මහාචාර්ය රොහාන් සමරජීව

මහාචාර්ය රොහාන් සමරජිව 1998-99 දී ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. ඔහුගේ පාලන කාලය තුළ නියාමන පරිසරයක් බිහි වූ අතර තරඟකාරී විදුලි සංදේශ අංශයක් සඳහා අඩිතාලම දමන ලදී. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සංවර්ධනයට බලපා ඇති විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ සඳහා ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. 2002 – 2004 කාලය තුළ මහාචාර්ය සමරජීව ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ කණ්ඩායම් නායකයා වූ අතර ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) විසින් ක්‍රියාත්මක කරන ලද ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සැලසුම් කිරීමට සහභාගී විය. 2003 සිට 2005 දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ආරම්භක අධ්‍යක්ෂකවරයෙකු වූ ඔහු වර්තමානයේ එහි සභාපතිවරයා වේ.

කෙටි වීඩියෝව

සම්පූර්ණ වීඩියෝව

මහාචාර්ය රොහාන් සමරජිව 1998 සිට 1999 දක්වා විදුලි සංදේශ අධ්‍යක්ෂ ජනරාල්වරයා විය. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ ඉතා තීරණාත්මක කාලයකයි. එය නව ස්ථාවර විදුලි සංදේශ සැපයුම්කරුවන් දෙදෙනෙකු වන සන්ටෙල් සහ ලංකා බෙල් සමාගම්වලට බලපත්‍ර ලබා දීමෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය කිරීමෙන්  පසුවයි. 1991 අංක 25 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත මගින් නියාමන ආයතනයක් නිර්මාණය කර තිබුණි. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) නමින් හැඳින්වෙන සමාගමක් බවට පරිවර්තනය කර තිබුණි. 1996 දී බලාත්මක කරන ලද ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත මගින් නියාමන ඒජන්සියේ ස්වාධීනත්වය ශක්තිමත් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC)  පිහිටුවන ලදී.

අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහාචාර්ය සමරජිවගේ  මුල් අවශ්‍යතාව වූයේ  අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා ගැනීමයි. ඒ වන විට තිබුණේ  අක්වටන (dial-up) සම්බන්ධතා පමණි.  මේ වන විට නව සම්බන්ධතා සඳහා පොරොත්තු ලේඛනයේ ඉල්ලුම්කරුවන්  300,000 කට ආසන්න ප්‍රමාණයක් වූ අතර එය ගනුදෙනුකරුවන්ගේ සංඛ්‍යාව ඉක්මවා ගියේය. තරඟය අත්‍යවශ්‍ය බව රජය වටහාගෙන තිබුණි. තරඟය සඳහා එක් අවශ්‍යතාවයක් වූයේ ආදායම නැවත සමතුලිත කිරීමයි. ජාත්‍යන්තර  සෘජු ඇමතුම් පහසුකම් භාවිතා කළේ, ශ්‍රී ලංකා ටෙලිකොම් පාරිභෝගිකයින්ගෙන් 10% කටත් වඩා අඩු සංඛ්‍යාවක් වුවත් ආදායමෙන් 50% කට වැඩි ප්‍රමාණයක් ලැබුණේ එම (IDD) ඇමතුම් වලිනි. රජය විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් වලින් 35% ක් ඇමරිකානු ඩොලර් මිලියන 225කට  නිපොන් ටෙලිග්‍රාෆ් ඇන්ඩ් ටෙලිෆෝන් (NTT) සමාගමට විකුණන ලදී. වසර පහක්  ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කළමනාකරණය කිරීම සඳහා නිපොන් ටෙලිග්‍රාෆ් ඇන්ඩ් ටෙලිෆෝන් (NTT) සමාගම සමග ගිවිසුමකට එළඹුණි.

