ආචාර්ය රුවන් වීරසිංහ

ආචාර්ය රුවන් වීරසිංහ, ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ මුල් උපාධිය ලබා ගත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙනි. ඔහු තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ එක්සත් රාජධානියේ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල නියැලී සිටිය දීයි. එතැන් සිට රුවන් වීරසිංහ මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විවිධ අංශවලට සම්බන්ධ වී කටයුතු කර තිබේ. ආරම්භයේ දි ඔහු නිරත වූයේ සුළු පරිමාණ ව්‍යාපෘති හා රාජ්‍ය අංශයේ ආයතනවල ශක්‍යතා අධ්‍යයනවලයි.

රුවන් වීරසිංහ මහතා ශ්‍රී ලංකාවට අන්තර්ජාලය හඳුන්වා දීමට කටයුතු කළ පුරෝගාමී ආයතනවලට සම්බන්ධව කටයුතු කළේය. මෙම ආයතන වන්නේ ලංකා අධ්‍යාපනික හා පර්යේෂණ ජාලය (LEARN) හා 2003 වන තෙක් මෙම (ICT) ක්ෂේත්‍රයේ ප්‍රම්‍රඛ ආයතනය වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) අන්තර්ජාල කමිටුවයි. දියුණු වන රටවල ජාල තාක්ෂණ විශේෂඥයින් පුහුණු කිරීමේ නියැලුණු අන්තර්ජාල සමාජයේ ශික්ෂකයෙක් ලෙස ද 1996 සිට 2000 දක්වා ඔහු ක්‍රියා කර තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කළ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහනෙහි විවිධ අංශවල ද ඔහු කටයුතු කර ඇත. ආචාර්ය රුවන් වීරසිංහ මෙම (ICTA) ආයතනයේ දේශීය භාෂා කණ්ඩායමේ (LLWG) ඉතා ක්‍රියාකාරි සාමාජිකයෙක් විය.

ශාස්ත්‍රඥයෙක් ලෙස ඔහු විවිධ පසුබිම් සහිත ශිෂ්‍යයන්ට තොරතුරු තාක්ෂණයේ හා පරිගණක විද්‍යාවේ සියලු ම අංශ උගන්වා තිබේ. ඔහු පර්යේෂණ කර ඇත්තේ විශේෂයෙන්ම සංඛ්‍යාන හා ලේඛන සංග්‍රහ පදනම් වූ ප්‍රවේශ හා යාන්ත්‍රික පරිවර්තනය ඇතුළු පරිගණකවල මානව භාෂා පිරිසැකසුම් කිරීමේ විවිධ අංශ ගැනයි.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව


ආචාර්ය රුවන් වීරසිංහ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ (UCSC) ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වේ. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයෙන් ගණිතය හා සංඛ්‍යානය පිළිබඳ ප්‍රථම උපාධිය ලබා ගෙන තිබේ. එක්සත් රාජධානියේ කළ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු තුළින් තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ආචාර්ය රුවන් වීරසිංහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ විවිධ අංශවලට සම්බන්ධව කටයුතු කර තිබේ. ඔහු පරිගණක ගැන මුලින් ම උනන්දු වූයේ පියාගේ මිතුරෙක් සින්ක්ලෙයාර් පරිගණකයක් තෑගි කළ විට යයි ඔහු කියා සිටියේය. විශ්ව විද්‍යාලයේ මුල් වර්ෂයේ දී ඔහුට FORTRAN භාෂාව ඉගැන්වූයේ මහාචාර්ය සමරනායක බව ආචාර්ය වීරසිංහ සිහිපත් කරයි. ඒ කඩදාසි මත පමණි. ඔහුගේ දෙවැනි වසරේ දී “ඩේටාමිනි” මධ්‍යම පරිගණයක් විශ්ව විද්‍යාලයට ලැබුණු නමුත් ශිෂ්‍යයන්ට එහි වැඩ කිරීමට හැකි වූයේ පස්වරු 8.00 පසුවයි. අපට අවශ්‍ය දෙයක් යන්ත්‍රයකින් කරවා ගැනීමේ චිත්තාකර්ෂණය අද දක්වාම ඇති බව ආචාර්ය වීරසිංහ සිහිපත් කරයි.

