මහාචාර්ය වී.කේ. සමරනායක

මහාචාර්ය සමරනායක කොළම විශ්ව විද්‍යාලයෙන් 2004 දී විශ්‍රාම ගත්තේ අවුරුදු 43ක දීර්ඝ හා ඉතා ගෞරවනීය සේවයකින් පසුවයි. පරිගණක විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ධුරයක් පිරිනමා කොළඹ විශ්ව විද්‍යාලයේ සනාතන සභාව හා මහා මණ්ඩලය විසින් එතුමාට ගෞරව දක්වන ලදී.

වී. ඩබ්ලිව් සමරනායක යුවලගේ පුතු ලෙස වන්නිආරච්චිගේ කිත්සිරි සමරනායක කොළඹ දී උපත ලැබුවේ 1939 මැයි 22 දිනයි. ඔහුගේ පියා රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ විදුහල්පති වූ අතර මව ද එම පාසලේ ගුරුවරියක් වූවාය. මෙම පාසලේ මූලික අධ්‍යාපනය ලැබූ කිත්සිරි සමරනායක 1948 වර්ෂයේදී ආනන්ද විද්‍යාලයට ඇතුළු විය. තරඟකාරි විභාගයට මුහුණ දීමෙන් පසු 1950 දී ඔහුට රාජකීය විද්‍යාලයට ඇතුල් වීමට වරම් ලැබුණි. ඔහුගේ සාර්ථකත්වයට බලපෑ එක් කරුණක් වූයේ මේ මුළු කාලය තුළ ම විදුහල්පති නිල නිවාසයක ජීවත් වෙමින් පාසලේ අධ්‍යාපනික හා අනිකුත් කටයුතුවලට සම්බන්ධ වෙමින් ලබා ගත් පන්නරයයි.

1956 වර්ෂයේ ලංකා විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුළු වූ සමරනායක ශිෂ්‍යයා ගණිත විශේෂ උපාධි පාඨමාලාව සඳහා තෝරා ගන්නා ලදී. 1961 වර්ෂයේ පළමුවැනි පන්තියේ ගෞරව උපාධියක් හිමි කර ගත් ඔහුගේ අධ්‍යයන විශිෂ්ටත්වය නිසා සහකාර කථිකාචාර්ය ධුරයක් ලැබුණි. මෙය ඉතා දීර්ඝ හා කීර්තිමත් විශ්ව විද්‍යාල සේවයක ආරම්භය විය.

1963 වර්ෂයේ දී ලන්ඩන් ඉම්පීරියල් විද්‍යායතනයේ (Imperial College, London) තම පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු සඳහා රාජ්‍ය ශිෂ්‍යත්වයක් ලබා ගත් සමරනායක මහතා පසුව ඔහුගේ ආචාර්ය උපාධිය නිම කිරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට බැඳුණේය. අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසු ඔහු 1966 දී ආපසු මව් රටට පැමිණියේ විශ්ව විද්‍යාලයේ සේවය කිරීමටයි. ඔහුගේ ප්‍රාඥත්වයට ගරු කිරීමක් ලෙස වයස 35 දී, එනම් 1974 වර්ෂයේ දී ගණිතය පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් කරන ලද එතුමා 1984 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ ගණිත මහාචාර්යවරයා ලෙස පත් කරන ලදී. 1996 දී අලුතෙන් ස්ථාපිත කළ පරිගණක විද්‍යා අංශයේ පළමුවැනි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලෙස පත් කරන ලද එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය (Emeritus Professor) ධුරයකින් පිදුම් ලැබුවේ 2004 වර්ෂයේදීයි.

එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉල්ලීමක් මත ස්වාභාවික සම්පත්, බලශක්ති හා විද්‍යා අධිකාරිය (NARESA) විසින් පිහිටුවන ලද ජාතික පරිගණක ප්‍රතිපත්තිය පිළිබඳ (COMPOL) කමිටුවේ මහාචාර්ය සමරනායකද සාමාජිකයෙක් විය. මහාචාර්ය මොහාන් මුණසිංහගේ නායකත්වය යටතේ කටයුතු කළ මෙම කමිටුවේ අනිකුත් සාමාජිකයන් වූයේ ආචාර්ය ආර්.බී. ඒකනායක, ආචාර්ය එන්.ඩබ්ලිව්.එන් ජයසිරි, මහාචාර්ය එස්. කරුණාරත්න හා ආචාර්ය අජිත් කනගසුන්දරම්ය. මෙම කමිටුවෙන් සකස් කළ පරිගණක ප්‍රතිපත්තිය 1983 දී රජය අනුමත කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස තොරතුරු තාක්ෂණය පිළිබඳ ප්‍රථම රාජ්‍ය ආයතනය ලෙස ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාව (CINTEC) පිහිටුවන ලදී.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සමරනායක මහතාට තිබු සුවිශාල අත්දැකීම් සැලකිල්ලට ගනිමින් 1986 දී එතුමා ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ සභාපති තනතුරට පත් කරන ලදී. ශ්‍රී ලංකාවේ ඉහළම තොරතුරු තාක්ෂණ ප්‍රතිපත්ති සම්පාදක ආයතනයේ ඔහු නායකත්වය දැරූ අවුරුදු 12 ක කාලය තුළ මෙම ක්ෂේත්‍රයේ අනාගත දියුණුව වෙනුවෙන් තැබූ මූලික පියවර ගණනාවක්ම වේ. ඒවා අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මාර්ග සිතියම හා පසුව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කළ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩපිළිවෙළ ද වේ. මේ කාලය තුළ ම ඔහු විද්‍යාව හා තාක්ෂණයේ ඒකාබද්ධ පර්යේෂණ හා සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට (1997-2000) හා ශ්‍රී ලංකා ජාතික සහස්‍රක (Y2K) කාර්ය සාධක බලකායටද (1998-2000) නායකත්වය දුන්නේය.

ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාවේ (CINTEC) සභාපතිවරයා ලෙස එතුමා අධ්‍යාපනය, රාජ්‍ය අංශය පරිගණකගත කිරීම, දේශීය භාෂාවලින් පරිගණනය හා සන්නිවේදනය සහ නීතිය හා පරිගණක ආදි ක්ෂේත්‍ර ගණනාවක කටයුතු ආරම්භ කළේය. 1986 වර්ෂයේ මහාචාර්ය සමරනායකගේ නායකත්වය යටතේ නීතිය හා පරිගණක පිළිබඳ කමිටුව ස්ථාපිත කරන ලද්දේ පරිගණක හා තොරතුරු තාක්ෂණය හා සම්බන්ධයෙන් ගත යුතු සුදුසු පියවර සකස් කර ඒවා රටේ නීති පද්ධතියට ඇතුළත් කිරීම සඳහායි. මෙම කමිටුව අදාළ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධ කටයුතු ගණනාවක් ම ආරම්භ කළේය. මෙයින් එක් ප්‍රයත්නයක් වූයේ ශ්‍රී ලංකාවේ සාක්ෂි නීතිය සමාලෝචනයට භාජනය කර සුදුසු ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමයි. මෙහි ප්‍රතිඵලය වූයේ 1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනතයි. පරිගණක අපරාධ හා ඉ-ගනුදෙනු සම්බන්ධ නෛතික කටයුතු ද ආරම්භ කරන ලද අතර පසුව ඒවා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාත්මක කරන ලදී.

මේ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර හවුල් සබඳතා ද ගොඩනැගීමට ද මහාචාර්ය සමරනායක පියවර ගත්තේය. යුනෙස්කෝ/අන්තර් රාජ්‍ය තොරතුරු විද්‍යා වැඩසටහනේ (UNESCO/Intergovernmental Informatics Program) ශ්‍රී ලංකාවේ යොමු කේන්ද්‍රය වූයේ ශ්‍රී ලංකා පරිගණක හා තොරතුරු තාක්ෂණවේද සභාවයි. ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව පිළිබඳ ව කටයුතු කිරීමද මහාචාර්ය සමරනායක ආරම්භ කළේය. ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව/ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යය (EDI/EC) පිළිබඳ ජාතික කමිටුව පිහිටුවීම ද ඔහුගේ උත්සාහයේ ප්‍රතිඵලයකි. ආසියා පැසිෆික් කලාපයේ ඉලෙක්ට්‍රොනික දත්ත හුවමාරුව හා ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර ප්‍රවර්ධනය කරන ආයතනය වන වෙළදාම පහසු කිරීමේ හා ඉලෙක්ට්‍රොනික ව්‍යාපාර පිළිබඳ ආසියා පැසිෆික් මණ්ඩලය (AFACT) හා සම්බන්ධ ශ්‍රී ලංකා සංවිධානය වූයේ මෙම කමිටුවයි.