ජාත්‍යන්තර ආදායමේ අපේක්ෂිත පහත වැටීම සැලකිල්ලට ගනිමින් දේශීය ආදායමෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා රජයේ කැපවීම ක්‍රියාත්මක කිරීමට විකල්පයක් නොමැති බව මහාචාර්ය සමරජීව තේරුම් ගත්තේය. තාර්කික මිලකරණ ආකෘතියක් සමග ආර්ථික න්‍යාය අනුගමනය කරමින් මහාචාර්ය සමරජිව  උච්ච කාල මිලකරණය පිළිබඳ ගැටළුව විසඳීය. මහාචාර්ය සමරජිව සහ කණ්ඩායම ඉහළ භාවිතයක් ඇති කාල පරිච්ඡේදය හඳුනා ගැනීමට එකඟ වූයේ වැඩි ආදායමක් ලැබුණේ මෙම කාල පරිච්ඡේදයන් තුළ බැවිනි. භාවිතය අඩු කාල සීමාව තුළ මිල අඩු කිරීමට  තීරණය විය. එබැවින් රාත්‍රී 11.00 සිට  නව සංඛ්‍යාත  කලාපයක් හඳුන්වා දුන් අතර එහි මිල 12 ගුණයක් අඩු විය. මහාචාර්ය සමරජිව රූපවාහිනියේ සජීවීව පෙනී සිටිමින් හා ගුවන් විදුලියෙන් කතා කරමින් පරිශීලකයින්ට පැහැදිලි කළේ ජාත්‍යන්තර ඒකාධිකාරය මත විශ්වාසය තැබිය නොහැකි බවත් මිල ගණන්  වැඩි නොකළහොත් තරඟය සාර්ථක කර ගත නොහැකි බවත්ය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට ලබා දී ඇති සුවිශේෂී කාල සීමාව තුළ ජාත්‍යන්තර ඇමතුම් සඳහා තරඟකරුවන්ට ඉඩ නොදුන් බැවින් දේශීය වෙළෙඳපොළ තුළ ඔවුන්ගේ පිරිවැය ආවරණය වන පරිදි ආර්ථික මට්ටමින්  මිල කරමින් තරඟ කිරීමට හැකි විය. ඔහු මිනිසුන්ට නිදා ගැනීමට ඉඩ නොදෙන බව යමෙකු තමාට පැවසූ බව මහාචාර්ය සමරජිව සිහිපත් කරයි.

තරඟකාරිත්වය හඳුන්වා දීමෙන්  තරඟකාරී වෙළඳපොලේ ඇති පැකේජ  අතරින් තෝරා ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දී ඇති බවත්, එහි ප්‍රතිඵලය වූයේ  වර්තමාන පාරිභෝගික කේන්ද්‍රීය තත්ත්වය  බවත් ඔහු පැහැදිලි කරයි.

වෘත්තීය සමිති ආධිපත්‍යය සහිත රජයේ දෙපාර්තමේන්තුවක  සිට අද දක්නට ඇති නවීන සංවිධානය දක්වා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සංස්කෘතිය වෙනස් කිරීමට ජපන් කළමනාකාරිත්වය සමත් විය. මහාචාර්ය රොහාන් සමරජිව පවසන්නේ දකුණු ආසියාවේ දැනට ඇති (හෝ කලින් හෝ වර්තමානයේ රජය සතු) දුරකථන සමාගම් අතුරින් හොඳින්ම ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම බවයි.

නිපොන් ටෙලිග්‍රාෆ් ඇන්ඩ් ටෙලිෆෝන් (NTT) සමාගම සමඟ  රජය අත්සන් කළ කළමනාකරණ ගිවිසුමේ සඳහන් වූයේ වසර පහක් සඳහා ජාත්‍යන්තර දුරකථන සේවා සඳහා තවදුරටත් බලපත්‍ර නිකුත් නොකරන බවයි. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට වසර පහක කාලයක් ජාත්‍යන්තර ඇමතුම්වල ඒකාධිකාරය තිබිය යුතු විය. නමුත් 1991 සිට “වැඩි දියුණු කළ දත්ත දුරකථන” සඳහා බලපත්‍ර නිකුත් කර තිබුණි. එවැනි පළමු බලපත්‍රය ඉලෙක්ට්‍රෝටෙක්ස් වෙත නිකුත් කළ අතර  ලංකා ඉන්ටර්නෙට් සහ ලංකාකොම් වෙත නිකුත් කරන ලද බලපත්‍රවලට ද මෙම යෙදුම  ඇතුළත් කර තිබේ. මේ හේතුවෙන් අන්තර්ජාල සේවා සපයන්නන්ට ජාත්‍යන්තර ඇමතුම් ලබා දීමටද හැකි වූයේය. මහාචාර්ය සමරජිවගේ  පත්වීමෙන් පසුව, තවදුරටත් බලපත්‍ර නිකුත් නොකිරීමට ඔහු වගබලා ගත්තේය. මහාචාර්ය සමරජිවගේ ධුර කාලය අවසන් වන විට උසාවියේ නඩු ගණනාවක් තිබුණි. විදුලි සංදේශ සම්බන්ධ පළමු නඩුව වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම්  සමාගම,  විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC)  අන්තර් සම්බන්ධතා තීරණයට අභියෝග කළ අවස්ථාවයි. ආයෝජන අවශ්‍ය වූ අංශයක බොහෝ අධිකරණ නඩු තිබීම සතුටුදායක තත්වයක් නොවීය. එමනිසා, 2002 දී ඔහු නැවත පැමිණිමෙන් පසු, මහාචාර්ය සමරජිව සමාගම් සමග සම්මුතියක් ඇති කර ගැනීමට සමත් වූ අතර, ඒවායින් එකක් හැර, අන් සියලුම  නඩු ඉවත් කර ගන්නා ලදී.

