පරිගණකකරණය හා ඉ-පාලනය

  • වසන්ත දේශප්‍රිය මහතා
    වසන්ත දේශප්‍රිය මහතා විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල අමාත්‍යංශයේ ලේකම් වේ. ඔහු අධ්‍යාපනය ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝඛ විද්‍යාලයේ හා කැලණිය විශ්ව විද්‍යාලයේයි. කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා ගෙන ඇති ඔහු එක්සත් රාජධානියේ රෙඩින් (Reading) විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් ද ලබා ගෙන තිබේ. වසන්ත දේශප්‍රිය මහතා අවුරුදු 30කට වැඩි රාජ්‍ය අංශයේ අත්දැකීම් ඇති ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකි. ඔහු රජයේ පරිගණකගත කිරීමේ ව්‍යාපෘතිවලට බෙහෙවින් සම්බන්ධ වී තිබේ. මුලින් ම රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළ දේශප්‍රිය මහතා එහි කලාපීය කාර්යාලවල තොරතුරු තාක්ෂණ ඒකක භාර ව කටයුතු කළේය. 1985 සිට 1994 දක්වා ඔහු රබර් නැවත සිටුවීමේ හා සහනාධාර වැඩසටහන පරිගණකගත කිරීමේ කටයුතුවලට සම්බන්ධ විය. 1998 දී ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (තොරතුරු තාක්ෂණ) ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට සම්බන්ධ වූ දේශප්‍රිය මහතා, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හඳුන්වා දීමේ දී පුරෝගාමි කාර්ය භාරයක් ඉටු කළේය. මේ අනුව පළමුවැනි වරට මුළු මහත් රාජ්‍ය අංශයට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ, ඉ-තැපැල් පණිවුඩ ලෙස යවන ලද අතර ඒවා අමාත්‍යංශ වෙබ් අඩවියේ ද පළ කරන ලදී. 1998 දී අමාත්‍යංශයේ පළමු වෙබ් අඩවිය නිර්මාණය කරන ලද්දේ දේශප්‍රිය මහතා නායකත්වය දුන් කණ්ඩායමක් විසිනි. 2003 දී ඔහු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) බැඳුණ අතර 2005 දී රාජ්‍ය අංශය ප්‍රති-නිර්මාණය කිරීමේ අධ්‍යක්ෂ තනතුරට උසස් වීමක් ලැබුණි. දේශප්‍රිය මහතා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිතායතනයේ නායකත්ව කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර රාජ්‍ය අංශය ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහන සකස් කිරීමේදී හා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කළ පුද්ගලයෙක් විය. වැඩිදුර කියවන්න…
  • නයනි ප්‍රනාන්දු මහත්මිය

    ලංකා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරිනියක් වන නයනි ප්‍රනාන්දු මිය, ඇමරිකාවේ ජෝර්ජ් වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් සමාජ හා ආර්ථික සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද ලබා ගෙන තිබේ. ඇය ශ්‍රී ලංකා පරිගණක වෘත්තිකයන්ගේ සංගමයේ (CSSL) අධිසාමාජිකාවක් ද වේ. 1993 වර්ෂයේ සොන්ටා (Zonta) සමාජය විසින් ජයග්‍රාහක කාන්තා සම්මානය පිරිනැමීමෙන් ඇගේ හැකියාවන් පිළිගැනිමට ලක් කරන ලදී.

    ඇය තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තිය ජීවිතය ආරම්භ කළේ 1971 වර්ෂයේ ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පරිගණක ක්‍රමලේඛිකාවක් ලෙසයි. ඉන් පසු 1978 සිට 2000 වර්ෂය දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කළ ඇය 1988 ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා ස්වයංකෘත නිෂ්කාශන කාර්යාලය (SLACH) සම්බන්ධ වගකීම දරමින් අවුරුදු හයක් එහි කළමනාකරු ලෙස සේවය කළාය. 1993 දී අරමුදල් හුවමාරු පද්ධතියක් (ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය -SLIPS) හඳුන්වා දීමට නායකත්වය ගත්තේත් ඇයයි. 1994 සිට 2000 දක්වා ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ ඇය 1996 මහ බැංකුවට එල්ල වූ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයෙන් පරිගණක පද්ධති විනාශ වීමෙන් පසු තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව යථා තත්වයට ගෙන ඒමට දැඩි පරිශ්‍රමයක් දැරුවාය. 2000 වර්ෂයේ සහස්‍රක වෙනසට (Y2K) සූදානම් කිරීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මූල්‍ය අංශයේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේ ඇයයි. 2000 වර්ෂයේ අප්‍රේල් මාසයේ ඇය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශ්‍රාම ගත්තාය.

    වර්ෂ 2000 සිට 2002 දක්වා කාලය තුළ ඇය ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ උපදේශක ලෙස කටයුතු කළ අතර 2002 සිට 2008 දක්වා පෞද්ගලික අංශයේ තොරතුරු තාක්ෂණ උපදේශකයෙක් ලෙස සේවය කළාය. 2008 වර්ෂයේ සිට 2011 දක්වා බංගලාදේශයේ සේවය කළ ඇය එහි මහ බැංකුවේ ඉලෙක්ට්‍රොනික චෙක් නිෂ්කාශන පද්ධතිය හා ඉලෙක්ට්‍රොනික මුදල් මාරු කිරීමේ ජාලය 2010 දි සාර්ථක ලෙස ක්‍රියාත්මක කිරීමට සමත් වූවාය. පරිගණක වෘත්තිකයන්ගේ සංගමයේ ආරම්භක සාමාජිකාවක් වන නයනි ප්‍රනාන්දු මිය 1993 සිට 1995 දක්වා එහි උප සභාපති ලෙස මහ මණ්ඩලයේ ද සේවය කළාය.

    නයනි ප්‍රනාන්දුගේ නම ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්ෂණ අංශය මෙන් ම බැංකු ක්ෂේත්‍රය සමග බැඳී පවතී. පසුගිය අවුරුදු 20 තුළ මෙම අංශයේ ලබා ඇති ජයග්‍රහණ සියල්ල පසුපස සිටි චරිතයක් වන්නේ ඇය යි.

    වැඩිදුර කියවන්න…