ආචාර්ය කාවන් රත්නතුංග

ආචාර්ය කාවන් රත්නතුංග (ආචාර්ය කාවන්) කොළඹ රාජකීය විද්‍යාලයේ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අතර ඔහු 1976 දී භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් (පළමු පන්තියේ ගෞරව උපාධියක්) ලබා ගත්තේය. ඇමරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයේදී තාරකා විද්‍යාව හැදෑරූ ඔහු එම විශ්ව විද්‍යාලයෙන් තාරකා විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා ගත්තේය. ඉන්පසුව ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් ඔහු නැවතත් ඇමරිකාවට ගියේය. ප්‍රින්ස්ටන්හි උසස් අධ්‍යයන ආයතනයේ දී ඔහුට 1984 දී ප්‍රථම වරට ඉ- තැපැල් ලිපිනයක් ලැබුණි. ප්‍රින්ස්ටන් සිට ආචාර්ය කාවන් කැනඩාවේ ඩොමීනියන් තාරකා භෞතික නිරීක්ෂණාගාරයට ගොස් 1989 දී පමණ ඇමරිකාවේ මේරිලන්ඩ් හි නාසා ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ වූයේය.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

1980 දශකයේ අගභාගය වන විට ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ විශ්ව විද්‍යාලවල සිටි ශ්‍රී ලාංකිකයන් ඉ-තැපෑල භාවිතා කරමින් එකිනෙකා සමඟ තොරතුරු හුවමාරු කර ගනිමින් සිටියහ. මෙම කණ්ඩායම ක්‍රමයෙන් වර්ධනය වූ අතර එය ශ්‍රී ලංකා ජාලය (SLNET) ලෙස නම් කරන ලදී. මෙම කාලයේ ශ්‍රී ලංකාවේ ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පුළුල් ලෙස පැතිරෙමින් තිබූ අතර ආචාර්ය කාවන් ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති දැන ගැනීමට දැඩි උනන්දුවක් දැක්වූහ. එහෙත් ඔවුන්ට ප්‍රවෘත්ති ලබා ගත හැකි එකම ක්‍රමය වූයේ ශ්‍රී ලංකාවට දුරස්ථ දුරකථන ඇමතුම් ලබා ගැනීමෙන් පමණි. නමුත් ඒ සඳහා විශාල වියදමක් දැරිය යුතු විය. මේ කාලයේ සිය කෙටි තරංග ගුවන්විදුලි යන්ත්‍රයෙන් බීබීසී ප්‍රවෘත්තිවලට සවන් දීමට පුරුදුව සිටි ආචාර්ය නිමල් රත්නායක එම ප්‍රවෘත්ති පිටපත් කර ඉ-තැපැල් ලැයිස්තුවට ඇතුළත් කළ අතර ඉ-තැපැල් ලිපින 1000 කට වැඩි ප්‍රමාණයක් දක්වා එය වේගයෙන් වර්ධනය විය. සමහරු දුරකථන මගින් ශ්‍රී ලංකාවෙන් ලබා ගත් ප්‍රවෘත්ති ද මෙම ලැයිස්තුවේ ඇති ලිපිනවලට ලබා දුන්නේය. මේ කාලය වන විට, ප්‍රවෘත්ති සේවා වාර්තා ලබා දුන් අන්තර්ජාල සේවා සැපයුම්කරු වන කොම්පියුසර්ව් (Compuserve) ගැන ආචාර්ය කාවන් රත්නතුංගට දැන ගන්නට ලැබුණි. එහි “ශ්‍රී ලංකාව” වැනි මූල පද මගින් අදාළ ප්‍රවෘත්ති සොයා ගැනීමට හැකි විය. බීබීසී වැනි තනි ආයතනයකින් ලබා ගත හැකි ප්‍රමාණයට වඩා බොහෝ තොරතුරු මේ මගින් ලබා ගත හැකි වූයේය. ආචාර්ය කාවන් රත්නතුංග මෙම අන්තර්ගතය පිටපත් කර ඔහු 1989 දී එක් වූ ශ්‍රී ලංකා ජාල (SLNET) ලැයිස්තුවට ඇතුළත් කිරීමට පටන් ගත්තේය. මෙම ලැයිස්තුව ක්‍රමයෙන් තවත් විශාල වූ අතර ප්‍රවෘත්ති වාර්තා මාලාවක් දිනපතා ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට ලබාදෙන ලදී. ආචාර්ය කාවන් නාසා ගොඩාඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටියදී දිනපතාම මෙම කාර්යය ඉටු කළේය. 1990 දී පමණ ආචාර්ය ගිහාන් ඩයස් විසින් ස්වේච්ඡා, ලාභ නොලබන සංවිධානයක් ලෙස ලංකා ඇකඩමික් නෙට්වර්ක් (LAcNET) ආරම්භ කරන ලදී. පසුව කිහිප දෙනෙකු විසින් මෙම (LAcNET) ආයතනය මෙහෙයවන ලදී. පසුගිය වසර කිහිපය තුළ එය මෙහෙයවනු ලැබුවේ ආචාර්ය සංජීව වීරවර්ණ විසිනි. කොම්පියුසර්ව් සේවාවට ප්‍රවේශ වීම, ප්‍රවෘත්ති තෝරා ගැනීම හා ඒවා පළ කිරීම ආදි කටයුතු ස්වයංක්‍රීය කිරීමට ආචාර්ය කාවන් සමත් විය. ඉන්පසු එකම ප්‍රවෘත්තිය දෙවරක් පළ නොවන බව සහතික කිරීම සඳහා ආචාර්ය වීරවර්ණ විසින් ක්‍රමලේඛයක් සකස් කරන ලදී.
ආචාර්ය කාවන් රත්නතුංග කියා සිටින්නේ අන්තර්ජාල කටයුතු තුළ ශ්‍රී ලංකාව ප්‍රමුඛ ආරම්භයක් ලබා සිටි බවයි. වැඩි දුරටත් කරුණු දක්වමින් ඔහු ප්‍රකාශ කලේ Soc.culture.srilanka වැනි යූස්නෙට් කණ්ඩායම් නිර්මාණය වූයේ soc.culture.india නිර්මාණය කිරීමට බොහෝ කලකට පෙර බවයි.

