අභය අමරදාස මහතා

කොළම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අභය අමරදාස මහතා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) සාමාන්‍යාධිකාරී වේ. පාසලේ දී මුද්‍රණ ශිල්පය ගැන ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණු බැවින් අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ රැකියාවකට ඉල්ලුම් කළ අතර 1980 දෙසැම්බර් මාසයේ එම රැකියාව ලැබුණි. ඔහුගේ වෘත්තිය උනන්දුව තිබුණේ චිත්‍රක කලාව හා මුද්‍රණ තාක්ෂණ ශිල්පය ගැනයි. අමරදාස මහතා ඔෆ්-සෙට් ලිතොග්‍රාෆ්, මුද්‍රණය සඳහා සැලසුම්, පිරිවැය හා ඇස්තමේන්තු කිරීම හා චිත්‍රක පුනර්-ඡායාරූපකරණය ඇතුළු මුද්‍රණ තාක්ෂණය පිළිබඳ තෘතීයික පාඨමාලා හදාරා තිබේ. මේ සඳහා ඔහු පළමු පන්තියේ ස්වර්ණ සම්මාන ද දිනා ගෙන ඇත. රජත සම්මානයක් සහිත ව මුද්‍රණ තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් ද ලබාගෙන තිබේ.

අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ සේවය කළ කාලයේ සිංහල හා ඉංග්‍රීසි පුවත් පත් සඳහා තේරීම සහිත වර්ගීකෘත දැන්වීම් ක්‍රමයක් (classified advertisements with sorting) හඳුන්වා දුන්නේය. වර්ගීකෘත දැන්වීම් තේරීමට භාජනය කළ හැකි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පුවත්පත්වලට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. 1995 සැප්තැම්බර් 4 වන දින පළමු වරට ලංකා ඉන්ටර්නෙට් මගින් ‘ඩේලි නිවුස්‘ හා ඉරිදා ‘ඔබ්සර්වර්‘ පුවත්පත් අන්තර්ජාලයේ පළ කරන ලදී. මේවා දකුණු ආසියාවේ අන්තර්ජාලයේ පළ කළ මුල්ම පුවත්පත් වේ. එතැන් සිට නොකඩවා මෙම පුවත් පත් අන්තර්ජාලයේ පළ විය. ‘දිනමිණ‘ නම් සිංහල යුනිකෝඩ් ෆොන්ටය සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් නිපදවා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට දෙන ලද අතර දැන් එය පරිශීලකයන්ට නොමිලේ භාවිතා කළ හැකි වේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


කොළම රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අභය අමරදාස මහතා ලේක්හවුස් යන නාමයෙන් ප්‍රසිද්ධ ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ANCL) සාමාන්‍යාධිකාරී වේ. මෙම සමාගම පිහිටුවන ලද්දේ 1926 නිසා එය ශ්‍රී ලංකාවේ ඇති පැරණි ම ප්‍රකාශන සමාගම වේ. අමරදාස මහතා මුද්‍රණ ශිල්පය ගැන උනන්දු වූයේ පාසල් යන අවධියේමයි. විශාල ආයතනවල ඇති මුද්‍රණ යන්ත්‍ර ගැන මෙන් ම විවිධ පත්‍රිකා හා සඟරා ආදිය ගැන ඔහු තුළ තිබූ උනන්දුව නිසා තම වෘත්තිය ලෙස මුද්‍රණ කර්මාන්තය තෝරා ගත යුතු යයි ඔහු තීරණය කළේය. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රැකියාවකට ඔහු ඉල්ලුම් කළේ මේ නිසාය. 1980 දෙසැම්බර් මාසයේ ඔහු ලේක්හවුස් ආයතනයට බැඳෙන විට එම ආයතනයට චිත්‍රක පුනර්ඡායාරූපකරණය (graphic repro photography) හඳුන්වා දෙමින් තිබුණි. මේ සම්බන්ධයෙන් විදේශ පුහුණුවක් ලැබූ පළමුවැනි කණ්ඩායමට අමරදාස මහතා ඇතුළත් විය. ඉන් පසු අමරදාස මහතා තම වෘත්තිය ලෙස චිත්‍රක කලාව හා මුද්‍රණ තාක්ෂණය තෝරා ගත්තේය. අමරදාස මහතා ඔෆ්-සෙට් ලිතොග්‍රාෆ්, මුද්‍රණය සඳහා සැලසුම්, පිරිවැය හා ඇස්තමේන්තු කිරීම හා චිත්‍රක පුනර්ඡායාරූපකරණය ඇතුළු මුද්‍රණ තාක්ෂණය පිළිබඳ තෘතීයික පාඨමාලා හදාරා තිබේ. මේ සඳහා ඔහු පළමු පන්තියේ ස්වර්ණ සම්මාන ද දිනා ගෙන ඇත. රජත සම්මානයක් සහිතව මුද්‍රණ තාක්ෂණය හා කළමනාකරණය පිළිබඳ උසස් ඩිප්ලෝවක් ද ලබාගෙන තිබේ. මුද්‍රණ තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ ඩිජිටල් පුනර්පිටපත් විද්‍යාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.