කෙටි කාලයක් රබර් පර්යේෂණ ආයතනයේ වැඩ කිරීමෙන් පසු ආචාර්ය වීරසිංහ අලුතෙන් ස්ථාපිත කළ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක තාක්ෂණ ආයතනයට (ICT) බැඳුණේය. මෙය පසුව කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය (UCSC) ලෙස නම් කරන ලදී. මේ කාලයේ එයට සම්බන්ධ වූ තවත් අයෙක් වූයේ ආචාර්ය අජිත් මදුරප්පෙරුමයි. ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ (JICA) ආධාරයෙන් පිහිටුවන ලද එහි ප්‍රධානියා වූයේ මහාචාර්ය වි.කේ. සමරනායක මහතායි. එහි කටයුතු කළ ජපන් ජාතිකයන් උනන්දු වූයේ නිර්බුද්ධි ටර්මිනල සහිත මහ පරිගණක ගැනයි. මේ ගැන ප්‍රශ්න කළ ආචාර්ය වීරසිංහ හා ආචාර්ය මදුරප්පෙරුම පුද්ගලික පරිගණක ගැන පාඨමාලාවක් සකස් කර එය ආයතනයේ විෂය මාලාවට ඇතුළත් කළෝය. මෙහි ප්‍රතිඵලය වුයේ ආචාර්ය වීරසිංහ ඉගැන්වීමට යොමු වීමයි.

පසුව 1989 වර්ෂයේ දී කාඩිෆ් විශ්ව විද්‍යාලයට ගිය ඔහු පරිගණනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද ස්වාභාවික භාෂා පිරිසැකසුම පිළිබඳ ආචාර්ය උපාධියක් ද ලබා ගත්තේය.

1994 වර්ෂයේ ආපසු විශ්ව විද්‍යාලයට පැමිණි ඔහු දුටුවේ සියල්ල වෙනස් වී ඇති බවයි. පුද්ගලික පරිගණක සහිත විද්‍යාගාර මෙන් ම නොවල් නෙව්වෙයාර් (Novell NetWare) ජාලයක් සහිත විද්‍යාගාරයක් ද දැකිය හැකි විය. ආචාර්ය නලීන් රණසිංහ හා එක්ව ඔහු “සන්” ක්ෂුද්‍ර පරිගණක තිබු විද්‍යාගාරයක්, නොවෙල් නෙට්වෙයාර් සහිත විද්‍යාගාරයකට සම්බන්ධ කළේය. මෙය කරන ලද්දේ අසමාන පද්ධති අතර සන්නිවේදනයට ඉඩ සලසන TCP/IP ක්‍රමවේදය යොදා ගැනීමෙනි. මේ කාලයේ ම මහාචාර්ය ගිහාන් ඩයස්, ආචාර්ය නිමල් රත්නායක, ආචාර්ය ප්‍රභාත් සමරතුංග හා අතුල හේරත් මහතා වැනි අය විසින් SL Net ස්ථාපිත කර තිබුණි. ඉ-තැපෑල සඳහා සන්නිවේදන ජාලයක් වූ මෙය පසුව LacNet ලෙස නම් කරන ලදී. මහාචාර්ය අභය ඉඳුරුව ද මොරටුව, කොළඹ හා විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ කළ අන්තර්-විශ්ව විද්‍යාල ජාලයක් පිහිටුවන ලදී. මෙය ලංකා අධ්‍යාපනික, අධ්‍යයන හා පර්යේෂණ ජාලය (LEARN) ලෙස හඳුන්වන ලදී.