මහාචාර්ය සමරනායක විසින් දැනුවත් කිරීමේ වැඩසටහන් ගණනාවක් ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව 1995 දී පුවත්පත් ගණනාවක් සමග එක්ව ඔවුන්ගේ දිනපතා/සතිපතා ප්‍රකාශනවල තොරතුරු තාක්ෂණයට අදාළ කරුණු, නිවේදන හා තොරතුරු තාක්ෂණ දැන්වීම් ආදිය ඇතුළත් පිටුවක් පළ කිරීමට කටයුතු කළේය. මේ සමගම අන්තර්ජාලය හා අනිකුත් තොරතුරු තාක්ෂණයට අදාළ කරුණු ඉදිරිපත් කරන ගුවන් විදුලි වැඩසටහනක් ද විකාශනය කිරීමට පියවර ගන්නා ලදී. මේවායේ ප්‍රධාන අරමුණ වූයේ තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව වැඩි කිරීමයි. ජංගම පරිගණක ඒකකයක් තුළින් ඈත පෙදෙස්වලට තොරතුරු තාක්ෂණය හඳුන්වා දීමට ක්‍රියා කළ සමරනායක මහතා පරිගණක සම්පත් මධ්‍යස්ථාන තුළින් මුළු රටට ම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ගෙන යෑම පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යංශයට හා ජාතික අධ්‍යාපන ආයතනයට උපදෙස් දුන්නේය.

රටේ ඉතා කලබලකාරී තත්වයක් පැවති යුගයේ දී පවා මහාචාර්ය සමරනායක පොදුවේ අධ්‍යාපන පද්ධතියටත් විශේෂයෙන් විශ්ව විද්‍යාල පද්ධතියටත් ප්‍රධාන වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයටත් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන්නේය. 1992 දී ජාත්‍යන්තර තොරතුරු විද්‍යා ඔලිම්පියඩ් තරගයට (IOI) පරිගණක හා තාක්ෂණ වේද සභාවේ අරමුදල් යොදා ගනිමින් හතර දෙනෙකුගේ කණ්ඩායමක් යැවීමට ගත් තීරණය හා ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍යයන්ට පරිගණක ක්‍රමලේඛනයේ මුදුනට ම යා හැකි ය යනුවෙන් ඔහු තුළ තිබූ විශ්වාසය බොහෝ අය දුටුවේ අන්ධ විශ්වාසයක් ලෙසයි. ඔහුගේ මෙම දුර දක්නා නුවණ නිසා ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් විවිධ අවස්ථාවලදී රන්, රිදි හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග 1995 සිට ඔහු පැවැත්වූ විස්තීර්ණ සාකච්ඡා නිසා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා ආරම්භ වූයේය. ලර්න් (LEARN) ජාලයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව ආධාර කළ අතර එක අවුරුද්දක එම සම්බන්ධතාවේ සම්පූර්ණ පිරිවැය දරන ලදී.

රටේ ඉතා කලබලකාරී තත්වයක් පැවති යුගයේ දී පවා මහාචාර්ය සමරනායක පොදුවේ අධ්‍යාපන පද්ධතියටත් විශේෂයෙන් විශ්ව විද්‍යාල පද්ධතියටත් ප්‍රධාන වශයෙන් කොළඹ විශ්ව විද්‍යාලයටත් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන්නේය. 1992 දී ජාත්‍යන්තර තොරතුරු විද්‍යා ඔලිම්පියඩ් තරගයට (IOI) පරිගණක හා තාක්ෂණ වේද සභාවේ අරමුදල් යොදා ගනිමින් හතර දෙනෙකුගේ කණ්ඩායමක් යැවීමට ගත් තීරණය හා ශ්‍රී ලාංකික පාසල් ශිෂ්‍යයන්ට පරිගණක ක්‍රමලේඛනයේ මුදුනට ම යා හැකි ය යනුවෙන් ඔහු තුළ තිබූ විශ්වාසය බොහෝ අය දුටුවේ අන්ධ විශ්වාසයක් ලෙසයි. ඔහුගේ මෙම දුර දක්නා නුවණ නිසා ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් විවිධ අවස්ථාවලදී රන්, රිදි හා ලෝකඩ පදක්කම් දිනා ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සමග 1995 සිට ඔහු පැවැත්වූ විස්තීර්ණ සාකච්ඡා නිසා ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා ආරම්භ වූයේය. ලර්න් (LEARN) ජාලයට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා පරිගණක හා තාක්ෂණවේද සභාව ආධාර කළ අතර එක අවුරුද්දක එම සම්බන්ධතාවේ සම්පූර්ණ පිරිවැය දරන ලදී.

