අන්තර්ජාලය හා තොරතුරු සුරක්ෂිතතාව

  • මහාචාර්ය අභය ඉඳුරුව
    මහාචාර්ය අභය ඉඳුරුව තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ 1973 වර්ෂයේ, දැන් මොරටුව විශ්ව විද්‍යාලය යනුවෙන් හඳුන්වන එවකට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ශිෂ්‍යයෙක් ව සිටි අවදියේයි. පසුව ඔහු ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යායතනයෙන් ආචාර්ය උපාධියක් ලබා ගත්තේය. මහාචාර්ය අභය ඉඳුරුව හඳුන්වනු ලබන්නේ “ශ්‍රී ලංකාවේ අන්තර්ජාලයේ පියා“ ලෙසයි. ඔහු විසින් හඳුනා ගෙන ඇති, උත්සාහ දරා ඇති හා ක්‍රියාත්මක කර ඇති කටයුතු, ශ්‍රි ලංකාවේ අන්තර්ජාල කේෂ්ත්‍රය තුළ සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. අනූවේ දශකයේ දී “ලංකා පරීක්ෂණාත්මක අධ්‍යයන හා පර්යේෂණ ජාලය“ (LEARN) ස්ථාපිත කිරීම එක් ප්‍රධාන පියවරක් වේ. ලබා ගත හැකි සීමිත සම්පත් යොදා ගනිමින් 1990 දී මහාචාර්ය ඉඳුරුව ලර්න්මේල් (LEARNmail) ස්ථාපිත කළේය. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යයන හා පර්යේෂණ ආයතන සඳහා වූ පළමුවැනි අන්තර්ජාල ඉ-තැපල් පද්ධතිය විය. මෙම ඉ-තැපැල් පද්ධතිය හඳුන්වා දීමේ ඊළඟ පියවර වූයේ ශ්‍රී ලංකාවේ දේශික කේත ඉහළ මට්ටමේ වසම (.LK) ලියාපදිංචි කිරීමයි. මෙහි තාක්ෂණික කටයුතු මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් විසින් ඉටු කළ අතර මහාචාර්ය ඉඳුරුව පරිපාලන කටයුතු කළේය. ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) ආරම්භක මහ මණ්ඩල සාමාජිකයෙක් වූ මහාචාර්ය ඉඳුරුව 1998 වන තුරු ම එම මණ්ඩලයේ සේවය කළේය. ශ්‍රී ලංකාවට ජාලකරණය හා අන්තර්ජාලය හඳුන්වා දීමෙන් හා ඉන් පසුව ලබා ගත් ජයග්‍රහණ තුළින් අද ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතයට ගන්නා සියලු දෙනාට කර ඇති සේවය සැලකිල්ලට ගනිමින් මහාචාර්ය අභය ඉඳුරුවට අන්තර්ජාල සමාජය විසින් ජීවිත කාල ජයග්‍රහණ සම්මානයක් ප්‍රදානය කරන ලදී. 2014 දී මහාචාර්ය අභය ඉඳුරුව අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරනු ලැබීය. වැඩිදුර කියවන්න…
  • මහාචාර්ය ගිහාන් ඩයස්
    කොළඹ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ මහාචාර්ය ගිහාන් ඩයස් මොරටුව විශ්ව විද්‍යාලයෙන් ඉන්ජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. කැලිෆෝනියා (ඩේවිස්) විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු මොරටුව විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ මහාචාර්යවරයෙක් වේ. .LK වසම් (.LK Domain Registry) අධිකාරියේ සමාරම්භක හා ප්‍රධාන විධායක නිලධාරියා වන ඔහු 1990 පමණ සිට ඉහළ මට්ටමේ වසම් (TLD) කළමනාකරණ කටයුතුවල නියැලී සිටි. ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) පිහිටුවීමේත්, ක්‍රියාත්මක කිරීමේත් පුරෝගාමියෙක් වන මහාචාර්ය ගිහාන් ඩයස්, ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්, ගුරුවරුන් හා වෘත්තිකයන්ගේ ලාභ නො ලබන ස්වේච්ඡා සංවිධානයක් වූ ලංකා අධ්‍යයන ජාලයේ (LAcNet) සමාරම්භක හා පළමුවැනි සභාපතිවරයා ද වේ. අන්තර්ජාල සේවා සපයන්නන් ගණනාවකට ඔවුන්ගේ ජාල පිහිටුවා ගැනීමට ද මහාචාර්ය ඩයස් සහාය වී තිබේ. රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දියුණු කිරීමේ වගකීම පැවරී ඇති රජයේ ඉහළම ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA), මහාචාර්ය ඩයස් ආරම්භක වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් විය. ඒ 2003 හා 2004 වර්ෂ වලයි. මේ කාලයේ ඔහු දේශීය භාෂාවලින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතයට ගැනීමේ වැඩසටහනට නායකත්වය දුන් අතර යුනිකෝඩ් අනුකූල ෆොන්ට සංවර්ධනය පිළිබඳව ද කටයුතු කළේය. ඔහු සකස් කළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සිංහල ප්‍රමිතිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ලදුව ශ්‍රීලංප්‍ර 1134 : 2004 ලෙස පළ කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආංශික කමිටුවේ සභාපතිත්වය දරන්නේ ද මහාචාර්ය ගිහාන් ඩයස්ය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කටයුතු කරද්දී මහාචාර්ය ඩයස් ෆොන්ට සංවර්ධකයන් හා අනිකුත් පාර්ශවකරුවන් සඳහා යුනිකෝඩ් ප්‍රමිතිය පිළිබඳ දැනුවත් කිරීමේ හා ධාරිතා ගොඩනැගීමේ පුළුල් වැඩසටහන් ගණනාවක් ම සංවිධානය කළේය. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ජාත්‍යන්තර වසම් නාම (IDN) කාර්ය සාධන බලකායට නායකත්වය දුන් මහාචාර්ය ඩයස් සාකච්ඡාමය ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකාවට (සිංහල හා දෙමළ සඳහා) ඉහළ මට්ටමේ වසම් නාම දෙකක් ලබා ගැනීමට සමත් විය. මේවා LKNIC මගින් ක්‍රියාත්මක කරන ලදී. ඔහු අන්තර්ජාල සමාජයේ ශ්‍රී ලංකා ශාඛාවේ හිටපු සභාපතිවරයෙක් ද වෙයි. ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය දියුණු කිරීමේ පුරෝගාමි කටයුතු වෙනුවෙන් 2013 වර්ෂයේ දී මහාචාර්ය ඩයස් අන්තර්ජාල විශිෂ්ටයෙක් ලෙස නිලස්ථාපනය කරන ලදී. වැඩිදුර කියවන්න…
  • ලාල් ඩයස් මහතා

    ලාල් ඩයස් මහතා වරලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයෙක් මෙන් ම බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ සාමාජිකයෙක් ද වෙයි. එක්සත් රාජධානියේ හා ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ ඒ මහතා මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් පරිගණක විද්‍යා උපාධියක් ද මර්ඩොක් විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හිමි කර ගෙන තිබේ. ඔහු අවුරුදු 25කට වැඩි කාලයක් බැංකු ක්ෂේත්‍රයේ කටයුතු කර ඇත.

    ලංකාවට පැමිණ හැටන් නැෂනල් බැංකුවට සම්බන්ධ වීමට පෙර යුරෝපයේ, අප්‍රිකාවේ හා ආසියාවේ ප්‍රංශ බැංකුවක (Societe Generale) සේවය කළ ලාල් ඩයස් මහතාට පුළුල් ජාත්‍යන්තර අත්දැකීම් තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) පිහිටුවීමේ දී ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කළ ඔහු දැන් එහි ප්‍රධාන විධායක නිලධාරි ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, සයිබර් ආරක්ෂාව පිළිබඳ ක්ෂේත්‍රයේ නියම වෘත්තිය ආයතනයක් බවට පත් කිරීමට අනිකුත් ජාතික ආයතන හා පිළිගත් ගෝලීය ආයතන සමග සම්බන්ධ කිරීමට ලාල් ඩයස් මහතාගේ පුළුල් ජාත්‍යන්තර සබඳතා යොදා ගත හැකි වී තිබේ.