විශේෂයෙන්ම පරිගණක තාක්ෂණ ආයතනය භාර ගත් උපදේශන කටයුතු නිසා ඉගැන්වීමට අමතරව බොහෝ ක්ෂේත්‍රවලට සම්බන්ධ වූ බව ආචාර්ය වීරසිංහ කියා සිටී. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) වැනි පරිගණක කර්මාන්තයේ විවිධ සංවිධානවලට සම්බන්ධ වූ ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙන් (ICTA) ක්‍රියාත්මක කළ ඉ-ශ්‍රී ලංකා වැඩසටහනේ මාර්ග සිතියම පිළියෙල කළ කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය. මේ ව්‍යාපෘතිය ගැන ලෝක බැංකුව සමග සාකච්ඡා කළ ශ්‍රී ලාංකික කමිටුවේ ද ආචාර්ය වීරසිංහ සාමාජිකයෙක් විය. මුලින් දැඩි ලෙස පුද්ගලික අංශයට නැඹුරු වු මෙම ව්‍යාපෘතියේ මාර්ග සිතියමේ හිඩැස් දෙකක් ඇති බව ඔහු පෙන්වා දුන්නේය. මෙයින් එකක් වූයේ එහි විවෘත මූලාශ්‍ර (Open Source) ගැන කිසිම සඳහනක් නො වීම වන අතර දෙවැන්න වූයේ භාෂාව පිළිබඳ ව එහි කිසිවක් නො තිබීමයි. මේ කරුණු ගැන ඡේද කීපයක් මාර්ග සිතියමට ඇතුළත් කිරීමට ආචාර්ය වීරසිංහ කටයුතු කළේය. අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියේ ද සිංහල හා දෙමළ භාවිතය ගැන සඳහන් වී ඇත. සියලු රාජ්‍ය වෙබ් අඩවි, සිංහල, දෙමළ හා ඉංග්‍රිසි භාෂාවලින් තිබිය යුතු යයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ මූලිකත්වයෙන් සකස් කළ ඉ-රාජ්‍ය ප්‍රතිපත්තියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් අරමුදල් ලබා දීම අධීක්ෂණය කළ මණ්ඩල දෙකක ආචාර්ය වීරසිංහ සාමාජිකයෙක් විය. මෙයින් එක් අරමුදලක් යොදා ගත්තේ පුද්ගලික අංශය දියුණු කිරීමට වන අතර අනික් අරමුදල බිම් මට්ටමේ ප්‍රජාවන් දියුණු කිරීම සඳහා විය. මෙම කටයුතු දෙස ආපසු හැරී බලන ආචාර්ය වීරසිංහ කියා සිටියේ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ දී උගත් ප්‍රධාන පාඩමක් වන්නේ විශාල සංවර්ධන වැඩසටහන් සැලසුම් කළ යුතු ආකාරය පිළිබඳ ව බවයි. ඔහු වැඩි දුරටත් කියා සිටියේ ඉ-ශ්‍රී ලංකා වැඩසටහන හොඳින් හිතා බලා, හොඳින් සැලසුම් කළ හා ඉතා හොඳින් ක්‍රියාත්මක කළ වැඩසටහනක් වූ අතර එහි අරමුදල් අපතේ යෑමක් සිදු වූයේ යයි කිසිවකුට කිව නො හැකි බවයි.

ආචාර්ය වීරසිංහ ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ (SLASSCOM) කටයුතුවල නිරත වන අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) තොරතුරු තාක්ෂණ අංශ කමිටුවේ ද සාමාජිකයෙක් වේ. මේ නිසා කර්මාන්තයේ විවිධ පැතිකඩ ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලැබුණේ යයි ඔහු කියා සිටි.