අන්තර්ජාලයට සම්බන්ධ වීම

මහාචාර්ය අභය ඉඳුරුව මහතා ලංකා අධ්‍යාපන අධ්‍යයන හා පර්යේෂණ ජාලය (LEARN) ආරම්භ කළ විට ශ්‍රී ලංකාවේ ඕනෑම ආයතනයකට එයින් ඉ-තැපැල් පහසුකම් ලබා ගත හැකි විය. 1991 දී ආචාර්ය කාවන් රත්නතුංග සප්තවාර්ෂික විවේක නිවාඩු මත මූලික අධ්‍යයන ආයතනයට (IFS) සම්බන්ධ විය. ඔහු එහිදී කළ පළමුවැනි දෙය නම් ඇමතුමක් දී ලංකා අධ්‍යාපන අධ්‍යයන හා පර්යේෂණ ජාලයට (LEARN) සම්බන්ධතාවයක් ඇති කර ගෙන ඔහුගේ ඉ-තැපැල් ලිපිනයට පිවිසීමට හැකියාව ලබා ගැනීමයි. මේ ගැන මූලික අධ්‍යයන ආයතනයේ විරෝධයක් පැවති අතර එය විවිධාකාරයෙන් දකින්නට හැකි විය. 1990 දශකයේ මුල් භාගයේ ඉ-තැපෑල එතරම් ජනප්‍රිය දෙයක් නොවූ බව ඔහු පවසයි. අනාගතය අන්තර්ජාලය බව මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ අය වටහාගෙන තිබුණේ නැත. 1995 දී පමණ ශ්‍රී ලංකාවේ පළමු අන්තර්ජාල සමාගම වන ලංකා ඉන්ටර්නෙට් සමාගම ආරම්භ කරන ලදී. ලංකා අධ්‍යාපන අධ්‍යයන හා පර්යේෂණ ජාලයට ද (LEARN) ස්ථිර අන්තර්ජාල සම්බන්ධතාවයක් ද ස්ථාපිත කරන ලදී. සිමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ‘ඩේලි නිවුස්’ සහ ‘සන්ඩේ ඔබ්සර්වර්’ යන පුවත්පත් අන්තර්ජාලය හරහා ලබා දීමට පියවර ගන්නා ලදී. පෞද්ගලික පුවත්පත් ද අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ පහසුකම් තිබීම අවශ්‍ය විය. එබැවින්, ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත අන්තර්ජාලයට එක් කිරීමට ලංකා ඇකඩමික් නෙට්වර්ක් (LAcNET) ආයතනයෙන් අරමුදල් සපයන ලදී. ආචාර්ය ගිහාන් ඩයස් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ සතිපතා අන්තර්ජාල සංස්කරණය නිර්මාණය කළේය. ඔහු එය 1996 මාර්තු මාසයේදී ආරම්භ කළ අතර වසර 2/3 ක් පමණ ඒ කටයුතුවල නිරත වී තිබේ.