මෙය මහාචාර්ය සමරජිව මුහුණ දුන් ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදය  විය. 2001 රටේ ආර්ථික ඉතිහාසයේ  නරකම වසරක් වූ අතර නිදහසින් පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව  සෘණ වර්ධනයක් පෙන්නුම් කළේය. අන්තර්ජාතික අංශය සම්බන්ධයෙන් වූ සුවිශේෂීතාවය අවසන් කිරීම පිළිබඳ අවිනිශ්චිතතාවය ශ්‍රී ලංකාවට ආයෝජන  ආකර්ෂණය කර ගැනීමට අහිතකර විය. මහාචාර්ය සමරජිවගේ අදහස වූයේ  එය දීර්ඝ කරන්නේද නැතහොත් අවසන්  කරන්නේද යන්න පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බවයි. කැබිනට් මණ්ඩලයේ ආර්ථික අනුකමිටුව ඊට එකඟ විය. පුද්ගලීකරණ ගිවිසුමේ කොටසක් වූ ජාත්‍යන්තර අංශයට අදාළ සුවිශේෂත්වය 2003 මැද භාගයේදී අවසන් වීමට නියමිතව තිබුණි. ජාත්‍යන්තර අංශය විවෘත කරන බව පවසමින් 2002 නොවැම්බර් මාසයේදී රජය විසින් ප්‍රසිද්ධ ප්‍රකාශයක්  කරන ලදී. ආරම්භක නොටස් නිකුතුවට (IPO) ට පෙර මෙම නිවේදනය නිකුත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මූලික කොටස් නිකුතුව සාර්ථක විය. ප්‍රතිඵල ක්ෂණිකව ලැබුණි. ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO) කටයුතු සඳහා ආයෝජනය කිරීම වළක්වා තිබූ එක් බාධකයක් ඉවත් කරන ලදී.   ආකර්ෂණිය  ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ  අංශයේ  ප්‍රධාන  සමාගමක්වු (HSBC) බැංකුවට  එක් මුහුද යට කේබලයකින් නොව අවම වශයෙන් දෙකකින් වත් බහු මාධ්‍ය භාවිතා කරන බහු සේවා සපයන්නන්ගෙන් අතිරික්ත දත්ත සම්බන්ධතාවන් අවශ්‍ය විය. කාටත් හොඳින් පෙනෙන   ස්ථානයක පිහිටි එච්එස්බීසී (HSBC) ගොඩනැගිල්ල ප්‍රබල පණිවිඩයක් ලබා දුන්නේය.  එනම්  යුද්ධයෙන් විනාශ වූ රටක පවා ව්‍යාපාර කටයුතු කළ හැකි බවයි.

මහාචාර්ය සමරජිව පවසන්නේ එක්තරා ආකාරයකින් මෙය ප්‍රතිසංස්කරණවල අවසානය වූ නමුත් සුළු ගැටලු  කිහිපයක් තවමත් විසඳිමට ඉතිරිව ඇති බවයි. තරඟකාරීත්වයට ඉඩ දී, නියාමන පරිසරයක් නිර්මාණය කරන ලද අතර, තරඟකාරී නියාමන යාන්ත්‍රණයන් හරහා සාමාන්‍යයෙන් මිල නියම කරන තත්වයක් යටතේ ඒකාධිකාරය අවසන් විය.

