු හා ඉ-ගනුදෙනු සම්බන්ධයෙන් අවශ්‍ය නීති පිළිබඳ යෝජනා ගැන ද මෙම කමිටුවේ අවධානය යොමු විය. ලෝක වෙළඳ සංවිධානය හා බුද්ධිමය දේපළ සම්බන්ධ වෙළඳ ගිවිසුම (WTO & TRIPS) යටතේ ශ්‍රී ලංකාවේ වගකීම් ඉටු කිරීම සඳහා සකස් කළ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ අයිතිය පිළිබඳ පනතට අවශ්‍ය වූ තොරතුරු ද නීති කමිටුව ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට ලබා දුන්නේය. මේ අනුව මෘදුකාංග හා ඒකාබද්ධ පරිපථ ආරක්ෂා කරන විධිවිධාන නව පනතට ඇතුළත් කිරීමට හැකි වූයේය.

1984 අංක 10 දරණ පරිගණක හා තොරතුරු තාක්ෂණ පනත වෙනුවට 1994 අංක 11 දරණ විද්‍යා හා තාක්ෂණ පනත සම්මත කළ නමුත් 2003 දී ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව වසා දමන තුරුම නීති කමිටුව ක්‍රියාත්මක විය.

2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ස්ථාපිත කරන ලද අතර එය පරිගණක හා තාක්ෂණවේද සභාවේ (CINTEC) ප්‍රධාන කටයුතු සියල්ලම භාර ගත්තේය. ඉදිරියට ගෙන යා යුතු එක් අංශයක් ලෙස හඳුනා ගන්නා ලද්දේ නීතිය හා පරිගණක සම්බන්ධයෙන් කර තිබූ කටයුතුයි. ඉ-නීති යනුවෙන් නම් කරනු ලැබූ මෙම කාර්යය, ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය (eSL) යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ක්‍රියාත්මක කළ ප්‍රධාන වැඩසටහනක් විය.

ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය විවිධ පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව සකස් වූ ආධාර ලබා දෙන ආයතන ගණනාවක වැඩසටහනක් විය. ඉ-නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ, ප්‍රමුඛත්වය ලබා දිය යුතු ක්ෂේත්‍ර ලෙස හඳුනා ගන්නා ලදී. නීතිය හා පරිගණක පිළිබඳ කලින් පැවති (CINTEC) කමිටුවේ කටයුතු ඉදිරියට ගෙන යෑමට නව නියෝජිතායතනයේ (ICTA) සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි විසින් ජයන්ත ප්‍රනාන්දුට ආරාධනය කරන ලදී. ඒ අනුව ඉ-නීති පිළිබඳ අංශයට ජයන්ත ප්‍රනාන්දු මහතා නායකත්වය දුන්නේය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී (ICTA) ජයන්ත ප්‍රනාන්දු මහතා පළමුවෙන්ම අවධානය යොමු කළේ 2006 අංක 19 දරණ ඉ-ගනුදෙනු පනත සකස් කිරීමට අවශ්‍ය කටයුතු වලටයි. ඉන් පසු අධිකරණ අමාත්‍යංශය සමග සම්බන්ධීකරණය කරමින් ඔහු අවධානය යොමු කළේ 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පිළිබඳ පනත සඳහා අවශ්‍ය වූ කටයුතුවලටයි. මෙම නීති දෙකට ම පදනම් වූයේ ජාත්‍යන්තර භාවිතයන්ය. ඉ-ගනුදෙනු පනතට පදනම් වූයේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදනය භාවිතය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියයි. රටවල් අතර ඉ-වාණිජ ගිවිසුම් සඳහා යොදා ගත හැකි එකම ජාත්‍යන්තර ගිවිසුම වන එක්සත් ජාතීන්ගේ ඉලෙක්ට්‍රොනික සන්නිවේදන සම්මුතිය ශ්‍රි ලංකාවේ අපරානුමත කර ගැනීමේ ප්‍රයත්නයට නායකත්වය දුන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි (ICTA). මේ අනුව ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට පර්ශවකරුවෙක් වූ පළමුවැනි දකුණු ආසියාතික රටත් (සිංගප්පූරුවට පසුව) ආසියාවේ දෙවැනි රටත් බවට පත්විය. ශ්‍රී ලංකාවට මෙම සම්මුතිය අපරානුමත කළ හැකි වූයේ අවශ්‍ය නීති, එනම් 2006 අංක 19 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත සම්මත වී තිබූ බැවිනි.