සංරක්ෂණය

ආචාර්ය රත්නතුංග වසර ගණනාවක් ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට අන්තර්ජාල සත්කාරකත්වය සැපයූ අතර, 1996 සිට ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පතේ සම්පූර්ණ අධිලේඛනාගාරයක් පැවතීමට හේතුව එය බව ඔහු පවසයි. ලංකා ඉන්ටර්නෙට් සමාගම වසා දැමූ විට,’සන්ඩේ ඔබ්සර්වර්’ සහ ‘ඩේලි නිවුස්’ පුවත්පත්වල අවුරුදු හතක තොරතුරු නැති විය. වෙබ් අඩවි සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව මෙයින් පෙන්වා දෙන බව ආචාර්ය කාවන් අවධාරණය කරයි. අන්තර්ජාලය තුළ අන්තර්ගතය සංරක්‍ෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති සම්පාදනයක් හෝ නියාමනයක් නොමැති බවද ඔහු අවධාරණය කරයි. අන්තර්ජාලයේ පළකිරීම පිළිබඳ නීති කඩදාසි මත මුද්‍රණය කිරීම පිළිබඳ නීතිවලට වඩා වෙනස් නොවිය යුතුය. ශ්‍රී ලංකාවේ මුද්‍රණ හා ප්‍රකාශකයන්ගේ ආඥා පනත යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද සෑම පොතකම පිටපත් පහක් (පසු සංස්කරණ ද) ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවට යැවිය යුතුය. ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ වගකීම එම දෙපාර්තමේන්තුවට ඇත. අන්තර්ජාල අන්තර්ගතයන් සංරක්ෂණය කිරීම සඳහා දෙපාර්තමේන්තුවට අරමුදල් සොයා ගත හැකි ක්‍රමයක් තිබේ නම් එය ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

අන්තර්ජාලයේ අන්තර්ගතය, අවම වශයෙන් LK වසම යටතේ ඇති දේ, නිසි ලෙස සංරක්‍ෂණය කළ යුතු අතර එමඟින් අනාගතයේදී පර්යේෂකයන්ට එම ලේඛනවලට ප්‍රවේශ වීමේ හැකියාව ලැබේ. ආචාර්ය රත්නතුංග ප්‍රකාශ කරන්නේ එක්සත් ජනපදයේ සංවිධානයක් වන archive.org විසින් කිසියම් සංරක්ෂණය යක් සිදු කරන නමුත් එය අසම්පූර්ණ බවයි. LK වසම යටතේ අන්තර්ගතය සංරක්ෂණය කිරීම සඳහා යාන්ත්‍රණයක් සැකසිය යුතුය. මහාචාර්ය ගිහාන් ඩයස් මෙය ක්‍රියාත්මක කිරීමට බෙහෙවින් උනන්දු වන බව ඔහු පවසයි. නමුත් ඒ සඳහා සුදුසු මෘදුකාංග හා එය මෙහෙයවීමට පුද්ගලයෙක් සොයා ගත යුතු වේ.

ශ්‍රී ලංකාව පිළිබඳ තොරතුරු, lakdiva.org

ශ්‍රී ලංකාව පිළිබඳ වැඩිදුර තොරතුරු අන්තර්ජාලයේ තිබිය යුතු බව 1998 දී ආචාර්ය කාවන් රත්නතුංග තීරණය කළේ ය. එම නිසා,එවිට වයස 14ක් වූ ඔහුගේ පුත් රාජිව් ලවා එච්.ඩබ්ලිව්. කොඩ්රිංටන්ගේ “ලංකාවේ කෙටි ඉතිහාසයක්” නම් ග්‍රන්ථය, ප්‍රකාශ අනුලකුණු සංජානනය (OCR) මගින් පරිලෝකනය කර එය අන්තර්ජාලයට උඩුගත කරන ලදී. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ වචන 50,000 ක පොතක් අන්තර්ජාලය හරහා ලබා දුන් පළමු අවස්ථාව එයයි. පසුව රජීව් මහාවංශය ද අන්තර්ජාලයට එක් කළේය.
පසුව ආචාර්ය කාවන් රත්නතුංග ශ්‍රී ලංකාවේ කාසි සහ මුදල් නෝට්ටු පිළිබඳ වෙබ් අඩවියක් ද නිර්මාණය කළේය. මෙම වෙබ් අඩවි, ඉතිහාසය පිළිබඳ පොත් ඇති අඩවි වලට සම්බන්ධ කර ඇති බැවින් අන්තර් සම්බන්ධතා ඇත. ආචාර්ය කාවන් මෙම අඩවිවලට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම අන්තර්ගතය උඩුගත කර තිබේ.

ආචාර්ය කාවන් රත්නතුංගගේ වෙබ් අඩවිය lakdiva.org වේ. ඔහු lakdiva.lk ලියාපදිංචි කර ඇති නමුත් එය තවම සකසා එකම වෙබ් අඩවියකට යොමු කර නොමැත. ක්‍රි.පූ 300 සිට අද දක්වා ශ්‍රී ලංකාවේ කාසිවල ඉතිහාසය පිළිබඳ තොරතුරු coins.lakdiva.org වෙබ් අඩවියේ ඇත – මේ අනුව එහි ශ්‍රී ලංකාවේ කාසි පිළිබඳ වසර 2300 ක ඉතිහාසය ඇතුළත් වේ. 1785 සිට ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු පිළිබඳ තොරතුරු note.lakdiva.org වෙබ් අඩවියේ ඇතුළත් වේ. පැරණි නෝට්ටු ලබා ගත්තේ නාමාවලි මගින් බව ඔහු පවසයි. ආචාර්ය කාවන්ගේ පියා විසින් එකතු කරන ලද 1500 සිට ශ්‍රී ලංකාවේ සිතියම් map.lakdiva.org වෙබ් අඩවියේ අන්තර්ගත කර තිබේ.