තරඟකාරිත්ව මුලපිරීම සහ ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන

මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති තරඟකාරිත්ව මුලපිරීම තුළින් සිදු කරන ලද කාර්යයන් යටතේ, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණ (BPO)  කර්මාන්තයට අදාළ ගැටළු ආමන්ත්‍රණය කළ අතර, ශ්‍රී ලංකාව තුළ  මෙතෙක් ප්‍රයෝජනයට නොගත් හැකියාවක් ඇති බව අවබෝධ විය. එබැවින් හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ සහ එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා  කටයුතු  කරන විට  විදුලි සංදේශ සම්බන්ධ ගැටළු විසඳීම සඳහා මහාචාර්ය සමරජිවට  ආරාධනය කරන ලදී. විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ හා ජාත්‍යන්තර අංශයට අදාළ ඒකාධිකාරය ඉවත් නොකර  ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට හැකි නොවනු ඇත. සවිමත් අත්තිවාරමක් දැමිය  යුතුව තිබුණි. නව නියාමන ආයතනයක්, මිල  සහනශීලීතාව ඇතුළු විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ මාලාවක් යෝජනා කරන ලද අතර බොහෝ මිල පැකේජ සඳහා රජයේ අනුමැතිය අවශ්‍ය නොවීය. ඒ අනුව 2002/2003 දී ප්‍රාදේශීය ටෙලිකොම් ජාල (RTNs) සැලසුම් කරන ලද්දේ  ශ්‍රී ලංකාවේ  දුරස්ථ කලාප දෙකකට ෆයිබර් ජාල ගෙන ඒමටයි. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වෙන් කර තිබුණි.  නමුත් නියාමන ආරක්ෂණ නොමැතිවීමෙන් ඉදිරිපත්වූ අධිකරණ නඩු හේතුවෙන් ප්‍රාදේශීය ටෙලිකොම් ජාල (RTN) ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවීය.

ටෙලි-මධ්‍යස්ථාන

ඔහු අධ්‍යක්ෂ ජනරාල් ධුරය දැරූ කාලය තුළ ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමයේ (ITU) කණ්ඩායමක් මහාචාර්ය රොහාන් සමරජිව මහතා හමුවී ටෙලි මධ්‍යස්ථාන පිහිටුවිය යුතු යැයි යෝජනා කළේය. සමස්ත නියාමන හා ආර්ථික ව්‍යුහය නිරාකරණය කිරීමට තමා සම්බන්ධ වී ඇති බවත්, අන්තර් සම්බන්ධතා ලබා ගැනීම සහ තීරුබදු ගැටළු විසඳීම අවශ්‍ය බවත්, ඒ නිසා ටෙලි මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා දිය නොහැකි බවත් මහාචාර්ය සමරජීව පැහැදිලි කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාව අන්තර්ජාලයට සම්බන්ධ කර ගැනීම සඳහා ලංකා අධ්‍යයන ජාලය (LAcNet) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබේ. මේ කාලයේ  ලංකා අධ්‍යයන ජාලයේ චූලි ද සිල්වා මහත්මිය ශ්‍රී ලංකාවේ සිටි අතර  මෙම ජාලයට  අරමුදල්ද තිබුණි. එබැවින් මහාචාර්ය සමරජිව යෝජනා කළේ ඔවුන් ටෙලි මධ්‍යස්ථාන පිහිටුවා ඒවා ක්‍රියාත්මක වන ආකාරය  අධ්‍යයනය කළ යුතු බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අනුරාධපුරයේ ටෙලි මධ්‍යස්ථානයක් පිහිටුවන ලදී. ඉ-ශ්‍රී ලංකා සංවර්ධන වැඩසටහන යටතේ ටෙලි මධ්‍යස්ථාන වැඩසටහන සැලසුම් කිරීමේදී  මහාචාර්ය සමරජීවට  මෙම අත්දැකීම ප්‍රයෝජනවත් විය.