විද්‍යාත්මක ප්‍රජාවේ කටයුතුවලට මහාචාර්ය සමරනායකගේ දායකත්වය කොතරම් ද යත් 1994 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය විසින් (SLAAS) ඔහු එහි සභාපති ලෙස පත් කර ගන්නා ලදී. ශ්‍රී ලංකා ජාතික විද්‍යා ඇකඩමිය එතුමා එහි අධි සාමාජිකයෙක්, උප සභාපතිවරයෙක් හා අවසානයේ 1998-99 වර්ෂය සඳහා සභාපති ලෙස ද පත් කර ගත්තේය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ මානව සම්පත් දියුණු කිරීමට මහාචාර්ය සමරනායක තනිව ම ගත් උත්සාහය අද කොළඹ විශ්ව විද්‍යාලයේ දැකිය හැකියි. එය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පමණක් නොව එයින් පිටත පවා කැපී පෙනෙන ආදර්ශයකි. මෙම ක්ෂේත්‍රයේ මානව සම්පත් සඳහා කරන ආයෝජනයේ අවදානමක් ද තිබේ. ඒ බුද්ධිගලනයට ආධාර කිරීමයි. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලයේ මානව සම්පත් දියුණු කිරීමේදි මහාචාර්ය සමරනායකගේ පුළුල් දැක්ම මෙහිදි ඉතා පැහැදිලිව දැකිය හැකියි. සංවර්ධිත රටවල් පවා මෙම ක්ෂේත්‍රයට අවතීර්ණ වීම ආරම්භ වූ 1970 දශකයේ ඉතා සුළු මූල්‍ය සම්පත් යොදා ගනිමින් ආරම්භ කළ මෙම ව්‍යාපෘතියට සියලු දේශීය හා විදේශීය අරමුදල් යොමු කරමින් කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මානව සම්පත් වැඩි දියුණු කිරීමට එතුමා සමත් වූයේය.

එවකට කුලපති වූ වෛද්‍ය පී.ආර් අන්තෝනිස් හා උප කුලපති වූ මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගේ පූර්ණ අනුග්‍රහය යටතේ 1984 වර්ෂයේදි ජපන් රජයේ (JICA) ආධාර මුදලක් ලබා ගැනීමට හැකි වීම පළමුවැනි ප්‍රධාන ජයග්‍රහණය විය. මේ කාලයේ ම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ද (UNDP) කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ ආචාර්ය මණ්ඩලය ශක්තිමත් කිරීම සඳහා පර්යේෂණ අරමුදල් ලබා දුන්නේය. ගණිත අංශයේ සංඛ්‍යාලේඛන ඒකකය හා සංඛ්‍යාලේඛන පරිගණන හා දත්ත සැකසුම් මධ්‍යස්ථානය ආරම්භ කළ මහාචාර්ය සමරනායක 1985 දී සංඛ්‍යාලේඛන හා පරිගණක විද්‍යා අංශයක් ස්ථාපිත කිරීමට විශ්ව විද්‍යාලය එකඟ කරවා ගැනීමට සමත් විය. එවැන්නක් ශ්‍රී ලංකාවේ පිහිට වූ පළමුවැනි අවස්ථාව එය වන අතර ඉන් පසු 2002 දි කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යනායතනය (UCSC) ස්ථාපිත කරමින් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ පළමු විද්‍යායතනය පිහිටුවීමට ද එතුමාට හැකි වූයේය.

2000 වර්ෂයේ දී මහාචාර්ය සමරනායක ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්‍රයේ මානව සම්පත් දියුණු කිරීමට තවත් වැදගත් පියවරක් තැබුවේය. එනම් තොරතුරු තාක්ෂණවේදී (BIT) බාහිර උපාධි වැඩපිළිවෙළ ආරම්භ කිරීමයි. මෙතෙක් කිසිම උපාධි පාඨමාලාවක් නොකළ ආකාරයට පුද්ගලික අංශය සම්බන්ධ කර ගනිමින් දැරිය හැකි මිලකට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනයක් ලබා දීම මෙහි අරමුණ විය. ශිෂ්‍යයන්ට කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධියක් ලබා ගැනීමේ ගෞරවයට අමතරව අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට තර්ජනයක් ලෙස වාණිජත්වය පැතිරෙන යුගයක මේ නිසා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ප්‍රමිතකරණය කිරීමට ද හැකි වූයේය.

රටේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ලබා දුන් විශිෂ්ට දායකත්වය වෙනුවෙන් එතුමාට ජාතික සම්මාන ගණනාවක්ම ප්‍රදානය කෙරුණි. ඒවා අතර 1986 ශ්‍රී ලංකාවේ විශිෂ්ට පුරවැසියා සඳහා වූ සිංහ සමාජයේ රන් පදක්කම, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 80 ජන්ම දිනය නිමිත්තෙන් 1986 දී පිරිනැමුණු විශ්ව ප්‍රසාදිනී සම්මානය හා 1998 දී පිරිනැමුණු විද්‍යා ජෝති ජනාධිපති සම්මානය ද වේ.

බහුවිධ කාර්යයන්හි එක විට නියැලීමේ මහාචාර්ය සමරනායක තුළ තිබූ හැකියාව දිගටම සිදු කළ පර්යේෂණ කටයුතුවලින් පැහැදිලි වේ. මේවා අතර 2001 වර්ෂයේදි ඇමරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ කෙනඩි විද්‍යායතනයේ අධි සාමාජිකත්වය ලැබීම, 2003 දී හාවඩ් විශ්ව විද්‍යාලයේ ඩිජිටල් රාජ්‍යය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ පර්යේෂක අධි සාමාජිකත්වය ලැබීම, 2005 දී ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ඩිජිටල් දෘෂ්ටි වැඩසටහනේ බාහිර අධි සාමාජිකයෙක් ලෙස පත්වීම ආදිය වේ.

අවුරුදු ගණනාවක් තිස්සේ මහාචාර්ය සමරනායක ජාතික, කලාපීය හා ජාත්‍යන්තර මට්ටමේ සම්මන්ත්‍රණ ගණනාවක් සංවිධානය කර තිබේ. 2004 දෙසැම්බර මාසයේ රජය ප්‍රකාශයට පත් කළ තොරතුරු තාක්ෂණ සතියේ ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරමින් ජාත්‍යන්තර සම්මේලන දෙකක මුලසුන ගෙන කටයුතු කිරීම නිසා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මෙම ක්ෂේත්‍රයේ එතුමා සුප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වූවා පමණක් නොව කොළඹ විශ්ව විද්‍යාලයටත් රටටත් කීර්තියක් හා ඉමහත් ගෞරවයක් ද ලබා දුන්නේය.

මහාචාර්ය සමරනායක රටට බොහෝ දෑ උරුම කර ඇති අතර මේ අතර විශිෂ්ට ම කර්තව්‍යය ලෙස දැක්විය හැක්කේ සීමාකාරී රාජ්‍ය පද්ධතියක් තුළ නීති උල්ලංඝනය නොකර ඉඩ ප්‍රස්ථා නිර්මාණය කර ගැනීමේ ඔහුගේ සුවිශේෂී හැකියාවයි. විශ්ව විද්‍යාලයේත් සමාජයේත් යහපත වෙනුවෙන් අශුභවාදී ආකල්ප ප්‍රතික්ෂේප කිරීම, අවදානම් පියවරක් ගැනීමට ඇති සූදානම හා අන් අයගේ හැකියාවන් ගැන විශ්වාසය තැබීම වැනි එතුමා තුළ තිබූ විශිෂ්ට ගති ගුණ හා ආකල්ප අද ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ වුවද දැකිය හැක්කේ කලාතුරකිනි.

බොහෝ දෙනෙකුට තවම සම්පූර්ණයෙන් අවබෝධ වි නැතත් දශක ගණනාවක් තිස්සේ මහාචාර්ය සමරනායක කොළඹ විශ්ව විද්‍යාලයටත්, පොදුවේ මේ රටටත් කළ සේවය අමරණිය වේ.

2005 ජනවාරි 6 දින පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රදානොත්සවයේදි මහාචාර්ය වි. කේ සමරනායක මහතාට විද්‍යා විශාරද සම්මාන උපාධියක් පිරිනමන ලදී. 2007 ජුනි 7 වැනිදා එතුමා මෙලොවින් සමු ගත්තේය.

අාචාර්ය රුවන් වීරසිංහ විසින් ලියන ලද මෙම ලිපිය අරුණි ගුණතිලක විසින් සංස්කරණය කරන ලදී.

සම්පත්

ගැලරිය