මෙයට අමතරව ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ කුසලතා සම්මානයක් සහිත ඩිප්ලෝමාවක් දිනා ගෙන ඇති අමරදාස මහතා චිත්‍රක කලා තාක්ෂණ කළමනාකරණය, පොදු කළමනාකරණය හා සංයුක්ත සැලසුම්කරණය ආදිය පිළිබඳ කලාපීය කළමනාකරණ වැඩමුළු ගණනාවකට ද සහභාගී වී තිබේ. 1986 වර්ෂයේ සිට ජර්මනියේ ඩසල්ඩෝෆ් හි පැවැත්වෙන මුද්‍රණය හා තාක්ෂණ යාවත් කාල සැසි අටක දී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නියෝජනය කර ඇති අමරදාස මහතා 1988 සිට එක්සත් ජනපදයේ බර්මින්හැම් නගරයේ පැවති (IPEX) මුද්‍රණ සම්මන්ත්‍රණ හා වැඩමුළු හයක දී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නියෝජනය කර තිබේ.

අමරදාස මහතා ලේක්හවුස් ආයතනයේ සේවය කළ කාලයේ සිංහල හා ඉංග්‍රීසි පුවත් පත් සඳහා ඇමිකස් (Amicus) අක්ෂර සංයෝජනය හා තේරීම සහිත වර්ගීකෘත දැන්වීම් ක්‍රමයක් හඳුන්වා දුන්නේය. වර්ගීකෘත දැන්වීම් තේරීමට භාජනය කළ හැකි ක්‍රමයක් ශ්‍රී ලංකාවේ පුවත්පත්වලට හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. වර්ගීකරණය කළ දැන්වීම් අකාරාදී පිළිවෙළට තෝරා තිබීම පාඨකයන්ට අවශ්‍ය දෑ සොයා ගැනීම පහසු කළේය. සිංහල පුවත්පත්වල ද මේ ආකාරයට වර්ගීකරණය කළ දැන්වීම් අකාරාදි පිළිවෙළට තෝරා පළ කරන ලදී. පසුව ලේක්හවුස් ආයතනය මේ සඳහා ජගත් රොබොටික්ස් සමාගමෙන් මිලදී ගත් දේශීය වශයෙන් එකලස් කරන ලද පරිගණක භාවිතා කළේය.

1995 වර්ෂයේ ලේක්හවුස් පුවත්පත් විශාල නවීකරණ පියවරක් ඉදිරියට තැබූ බව අමරදාස මහතා සිහි කරයි. 1995 සැප්තැම්බර් 4 වන දින පළමු වරට ලංකා ඉන්ටර්නෙට් මගින් ‘ඩේලි නිවුස්‘ හා ඉරිදා ‘ඔබ්සර්වර්‘ පුවත්පත් අන්තර්ජාලයේ පළ කරන ලදී. මෙය ‘ඩේලිනිවුස්‘ හා ඉරිදා ‘ඔබ්සවර්‘ පත්‍රවල අන්තර්ජාල සංස්කරණයක් පළ කරන ලෙස ලංකා ඉන්ටර්නෙට් සේවා සමාගම එවකට ලේක්හවුස් ආයතනයේ සභාපති වූ ලක්ෂ්මන් ජයවර්ධන මහතාට කරන ලද යෝජනාවේ ප්‍රතිඵලයකි. මේවා දකුණු ආසියාවේ අන්තර්ජාලයේ පළ කළ මුල් ම පුවත්පත් වේ. එතැන් සිට නොකඩවා මෙම පුවත් පත් අලුත් යෙදුම් හා වැඩිදියුණු කිරීම් සමග අන්තර්ජාලයේ පළ කෙරේ.

ආයතනයේ තත් ප්‍රදේශ ජාලයට (Local Area Network) සිංහල අන්තර්ගතය ඇතුල් කරමින් කර්තෘ මණ්ඩල කාර්ය ප්‍රවාහයට සහාය ලබා දීමේ අවශ්‍යතාවක් ඇති විය. ඒ වන විටත් ඉංග්‍රීසි අන්තර්ගතය සම්බන්ධයෙන් මෙය ක්‍රියාත්මක වී තිබුණි. නමුත් මේ සඳහා ඇමිකස් පද්ධතියෙන් ඉවත් වී විවෘත පද්ධතියක් කරා යෑමේත්, සම්මත සිංහල යතුරු පුවරුවක් සකස් කර ගැනීමේත් අවශ්‍යතාව මතු වූයේ ය. මේ කාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සිංහල හා දෙමළ භාෂාවලින් යොදා ගැනීම පිළිබඳව ශ්‍රි ලංකා තොරතුරු හා තාක්ෂණවේද සභාවේ (CINTEC) හා පසුව එහි අනුප්‍රාප්තිකයා වූ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සිදු වෙමින් තිබූ කටයුතුවලට අනුර තිසේරා මහතා මගින් සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සම්බන්ධ වූයේය. දේශීය භාෂා භාවිතයට ගැනීමේ කාර්යයට මුලින් නායකත්වය දුන්නේ මහාචාර්ය වි.කේ. සමරනායක බවත් පසුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මහාචාර්ය ගිහාන් ඩයස් එම කටයුතු ඉටු කළ බවත් අමරදාස මහතා සිහිපත් කරයි.