රට තුළ සයිබර් අපරාධ මැඩලීමේ කටයුතු වැඩිදුරටත් ශක්තිමත් කිරීම සඳහා සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව සම්බන්ධ වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි (ICTA). 2015 පෙබරවාරි මාසයේ දී යුරෝපීය මණ්ඩලය විසින් සයිබර් අපරාධ ප්‍රඥප්තියට සම්බන්ධ වන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනය කරන ලද අතර ශ්‍රී ලංකාව මේ සඳහා අවශ්‍ය ලිපි ලේඛන 2015 මැයි මාසයේ දී යුරෝපීය මණ්ඩලයට ඉදිරිපත් කළේය. මේ අනුව 2015 සැප්තැම්බර් 1වැනිදා සිට බුඩාපෙස්ට් සයිබර් අපරාධ ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක විය. රාජ්‍ය පාර්ශවයක් ලෙස සයිබර් අපරාධ ප්‍රඥප්තියට බැදුණු දකුණු ආසියාවේ පළමුවැනි රට ශ්‍රී ලංකාව වේ. (ජපානයට පසු ආසියාවේ දෙවැනි රට ද වේ) යුරෝපීය මණ්ඩලයේ වාර්තාවලට අනුව ඉතාම ඉක්මනින් මෙම ක්‍රියාවලිය සම්පූර්ණ කරමින් ප්‍රඥප්තිය පිළිගත් රට ද ශ්‍රී ලංකාව වේ. මෙය පහසු වූයේ ශ්‍රී ලංකාවේ අනුමත වී ඇති 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත වැනි මූලික නීති හා වෙනත් බොහෝ ප්‍රතිපත්ති සයිබර් අපරාධ ප්‍රඥප්තියට එකඟ වීම නිසාය.

අවුරුදු ගණනාවක් තිස්සේ ගොඩනගන ලද මෙම පරිසරය නිසා මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගිවිසුම් දෙකට ම පූර්ණ රාජ්‍ය පාර්ශවයක් වීමටත් ලෝකයේ මේ කොටසේ ඒවා අපරානුමත කළ එකම රට වීමටත් ශ්‍රී ලංකාවට හැකිවී තිබේ.

ජයන්ත ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ 2005 අංක 28 දරණ ගෙවීම් හා නිරාකරණ පනත හා ගෙවීම් උපක්‍රම වංචා පනත සකස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමග ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයය (ICTA) විශාල කාර්ය භාරයක් ඉටු කළ බවයි.

<3>ඉදිරි මග

ජයන්ත ප්‍රනාන්දු මෙතෙක් කළ කටයුතු සමාලෝචනය කරමින් කියා සිටියේ ඒවාට බහු විධ අංශ සම්බන්ධ වූ බැවින් සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා අවබෝධ කර ගෙන රටේ සිදු කළ යුතු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීම අවශ්‍ය වූ බවයි.

නීති හා ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ මූලික වෙනස්කම් කිරීමේ කටයුතුවලට සම්බන්ධ වූ ජයන්ත ප්‍රනාන්දු මහතා, පරිගණක හා තාක්ෂණවේද සභාවේ (CINTEC) මෙන්ම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඉටු කල කාර්ය භාරය තුළින් අවශ්‍ය නෛතික හා බලදායි පරිසරය සකස් කිරීමට විශාල මෙහෙයක් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අවශ්‍ය සියල්ල සිදු කර ඇතැයි යනුවෙන් තෘප්තිමත් නො විය යුතු යයි ඔහු අනතුරු අඟවයි. ඉක්මනින් ම ප්‍රමුඛත්වය දිය යුතු කරුණක් වන්නේ පෞද්ගලිකත්වය හා දත්ත ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත් නීති සම්පාදනය කිරීමටයි. විශේෂයෙන්ම මෑත දී සම්මත වූ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත නිසා මෙය වඩාත් අවශ්‍ය වී තිබේ. රජයෙන් හා මූල්‍ය ආයතනවලින් ලබා ගන්නා තොරතුරු අව භාවිතා නො කරන බව හා ඔවුන්ගේ අනුමැතියකින් තොර ව භාවිතා නො කරන බව දැන ගැනීමට පුරවැසියන්ට අයිතියක් තිබේ. මේ සම්බන්ධයෙන් ගෝලීය ප්‍රමිති දෙකකට අවධානය යොමු වී තිබේ. මේවා නම් යුරෝපීය මණ්ඩලයේ දත්ත ආරක්ෂාව පිළිබඳ ප්‍රඥප්තිය හා යුරෝපීය පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද යුරෝපීය දත්ත ආරක්ෂා කිරීමේ රෙගුලාසි වේ.

Gallery
Resources

CINTEC Law Committee – Nov 1997
CINTEC Law Committee – Nov 1997 – Pg 2
CINTEC Law Committee – Nov 1997 – Pg 3