රූපවාහිනි වැඩසටහන

ශ්‍රී ලංකා රූපවාහිනි  සේවයේ සෙනසුරාදා උදේ “ශනිදා  ආයුබෝවන්”  නමින් වැඩසටහනක්  තිබූ අතර ඔවුන් මහාචාර්ය සමරජිවට  දන්වා සිටියේ  ඒ තුළ යම් කිසි කාලයක් ලබා දිය හැකි බවයි. එය අනාගත දැක්ම හා තාක්‍ෂණික කේන්ද්‍රීය විය යුතුය යන කොන්දේසිය මත ඔහු එකඟ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, මෙම වැඩසටහනේ  අන්තර්ගතය, බොහෝදුරට  අන්තර්ජාලයේ  හැකියාවන් සම්බන්ධයෙන් විය.

මෙම කාල පරිච්ඡේදය තුළ, මුදල් නෝට්ටු ඡායා පිටපත් කිරීමට භාවිතා කළ හැකි නිසා ශ්‍රී ලංකාවේ වර්ණ මුද්‍රණ යන්ත්‍ර තහනම් කර තිබුකි. වැඩසටහන අතරතුර මෙම ගැටලුව පිළිබඳව ඔහුගෙන් විමසූ අතර ඔහු රු. 200 /- නෝට්ටුවන් පෙන්වා  ඡායා පිටපත් කිරීමට අපහසු  මුදල් නෝට්ටු භාවිතා කළ යුතු බවට නිර්දේශ කළ අතර වර්ණ මුද්‍රණ යන්ත්‍ර තහනම් කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නේය. මෙම වැඩසටහන සඳහා බොහෝ ප්‍රතිචාර ලැබුණි.

 “අන්තර්ජාලය ඔබේ නිවසට” යන තවත් වැඩසටහනක් රුපවාහිනිය  විසින් ආරම්භ කරන ලද අතර එය සතියේ දිනවල සවස  විකාශනය විය. මෙම වැඩසටහන් දෙකම  ඉදිරිපත් කළේ  අන්තර්ජාලය ජනප්‍රිය කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ ටී.එම්.ජී. චන්ද්‍රසේකර සමග බව මහාචාර්ය සමරජීව සිහිපත් කරයි.  කොළඹ විශ්ව විද්‍යාලයේ එස්.ටී. නන්දසාර  වැනි වෙනත් අයද වරින් වර මෙම වැඩසටහනට  සහභාගී විය. අන්තර්ජාලයෙන් ඕනෑම මාතෘකාවක්  ගැන සෙවීමට හා තොරතුරු ලබා ගැනීමට හැකි බව සජීවී ලෙස රූපවාහිනියෙන්  පෙන්වා දෙන ලදී. කුඩා කාලයේ සිටම මෙම රූපවාහිනී වැඩසටහන් නැරඹූ බවත්, එම වැඩසටහන් ඔවුන්ගේ ජීවිතවලට බෙහෙවින් බලපෑ බවත් වසර ගණනාවකට පසු  බොහෝ අය කියන බව මහාචාර්ය සමරජිව සිහිපත් කරයි. සමහරු රු. 200 /= නෝට්ටුව ගැන පවා සඳහන් කරයි. මහජනයාට මෙවැනි සුළු කරුණු පවා මතක තිබීමෙන් පෙනීයන්නේ ඔහු ටෙලිකොම් ප්‍රතිසංස්කරණ සඳහා කළ සියලු වැඩවලට වඩා මහජන සන්නිවේදනය  බලවත් බව යයි මහාචාර්ය සමරජිව  කියා සිටි.

අවසාන වශයෙන්, මහාචාර්ය රොහාන් සමරාජිව පවසන්නේ තරඟකාරිත්වය, නියාමනය සහ ඒකාධිකාරී අංග ඉවත් කිරීම තුළින් අන්තර්ජාලය  විකසිත වීමට අවශ්‍ය  වටපිටාව නිර්මාණය වූ බවයි. රට පුරා ජාලයන් ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය ආයෝජන ආකර්ෂණය කර නොතිබුණි නම් සහ තරඟකාරීත්වය තුළින් දැරිය හැකි සහ පාරිභෝගික ප්‍රතිචාරාත්මක සේවාවන් සැපයූවේ නැත්නම්, අප දැන් භුක්ති විඳින ආකාරයේ අන්තර්ජාල ප්‍රවේශයක් අපට නොලැබෙනු ඇත. ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සංවර්ධනයට විදුලි සංදේශ ප්‍රතිසංස්කරණ දායක වූ ආකාරය පිළිබඳ කතාව මෙයයි.