    වැඩිදුර කියවන්න…

  • චන්න ද සිල්වා මහතා
    චන්න ද සිල්වා මහතා ලංකා ක්ලියර් (LankaClear) සමාගමේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරි වේ. ශ්‍රී ලංකාවේ රාජකීය විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබූ චන්න ද සිල්වා මහතා නිව්යෝර්ක් රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විද්යුත් හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී හා විද්‍යාපති උපාධි ලබා ගත්තේය. ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ඔහු ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටි ආචාර්ය ප්‍රභාත් සමරතුංග, චන්න ද සිල්වා මහතාට හමු වූයේ ඇමරිකා එක්සත් ජනපදයේ සිටි කාලයේයි. 1995 දී ආපසු ලංකාවට පැමිණි චන්න ද සිල්වා මහතා, ලංකාවේ පළමුවැනි අන්තර්ජාල සමාගම වූ ලංකා ඉන්ටර්නෙට් සමාගම පිහිටුවීමටත් පළමුවැනි වාණිජ ඉ-තැපැල් සේවාව, sri.lanka.net, ආරම්භ කිරීමටත් සහාය විය. ශ්‍රී ලංකාවේ පළමුවැනි වාණිජ වෙබ් අඩවිය (www.lanka.net) නිර්මාණය කළේ මේ සමාගම වන අතර එය තවමත් ක්‍රියාත්මකව පවතී. පළමුවැනි වරට ‘ඩේලි නිව්ස්‘ හා ‘සන්ඩේ ඔබ්සර්වර්‘ පුවත්පත්, මාර්ග ගත පුවත්පත් ලෙස ලබා දුන්නේ ද මෙම සමාගමයි. පළමුවැනි මාර්ග ගත ගුවන් විදුලි මධ්‍යස්ථානය වු ‘ටීඑන්එල් රේඩියෝ’ සඳහා පහසුකම් සැපයූවේ ද ලංකා ඉන්ටර්නෙට් සමාගමයි. විවෘත මූලාශ්‍ර (Open Source) ක්ෂේත්‍රයේ මෙන් ම මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා සමාගමේ සේවය කර ඇති චන්න ද සිල්වා මහතා පසුව අයිබීඑම් සමාගමට බැඳුණේය. චන්න ද සිල්වා ඉන් පසුව එක් වූයේ ලංකා ක්ලියර් (LankaClear) සමාගමටයි. මෙය ශ්‍රී ලංකා මහ බැංකුව හා බලපත්‍ර ලත් වාණිජ බැංකුවලට අයිති සමාගමකි. 2002 වර්ෂයේ දී මෙම සමාගම ඒ වන විට මහ බැංකුව විසින් සිදු කළ ශ්‍රී ලංකාවේ චෙක්පත් නිෂ්කාශන ක්‍රියාවලිය ස්වයංකෘත කිරීම ආරම්භ කළේය. ලංකා ක්ලියර් සමාගම ආරම්භ කළ අනිත් සේවාව වූයේ එක් දින මුදල් හුවමාරුවට ඉඩ ලබා දුන් ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතියයි (SLIPS). මෙම සමාගම තැබූ තවත් වැදගත් පියවරක් වූයේ ලංකා පේ (Lanka Pay) නම් පොදු ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර ස්විචයයි. දැන් ලංකා ක්ලියර් තුළින් සියලු ම බැංකු හා ස්වයංකෘත ටෙලර් යන්ත්‍ර 98%ක්ම සම්බන්ධ කර තිබේ. ලංකා ක්ලියර් සමාගමේ මූලික අරමුණ වූයේ සියලු මූල්‍ය කටයුතු එක්තැන් කිරීමත් සුරක්ෂිත ආකාරයකට තාක්ෂණය මත පදනම් වූ ගෙවීම් ක්‍රම ග්‍රාමීය පෙදෙස්වලට ගෙන යෑමත් ය. වැඩිදුර කියවන්න…