ඉරාන් වික්‍රමරත්න මහතා

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරුණ හා රජයේ ඉහළම තොරතුරු තාක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ආරම්භක සභාපතිවරයා වූයේ ඉරාන් වික්‍රමරත්න මහතායි. ඔහු 2002 වර්ෂයේ දී ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ උපදේශකයෙක් වූ අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ස්ථාපිත කිරීම හා ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සකස් කිරීමේ දී විශේෂ කාර්ය භාරයක් ඉටු කළේය.

ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ලෝකයේ පළමුවැනි වරට ලෝක බැංකුව සම්බන්ධ වූ පූර්ණ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය බැවින් එය පුරෝගාමි ව්‍යාපෘතියක් ලෙස සැලකිය යුතුය යන්න වික්‍රමරත්න මහතාගේ අදහස වේ. වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ ඉ-ශ්‍රී ලංකා වැඩසටහන පිළියෙල කිරීමේ දී ප්‍රථමයෙන් ම දැක්මක් අවශ්‍ය වූ බවයි. ඉන් පසු සැලැස්මක් හා මාර්ග සිතියමක් පිළියෙල කරන ලදී. ඉන් පසුව අවශ්‍ය වූයේ සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය විස්තරාත්මක ව දැක්වීමයි. මෙයට අමතරව අධීක්ෂණ යන්ත්‍රණයක් ද සකස් කළ යුතු විය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙවැනි වැඩසටහන් සඳහා තිරසරබව සහතික කළ යුතු බවත් අවසාන වශයෙන් සියලු ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබිය යුතු බවත්ය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ වික්‍රමරත්න මහතා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දේශපාලනය හා ආර්ථික විද්‍යාව හැදෑරූ අතර ආර්ථික විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක් වේ.

වික්‍රමරත්න මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේ අනපේක්ෂිත ලෙසයි. 1984 වසරේ ඔහු ජාත්‍යන්තර බැංකුවක සේවය කරන අතර ඉ-තැපෑල ගැන දැන ගැනීමට ලැබුණි. ඒ වන විට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ඒ ගැන දැන සිටියේ නැත. පසුව ඔහු ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරන අතර එවකට ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ ඇමතිවරයා වූ මිලින්ද මොරගොඩ මහතාට හඳුන්වා දෙන ලදී. සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගත හැකි ආකාරය දැන ගැනීමට ඇමතිතුමාට අවශ්‍ය වී තිබුණි. මේ ගැන අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමෙන් පසු මෙම ප්‍රයත්නයට නායකත්වය දෙන ලෙස වික්‍රමරත්න මහතාට ආරාධනය කරන ලදී. වික්‍රමරත්න මහතා මුලදී මෙයට අකමැති වුවත් සංවර්ධනය පිළිබඳ ඔහුගේ දැනුම නිසා එය භාර ගත යුතු යයි ඇමතිතුමා පැහැදිලි කළේය.

ඉන් පසු මේ සඳහා කණ්ඩායමක් සාදන ලද අතර මුල් අවධියේ එයට සම්බන්ධ වූ අය වන්නේ හාන්ස් විජයසූරිය මහතා, මහාචාර්ය රොහාන් සමරජීව මහතා, ආචාර්ය රුවන් වීරසිංහ මහතා, ජයන්ත ප්‍රනාන්දු මහතා, කාවන් රත්නායක මහතා හා ආචාර්ය අජිත් මදුරප්පෙරුම මහතායි. මේ සම්බන්ධව ලෝක බැංකුව සමග සාකච්ඡා කරන ලද අතර ඉදිරිපත් කළ මූලික අදහස් ගැන බැංකුව උනන්දුව පළ කළේය.

පළමුවෙන් ම අවශ්‍ය වූයේ මාර්ග සිතියමක් කෙටුම්පත් කිරීමයි. වැඩසටහන සඳහා දැක්මක් තිබීමත්, කළ යුතු දෑ ගැන තීරණය කිරීමත්, ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය ගැන සිතීමත් අවශ්‍ය විය. වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් අවශ්‍ය විය. මේ සඳහා පිහිටුවනු ලැබූ මෙහෙයුම් කමිටුවට ලෝක බැංකුවේ නැගී හන්නා මහතාගේ (Nagy Hanna) සහාය ලැබුණි. ඔහු සංවර්ධනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම පිළිබඳ විශේෂඥයෙක් විය. මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කරන විට එහි සෑම අංගයක් ම සඳහා නියමිත ඉලක්ක සහිත මාර්ග සිතියමක් තිබීමේ අවශ්‍යතාව වික්‍රමරත්න මහතා අවධාරණය කළේය.

ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වූයේ එසේයි. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ලෝකයේ පළමුවැනි වරට ලෝක බැංකුව සම්බන්ධ වූ පූර්ණ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය විය. මේ නිසා එය පුරෝගාමි ව්‍යාපෘතියක් වූයේය. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතියේ අංග වූයේ ප්‍රතිපත්ති සංවර්ධනය, සම්බන්ධතා යටිතලය දියුණු කිරීම හා දැනුවත් කිරීම, මානව සම්පත් දියුණු කිරීම, රජය ප්‍රති-නිර්මාණය කිරීම හා තාක්ෂණික ව්‍යුහය, ආරක්ෂාව හා ප්‍රමිතියි.
2003 අංක 27 දරණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පනත සම්මත කිරීමත් සමග 1994 අංක 11 දරණ විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනතේ අදාළ වගන්ති අහෝසි විය. තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් කලින් පිහිටුවා තිබූ ඉහළම ආයතනය වූ ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව (CINTEC) ස්ථාපිත කර තිබුණේ එම පනතේ අහෝසි වූ වගන්තිය යටතේ නිසා එම ආයතනය වසා දමන ලදී. වික්‍රමරත්න මහතා කියා සිටියේ නව දැක්ම අනුව සකස් කළ මාර්ග සිතියම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කුසලතා හා විශේෂඥ දැනුම එම ආයතනය සතු නොවූ බැවින් එය වසා දැමීම ප්‍රායෝගික පියවරක් වූ බවයි.

මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කරන ලද අතර එය 2003 ජුලි 1 දින කොළඹ කිරි මණ්ඩල මාවතේ දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළේය. වික්‍රමරත්න මහතා පළමු සභාපතිවරයා වූ අතර මංජු හත්තොටුව මහතා ප්‍රධාන විධායක නිලධාරියා විය. ආරම්භක කණ්ඩායමේ අනිත් සාමාජිකයන් වූයේ පිටරටක සිට බඳවා ගත් හා පසුව ප්‍රධාන විධායක නිලධාරි තනතුරට පත්වූ රෙෂාන් දේවපුර මහතා, තාක්ෂණික ව්‍යුහය, ආරක්ෂාව හා ප්‍රමිති පිළිබඳ අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂ වූ මහාචාර්ය ගිහාන් ඩයස් හා රජය ප්‍රති-නිර්මාණය කිරීමේ අංශයට නායකත්වය දුන් ලලිත් වීරතුංග මහතා ආදීන්ය. වසන්ත දේශප්‍රිය මහතා මේ අංශයේ වැඩසටහන් විශේෂඥයෙකු ලෙස කටයුතු කළේය. දිලන්ත විතානගේ මහතා, පැට්‍රික් කනකසිංහම් මහතා, ජයන්ත ප්‍රනාන්දු මහතා හා රීසා සරූක් මහතා යන අය ද මුල් කණ්ඩායමේ සාමාජිකයෝ වූහ.

වික්‍රමරත්න මහතා පැහැදිලි කළේ පුද්ගලික අංශය දිරි ගන්වමින් ශ්‍රී ලංකාවේ අපනයන වැඩි කිරීම අත්‍යවශ්‍ය බවයි. සංවර්ධනයේ ප්‍රතිඵලය විය යුත්තේ වැඩි ආදායම් හා වැඩි රැකියා අවස්ථා මෙන් ම රටේ ජනතාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීමයි. මේ කාලයේ බාහිරකරණ (outsourcing) සමාගම් ගණනාවක් සමග සාකච්ඡා පවත්වන ලද අතර ඔවුන් තුළ ලංකාවට පැමිණිමට උනන්දුවක් තිබුණි. ඉන් පසුව හොංකොං ඇන්ඩ් ෂැංහයි බැන්කින් කෝපරේෂන් (HSBC) මගින් ශ්‍රි ලංකාවේ බාහිරකරණ මෙහෙයුමක් ආරම්භ කරන ලද අතර ඩබ්ලිව් එන් එස් සමාගම (WNS) විසින් ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) සමාගමක් පිහිටුවන ලදී.