මේ කටයුතුවලට අනිත් පාර්ශවකරුවන් වූයේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය, මොරටුව විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ආදියයි. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පතු සමාගම (ANCL) සකස් කළ ‘දිනමිණ‘ නම් සිංහල යුනිකෝඩ් ෆොන්ටය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට බාර දෙන ලදී. එම ආයතනය තොරතුරු හුවමාරුව සඳහා සිංහල අක්ෂර කේතය නම් ශ්‍රී ලංකා ප්‍රමිතිය සකස් කිරීමට මෙම ෆොන්ටය භාවිතා කළේය. මෙම ප්‍රමිතිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ශ්‍රීලංප්‍ර 1134:2004 ලෙස අනුමත කරන ලදී. “දිනමිණ” නම් ෆොන්ටය ලේක්හවුස් ආයතනයේ සිංහල පුවත්පත්වල භාවිතා කෙරෙන අතර එය නොමිලේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි වේ. ‘දිනමිණ‘ පුවත් පත් එච් එස් පෙරේරා නම් මහතෙක් විසින් 1914 දී ආරම්භ කර ඇති අතර පසුව 1918 දී සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ආරම්භකයන් විසින් මිලදී ගෙන ඇත.

සිංහල කර්තෘ මණ්ඩල කාර්ය ප්‍රවාහයට පුවත්, ආවරණ හා විවිධ අයිතම ඇතුල් කළ හැකි ආකාරයට 2007 දී මෙම පද්ධතිය සකස් කරන ලදී. ප්‍රාදේශීය වාර්තාකරුවන්ට මෙන් ම ඒජන්සි ෆ්‍රාන්ස් (AFP) රොයිටර්ස්, ඇසෝෂියේටඩ් ප්‍රෙස් (AP) හා ප්‍රෙස් ට්‍රස්ට් එෆ් ඉන්ඩියා (PTI) වැනි ප්‍රවෘත්ති ආයතනවලට ද මෙය විවෘත කරනු ලැබීය. මේ අනුව උප කර්තෘවරුන්, ප්‍රවෘත්ති කර්තෘවරුන් ගේ සිට අවසාන සංස්කරණය සඳහා අංශ ප්‍රධානීන් දක්වා ප්‍රවෘත්ති ප්‍රවාහය සිදු විය. ඉන් පසු පිටු සකස් කිරීම, චිත්‍රක සැලසුම්කරුවන් අතින් සිදු වූ අතර පසුව ඒවා කෙළින්ම තැටිවලට යවන ලදී. මේ අනුව පරිගණකයෙන් කෙළින්ම තැටියට යැවීමෙන් මුද්‍රණ ක්‍රියාවලියේ අවස්ථා තුනක් එක් ක්‍රියාවලියට අඩු කිරීමට හැකි විය. කාර්ය ප්‍රවාහයට අමතරව වත්කම් කළමනාකරණ පද්ධතියක් සහිත අධිලේඛන පද්ධතියක් ද ස්ථාපිත කරන ලදී. මෙහි ප්‍රතිඵලය වූයේ සෑම ඡායාරූපයක් ම, සෑම කාටූනයක් ම, සෑම විකට චිත්‍රයක් ම, සෑම ප්‍රවෘත්ති අයිතමයක් ම හා සෑම පිටුවක් ම ස්වයංක්‍රීය ලෙස මෙම කළමනාකරණ පද්ධතියේ අධිලේඛනගත වීමයි. මේ නිසා අනාගතයේ ඕනෑම අවස්ථාවක කර්තෘ මණ්ඩලයේ පුද්ගලයන්ට අවශ්‍ය ඕනෑම අයිතමයක් මෙම පද්ධතියෙන් ලබා ගත හැකි වේ.

නිෂ්පාදන ප්‍රවාහයේ මෙම ක්‍රියාවලිය පසුගිය අවුරුදු 15 තුළම සිදු වී තිබේ. දැන්වීම් හා ගිණුම් අංශවලට වෙනම ව්‍යවසාය සම්පත් සැලසුම් (ERP) පද්ධතියක් හඳුන්වා දී තිබේ. වර්තමානයේ දැන්වීම් අංශයේ (ERP) පද්ධතිය කර්තෘ මණ්ඩල කාර්ය ප්‍රවාහ පද්ධතිය සමග සම්බන්ධ කෙරෙමින් පවතී. මාස හයක් තුළ මෙම පද්ධති අතර අන්තර් සබඳතා ස්ථාපිත කිරීමෙන් කළමනාකාරිත්වයට සමාලෝචන කටයුතු සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි වේ. පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම එහි ක්‍රියාවලි පරිගණක ගත කිරීමේ කටයුතු සාර්ථක ලෙස නිමවා තිබේ.