ආචාර්ය වීරසිංහ ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වී ඇති තවත් ක්ෂේත්‍රයක් වන්නේ දේශීයකරණයයි. තොරතුරු තාක්ෂණය පිළිබඳ ඔහුගේ උනන්දුවත් අන් අයට එම දැනුම ලබා දීමට ඇති උනන්දුවත් නිසා ඔහුට පෙනී ගිය කරුණක් නම් බොහෝ අය පරිගණක භාවිතයට යොමු නො වූයේ ඒ සඳහා ඉංග්‍රීසි දැනුමක් තිබිය යුතු ය යන අදහස නිසා බවයි. මෙයට හේතුව මුල් කාල වල දී පරිගණකයේ භාවිතා කළ හැකි එක ම භාෂාව වූයේ ඉංග්‍රීසි භාෂාව නිසාය. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාවේ (CINTEC) කුඩා කණ්ඩායමක් සමග මහාචාර්ය සමරනායක මහතා මේ සම්බන්ධයෙන් මුල පුරා තිබූ කටයුතු ගැන ආචාර්ය වීරසිංහ උනන්දු විය. මෙම කමිටුව උත්සාහ කළේ සිංහලෙන් හා දෙමළෙන් පරිගණකයක් භාවිතා කිරීමට අවශ්‍ය මූලික පහසුකම් මොනවා ද යන්න සොයා බැලීමටයි. දෙමළ භාවිතය ගැන ඉන්දියාව කටයුතු කළ බැවින් පරිගණකයක් සිංහලෙන් භාවිතා කිරීම පිළිබඳ සම්පූර්ණ වගකීම පැවරුණේ මෙම කණ්ඩායමටයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණවේද සභාව වසා දමා, 2003 ජුලි මාසයේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) ආරම්භ කිරීමෙන් පසු මෙම කටයුතු නව ආයතනයේ දේශීය භාෂා ක්‍රියාකාරී කණ්ඩායම (LLWG) විසින් භාර ගන්නා ලදී. වර්තමානයේත් මෙම කණ්ඩායම ක්‍රියාකාරී ව ඇතැයි ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කළේය. ඔවුන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, යුනිකෝඩ් කොන්සෝටියම මෙන් ම මයික්‍රොසොෆ්ට්, ගූගල් හා ඔරකල් වැනි ප්‍රධාන පෙළේ සමාගම් සමග ද කටයුතු කර තිබේ. ඔහුගේ සප්තවාර්ෂික නිවාඩු කාලයේ මහාචාර්ය ගිහාන් ඩයස් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට සම්බන්ධ වීම නිසා මෙම කටයුතුවලට විශාල රුකුලක් ලැබුණි. පරිගණකවල සිංහල හා දෙමළ භාවිතයට අවශ්‍ය යුනිකෝඩ් අනුකූල ෆොන්ට, දේශීය භාෂා යතුරු පුවරු, සම්මත පරිතුලන අනුක්‍රමය, තොරතුරු තාක්ෂණ සිංහල ශබ්දකෝෂ ආදි සියල්ල දැන් සාර්ථක ලෙස නිම කර අවසන් ය. දැන් අවධානය යොමු වී ඇත්තේ සිංහල දෘශ්‍යාක්ෂර සංජානනය (OCR) හා සිංහල සහ දෙමළ පෙළ කථන මෘදුකාංග (text to speech software) වැනි කරුණු කෙරෙහිය. අද සිංහලෙන් හා දෙමළෙන් පරිගණක භාවිතයට ගන්නා සිය දහස් ගණනක් හා දේශීය භාෂාවලින් ඇති වෙබ් අඩවි හා බ්ලොග් සටහන් සිය ගණනක් මේවායේ ප්‍රයෝජනය පෙන්වා දෙයි. මේ වටා ආරම්භ වූ ප්‍රජා කණ්ඩායම් දෙකක් වන්නේ “සිංහල යුනිකෝඩ් කණ්ඩායම” හා “සිංහල බ්ලොග් සංසදය” යි. අද කාටත් ප්‍රතිලාභ අත් කර දී ඇති මෙම ජයග්‍රහණ ළගා කර ගත්තේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඇතුළු සියලු ම පාර්ශවකරුවන්ගේ සහයෝගයෙන් යයි ආචාර්ය වීරසිංහ ප්‍රකාශ කළේය.

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයේ භාෂා තාක්ෂණ සම්පත් විද්‍යාගාරයේ අරමුණ වන්නේ තාක්ෂණය ගැන නො සිතා පරීශීලකයන්ට දේශිය භාෂාවලින් පරිගණක භාවිතය පහසු කිරීමයි.

අවසාන වශයෙන් ආචාර්ය වීරසිංහ කියා සිටියේ ඔහු තවමත් ඉගැන්වීමට ඉතා කැමති බවත් තරුණ පරම්පරාව සවිබල ගැන්වීම අත්‍යවශ්‍ය බවත්ය. ඔහුගේ අදහස වූයේ මේ අංශයේ ජයග්‍රහණ ලබා ගන්නා අය අගනුවරට ආසන්නයේ අය විය යුතු නැති බවත් ඔවුන් රටේ ඈත පෙදෙස්වලින් එන ශිෂ්‍යයන් විය හැකි බවත්ය. ශ්‍රි ලාංකික සංස්කෘතියට අනුව ගැටලු දෙස බලමින් හා අනුන්ගේ තාක්ෂණය යොදා නො ගෙන ශ්‍රී ලංකාවට අදාළ තාක්ෂණයක් නිර්මාණය කිරීම අවශ්‍ය වේ. තරුණ පරම්පරාව අනුගාමිකයන් නොව නායකයන් කිරීමට කටයුතු කළ යුතු යයි ඔහු කියා සිටියේය. දිගටම ඉගැන්වීමේ යෙදෙමින්, තමන් අවාසිදායක තත්වයක ඇතැයි සිතන තරුණයන්ට ධෛර්ය ලබා දීමට කටයුතු කරන බව ආචාර්ය වීරසිංහ කියා සිටියේය. ඔහු කියා සිටියේ අපි අවධානය යොමු කළ යුත්තේ ජිවිතයට තාක්ෂණය යොදා ගන්නා ආකාරය වෙනස් කිරීමටත්, බලපෑමක් ඇති දෙයක් කිරීමටත් ඔවුන්ට හැකියාව ඇති බව සිතීමට ඔවුන් යොමු කිරීමට බවයි.

ගැලරිය