පසුගිය කාලය ගැන සඳහන් කරන වික්‍රමරත්න මහතා කියා සිටියේ රජය වෙනස් වීමත් සමග පුද්ගලික අංශයට දැක්වූ අවධාරණය තරමක් අඩුවූ බවයි. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර තිබූ තත්වයට වඩා දැන් පුද්ගලික අංශය දියුණු වී ඇති බවත් පුද්ගලික අංශයේ තත්වය තහවුරු කර ගැනීමට නිසැක වශයෙන් ම ඉ-ශ්‍රී ලංකා සංවර්ධන ව්‍යාපෘතිය උපකාරී වී ඇති බවත් වික්‍රමරත්න මහතාගේ අදහස විය.

ඉ-රාජ්‍ය වැඩසටහනට නායකත්වය දීමට ලලිත් වීරතුංග මහතා පැමිණීම වැඩසටහන සංවිධානය කර ගැනීමට උපකාරී වු බව සඳහන් කළ වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ රජයේ සේවකයන්ට තාක්ෂණය ලබා දි ඔවුන් සවිබල ගැන්වීමට රජය ආයෝජනය කළ යුතු බවයි.

නැණසල ලෙස පසුව හඳුන්වනු ලැබූ ටෙලි මධ්‍යස්ථාන රට පුරා පිහිටුවන ලද්දේ දරා ගත හැකි මිලකට සම්බන්ධතාව, අදාළ අන්තර්ගතය හා පුහුණුව ලබා දීමටයි. සිංහල හා දෙමළ භාෂාවලින් අදාළ අන්තර්ගතය හා යෙදුම් සකස් කර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඉ-සමාජ වැඩසටහන තුළින් ලබා දෙන ලදී. නැණසල වැඩසටහන ගැන ඇගයීමක් කරන වික්‍රමරත්න මහතා කියා සිටියේ එය ක්‍රියාත්මක කිරීමේ පසු අවස්ථාවක දී ආර්ථික ආකෘතිය වෙනස් කර ඇතත් මුල් දැක්ම වූයේ මෙම මධ්‍යස්ථාන වාණිජමය අතින් ශක්තිමත් මෙන් ම පුරවැසියන්ට රජයේ සේවා කාර්යක්ෂම ලෙස ලබා දෙන මධ්‍යස්ථාන බවට පත් කිරීම බවයි. ක්‍රියාත්මක කරන ඕනෑම ව්‍යාපෘතියක් තිරසර විය යුතු බව ඔහු අවධාරණය කරයි.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ බලදායී පරිසරයක් ගොඩ නැගීමේ අංශයේ ප්‍රධාන අංග වූයේ ආයතනික සංවර්ධනය, ඉ-නායකත්වය, දේශීය භාෂා ප්‍රයත්න, අධීක්ෂණය හා ඇගයීම හා ඉ-නීති ආදියයි. ඉ-නීති අංශයේ වැඩසටහන් අධ්‍යක්ෂ වූයේ ජයන්ත ප්‍රනාන්දු මහතායි. මෙම අංශය මගින් 2006 අංක 19 දරණ ඉ-ගනුදෙනු පනත හා 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනත පිළියෙළ කර සම්මත කර ගන්නා ලදී. සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමේ කටයුතු ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ඉටු කරන ලදී. ඉ-රාජ්‍ය සේවා හා යටිතල පහසුකම් ක්‍රියාත්මක වීමත් සමග අදාළ නෛතික පද්ධතිය ද දියුණු කිරීම අවශ්‍ය වූ බව වික්‍රමරත්න මහතා කියා සිටියේය. එය ඉ-ශ්‍රී ලංකා මාර්ග සිතියමේ එක් කොටසකි.

ඉහත දැක්වූවේ මින් අවුරුදු 15කට පෙර ආරම්භ කළ පරිපූර්ණ සංවර්ධන වැඩසටහන පිළිබඳ ව වික්‍රමරත්න මහතාගේ මතකයෙන් බිඳක් පමණි. වික්‍රමරත්න මහතා අවසාන වශයෙන් කියා සිටියේ පළමුවෙන්ම දැක්මක් තිබිය යුතු බවත්, ඉන් පසුව සැලස්මක් හා මාර්ග සිතියමක් සකස් කර ගත යුතු බවත්ය. සැලස්ම ක්‍රියාත්මක කරන ආකාරය විස්තරාත්මකව දැක්වීම අවශ්‍ය වේ. අධීක්ෂණ යාන්ත්‍රණයක්ද තිබිය යුතු අතර තිරසරබව සහතික කළ යුතු වේ. ආයෝජනයෙන් ප්‍රතිලාභයක් ද තිබිය යුතුය. අවසාන වශයෙන් සියලු ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබිය යුතුය.

සම්පත්